අභියෝගවලට අභියෝග කළ විසිවසරක මාධ්‍ය චාරිකාව
ක්‍රිෂ්ණි කන්දසාමි ඉෆාම්
ලෝකයේ ඕනෑම පෙදෙසක ජනමාධ්‍යවේදියෙකු ලෙස වැඩ කිරීම අභියෝගාත්මක විය හැකිය. ඔබ කාන්තාවක් නම් එය ඊටත් වඩා අභියෝගාත්මක විය හැකිය. මන්ද එහි බල ස්ථරයේ ආධිපත්‍යය පිරිමින් දරන බැවිනි.
ශ්‍රී ලංකාවේ කුරිරු යුද්ධය පවතින අතරතුර මම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දෙමළ පුවත්පත සමඟ මාගේ මාධ්‍ය ගමන ආරම්භ කළෙමි. මා 1993 සිට වසර 14 ක් පූර්ණ කාලීන කාර්යාල වාර්තාකරුවෙකු ලෙස සේවය කර ඇත. තවද, යුද්ධය මධ්‍යයේ බිම් මට්ටමට ගොස් ප්‍රවෘත්ති ආවරණය කළ පළමු කාන්තා මාධ්‍යවේදිනිය වීම ගැන මම ආඩම්බර වෙමි. ප්‍රවෘත්ති ලිපියක් සඳහා ඕනෑම ආකාරයක අභියෝගයකට මුහුණ දීමට මම සූදානම්ව සිටියෙමි. පැහැරගැනීම් හා බිය ගැන්වීම් ද මම අත්දැක ඇත්තෙමි. යුද කලාපයේ බොහෝ වින්දිතයින් සහ ප්‍රතික්ෂේප වූ අයගේ හඬ මා හරහා පිටතට පැමිණ ඇත.
කාන්තා මාධ්‍යවේදිනියක ලෙස මා වසර විස්සකට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ගත කර ඇත. නමුත්, මුලදී මා මාධ්‍යයට සම්බන්ධ වීමට මුළුමනින්ම උනන්දු වූයේ නැත. මගේ පියා පොලිස් නිලධාරියෙකු වූ නිසා, කුඩා කල සිටම මගේ ආශාව වූයේ පොලිස් නිලධාරිනියෙකු වීමයි! මගේ පැතුම ඉටු විය.
යාපනය පොලිසියේ සේවය කිරීම සඳහා කාන්තා “උප පරීක්ෂකවරියක්” ලෙස පත්වීම ලැබුණි. කුරිරු සිවිල් යුද්ධය නිසා යාපන පොලිස් ස්ථානය එකල වවුනියාවේ ක්‍රියාත්මක විය. එම කාලය තුළ (1992-1993) මා මෙම වෘත්තිය කෙරෙහි දැක්වූ උනන්දුව හා සහභාගීත්වය අවබෝධ කරගෙන, මෙම පත්වීම ලබා දීම සඳහා අධිෂ්ඨානයෙන් සහ උන්නන්දුවෙන් කටයුතු කල අය වන්නේ උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පති ආනන්ද රාජා (හිටපු පොලිස්පති) සහ අභාවප්‍රාප්ත උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජෙයරාජන් යන මත්වරුන්ය.
එදා ඉරිදා දවසක්. ඊළඟ දවස වන සඳුදා පොලිස් පත්වීම භාර ගැනීම සඳහා සූදානම් විය යුතුව තිබුණි. නමුත් අවසානයේදී, ගැටුම් තත්ත්වය හේතුවෙන් පවුලේ සාමාජිකයින් මෙම වෘතියට අකමැත්ත ප්‍රකාශ කළහ. මට එය අත්හැරීමට බල කෙරුනි. සියල්ල කඩා වැටී තිබුණි. කුමක් කරන්න ද? කිසිවක් තේරුනේ නැත! මා අඬමින් සන්ඩේ ඔබ්සෙර්වර් පුවත්පත පෙරලුවෙමි. එවිට විශාල අකුරුවලින් දැන්වීමක් තිබුණි. “Diploma in journalism” at Aquinas College of Higher Studies in English Medium 1992-1993
පුවත්පත් ලෝකය යනු කුමක්දැයි මම නොදනිමි! එයට කිසිදු සම්බන්ධයක් නැත! නමුත් මෙම දැන්වීම නිසා මෙම ක්ෂේත්‍රය පිළිබඳව දැනගැනීම සඳහා කියවීමට මා පෙලඹුණි. අඬමින් අයදුම් කළෙමි. සාර්ථකව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළෙමි.
1993 දී වීරකේසරි හි අභ්‍යාසලාභී මාධ්‍යවේදීන් අවශ්‍යයි යනුවෙන් දැන්වීමක් පළ කරන ලදී. තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ මගින් පුද්ගලයින් 10 දෙනෙකු එකවර අභ්‍යාසලාභී මාධ්‍යවේදීන් ලෙස තෝරා ගන්නා ලදී. පළමු වරට මෙම පරීක්ෂණයෙන් කාන්තාවන් 6 දෙනෙකු තෝරා ගන්නා ලදී. මෙම පුද්ගලයින් 10 දෙනාට මාස 3 ක් කාර්යාලය තුළම විශිෂ්ට පුහුණුවක් ලබා දෙන ලදී. මෙම 10 දෙනාගෙන් මේ වන විට අමීර් හුසේන් ඇතුළු කාන්තා මාධ්‍යවේදීන් තිදෙනෙක් (මීරා ගනේසමූර්ති, දේවගෞරි, මම) පමණක් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නෙමු.
ලංකාවේ මාධ්‍ය ආයතන තම ආයතනයට කාන්තාවන් බඳවා ගන්නා විට ඔවුන් මාධ්‍යවේදීන්, සෝදුපත් කියවන්නෙකු හෝ පිටපත් කියවන්නෙකු ලෙස තම කතෘ මණ්ඩලයට ඇතුළත් කර, ඔවුන්ට එම පත්වීම ලබා දෙනු ඇත. නමුත් පළමු වතාවට වීරකේසරි ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය තුළ ඓතිහාසික වාර්තාවක් තැබුවේ කාන්තාවකට “කාර්යාල පුවත්පත් වාර්තාකරුවෙකු” ලෙස පත්වීමේ ලිපිය ලබා දෙමිනි. මෙයට හේතු වූයේ වීරකේසරි හි හිටපු ප්‍රධාන කර්තෘ සිවනේසචෙල්වන් මහතාය. මට මුලින්ම “CRIME REPORTER” යන තනතුර ලබා දුන් අතර, පසුව “DEFENCE REPORTER” තනතුර පිරිනමන ලදි. එපමණක් නොව, ප්‍රථම දෙමළ කාන්තා වාර්තාකාරිනිය ද මම වෙමි.
මා ආයතනයට බැඳෙන විට, “නඩා අයියා” ලෙස ජනප්‍රිය වූ අභාවප්‍රාප්ත හිටපු ප්‍රධාන කර්තෘ නඩරාජා මහත්මයා ප්‍රවෘත්ති කතුවරයා විය. මාගේ මාධ්‍ය ගුරුවරයා ඔහුය. මාධ්‍ය සහ එහි සූක්ෂ්ම දේ ගැන දිනපතා උගන්වීම ඔහුගේ පුරුද්දක් විය. මම ඔහු යටතේ අවුරුදු 12 ක් අඛණ්ඩව වැඩ කළා. සෑම දිනකම උතුරේ යුද්ධය පිළිබඳ ප්‍රවෘත්ති ඔහුගේ කාමරයේ ඔහුගේ මේසය මත තිබූ දුරකථනයෙන් එක්රැස් කරමි. මා දුරකථනයෙන් තොරතුරු ලබා ගන්නා අතරතුර ඔහු එම පුවත ලිවීමට පටන් ගනී. ඔහු විසින්ම සිරස්තලය ලියනු ඇත. බොහෝ අය ඔහුව හඳුන්වන්නේ ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේ වීරයෙකු ලෙස ය. මම ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තෙමි.
ප්‍රාණ ඇපකරුවන්ගේ පුවත්, වින්දිතයින්ගේ පුවත්, දේශපාලන නොසන්සුන්තාව, දේශපාලන දේශපාලනඥයන්ගේ වගවීම, මහ මැතිවරණ සහ රටේ දේශපාලන වෙනස්කම් පිළිබඳව මම වැඩි අවධානයක් යොමු කළෙමි. බෝම්බ පිපිරීම් පිළිබඳ වාර්තා කිරීමේදී මගේ පළමු අත්දැකීම වූයේ කොළඹ මහ බැංකු පිපිරීමයි. ජ්‍යෙෂ්ඨ වාර්තාකරුවන් සමඟ ගොස් නිරීක්ෂණය කරන ලෙස නඩරාජා මහත්මයා මාව එව්වා. ලේ විලක පාවෙමින් තිබූ මිනිස් සිරුර සහ ලේ දැක සිහි නැතිවීමට පෙර එළියට පැනගත්තෙමි. ඒ ලේ සහ සිරුරු මට කුමක්දෝ කළා. මා සමඟ පැමිණි අය මෙය හේතුකොට ගෙන මට විහිළු කළහ. නමුත් ඊළඟ බෝම්බ පිපිරීම් කිහිපය සිදුවන විට, මුලින්ම ගොස් පුවත් එකතු කර ගැනීමට පුලුවන්වන තරමට මම සූදානම් විය. මම කන්නේ නිර්මාංශ ආහාර පමණයි. මින් පෙර ලේ හෝ මස් දැක නැත. මෙවන් තත්ත්වයක විසිරී ඇති මිනිස් සිරුරු අතර සිටගෙන තොරතුරු රැස් කිරීම සිතාගත නොහැකිය. මගේ වෘත්තියේ කිසිවෙකුට මම යටත් නොවන බව මම තදින් විශ්වාස කළෙමි. ඒ නිසා මම සෑම දෙයක්ම විඳදරාගෙන ධෛර්යයෙන් යුතුව මගේ වැඩ කටයුතු කරගෙන ගියෙමි.
අපරාධ පිලිබඳ ප්‍රවෘත්ති ලියන විට, මම පාතාල මැර කල්ලි සම්බන්ධ ප්‍රවෘත්ති ද ලිව්වෙමි. මගේ ප්‍රවෘත්ති මගේම නමින් ‘කිරුශ්ණි කන්දසාමි’ ලෙස ප්‍රකාශයට පත් කළද, මම පිරිමි මාධ්‍යවේදියෙකු යන අදහස පාඨකයන් අතර තිබුණි. අභාවප්‍රාප්ත නඩා අයියා ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ දවසක, පාතාල මැර කල්ලි සාමාජිකයන් දෙදෙනෙක් නඩා අයියා හමුවීමට පැමිණියේ පුවත්පත් වාර්තාවක් සම්බන්ධයෙන් මා ගැන විමසීමට ය. මම එවිට නඩා අයියාගේ කාර්යාල කාමරයේ සිටියෙමි. ඔවුන් කතාව විස්තර කරමින් සිටියේ එය ලියා ඇත්තේ පිරිමියෙකු යන අදහසිනි. ඔහුව පෙන්වන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ. එවිට මා ඉදිරියේ නාඩා අයියා ‘ඔහු නිදහස් මාධ්‍යවේදියෙක්. ඔහු ෆැක්ස් මගින් පුවත් එවනවා.” යනුවෙන් කියා ඔවුන් එතැනින් පිටත් කර හැරියේය. ඉහළ නිලධාරීන් මෙසේ ආරක්ෂාව සහ සහාය ලබාදෙන්නේනම්, වැඩ කිරීම අපහසු නොවනු ඇත.
මට කියන්නට ඇත්තේ පිරිමි ආධිපත්‍යය ඇති මෙම ක්ෂේත්‍රයට මම ඇතුළු වී පිරිමින්ට සමානව හා උසස් ලෙස ක්‍රියා කළ බවයි.
මා ලියූ යුද්ධ හා ආරක්ෂක ප්‍රවෘත්ති සම්බන්ධයෙන් පොලිසිය, හමුදා සහ එල්ටීටීඊය මට එරෙහිව කිසිදු වැරද්දක් කියා හෝ චෝදනාවක් කර නැත. මා ලියන ප්‍රවෘත්ති වාර්තා හෝ ලිපි ජාතියක්, ආගමක් හෝ ප්‍රජාවක් අමනාප කිරීමට අදහස් නොකෙරේ. කිසිම බලවේගයකට වහල් නොවී, පක්ෂග්‍රාහී නොවී, නිර්භීතව නැගී සිට, සිදුවූ දේ එලෙසින්ම ලිව්වෙමි. ගැටුම් අතරතුර පොලිස්පතිවරයාගේ සහ ත්‍රිවිධ හමුදා අණදෙන නිලධාරීන්ගේ සහ එල්ටීටීඊයේ ප්‍රකාශයන් උපුටා දක්වමින් දෙපාර්ශ්වයම පවසන්නේ කුමක්ද? ඔවුන්ගේ ක්‍රියාව, ඉල්ලීම, අපේක්ෂාවන් මොනවාද? ආදී දේ ජනතාව වෙත ළඟා විය යුතුය. මම එය ප්‍රවෘත්ති හරහා ඉදිරිපත් කළෙමි. වෙන්න යන්නේ කුමක් ද? ප්‍රතිවිපාක මොනවාද? පිලිබඳව තීරණය කරන්නේ ජනතාවයි! මට එය වඩා හොඳින් කිරීමට හැකි විය.
පිරිමින් සමඟ සමානව සිටගෙන ප්‍රවෘත්ති රැස් කිරීම මගේ රාජකාරියයි. එවැනි බොහෝ අවස්ථාවන්ගෙන් එකක් බෙදා ගනිමි. 2004 දී එල්ටීටීඊය සහ රජය අතර ගැටුම උත්සන්න වීමට පටන් ගත් විට, ජූලි 25 වන දින කොළඹදී කරුණාගේ ප්‍රධාන සගයන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ පුවත විදේස් වෙබ් අඩවියක පාන්දරම කාන්දු විය. නමුත්, ස්ථානය නිශ්චිතව දක්වා නැත. පොලිස්පතිවරයා සහ හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා, නිශ්චිත ස්ථානය දැන ගැනීමට උත්සාහ කළ විට ඔවුන් කියා සිටියේ සිද්ධිය වූ ස්ථානය පිළිබඳව ඔවුන්ට ද නිවැරදි තොරතුරු ලැබී නොමැති බවයි. පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් එම ස්ථානය සොයා ගැනීමට පැය කිහිපයක් ගතවිය. කෙසේ වෙතත්, සුනඛයන්ගේ උපකාරයෙන් ඔවුහු හෝමාගම-කොට්ටාවා ප්‍රදේශය යාබද වනාන්තරය දෙසට දෙසට ගමන් කළහ. ඒ හා සමානව ඡායාරූප ශිල්පියා සහ මම කාර්යාලයේ වාහනයෙන් සිද්ධිය සිදුවූ ස්ථානය සෙවීමට පටන් ගතිමි. කෙසේ හෝ වෙහෙස මහන්සි වී එම ස්ථානය සොයා ගත්තෙමු. මහේස්ත්‍රාත්වරයා පැමිණෙන තෙක්, රහස් ප්‍රදේශයක තිබූ ඒම සුඛෝපභෝගී නිවසේ, ලේ විලක විසිරී තිබූ සිරුරු බැලීමට මාධ්‍යවේදීන්ට ඇතුළු වීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ විසින් බාධක සකස් කර තිබුණි. අපි උදේ සිට බොහෝ වේලාවක් පිටත බලා සිටි අතර ඇතුළට යාමට අවසර ලැබුණේ සවස 4 ට පමණි. ශාරීරික වේදනා සමඟ බලා සිටීමට සිදු විය.වරකට පස් දෙනා බැගින් ඇතුළට යවන ලදි. ඔවුන් සෑම කෙනෙකුම මාධ්‍යවේදීන් ද යනුවෙන් පොලිසිය සැලකුවේ නැත. බහුතර ජනවාර්ගික සහෝදරයන් පළමුව යවන ලදි. ආරක්ෂක හමුදා ජනවාර්ගික සුළුතරයේ නියෝජිතයන් ලෙස අප දෙස සැකයෙන් බැලූහ. සැකය හේතුවෙන් ඔවුන් සමහර පුද්ගලයින්ගේ හැඳුනුම්පත් ද පරීක්ෂා කළහ. රට තුළ සුලභව දක්නට ලැබූ මරාගෙන මැරෙන බෝම්බ, බෝම්බ පිපිරීම් සහ ඝාතන සිදුවීම් ඇතුළු භයානක සිදුවීම් දැක බලා ගැනීමට යන දෙමළ පුවත්පත් මාධ්‍යවේදීන් මෙසේ සැකයට භාජනය වීම සාමාන්‍ය දෙයකි.
මේ අතර පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් එහි පැමිණියේය. ඔහු මා හඳුනන කෙනෙකි. ඔහු මාව හඳුනා ගත්තා. බොහෝ පිරිමින් අතර කාන්තාවක් වීම මෙම අවස්ථාවේ ධනාත්මක දෙයක් විය. පැය කිහිපයක් එළියේ බලා සිටි අප සැමට ප්‍රවෘත්ති රැස් කිරීම සඳහා වහාම ඇතුළට යාමට ඔහු ඉඩ දුන්නේය. කාන්තාවක් වීම සැමවිටම ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කරනු ඇතැයි අප සිතිය යුතු නැත. එය ප්‍රවෘත්ති එක්රැස් කරන්නෙකු ලෙස බොහෝ අවස්ථා වලදී මා කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර තිබේ. මෙම අවස්ථා වලදී ඉතා නිර්භීතව හා ධෛර්ය සම්පන්නව ප්‍රවෘත්ති එක්රැස් කරන එකම කාන්තාව ක්‍රිෂ්ණි යැයි කියන තරමටම මම මගේ කුසලතා පොහොසත් කර ගත්තෙමි. පිරිමින්ට සමානව සහ සහමර විට ඔවුන්ට ලබා ගැනීමට මට හැකි වූ තොරතුරු පවා ලබා ගැනීමට මට හැකි විය. ඒ මගේ සිංහල හා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය හා ධෛර්යය නිසා ය. දුරකථනයෙන් පිරිමින්ට ලබාගත නොහැකි බොහෝ තොරතුරු කාන්තාවක් ලෙස මට ලැබී තිබේ. ‘කාන්තාවන් නම් වහාම ප්‍රවෘත්ති දෙයි’ යන දුර්වල මතය මම ශක්තියක් ලෙස වෙනස් කළෙමි.
ශ්‍රී ලංකාවේ අවසාන යුද්ධය 300,000 (300,000) ක් පමණ දෙමල ජනතාව මැණික්ෆාම් කඳවුර වෙත අවතැන් කර ඇති විට, ආරක්ෂක හේතුන් මත කඳවුර නිරීක්ෂනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් සීමාවන් ගණනාවක් පනවා තිබුණි. කිසිවෙකුට ඇතුළුවීමට ඉඩ නොදුන් කාලයක තොරතුරු රැස් කිරීම සඳහා වක්‍රව ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනාගෙන් මමත් එක් අයෙක් වෙමි.
මෙය අපට එරෙහි ගැටළු වලට මුහුණ දෙන විට අපට තනිවම මුහුණ දීමට සිදු වන අවස්ථා පිලිබඳවයි. 1995 දී මාවනැල්ලේ බෞද්ධ හිමි නමක්, මා ලියූ පුවතකට එරෙහිව රුපියල් ලක්ෂ 50 ක වන්දියක් ඉල්ලා, ලියාපදිංචි තැපෑලෙන් නීතිඥයෙකු මාර්ගයෙන් අපේ ආයතනයට එන්තරවාසියක් යවා තිබුණි. ආයතනයේ ඉහල නිලධාරියා මට සහ ප්‍රධාන කතෘට කතාකර, මේ පිලිබඳව අපට තදින් චෝදනා කළේය. ඉන්පසු මම මගේ ඉහල නිලධාරියාට කිව්වා “ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මම ඇත්ත ලිව්වා. මාවනැල්ල අපරාධ විමර්ශන පොලිසිය පැවසූ දේ මම එලෙසින්ම හෙළි කළා. මට ආයතනයේ වාහනය සකසල දෙන්න. මම එහාට ගිහිල්ල ප්‍රශ්නය විසඳල එන්නම්.” මම කෙලින්ම මගේ පියා සමඟ ගොස් පොලිස් නිලධාරීන් හමුවී එය සමථයකට පත් කළෙමි.
මෙම මාධ්‍ය ක්ෂේත්‍රය දැවැන්ත සාර්ථකත්වයක් සහ ජයග්‍රහණයන් පිරි එකක් බවට පත්වීම සතුටට කරුණකි. මම හිතන්නේ මේ සියල්ල විශිෂ්ට කාල පරිච්ඡේදයක්. සම්මාන, ජයග්‍රහණ, විදේශ සංචාර රාශියක් ලැබුණේ වෙහෙස මහන්සි වී වැඩ කළ නිසා සහ අවංකව වෘත්තියට ආදරය කළ නිසා ය.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කතෘ සංසදය, වාර්ෂිකව රටේ හොඳම මාධ්‍යවේදීන්ට සම්මාන ලබා දෙන සම්මාන උළලේදි, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය ඉතිහාසයේ කිසිවෙක් ලබා නැති අයුරෙන්, “හොඳම දෙමළ මාධ්‍යවෙදියා” සම්මානය නොකැඩී තුන්වරක් හිමිකර ගෙනීමේ අවස්ථාව මට ලැබුණි.
අප කෙතරම් දක්ෂ වුවත්, නැගී සිටීමට අපට ඉහළින් සිටින අයගේ සහයෝගය අවශ්‍ය බව පසුව මට වැටහුණි. ජනමාධ්‍ය තුළ දශකයකට වැඩි කාලයක් තිස්සේ, අපරාධ ප්‍රවෘත්ති, යුද්ධය, ගැටුම් සම්බන්ධ ප්‍රවෘත්ති එක්රැස් කිරිමේ කටයුතුවල බොහෝ අභියෝග පසුකර, පුවත් එක් රැස් කළ මාගේ වැඩකටයුතු, කතෘ මණ්ඩල පරිපාලනය වෙනස්වීම සමගම ප්‍රශ්නාර්ථයක් විය. කතෘ මණ්ඩලයේ සිටි ඇතෙම් පිරිමින් විශාල දෙයක් ලෙස නොසලකන ස්පර්ශ කිරීම් සහ අතගෑම්වලට බොහෝ කාන්තාවන් මුහුණ දී ඇත. කාන්තාවක් වශයෙන් මම ඔවුන්ගේ අපේක්ෂාවන්ට අනුගත වීම ප්‍රතික්ෂේප කළ නිසාත්, විටින්විට ඉහළට පැමිණිලි කළ නිසාත් මම පසෙකට තල්ලු කරන ලදී. මාස කිහිපයක් කිසිම පැවරුමක් නැති විය. මේ පිළිබඳව ඉහළට පැමිණිලි කළ විට පියවර ගන්නා බවට ඔවුහු පොරොන්දු විය. එහෙත් පිරිමි ආධිපත්‍යය අත්හැරියේ නැත. මම එම ආයතනයෙන් පිටව ගියේ මට මෙයින් පසුව එහි සිටීමට අවශ්‍ය නැති නිසාත්, මගේ රැකියාව ගැන මා සෑහීමකට පත් නොවූ නිසාත්, එක් විදේශීය මාධ්‍යයක මට හොඳ අවස්ථාවක් ලැබුණ නිසාත් ය.
වැදගත්ම දෙය නම්, මේ දක්වා කිසිදු ආයතනයක් කාන්තාවන්ට එරෙහිව ලිංගික සහ වෛරී ලිංගික ක්‍රියාවන්හි යෙදී සිටින අයව, එම කාරණය හේතුකොටගෙන නෙරපා හැර නැති වීමයි. නමුත් එතැනින් එළියට ආවේ පීඩාවට පත් කාන්තාවන් ය. සෑම තැනකම යථාර්ථය එයයි.හැරීමයි. නමුත් එතැනින් එළියට ආවේ පීඩාවට පත් කාන්තාවන් ය. සෑම තැනකම යථාර්ථය එයයි.
විදෙස් මාධ්‍ය ආයතන සමඟ වැඩ කරන අතරතුර සියලු මාධ්‍යවේදීන්ට තිබිය හැකි පීඩාකාරී කාලය තුළ මට බොහෝ වාරයක් තර්ජනය කරන ලදී. මා 2009 දී නාඳුනන පුද්ගලයින් විසින් පැහැරගෙන ගොස්, ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් කරන ලදී. නමුත්, අදත් නිදහස් මාධ්‍යවේදිනියෙකු ලෙස මම පුවත්පත්වල ලියමි.