සමාජ

කොරෝනා එන්නත මම සහ අම්මා

සුදර්ශිනී මුතුලිංගම්

අපි පොතක පිටු පෙරළමින් සිටින්නෙමු, කොහේ හෝ පිළිතුරක් ඇත් දැයි සිතමින්, එහෙත් කාලය අපට පවසන්නේ එය පිළිතුරක් නොමැති පොතක් බවය.

අපි වසර එකහමාරකට අධික කාලයක් කොරෝනාවෙන් විඳවමින් සිටින අතර පීඩාකාරීබව ඔස්සේ අද දක්වා ගමන් කරමින් සිටින්නෙමු. ඔවුන් ජනතාවට ප්‍රතිශක්තිය දීමට සහ වෛරසය සිරුරට ඇතුළු වීමෙන් වැළැක්වීමට “කොරෝනා එන්නතක්” සොයාගෙන තිබේ. ඒ එන්නත ශ්‍රී ලාංකිකයන් වන අප වෙතද ළඟා වී ඇත. 

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් කිරීම යාපනයේ උඩුවිල් කාන්තා විදුහලේ දී 05.07.2021 ඇරැඹිණ. මගේ මවගේ එන්නත ලබා ගැනීම සඳහා මව සමඟ ගියෙමි. වැඩිහිටි අය එන්නත් කරගැනීම සඳහා බලා සිටින දිගු පෝලිම්ය. එන්නත්කරණ ක්‍රියාවලි පාසලේ එක්තරා ගොඩනැඟිල්ලක වේගයෙන්  සිදු වේ. “මේ මොකක්ද? දිග පෝලිමක් තිබෙනවානෙ, ආපසු ගෙදර යන්න පැයකටත් වැඩිය යයි” අම්මාට කම්මැළිබවක් දැනී ඇත. දැඩි හිරු රශ්මියකි. අම්මා පෝලිමට එකතු වූවාය. මමත් පෝලිමේ පසෙකින්  ගියෙමි.

එසේ සිටගෙන සිටීම මට අමුත්තක් නොවේ. මේ මම අවුරුදු දහතුනක් විසූ තැනයි. ඒ මගේ පාසලයි. සුළු වෙනස්කම් කීපයක් වුවත් එය තවමත් එලෙසමය. බොහෝ විට පිටියේ සෙල්ලම් කළ හැටි, මේ අඹ ගස සෙවණේ ඉඳගෙන කල්පනා කරමින් උන් හැටි, පාසල පුරා මිතුරන් සමඟ දිවූ සැටි මට මතකය. ඒ සියල්ල ඊයේ පෙරේදා සිදු වූවා මෙන් මගේ මතකයට නැඟේ.

වයසක මිනිසෙක් ඔහුගේ නළලේ ඩාදිය අතින් පිස දමන්නේ “මේ හැම කෙනෙක්ම එක එක්කෙනා ගානෙ ගෙන්නලා කණ්ඩායම් වශයෙන් එන්නත් කරන්නයි තිබුණේ” කියමිනි. මහලු වියේ දුර්වලබව අවබෝධ කරගත හැකිය. වියපත් වීම කිසිවෙකුටත් මඟහැරිය නොහැක්කකි.

තරුණ පිරිසක් පෝලිමේ ඉන්නා විට කෙනෙකු පෝලිම පැන්නොත්, අහෝ! කුමක් වන්නේ දැයි කිව යුතු නොවේ. එහෙත් අපට ඉඳහිට පෝලිම් පනින්නන් පෙනුණද ඒ ගැන කිසිවකු කරදර වන බවක් හෝ අන්අයට කිසිවෙකු ආරක්ෂා කිරීමට වුවමනාවක් හෝ නැත. මම ඒ එකමුතුබව මෙහි දුටිමි.

පෝලිම දිගු වන විට හමුදාවේ පිරිස් සෙවණ ඇති තැන් සොයමින්, පුටු සපයමින්, වයසක අයට පහළට බැසීමට උදවු කරමින් සහ ඔවුන් පැමිණි වාහන වෙත ගෙන යමින් එතැන පිළිවෙළකට පවත්වාගෙන යෑම  වෙනුවෙන් ඔවුන්ගේ රාජකාරිය සමඟ කාර්යබහුල වී සිටියහ. 

දහසකුත් එකක් මතකයන් මා පසුකර ගලා යන අතර මම ඒ මතකයන් සමඟ කාලයෙන් කාලයට සැරිසරමින් සිටියෙමි. පාසලේ පළමු දිනය මතකයට එයි. එදා අලුත් පාසල් නිල ඇඳුම් සහ සපත්තු පැලඳ සිටි සතුට නිසා මම නොහැඬුවෙමි. මගේ අම්මාත් තාත්තාත් මගේ අතින් අල්ලාගෙන ගිය පළමු වසරේ පන්ති කාමරය ද  අද එන්නත්කරණය සඳහා යොදා ගෙන තිබේ. 

“මම එන්නත් විදින්න බයේ හිටියේ මොකද මම හිතුවා ඒකෙන් මගේ ජීවිතේ අවසන් වෙයි කියලා. ඒත් ප්‍රංශයේ ඉන්න මගේ ලොකු දුව කීවා බය වෙන්න දෙයක් නෑ එයත් එය ගත්තා කියලා. මේ එන්නතෙන් කරන්නේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි කරන එක විතරයි. ඒකයි මම ආවේ.” ඇය පැවසුවේ මුහුණේ සිනහවක් රඳවා ගනිමිනි. ඇය අතීත මෙන්ම වර්තමාන කතා මෙහි සිටින සියල්ලන් සමඟ පවසයි. මේ වියපත් අය නන්නාඳුනන්නන් සමඟ ගැඹුරු මිතු දමක් ඇති කර ගන්නා සැටි දනී.

මුවට නොනැඟෙන වචනවල දුබල උච්චාරණයේ අමුතුම සුන්දරත්වයකි. ‘සයිනොෆාම්’ යන වචනය චීන කටු බවට පෙරළී ඇත. මම සිත ඇතුළෙන් සිනා වුණේ මමත් දිනෙක වයසට යනබව අමතක වූ අයුරිනි. ග්‍රාම නිලධාරීවරයා සහ සමෘද්ධි නිලධාරීහු ඔවුන්ට තේරෙන ආකාරයට කරුණු පැහැදිලි කරමින් සිටියහ. ඔවුහු මහජන සේවකයෝ වූ නිසා ඔවුන්ගේ වගකීමෙන් සොයා බලති.

“ඔයා ගොඩක් වෙලා හිටගෙන හිටියා නේද ගිහින් අතන බංකුවෙන් ඉඳගන්න” මා බොහෝ වෙලා සිටගෙන සිටිනු දුටු වැඩිහිටි කාන්තාවක් කීවාය. අම්මාද කීපවතාවක් එසේ කීවාය. ඒ ඉල්ලීම්වලට ගරු කිරීමක් වශයෙන් මම විවෘත ශාලාවේ පඩි පෙළ මත ඉඳගතිමි. පාසල් සමයේ අප යාච්ඥා සඳහා අඟහරුවාදා දිනවල එකතු වන්නේ මේ ශාලාවටයි. මම දෑතින් පොළව පිරිමැද්දෙමි. ගෙවුණු මතකයන් මා තුළ පිබිදෙයි. 

මිනිසා සමාජ සත්ත්වයකු නිසා අපි අප අවට සිදුවන දේ දෙස බලන්නෙමු. 

මගේ බලා සිටීමට තිත තැබිණි. පෝලිම ඉදිරියට ගිය බැවින් අම්මා එන්නත ලබාගෙන පැමිණ පැවසුවේ “මට කිසි අමාරුවක් නෑ” යනුවෙනි. මම මදක් පුදුමයෙන් අම්මා දෙස බලා සිනාවක් පෑවේ සාමාන්‍යයෙන් ඇය එන්නත් විදීම යන වචනය ඇසෙද්දී පවා ඈතට දුවන නිසාය. 

මෙහි අම්මා බලා සිටියේ එන්නත ලබා ගන්නටය, මගේ අධ්‍යාපනය අවසන් වී යන තුරු මට බලා සිටීම සිදු විය. තව දුරටත් මෙහි නතර වී සිටීමෙහි අවශ්‍යතාවක් නැත. එහෙත් අතීතයේ සුන්දර මතකයන් වෙනුනේ සිත බලා සිටියි. කාලයාගේ අවශ්‍යතාව වන්නේ අනුවර්තනය වෙමින් වෙනසකට ගමන් කිරීමයි. අතීතයේ මිහිරි මතකයන් ගොන්නක් අතර දෝලනය වෙමින් ආපසු එන මට සිතුනේ ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස්වීම නොවේද යන්නයි.

Vaccine For Mother

அம்மாவுக்குத் தடுப்பூசி

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts