විවිධ ජන කොටස් එකට බැඳ තබන මොරටු වඩුමඩු
සරත් මනුල වික්‍රම
පුටු කට්ටලයක් සිදුකරන්නේ සාකච්ඡා මණ්ඩපයක් තැනීමයි. කරත්ත රෝදය, නිවස,වහලය, ඇඳ, අල්මාරිය ආදී මේ කොයි ලී බඩුත් සිදුකරන්නේ මිනිසුන් එකිනෙකා එකතු කිරිමයි. ලීයට ලීයක් වෑද්දුම් කරන්නා සේ විවිධ ජන කොටස් එකට බැඳ තැබීම වඩුමඩුවකින් සිදු කරයි.
වඩු මඩුවලින් පිරුණු පුරවය මොරටුවයි. වසර පන්සීයක් පුරා දුගී පැළටත් මහ මන්දිරයටත් , උතුරට දකුණට කන්ද උඩරටට මෙන්ම පන්සලට පල්ලියට හා කෝවිලටත් මෙන්ම කුමන ජාතියේ කුමන ආගමේ පවුලකටත් අවශ්‍ය ලී බඩු නිපයන්නේ මේ පුරවරයෙනි.
සිංහල – දෙමළ – මුස්ලිම් නැතහොත් බොදු – කිතුනු – ඉස්ලාම් පවුල් හැට දසකට අධික සංඛ්‍යාවක් සෘජුව හෝ වක්‍රව මේ පුරයේ දැව කර්මාන්තය හා බැඳී සිටිති.
රටේ එක් කෙළවරක තැනෙන මහා රූස්ස ගහක අරටුවෙන් රජ සිටු මැතිවරුන්ගේ මන්දිරවල විසිත්ත කාමරවලට සුව පහසු ගාම්භීර ආසන තැනෙන ගමන් එහි එලයෙන් ලයින් කාමරයේ කෝප්ප පිඟන් උඩ තියාගනීමට මේස බංකු ද තැනෙයි.
මෙ සමහරු වඩු කාර්මිකයෝ ය. තවත් අය ව්‍යාපාරිකයෝ ය. තවත් අය කුළීකරුවෝ ය. ඇතැමුන් ව්‍යවසායකයෝ ය. වෙළඳසැල් හිමියන්, ප්‍රවාහන සේවා සපයන්නන්, අමුද්‍රව්‍ය හා උපාංග හා යන්ත්‍රෝපකරණ සපයන්නන් ආදී තවත් බොහෝ දෙනා ය.
මේ බහුතරයකට නායකත්වය දෙන සමාජ සේවකයා හමුවුණේ මොරටුමුල්ලේ දී ය. මොරටුව දැව ආශ්රිත නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සාම විනිසුරු සෝමසිරි වඩුගේ ඔහු ය.
මොරටු පුරවරයේ ජාතික මෙහෙවරෙහි යටගියාව ගැන ඔහු අදහස් පැවසුවේ මෙලෙස ය.
‘‘ මොරටුව දැව කර්මාන්තයට ප්‍රසිද්ධ වුණේ අද ඊයේ නොවෙයි. පෘතුගිසි ලන්දේසි කාලේ ඉඳලා. ඒ අයට පල්ලි ආදී ඉදිකිරීම් වලටත් ඒවාගේ විවිධ දැව නිර්මාණ සඳහාත් අවශ්‍ය වඩුමඩු තමා මුලින්ම මෙහෙ ඇති වුණේ. එදා සිට විශාල පිරිසක් වඩු කර්මාන්තයට යොමු වුණා. ඒ වාගේම රටේ ඕනෑම තැනක මොනම තරාතිරමේ කෙනෙකුට වුවත් සාධාරණ මිලට භාණ්ඩයක් හදාදෙන්න පුළුවන් වුණානම් ඒ හැකියාව තිබුණේ මොරටුවේ අයට විතරයි. මේක දැන් මේ මුළු ප්‍රදේශයේම පාරම්පරික කර්මාන්තයක් බවට පත්වෙලා තිබෙන්නේ. මේහෙ ලීබඩුවල විශේෂත්වය තමා අලංකාර හැඩය, හොඳ නිමාව,සවි ශකත්තිය ඒවාගේම පරිසරයටත් ශරීර සෞඛයයටත් ගැලිපීම. මේ කර්මාන්තයත් එක්ක බැඳිච්චි අය අංශ ගණනාවකම ඉන්නවා. මහා පරිමාණ,මධ්‍ය පරිමාණ හා සාමාන්‍ය ව්‍යාපාර වශයෙන් මේ පිරිස් වෙන්කරන්න පුළුවන්.
අපේ භාෂාවෙන් කීවොත් අංක එකේ සිට තුන දක්වා භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ එක් එක්කෙනාගේ ආර්ථික මට්ටම් අනුව. දිවයින පුරාම භාණ්ඩ සපයන ඉස්ටෝරුව මොරටුව කීවොත් නිවැරදියි. 1970 ගණන්වලින් පස්සේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලත් වඩු කර්මාන්තය ඉගෙනගෙන ව්‍යාපාර ඇරඹුණත් අදටත් සාධාරණ මිලට බඩු ගන්න පුළුවන් තැන මෙහෙ තමා. දිස්ත්‍රික්ක විසි එකටම මෙහෙන් භාණ්ඩ අලෙවි කරනවා. ඒ පළාත්වල ව්‍යාපාරිකයන් ඇවිත් අරන් යනවා.ඒ වගේම ඒ සඳහාම වෙන් වුණු ප්‍රවාහන ක්‍රමත් තිබෙනවා.
ලංකාවේම කපන ලී ගෙනඑන්නෙත් මොරටුවට.ලංකාවටම ලී බඩු බෙදන්නෙතක් මොරටුවෙන්. ඒකයි කියමනක් තියන්නේ ගහකට ගහක් මොරටුවෙදි මුණගැහෙනවා කියලා. ලී කඳකින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්නේ මෙහෙ. කිසිම අපතේ යාමක් නෑ . අපිළඟ ඒ සඳහා දියුණු තාක්ෂණය තිබෙනවා. අවසානෙ දර සහ ලී කුඩු පවා දැන් ප්‍රයෝජනයට ගන්නවා. ඒ සඳහාත් කර්මාන්ත බිහිවෙලා තිබෙනවා.
වකුතරයේ ලයින් කාමරයේ සිට අගනුවර මහ සුවිසල් මන්දිරය දක්වා ආර්ථික මට්ටම අනුව මොරටුවේ ලී බඩු නිෂ්පාදනය කරනවා. පල්ලියට පන්සලට මේහැම තැනටම ලීබඩු දෙන්නේ අපි. මෙහෙ තරම් කොහේවත් ‘ෆිනිෂින්‘ කරන්න බෑ. ඒ දක්ෂ ෆිනිෂින් කිරීමයි කලාත්මකබවයි දෙක නිසා කාටවත් ඒ තරගයෙන් දිනන්න බෑ. ප්ලාස්ටික් කර්මාන්තයත් එක්කත් තරග කරනවා. එහෙම කරන්නේ වත්කම් අනුව ඕනෑම කෙනෙකුගේ අවශ්‍යතාවය සපුරන ගමන්. මේකට ක්‍රම තුනක් අනුගමනය කරනවා. එකක් හිසේ තියාගෙන යන ජංගම වෙළඳාම. ඒ භාණ්ඩත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ‘‘
ගහක් කපන තැනේ සිට විකුණා බැකු යන අවස්ථාව දක්වා ලක්ෂ දෙකක පමණ ජනකායක් මෙම කර්මාන්තය හරහා ජීවත් වන බව මොරටුමුල්ලේ වඩමඩු හිමිකරුවෙකු වන අජිත් පීරිස් මහාත කියයි.
ලී බඩු නිවහනකට එන්නේ විවිධ ජාතින්, ආගමිකයින්, කාන්තාවන් ,පිරිමින්, දිළින්දන් හා ධනවතුන් ආදි මිනිස් කුළේ විවිධ බෙදිම්වලින් වෙන්වූවන්ගේ එකමුතුව හා සංකලනය ඇතිව ය. දැවකපන්නෝ විවිධ ප්‍රදේශවල විවිධ ජනකණ්ඩායම්වල ය. දැව ප්‍රවාහනය කරන්නෝ ද එසේ ය. දැව ඉරන්නෝ අඩු අධ්‍යාපන මට්ටම් ඇති අය විය හැකි වුවත් ලීබඩු මොස්තර සැලසුම් කරන්නෝ මහා උගතුන් විය හැක. වඩු මඩුව තුළ හිමිකරුවෝ මෙන්ම කුලීකරුවෝද සහෝදරත්වයෙන් ලී හා පොරබදති. ඒවාට ඇණ කනු සපයන්නේ බොහෝ ව්‍යාපාර මුස්ලිම් ජාතිකයින්ගෙනි. තැනෙක ලීබඩු ඔප දමන්නේ කාන්තාවෝ ය. සමහර ලීබඩු ප්‍රවාහකයෝ දෙමළ පවුල්වල ය. අවන්හල්වල අලංකාර ගෘහභාණ්ඩ මත විඩා නිවන්නේ, සැතපෙන්නේ වැඩිමනක් බටහිර ජාතිකයෝය. ධර්මාසනයේ භික්ෂුව වැඩ හිඳී. පල්ලියේ මහා දිග බංකු පෙළ ද මොරටුවෙනි. කෝවිලේ දෙච්මැදුර හා පූජා කරත්ත ද මේ වඩුමඩුවලින් හෝ මේ පුරයෙන් යන ශිල්පීන්ගේ නිර්මාණයන් ය.
අත දරුවා තල්ලු කරන කරත්තය, සෙල්ලම් අස්සයා හා දෙමළ,මුස්ලිම්, සිංහල,ජාතික පළාත් හා ජාත්‍යන්තර ආදි පාසල් පංති කාමරයේ අසුන ද උපදින්නේ එකම පුරයෙනි. ප්‍රභූන් සුසානය කරා කැඳවාගෙන යන අලංකාර මංජුසාව , රන්සිවි ගෙය මෙන්ම දුගියා වෙනුවෙන් තනන ගිනි සපු ඇල්බීසියා පෙට්ටි ද මොරටුවෙන් ම ය. රටේ සියලු ජාතීන් ආගම් අතර මේ මහා සංකලනයකි.
මහා මන්දිරයේ විසිත්ත කාමරය සිනිඳු සේල රූරටා පිරි තිර එල්ලා සැරසීමට විස්මිත ලී පොලු නිපයන මේ අය බොහෝ දෙනාගේ නිවෙස්වල රහස් වසා සිටින්නේ සාරි ඉරා වසාගත් ජනේලයන් ය. මහමන්දිරය ඇත්-අස්-සිංහ කකුල් කැටයම් පිරි සිහසුන්වලින් පුරවා දි මේ බොහෝ දෙනා අලිංචි පිටපලු ලී වලින් තනාගත් පුංචි අට්ටාල නිවාස වල කල්ගවෙති. රැල්ලටට ගිළෙමින් පවතින වැලිලටත් කඩ පෙළට සීමාව පැනවු රේල් පාරටත් කොටු වූ මොරටු වැල්ල ප්‍රදේශයේ නිවාසවල ඇත්තේ ලියවන පට්ටලයක නැගෙන ගොරහැඩි නාදයට නොදෙවනි ශෝකී රළු ස්වරයකි.
‘‘ ඉස්කෝලේ යන්නේ නැති ළමයික් බොහෝම ඉන්නවා. සල්ලි නැතිකම මූලික හේතුව.සමහරුන් පංතිගාස්තු ගෙවා ගන්න බැ. ලමයින්ට පොත්පත් අරන් දෙන්න,කන්න බොන්න දෙන්න වාගේ අවශ්‍යතා ඉෂ්ඨ කරලා දෙන්න දෙමාපියන්ගේ ආදායම මදි. ඉස්කෝලේ යන්නේ නැති ළමයි කුඩා කාලෙම නරක දේවල්වලට ඇබ්බැහි වෙනවා. වැඩි දෙනෙකු කුළියට වැඩ කරන අය. කාලෙකට කුළී වැඩත්නෑ. ‘‘ යි කිවූ ඔහු මොරටු වැල්ලේ පදිංචි සුදේශ් සේනාධීර ය.
‘‘අපි කොච්චර මහන්සි වෙලා වැඩ කලත් අපේ ජීවිත එක තැනමයි. දියුණු වෙන්නේ මේවා අපෙන් මිළට අරන් ව්‍යාපාර කරන අය.‘‘ එසේ කීවේ ප්‍රවීණ වඩු කාර්මිකයෙකු වන නිමල් ප්‍රනාන්දු ය.
මොරටුව නගරයේ පාරම්පරික ව්‍යාපාරිකයන්ට කියා සිටියේ තමන්ට ඇති දැවැන්තම අභියෝගය වන්නේ ඉන්දූනිසියාවෙන් ගෙන්වා වන ලීබඩු වෙළඳාම බව ය.
දැව බලපත්‍ර ආදී රජයේ ගාස්තුවල මිළ ගණන් ඉහළ යාම හා කෘෂි ආරථිකය කඩාවැටීම ආදී අභියෝග රැසකට වර්තමානයේ මොරටු කර්මාන්තය මූණ දුන්නත් හැත්තෑවන වියේ පසුවන සභාපතිවරයා දරන්නේ ඉතාම සුබවාදී බලාපොරොත්තුවකි.
‘‘රටේ කෘෂි කර්මාන්තය කඩා වැටීම බරපතල ප්‍රශ්නයක්. ඉස්සර වාගේ නෙවෙයි දැන්. ඉල්ලුම තියනනේ තොග පිටින්. දවසට පුටු සීය දෙසීය වුණත් හදන්න පුළුවන්. ඒත් රටේ කෘෂිකර්මාන්තය කඩා වැටීමත් රටේ මුදල් රට තුළ සංසරනය නොවීමත් නිසා ඒ ආදායම එන්නේ නෑ.ඉස්සර ගොයම් කැපෙන කාලෙට පොලොන්නරුව දිහාට ,ගම්මිරිස් කැඩෙන කාලේට මොනරාගල ආදි ප්‍රදේශවලට යනවා. අල ගොවියාගේ සල්ලි අල ගොවියා අත තියනවානම් වි ගොවියාගේ සල්ලි වීගොවියාගේ අතේ තියනවානම් අපේ ආර්ථිකයත් හොඳයි. මේ තත්ත්වයට මූණ දෙන්න අපේ ව්‍යාපාරිකයෝයි කර්මාන්තකරුවෝයි සේරම එකතුවෙලා අලුත් උපායමාර්ග හොයනවා. මේ තුළින් අපි හැමෝගේම ආර්ථිකය ගොඩගන්න හොඳ අනාගතයක් හදනවා ‘‘යන්න ඔහුගේ අධිෂ්ඨානයයි. පන්සිය වසරක් ඉක්ම වු මොරටු අභිමානය ඉදිරියට රැකදීමට මේ සභාපතිවරයා ජනතාවත් නාලධාරීත් අතර පාලමක් ලෙස ක්‍රියාකරයි.
This article was originally published on the catamaran.com