මීගමුවෙන් ඇසෙන මිනිසත්කමේ හඬ: “අපේ බැඳීම් වනසන්න බෝම්බවලට බෑ!”
ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න
වත්මන් පාසල් අධ්‍යාපනයෙන් මිශ්‍ර පාසල් සංතල්පය බැහැර කොට ජාතිකත්වය මත පදනම් වූ පාසල්වල දරුවන් හිර කිරීම වත්මන් සමාජ සහජීවනය බිඳ වැටීමට බලපෑ මූලික හේතුවක් බව වාර්ගිකත්වයේ චින්තනයෙන් බැහැර වූ වත්මන් ශ්‍රී ලාංකිකයන් ගේ මතයයි. ඒ ඈත්වීම වර්තමානයේ අප අත්විඳින ගැටලුවලට ඍජුවම බලපා ඇති බව ද ඔවුන් ගේ විශ්වාසයයි. පාස්කු දින සිදු කළ ප්‍රහාරවලින් මෙරට වෙසෙන සමස්ත ජාතීන් අතර වන බැඳීම් විනාශ කරන්නට නොහැකි බව ද මීගමුවේ ඔවුහු තරයේ අදහති.
“අපි මිශ්‍ර පාසලක ඉගෙනගත්ත උදවිය. ඒ පාසලේ සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් යන ජන වර්ග ඔක්කොම හිටියා. ඒ ඇත්තෝ අතර සිටි, විශේෂයෙන් මුස්ලිම අය අතර සිටි හනිෆලා, රාවුෆ් ලා, හකීම්ලා, නඩේසන්ලා, ඒ කට්ටිය අදත් අපිත් එක්ක සහෝදර ලීලාවෙන් කටයුතු කරනවා. එදා මුස්ලිම් ගම්මානයකට ගියාම අපිට ඒ නිසා වෙනසක් තිබුණේ නැහැ.”
“සියලු අන්තවාදී ත්රස්තවාදයට එරෙහි වෙමු මනුෂ්‍යත්වය වෙනුවෙන් අදත්, හෙටත් අපි එකට ඉමු” මැයෙන් මීගමුවේ පුරවැසි එකතුව සංවිධානය කළ පාගමනක් හා රැළියක් අමතමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී කරක්කුලියේ පියදස්සි හිමියෝ එසේ පැවසූහ. මේ අවස්ථාව සඳහා සර්ව ආගමික නායකයන් මෙන්ම විවිධ අංශ නියෝජනය කරමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
බෙදා වෙන් කිරීමේ ප්‍රතිඵල
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන මහා ලේඛකාධිකාරී කරක්කුලියේ පියදස්සි හිමියන් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ අතීතයේ සිංහල හා මුස්ලිම් ජනතාව අතර තිබූ බැඳියාව දුරස් වීමට හේතුයි.
“වෙනසකට තිබුණේ වැඩියෙන් සත්තු ඇති කරපු එක තමා. ඒ ඇරෙන්න කිසිම වෙනසක් මේ ගම්මාන දෙකේ තිබුණේ නැහැ. දැන් මුස්ලිම් ගම්මානයකට ගියාම සම්පූර්ණයෙන්ම වෙනස්. ගමට ඇතුල් වෙද්දී තියෙන්නේ අරාබි බෝඩ් එක. ඒ වගේම තමයි එදා තිබුණ සහෝදර ලීලාව අද නැහැ. අපි සමගියෙන් හිටියට, සහජීවනයෙන් හිටියට ඒ ගමේ ඒ වෙනස තදබල විදිහට තියෙනවා. මේක අපේ හදවතට දැනෙන වෙනසක්. ඒ වෙනස ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි අපේ පාසල් අධ්‍යාපනයෙන් ඔවුන් බැහැර කිරීම. මුස්ලිම් පාසල් දෙමළ පාසල් නම් කරලා ඒ තුළ ඔවුන් හිර කිරීම. ඒ නිසා අපිත් එක්ක තියෙන සහජීවනය ඈත් වුණා. ඒ ඈත්වීම වර්තමානයේ මේ ප්‍රශ්නයට ඍජුවම බලපා තියෙනවා.”
රටේ පොදු තත්වය එසේ වුවත් තමන්ට තවමත් මුස්ලිම් ජනතාව සමග සහෝදරත්වයෙන් සිටීමට හැකිව තිබෙන බවද පියදස්සි හිමියෝ පෙන්වා දුන්හ.
“අපේ පන්සල අවට මුස්ලිම ගම්මානයක් තියෙනවා. ඒ ගම්මානයට ගියාම ඒ ගම්මානයේ මුස්ලිම ජනතාව අදටත් මට සලකනවා. අදටත් ඒ අය විශේෂ කෑමක් හැදුවම මුල්ම කොටස මට ගෙනල්ලා පිළිගන්වනවා. ඒ අයගේ මරණෙට මගුල් ගෙදරට මම සහභාගී වෙනවා. ඒ වගේ සහජීවනයක් මාත් එක්ක අදටත් තියනවා. ජමාත් පල්ලි පිහිටුවන්න යනකොට මුලින්ම විරුද්ධ වුණේ ඒ ගමේ අය.”
පියදස්සි හිමියන්ගේ මේ කතාව සංවාදයට විවෘත වූ අතර මේ අවස්ථාවට එක්වූ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන මොහොමඩ් අර්ෂාඩ් මහතා ප්‍රකාශ කළේ තමන් මේ තත්වය පිළිගන්නා බවයි.
“අපේ පොඩි දුරස් භාවයක් තියනවා අවංකවම. ඒක ආගමත් එක්ක ළැදි බවකට හෝ එහෙම එකකට නෙවෙයි. කුමන හෝ විදිහකට අපි සිංහල සමාජයෙන් දුරස් වෙලා තියෙනවා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම එය පිළිගන්නවා. දැන් වෙලා තියන සිදුවීමෙන් ලංකාවේ ජීවත්වන සියලුම මුස්ලිම්වරුන් මේ තත්වය පැහැදිලි කරගෙන තියෙනවා. මමත් ගියේ සිංහල ඉස්කෝලේට. ඒ කාලේ මගේ යාළුවෝ ඔක්කොම සිංහල අය. මුස්ලිම් යාළුවෝ මට හිටියේ නැහැ. ඒ දවස්වල සෙල්ලම් කරන්නේ සිංහල අයත් එක්ක. නමුත් අද පරපුර අතරෙ එවැනි සබඳතා අඩු වෙලා. ඉස්සර සිංහල ගමක මුස්ලිම් ගෙවලුත් තිබුණා. එකට ජීවත්වුණා. එකිනෙකා උයන දේවල් හුවමාරු කරගත්තා. මළගෙයක් අවොත් අපි ඒ අයට ළං වුණා. ඒ වගේ තත්වයක් තිබුණා.
දැන් ඒ තත්වයත් දකින්න අඩුයි. නමුත් මීගමුවේ තවමත් ඒ තත්වය දකින්න පුළුවන්. ඒ නිසයි අද අපි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මීගමුවේ එහෙම වුණාට ලංකාවේ සිංහල ජනතාවට හිතිලා තියනවා අපි දුරස් වෙලා ඉන්නේ කියලා. මම හිතන්නේ ඒ තත්වය නැති කරන්න අපි ක්‍රියා කළ යුතුයි. අතීතයේදී අපි එකට හිටියා වගේ උදාහරණයකට කිවොත් මම්මලේ මරික්කාර්- උතුවන්කන්දේ සූර සරදියෙල් හිටියා වගේ සහයෝගයෙන් ඉන්න වාතාවරණයක් ඇති කරන්න මේ ඇති වෙච්ච ප්‍රශ්නවලින් අපි උගත යුතුයි. අපි සහයෝගයෙන් සිටිය යුතුයි.
56 බෝම්බය
මේ අවස්ථාවට එක්ව සිටි, මානව අයිතින් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයෙකු වන එම්. සත්‍යවේල් පියතුමා ප්‍රකාශ කළේ, තමන් පියදස්සි හිමියන්ගේ හා මුස්ලිම් ආගමික සමාජ ක්‍රියාකාරික මොහොමඩ් අර්ෂාඩ්ගේ ප්‍රකාශවලට ගරු කරන නමුත් මේ තත්ත්වය රටේ ඇති වීම ආරම්භ වූයේ 1956න් පසුව බවයි.
“1956 තමයි සහජීවනයට බෝම්බ ගැහුවේ. ඒ නිසා තමයි අද මේ සමාජය විකෳති වෙලා තියෙන්නේ. නැවත ගොඩනගන්න බැරි වෙලා තියෙන්නේ. 1956 තමන්ගේ පාලනය ගෙන යෑම සදහා, “සිංහල පමණයි” කියන ප්‍රකාශයත් එක්ක අනෙක් ජාතීන් හා අනෙක් ආගමිකයන් තමනට මේ රටේ ආරක්ෂාව නැහැ කියන තැනට තල්ලු වුණා. ඒ වගේම 1972 හා 1977 ව්‍යවස්ථාවලින් මුස්ලිම් හා දමිල ජනතාව ඈත් කරද්දී ඔවුනට හිතෙනවා, අපේ ආරක්ෂාව අපි සලසා ගත යුතුයි. අපේ භාෂාව අපි ආරක්ෂා කර ගත යුතුයි කියලා. මේ පාලකයෝ අපිට ආරක්ෂාව සලසන්නේ නැහැ, අපේ සංස්කෘතියට ආරක්ෂාව සපයන්නේ නැහැ කියන තැනට තල්ලු වුණායින් පසුව පහළ ඉන්න කොටස හිතනවා තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නවා කියලා.”
වසර තිහක් ඈත් කර සිටි දෙමළ ජනතාව එකතු කරගනිමින් නැවත තවත් කොටසකට රිදවීමට, මර්දනය කිරීමට පාලකයන් කටයුතු කරගෙන යන බවද බවද සත්‍යවේල් පියතුමා පැවසීය.
“අවුරුදු තිහක යුද්ධයෙන් පසුව දෙමළ ජනතාව නිහඬ කරලා. දැන් පාලකයන්ට උවමනා වෙලා වෙලා තියෙන්නේ මුස්ලිම් ජනතාව කීකරු ජන කොටසක් කරන්න. ඒ සදහා ඔවුන් සතු දේ උදුරා ගන්න. ඒ එක්කම වර්ගික යුද්ධය අවසන් කරමින් දැන් ආගමික යුද්ධය පටන් අරන් තියනවා. ඒ ආගමික යුද්ධය පටන් ගැනීම සදහා හින්දු, බෞද්ධ අයව එකතු කරන්න ඔවුන් උත්සාහ කරනවා. තමන් සතු සියලු දේ අහිමි කරගෙන සිටින ජනතාවට කියනවා, අපට එරෙහිව ඉන්නේ මුස්ලිම් ජනතාව කියලා. ඒ කියලා මුස්ලිම් ජනතාව මර්දනය කරන තත්වයකට පත් කරලා තියනවා. මේ තත්ත්වය තාවකාලිකයි. ඊට පස්සේ ක්‍රිස්තියානි ජනතාවට එරෙහිව මේ මර්දනයම දියත් වේවි.
“මේ මොහොතේ මුස්ලිම් ජනතාව ආරක්ෂක පියවරක් ගෙන තිබෙනවා. ඔවුන් තමන්ගේ ආගමේම, එත් තමන්ගේ මතයට විරුද්ධව ඉන්න ජනතාවගේ ආගමික ස්ථාන කඩා බිඳ දමන්නට හෝ ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම කරන්න පටන් අරගෙන තියනවා. එහෙම නොකළොත් අපිට ජීවත්වෙන්න බැහැ කියන අදහසක් ඔවුන් තුළ ඇතිව තිබෙනවා. මේක කනගාටුදායකයි. මම කියන්නේ එතැන නෙමෙයි ප්‍රශ්න විසඳන්න තිබුණේ. අපි විවෙච්නාත්මක හැරී බැලීමක් සිදු කළේ නැහැ. මෙය සියලු ආගම් වලට පොදුයි. අපි තනි තනිව අපේ ආගම් පිළිබදව සිතා බැලිය යුතුයි. අයි. එස්. කියන්නේ ජාත්‍යන්තර ත්රස්තවාදයක්. අපි ඔවුන් ප්‍රතික්ෂේප කළාට අපි මුස්ලිම් සහෝදරත්වය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
මේ අවස්ථාවේ ආගමික නායකයනට ඇති වගකීම පැහැදිලි කළ නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු කන්‍යා සොහොයුරිය ප්‍රකාශ කළේ 21 වන දින ප්‍රහාරය සමග රටේ ආගමික නායකයන් නිවැරදි තීන්දු ගත් බවයි. එහෙත් රටේ පාලන කටයුතු සඳහා ආගමික නායකයන්ගේ අනවශ්‍ය අත පෙවීම වහා නතර කළ යුතු බවද ඇගේ අදහසයි.
“අපේ කාදිනල්තුමා පාස්කු දින ප්‍රහාරයෙන් පස්සේ ජනතාව නිසි මගට ගන්න කටයුතු කළා. එය ඉතා ඉහළින් අගය කළ යුතුයි. නමුත් ඊට පස්සේ මොකද වුණේ? පාසල් ආරම්භ කරද්දී කිව්වා කතෝලික පාසල් ආරම්භ කරන්නේ නැහැ කියලා. මේ නිසා ඇතැමුන් කිව්වා අපිත් පාසල් ආරම්භ කරන්න ඕනෑ ඒ දිනේට කියලා. ඒ ත්ත්වය හොදද ? ආගමික නායකයනට තීන්දු තීරණ ගන්න බැහැ, මුළු සමස්ත ජනතාව වෙනුවෙන්. එය කළ යුත්තේ දේශපාලකයන්. අපි දේශපාලකයන් පත් කරලා පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ ඒ දේවල් කරන්නයි. ආගමික නායකයන් එම කටයුතුවලට අනවශ්‍ය බලපෑම් කිරීම සුදුසු නැහැ.
මීගමුවේ හඬ
පාස්කු දින ප්‍රහාරයෙන් වැඩිම හානියක් හා විපතක් වූ ප්‍රදේශය මීගමුවයි. මීගමුව කටුවපිටිය ග්‍රාමය මේ වන විටත් මළගමක් සේ දිස් වුවත්, මීගමුව ජනතාව පොදුවේ ත්රස්තවාදයට වෛර කළත්, පුද්ගලයෙකුට හෝ ජන වර්ගයකට වෛර කිරීමට පෙළඹී නොමැති බවක් පසුගිය මාස එකහාමාරක පමණ කාලයේ අවස්ථා ගණනාවකදී මේ ප්‍රදේශවල කළ සංචාරවලදී තහවුරු විය.
ඔවුනට අවශ්‍ය වන්නේ නැවතත් මීගමුව නෙක වර්ණයෙන් දිදුළන නගරයක් වනු දැකීමය. මේ සඳහා මීගමුවේ ජනතාව ඒකරාශී කිරීමේ කටයුත්තේ නිරතව සිටින එක් සංවිධානයකට නායකත්වය දෙන හර්මන් කුමාර මහතා ප්‍රකාශ කළේ මේ වන විට මීගමුව ජනතාව අවදි වෙමින් සිටින බවයි.
“අපි මේ ජනතා අවදි කිරීම ආරම්භ කළේ මීගමුවේ ප්‍රහාරයෙන් දින දෙකකට පස්සෙයි. එදා මීගමුව කාමච්චෝඩේ මුස්ලිම් පල්ලියට අපි ඒ සදහා එකතු වුණාම අපිට ජනතාවගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණා වගේම අයහපත් ප්‍රතිචාරත් ලැබුණා. නමුත් අපි අපේ වැඩේ නතර කළේ නැහැ. එදා අපි අතර සිටි අය පවා කීවා මේ වගේ දෙයක් කරන්න ඉක්මන් වැඩියි කියලා. නමුත් අපි නිවැරදි තීරණය ගත්තා.
අපි එදත් ත්රස්තවාදයට විරුද්ධයි අදත් විරුද්ධයි. හැබැයි සියලු දෙනා මතක තබා ගත යුතු කරුණ තමයි අපි විරුද්ධ ත්රස්තවාදයට පමණයි කියන එක. අපි මේ ගැන දැන් කියකියා යනවා. අපේ මේ කතාව දැන් සෑහෙන පිරිසක් අවබෝධ කරගෙන ඉන්නවා. අපේ වෑයම මෙය මීගමුවෙන් පිටතට ව්‍යප්ත කිරීමයි. අපි නැවතත් කියන්නේ බෝම්බයක් නෙමෙයි බෝම්බ දාහක් පිපිරුවත් අපි මුස්ලිම් සහෝදරත්වය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලයි.
This article was originally published on the catamaran.com