බැති පෙම් උපදවා සත්සරය හඬවාදෙමළ උගනිති සතුට වඩවා
උපුල් තම්මිට
භාෂාව භාවිතයෙන් යමෙකු හදවතට සමීප කර ගත හැකි අන්දම පිළිබඳ බොහෝ උදාහරණ අප අතර කොතෙකුත් පවතී. එනමුදු ප්‍රාසාංගික අත්දැකීමක් හරහා තවත් බසක් ඉගැන්වීමට දැරෙන වෑයම් පිළිබඳ දේශිය උදාහරණ ගැන අප අසා දැක ඇත්තේ අල්ප වශයෙනි.
අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇදී එන විවිධ ජනවර්ගවලට සමාන සේවාවක් ලබාදීම අරමුණුකොට උපස්ථායකයින් සදහා පවත්වන පළමු දෙමළ භාෂා පාඨමාලාව ඔවුන්ගේ වෘත්තීය ගරුත්වයට මෙන්ම සමාජයට සාධාරණයක් ඉටුකිරීමට මනා පිටුවහලක් බව එහි සේවයේ යෙදෙන්නන් ගේ මතයයි. තම ආදර්ශ පාඨය වන ආරෝග්‍ය පරමා ලාභා යන්න සැබෑවක් බවට පත් කර ගැනීම පිණිස දෙවන භාෂාවක් ලෙස දෙමළ බස ඉගෙනීම මනාව උපකාරීවන බව එම රෝහලේ වෘත්තීය සමිති නායකයෙකු හා අනුරාධපුර ශික්ෂණ රෝහලේ උපස්ථායකයෙකු වන සරත් සෙනෙවිරත්න පවසයි.
‘ අපි වෘත්තීය සමිතියක් විදිහට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා රෝගීන් සමඟ නිරන්තරවම ගැටෙන අපට දෙමළ භාෂා පුහුණුවට අවස්ථාවක් ලබාදෙන්න කියල. අවසානයේ කිසිදු ගෙවීමකින් තොරව මේ පාඨමාලාව හදාරන්න අපේ සේවකයන් හාරසීයක් වැනි පිරිසකට අවස්ථාව උදාවුණා ‘ යි ඔහු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහල ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම රෝහල ය. කිලිනොච්චිය,වවුනියාව පුත්තලම,මන්නාරම, මඩකලපුව අම්පාර ආදී දුර පළාත්වල සිට බොහෝ රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර එවන අවස්ථා බොහොමයකි. සායන සදහා විශාල පිරිසක් ද මෙහි එති. මේ රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ දී රෝගීන්ට මෙන් ම රෝහල් සේවකයන්ට ද මුහුණ දීමට සිදු වූ ප්‍රධාන ගැටලුව වූයේ භාෂා බාධකය යි.
‘ඔවුන් වගේම අපිත් විශාල අපහසුතාවකට පත්වුණා. අපි කියන දේ ඔවුන්ට පැහැදිලි නැහැ. ඔවුන් කියන දේ අපිට තේරුම්ගන්න බැහැ. මේ තත්ත්වය හමුවේ දෙමළ භාෂාව දන්න අය හොයාගෙන අපිට මුළු ඉස්පිරිතාලය පුරා දුවන්නට වුණු අවස්ථා එමටයි. අපේ කණ්ඩායම් දෙකක් මේවනවිට හොඳ පුහුණුවක් ලබල තියෙනවා දෙමළ භාෂාව පිළිබඳව. දෙමළ භාෂාව කතා කරන රෝගීන්ගේ අවශ්‍යතා සිතුම් පැතුම තේරුම් ගන්න පුළුවන් විදිහේ හොඳ පුහුණුවක් අපට ලැබිල තියෙනවා. ශ්‍රී ලාංකිකයෝ විදිහට භාෂා දැනුම වැඩිකරගන්න, නිරන්තරවම පුහුණුවීම් කරන්න අපේ අය උනන්දු වුණොත් අපට මේ රටේ ඕනම රෝහලක සේවය කරන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් අපේ රටේ ජාතීන් අතර පවතින විරසකවලින් සියයට අසූවක් විසදන්න පුළුවන්‘ යැයි සරත් සෙනෙවිරත්න පවසයි.
මෙම පුහුණු පාඨමාලාවේ සම්පත් දායකයෙකු වන්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පුහුණු උපදේශකයෙකු ලෙස සේවය කරන එච්.එම්.නවාස් පවසන්නේ වාර්ගික ගැටලුවට ඇති හොඳම විසඳුම වන්නේ බහු භාෂා ඥානය වර්ධනය කර ගැනීම බවයි.
“ තිස් අවුරුදු යුද්ධයට එක් හේතු වුණේ උතුරේ අවශ්‍යතා දකුණටත් දකුණේ අවශ්‍යතා උතුරටත් නිසි ලෙස සන්නිවේදනය නොවීම.මේකට ප්‍රධාන වශයෙන් බලපෑවේ බහු භාෂා දැනුම නොමැතිකමයි. අපි එකිනෙකා අතර සබඳතා ඇතිකරගන්නනම් භාෂා දැනුම අත්‍යවශ්‍යයි.මේ තත්ත්වය ඇතිකරන්න තමයි සෑම රාජ්‍ය සේවකයෙකුටම දෙවන භාෂා ප්‍රවීණතා විභාගයක් රජය අනිවාර්ය කරල තියෙන්නෙ‘ යි ඔහු පවසයි.
සම්පත් දායකයෙකු ලෙස එච්.එම්.නවාස් දෙමළ බස ඉගැන්වීමේ දී යොදා ගන්නේ අපූරු උපක්‍රමයකි. සිය ඉගැන්වීම් කටයුතු බොහෝ විට ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් උපයෝගී කර ගෙන සිදුකරන්නට ඔහු පෙලැඹෙයි.
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුනු ආයතනයෙන්පුහුණුව ලත් සම්පත් දායකයින් විශාල පිරිසක් රට වටා රාජ්‍ය සේවයනට සිය සේවය සලසති. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් හේරත් භාෂා ඉගැන්වීම් පිළිබඳ නව පර්යේෂණ හා ක්‍රමවේද පිළිබඳ නිරන්තර උනන්දුවෙන් පසුවන්නෙකි. පොතපත, කළුලෑලි, කටපාඩම් කිරීම්, පොත්පුරවන සටහන් ආදියෙන් සමන්විත සාම්ප්‍රදායික ඉගෙනුම් ඉගැන්වීම් සංස්කෘතිය පසෙක ලා ප්‍රායෝගික ප්‍රාසාංගික අන්දමින් ඉගැන්වීම් කටුයුතු නිර්මාණයේ පුරෝගාමියා වූයේ ඔහු ය.
‘ සංගීතය කියන්නේ හරි පුදුම විශේෂ මාධ්‍යක්. ඕනෑම කෙනෙක් සංගීතයෙන් ළං කරගන්නත්, ගැටලු නිරාකරණය කරගන්නත් උපකාරී වන එය විශ්ව භාෂාවක්. මේ ක්‍රමය භාවිතයෙන් ඉතාම වේගයෙන් ඉතාම අඩු කාලවකවානුවකින් ඉහළම ප්‍රතිපල අත්කරගන්න අපට හැකි වුණා. පැය පනහක පාඨමාලා කාලයකින් උපරිම ප්‍රයෝජන අරගෙන සිසුන්ගේ මනසට වදයක් නොවන ආකාරයෙන් ඔවුන් සතුටු කරමින් තමයි මේ පාඨමාලාව පවත්වා ගෙන යන්නේ.මේ ක්‍රමය මතක ශක්තිය වැඩි කරන්නටත් උපකාරී වෙනවා‘ යි නවාස් කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ උපස්ථායකයෙකු ලෙස සේවය කරන හේමාල් සිය ප්‍රථම පත්වීම ලැබ පොලොන්නරුවේ සිට අනුරාධපුරයට පැමිණි ළා බාල රාජ්‍ය සේවකයෙකි. දෙවන බසක් පිළිබඳ නොදැනුම්වත්කම හේතුවෙන් ඔහුගේ රැකියාව පැවතියේ අවිනිශ්චිත පසුබිමක ය.
‘මං පොලොන්නරුව ගොවි ගමක ඉපදිල සිංහල මාධ‍්‍යයෙන් අධ්‍යාපනය හදාරල තමයි උපස්ථායකයෙකු ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්වන්නේ. දෙමළ භාෂාව පිළිබඳ කිසිම දැනුමක් මට තිබුණෙම නැහැ.ඉඳල හිටල පොලොන්නරුවෙ කඩවීදියට ගියාම තමයි දෙමළ වචනයක් හරි ඇහෙන්නේ. රස්සාවට සම්බන්ධවුණාම මගේ පළවෙනි පත්වීම ලැබුණෙ අනුරාධපුර ශික්ෂණ රෝහලට. නේවාසිකව වගේම සායනික ප්‍රතිකාර ලබාගන්නත් දෙමළ භාෂාව කතාකරන රෝගීන් විශාල පිරිසක් එනවා ඈත පළාත්වලින්. ඒ අය ආපුවාම හරිම අමාරුයි ඔවුන්ගේ අදහස් තේරුම් ගන්න.දෙමළ දන්න කියන අපේම සහෝදරයෙක් හොයාගෙන යන්න ඕන කියන දේ පරිවර්තනය කරගන්න. විශේෂයෙන්ම රාත්‍රී සේවාමුරයේදී දෙමළ භාෂාව කතාකරන නේවාසික රෝගීන්ගේ කටයුතු කිරීමේදී තමයි ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්නේ‘ යි හේමාල් කියයි.
‘ හදිසියේ හරි උතුරු නැගෙනහිරට ස්ථාන මාරුවක් ලැබුණොත් මොකද කරන්නෙ කියල හිතා ගන්නවත් බැරිවයි මං හිටියේ‘ යි හේමාල් සිය අතීතය හෙළි කරයි.
‘ අදවෙනකොට මගේ දැනුමට තවත් යමක් එකතුකරගන්න ලැබීම ගැන මං සතුටු වෙනවා. මගේ වෘත්තියත් සමඟ ලංකාවේ ඕනම රෝහලක සේවය කරන්න මට පුළුවන් කියලා දැන් විශ්වාසයක් තියෙනවා. රෝගියෙකු එක්ක කටයුතු කරන්න අවශ්‍ය දෙමළ භාෂා දැනුම මට දැං තියෙනවා. භාෂා ප්‍රවීණතා විභාගය සමත් වුණාම වැටුප් වර්ධකයක් හිමිවෙනව කියල ආරංචියි. වැටුප් වර්ධකයට වැඩිය මට මේ සුදුසුකම වටිනවා. මං එතනින් නැවතුණේ නෑ. නිරන්තරවම තවදුරටත් දෙමළ භාෂාව පිළිබඳ උනන්දුවෙන් හදාරනව. වෙළඳනාම පුවරු කියවනවා. ද්‍රවිඩ ගීත රස විඳිනවා. අතට අහුවෙනදෙමළ පත්තර කෑලි කියවනවා.මට දැං හිතෙනව දෙමළ භාෂාව ගැන මට තිබුණෙ අනවශ්‍ය බයක් කියල‘ යි හේමාල් පවසන්නේ මඳහස රැඳි මුවගිනි.
This article was originally published on the catamaran.com