සමාජ

නොසන්සුන්තාවට පිළිතුර විවිධත්වය පිළිගන්නා සමාජයක් ඇති කිරීමයි

ගයාන් යද්දෙහිගේ

ජාතික සමඟිය ඇති කිරීමේ ක්‍රියාකාරිකයෙකු ලෙසත් වෘත්තීය සමිති නායකයෙකු ලෙස සේවක අයිතිවාසිකම් දිනා දීම පිණිසත් දශක තුනක පමණ කාලයක් තිස්සේ කටයුතු කරන ගාමිණි ජයවීර, මහනුවර අන්තර් ආගමික කමිටුවේ වත්මන් කැඳවුම්කරුයි. රටේ සමස්ත ජනතාව අතර සාමය හා සංහිඳියාව අගයන 95% ක පමණ පිරිසක් සිටියත් අන්තවාදී කණ්ඩායම් පරාජය කිරීම පිණිස වන සාම ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට නිසි වැඩපිළිවෙළක් තවමත් නොමැති බව ඔහු පවසයි.

අන්තර් ආගමික කමිටුව පිහිටුවීමේ අරමුණ කුමක්ද?

මහනුවර සිංහල,දෙමළ,මුස්ලිම් හා බර්ගර් කියන සියලු ජනතාව ජීවත්වන සුවිශේෂි ප්‍රදේශයක්. බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාලිගාව වගේම මල්වතු අස්ගිරි උභය මහ විහාර මෙහි පිහිටලා තිබෙනවා. සතර මහ දේවාල වගේම පුල්ලෙයාර් කෝවිලත්, මුස්ලිම් පල්ලි හතරකුත්, කතෝලික දේවස්ථාන දෙකකුත් මහනුවර කේන්ද්‍රීයව පවතිනවා. ජාතීන් අතර සාමය, සමඟිය හා සංහිඳියාව මහනුවරට අත්‍යවශ්‍යයි. ජාතික,ආගමික හා සංස්කෘතික වශයෙන් ගත්තම ගතානුගතික මතවාද පදනම් කරගෙන හිතන පතන මිනිස්සු මහනුවර වැඩියි. මේ සියලු ජාතීන් එකට ජීවත් වුණත් එක් ජාතියක් තවත් ජාතියක් දෙස සැකයෙන් බලන තත්ත්වයක් මෙහි තිබෙනවා. මේ නිසා ඕනෑම කෙනෙකුට එක් ජාතියකට එරෙහිව තවත් ජාතියක් අවුස්සවා ගැටුමක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. මෙයට වසර දෙකකට පමණ ඉහතදී දිගන කේන්ද්‍ර කර ගනිමින් ඇතිවූ සිද්ධිය ඊට උදාහරණයක්. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා එකට ජීවත් වන මහනුවර ජාතීන් හා ආගම් අතර සාමය,සංහිඳියාව ඇති කරන්න අපි මේ අන්තර් ආගමික කමිටුව හැදුවා.

පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් ඇතැම් පිරිස් තමන් ඉස්ලාම් අන්තාවාදී සංවිධාන සමඟ තමන් අත්වැල් බැඳගැනීමට දිගන සිදුවීම ද බලපෑ බවට ප්‍රකාශ කර තිබුණා නේද?

අන්තවාදය පෝෂණය කරන්නේ අන්තවාදයමයි. සිංහල බෞද්ධ ජනතාව අතර සිටින සුළු පිරිසක් අන්තවාදීන් ලෙස හැසිරෙන විට මුස්ලිම් ජනතාව අතර අන්තවාදී සුළු පිරිස ඊට ප්‍රතිචාර දක්වනවා. මේ ඔස්සේ ඇතිවන ගැටුම නිසා මධ්‍යස්ථ ජනතාවට හිරිහැර පීඩා සිදුවන විට ඔවුන් නොදැනුම්වත්වම මධ්‍යස්ථයේ සිට අන්තවාදය වෙත ටිකෙන් ටික තල්ලු වෙනවා. දෙපාර්ශවයම නියෝජනය කරන අන්තවාදී කණ්ඩායම් වලට අවශ්‍ය මේ මැද ඉන්න පිරිස තමන්ගේ අන්තය වෙත ගෙන්වා ගැනීමටයි. එය කළ හැක්කේ තමන්ගේ ජාතියට හා ආගමට තවත් පිරිසකගෙන් හිරිහැරයක් පීඩාවක් සිදුවන බව ඒත්තු ගැන්වීම තුළිනුයි. දිගන සිදුවීමේදී සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම් මුස්ලිම් ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන පමණක් නොවෙයි නිවාස ද පහරදී විනාශ කළා. මේ තුළින් මුස්ලිම් ජනතාව අතර සිටි තරුණ කණ්ඩායම් වලට යම් උත්තේජනයක් ලැබෙන්න ඇති අන්තවාදයට තල්ලු වීම සඳහා. පාස්කු ඉරිදා ප්‍රහාරයේදී සිංහල බෞද්ධ මධ්‍යස්ථ ජනතාව අතර සිටි තරුණ කණ්ඩායම්වලටත් ඒ උත්තේජනයම ලැබුණා.

මෙතන තිබෙන්නේ තමන්ගේ ජාතිය හා ආගම මුල්කර ගෙන පාලනය බලය ලබා ගන්න උත්සහ කරන පිරිසකට සහාය දීමක්

මේ ජාතිවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයට යටින් දේශපාලන හස්ත ක්‍රියාත්මක වෙන බවට චෝදනා නැඟෙනවා?

පැහැදිලිවම. වෙනත් ජතීන් ගෙන් සිංහල ජනතාවට සිදුවන ප්‍රශ්නවලට මැදිහත් වීම තමයි අපි කරන්නේ කියලා මහසොහොන් බළකාය වගේ සංවිධාන පවසනවා. ඒක හාස්‍යයට ලක්වන කතාවක්. ලංකාවේ 72% ක් ඉන්නේ සිංහල බෞද්ධ ජනතාවයි. මහ ජාතිය කියලා ඒ ගොල්ලෝ හඳුන්වන්නේ සිංහල ප්‍රජාවයි. මා දන්න විදිහට සුළු ජාතීන්ගෙන් එහෙම තර්ජනයක් මහ ජාතියට එල්ල වෙලා නැහැ. සහරාන් ඇතුළු ත්‍රස්තවාදී කල්ලිය කතෝලික දේවස්ථානවලට හා ප්‍රධාන හෝටල් කිහිපයකට ප්‍රහාර එල්ල කළා. ඒ සිද්ධිය හැරෙන්න හැරෙන්න මා දකින්නේ නැහැ මුස්ලිම් ජනතාව ගෙන් සිංහල ජනතාවට තර්ජනයක් එල්ල වෙනවා කියලා. දෙමළ ජනතාව ගැන වුණත් කියන්න තිබෙන්නේ එයයි. රටක මහ ජාතියට විරුද්ධව සුළු ජාතියකට එහෙම නැගී සිටින්න පුළුවන්කමක් නැහැ. මෙතන තිබෙන්නේ තමන්ගේ ජාතිය හා ආගම මුල්කර ගෙන පාලනය බලය ලබා ගන්න උත්සහ කරන පිරිසකට සහාය දීමක්. විද්‍යාත්මකව කිසිදු අයුරකින් තහවුරු කර නොමැති වඳ පෙති කතාවක් ගෙනත් මුස්ලිම් ජනතාවට චෝදනා කළා. මේක පිටුපස වෙළෙඳ ප්‍රජාව වගේම දේශපාලන වුවමනා ද ක්‍රියාත්මක වුණා. ජාතිවාදය අවුස්සලා සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද ටික ගන්න සැලසුමක් තිබෙනවා. බොදු බල සේනාව වගේ සංවිධානවල හිමිවරුන්ට පාර්ලිමේන්තු යන්න පාර කැපීමක් වෙන්නත් පුළුවන්. එහෙම අත්දැකීම් අපට ඉතිහාසයේ තිබෙනවා.

යම් පුද්ගලයෙකු තමන්ගේ ජාතියට හා ආගමට ආදරය කිරීම වරදක්ද?

රට දෙකට තුනට කැඩිලා ජාතීන් වශයෙන් වෙන් වුණොත් මේ රට නැවත ගොඩ ගන්න බැහැ. මේ දෙස දූරුදර්ශීව බලන්න ඕන. තමන්ගේ ජාතිය තමන්ට උසස්. තමන්ගේ ආගම තමයි තමන්ට වටින්නේ. ඒක වරදක් නැහැ. මා හිතන්නෙත් එහෙමයි. තමන්ගේ ජාතිය උසස් කියලා අනෙක් ජාතීන් කොන් කරමින් පීඩාවට පත් කරන්න කාටවත් බැහැ. ඕනෑම අයෙකුට තමන් කැමැති ආගමක් අන් අයට පීඩාවක් නොවන ලෙස ඇදහීමේ නිදහස තිබෙනවා. ඒකට බාධා කරන්න කාටවත් අයිතියක් නැහැ. තමන්ගේ ආගමට හා ජාතියට ආදරය කරන තුර අනෙක් ජාතීන්ට හා ආගමිකයින්ට වෛර කිරීම තමයි ප්‍රශ්නය. අපි ඒක තේරුම් ගන්න ඕන.

ජාතික සමඟිය ආරක්ෂා කිරීම පිණිස වගකීමෙන් මාධ්‍ය භාවිත කරන්න සෑම මාධ්‍ය ආයතනයකටම යුතුකමක් තිබෙනවා. අද ඒ යුතුකම ඇතැම් මාධ්‍ය මගින් ඉටු වන්නේ නැහැ.

ජාතික සමඟිය ගොඩනැගීමේ කාර්යයේදී ජනමාධ්‍යවලට විශාල කාර්යභාරයක් තිබෙනවා නේද?

අද සමාජ මාධ්‍යය ජනතාව අතර ගොඩක් ප්‍රචලිතයි. අන්තවාදී කණ්ඩායම් මේ මාධ්‍ය ඔවුන්ගේ අදහස් ප්‍රචාරණය කිරීමට බහුලව යොදා ගන්නවා. ජත්‍යන්තර මට්ටමින් මේවන විට මෙම ගැටලුව සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙනවා. අපේ රටේ පෞද්ගලික මාධ්‍ය බොහොමයක් ක්‍රියාත්මක වන්නේ දේශපාන න්‍යාය පත්‍රවලට අනුවයි.ඔවුන් සිංහල බෞද්ධ ජනතාවගේ හැඟීම් ඇවිස්සීම පිණිස ජාතිවාදය පදනම් කරගත් ප්‍රවෘත්ති නිර්මාණය කරමින් විකාශනය කරනවා. දැන් බලන්න කඩු හා පිහි හම්බ වුණේ මුස්ලිම් පල්ලි දෙකකින්. මාධ්‍යය වලින් පෙන්නුවේ ලංකාවේ තියෙන පල්ලි ඔක්කොමගේම පිහි, කඩු තිබුණා වගේ. වෛද්‍ය සාෆිගේ ප්‍රශ්නයත් එහෙමයි. ඇත්තටම අපේ රට විද්‍යාත්මකව වැඩ නොකරන තත්ත්වයක් තිබෙනවා. ඇතැම් ජනමාධ්‍ය ඒක ප්‍රයෝජනයට අරන් ජනතාව නොමඟ යවනවා. ජාතික සමඟිය ආරක්ෂා කිරීම පිණිස වගකීමෙන් මාධ්‍ය භාවිත කරන්න සෑම මාධ්‍ය ආයතනයකටම යුතුකමක් තිබෙනවා. අද ඒ යුතුකම ඇතැම් මාධ්‍ය මගින් ඉටු වන්නේ නැහැ. ජනමාධ්‍යවේදියෙකුට පක්ෂයක් තිබෙන්න පුළුවන්. නමුත් ඔහුට තමන්ගේ මාධ්‍යය භාවිතාවේදී ඒක ඉස්මතු කරන්න බැහැ. අද අමු අමුවේ මාධ්‍යවේදීන් දේශපාලනඥයින්ට හා පක්ෂවලට කඩේ යනවා. සත්‍යයට ගරුකරන නීතියට අවනත පුරවැසියන් බිහිවන්නේ ජනමාධ්‍ය හරියට ක්‍රියාත්මක වුණොත් පමණයි. අපේ රටේ මාධ්‍ය භාවිතයේ පවතින අඩුපාඩු නිවැරදි නොවන තෙක් මේ රට කුමන අංශයෙන්වත් ඉදිරියට ගෙනයන්න බැහැ. අද මනුෂ්‍යත්වය මුල්කරගෙන ලෝකය ඉදිරියට යන්නේ. ජාතිය හෝ ආගම මුල්කර ගෙන නොවේ. මේක මේ රටේ මාධ්‍යය දැන ගන්න ඕන.

ප්‍රශ්නයකට විසඳුම් සෙවිය යුත්තේ තවත් ප්‍රශ්නයක් ඇති නොවන විදිහටයි.

ජාතිය හා ආගම පදනම් කර ගනිමින් පක්ෂ හා පාසල් බිහිව තිබෙනවා. සමඟියට බාධාවක් බව කිමින් මේවා සම්බන්ධවත් දැඩි විවේචන එල්ල වෙනවා?

ජාතිය පදනම් කර ගනිමින් පක්ෂ හා පාසල් බිහිවෙලා ඉවරයි. මේවා අහෝසි කළ යුතු බව කතා කරන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ. ඉදිරියට ජාතිය,වර්ගය පදනම් කරගෙන පක්ෂ හා පාසල් බිහි කිරීම වලක්වන්න හැකියාව තිබෙනවා. අපි කතා කළ යුත්තේ ඒ සම්බන්ධව මිස පවතින ඒවා වෙනස් කිරීමට නොවෙයි. ප්‍රශ්නයකට විසඳුම් සෙවිය යුත්තේ තවත් ප්‍රශ්නයක් ඇති නොවන විදිහටයි. ජාතිය, කුලය, ගම, නගරය පදනම් කරගෙන කටයුතු කරන්න ගියොත් අපි රටක් විදිහට ලෝකය ඉදිරියේ ප්‍රතික්ෂේප වෙනවා. එකිනෙකාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිමින් අපි හැමෝම එක තැනකට එකතු වෙන්න ඕන.

සියලු ජාතීන් යටත් වන පොදු නීතියක් රටට අවශ්‍ය බව කියනවා නේද?

මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධව ප්‍රශ්න තිබෙනවා. අද මුස්ලිම් සමජය තුළ මේ ගැන කතා බහක් ඇතිව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එකට ජීවත් වන විට සියලු ජාතීන් තම තමන්ගේ ජාතික,ආගමික හා සංස්කෘතික අන්‍යන්‍යතා සමඟ ජීවත් වෙනවා. මුස්ලිම් ජාතිකයෙක් මිය ගියාම පැය 24 ක් ගත වෙන්නට මත්තෙන් වළලනවා. දේහය තැන්පති කරන්නේ පල්ලියෙන් දෙන කූඩයක. මේ ගැන සිංහල සමාජය ප්‍රශ්න කරන්නේ නැහැ. වයස අවුරුදු 18 ට අඩු ගැහැනු දරුවන් විවාහ කර දීම සම්බන්ධයෙන් විවේචන තිබෙනවා. අන්‍යන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි බුර්කාව පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. බුර්කාව තහනම් කළ දවසේ පටන් නිවසින් පිටතට නොඑන මුස්ලිම් කාන්තාවන් අපේ රටේ ඉන්නවා. මේවා ගැන පුළුල් කතිකාවක් අවශ්‍යයි.තවත් ආගමක් විවේචනය කළ යුත්තේ හරිහැටි කරුණු දැන ගෙනයි. අද අනෙක් අයගේ ආගම් ගැන කතා කරන බොහෝ දෙනෙකු තමන්ගේ ආගමවත් හරියට දන්නේ නැහැ. ප්‍රධාන සංස්කෘතිය තුළ උප සංස්කෘතීන් පවතින විට සංස්කෘතික නොසන්සුන්තාවක් ඇති වීමේ අවධානමක් තිබෙනවා. එය නැති කළ හැක්කේ විවිධත්වය ඉවසීම නොව පිළිගන්නා සමාජයක් ඇති කිරීමෙන් පමණයි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts