“බොන්න සල්ලි තිබුණට, ගෙදර වියදමට සල්ලි නැද්ද?”
විවේක් (එම්. විවේකානන්දන්)
මාධ්‍ය වාර්තා කළේ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තම තමන්ගේ නිවෙස්වල හුදෙකලා කිරීම හේතුවෙන් ගෘහස්ථ ප්රචණ්ඩත්වය උග්‍ර වීම නිසා කොළඹ ජාතික රෝහලට 150 දෙනකු ඇතුළත් කළ බවයි.
මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රධාන ගැටලුවකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සාමාන්‍යයෙන් වැඩි වශයෙන් ගොදුරු වන්නේ කාන්තාවන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වාර්තා කරන්නේ එයට ගොදුරු වූවන්ගෙන් තුනෙන් පංගුවක්ම අපයෝජනයට පත් වන්නේ ඔවුන්ගේ සමීපතමයන් අතින් බවය. මේ කොරෝනා ආසාදනයෙන් පසු එවැනි සිදුවීම් විශාල වශයෙන් වර්ධනය වී තිබේ. මේ තොරතුරු පොලීසියෙන් මෙන්ම සෞඛය දෙපාර්තමේන්තුව යන ආයතනද්වයෙන්ම ලබා ගත් ඒවාය.
ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින්නේ කොරෝනා වසංගතයේ තෙවැනි රැල්ලෙහිය. එය පාලනයට රජය විසින් සංචාරය සහ සංචරණය සඳහා සීමා පනවන ලදී. කෙසේ වෙතත් මේ සීමාකිරීම් දිගු කාලයක් පුරා පැවතුණහොත් පවුල් තුළ විවිධ ගැටලු පැන නැඟිය හැකිය. මෙයද කොරෝනාවේ අතුරු ආබාධයකි.
නිවෙස්වල රෝගීන් සිටිනවා විය හැකිය. දරුවන් දවස පුරාම නිවෙසේ තබාගැනීම, ආර්ථික තත්ත්වයේ උච්චාවචනයන්, සම්පූර්ණයෙන් අලුත් පරිසරයකට මුහුණ දීම, නුහුරු නුපුරුදු දේවලින් යථා තත්ත්වයට පැමිණීම සහ වසංගතයන් මානසික සෞඛ්‍ය සේවාවන්හි අවශ්‍යතාව වැඩි කරයි. මරණය, හුදෙකලාව, ආදායම් අහිමි වීම සහ භීතිය මානසික තත්ත්වයන් උත්තේජනයට හෝ එවැනි ස්වභාවයක් පවතින අයගේ තත්ත්වය දරුණු කිරීමට හේතු වෙයි. නින්ද නොයෑම (අතන්ද්‍රතාව) හෝ කාංසාව නිසා බොහෝ දෙනා මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලට දෙසට නැඹුරු විය හැකිය.
ඉහත ප්‍රවෘත්තියේ ගෘහස්ථ ප්රචණ්ඩත්වය නිසා රෝහල් ගත කළ 150 දෙනාගෙන් 112 දෙනකුම පිරිමින්ය. එයින් 42 දෙනකු කාන්තාවන්ය. කොළඹ ජාතික රෝහල ද වාර්තා කළේ එක් පුද්ගලයකු සිය දිවි නසාගෙන ඇත්තේ පවුල් ආරවුලක් නිසා බවය. එනිසා ඇතැම් සිදුවීම්වල දී කාන්තාවන් මෙන්ම පිරිමින්ද මෙයට ගොදුරු විය හැකිය.
බිරිය සමඟ රණ්ඩු කරන ස්වාමි පුරුෂයා ඇයට පහර දීමට උත්සාහ කරන විට වැඩුණු දරුවන් මව රැක ගැනීම සඳහා පියාව වළක්වනු ඇත. ඒ කුමක් වුවත් මෙහිදී එක් දෙයක් පැහැදිලිය; පවුල තුළ ආරවුල් වැඩි වෙමින් තිබේ.
කොරෝනා වාතාවරණය ආර්ථික පසුබෑමකටද හේතු වී ඇත. දිනපතා මහන්සි වී වැඩ කරන, මත්පැනට ඇබ්බැහි වූ අය ඔවුන්ගේ දිනපතා ක්‍රියාකාරකම් අඩාළ වූ විට නොඉවසිලිමත් වේ. ඒ නිසා නිවෙසේ ඇති වන සුළු බහින්බස් වීමක් විශාල ගැටුමක් බවට පෙරළේ.
කිලිනොච්චියේ ස්වයං රැකියාවක නියුතු අයෙකුගේ ව්‍යාපාරවලට මේ කොරෝනා සමයේ දැඩි අයහපත් බලපෑමක් එල්ල විය. පිය පුතු අතර කතාබහක් ඇති වුණේ පුතා පියාගේ සුළු ආදායමෙන් ඉතිරිව තිබූ මුදල් ද නාස්ති කළ බැවිනි. ඊට ප්‍රතිචාර ලෙස පුතා ඔහුගේ පියා මියයන තුරුම දැඩි සේ පහර දුන්නේය. පවුල් ආරවුල් නිසා තමන්ගේ දරුවන් සමඟම සියදිවි නසා ගන්නා කාන්තාවන් පිළිබඳවද තවත් බොහෝ වාර්තා ඇත.
පෙර කළ ඇතැම් අසම්මත කටයුතු නිසා ද සැමියා සහ බිරිඳ අතර ප්‍රශ්න මතු වේ. කෙසේ වෙතත් මේ කොරෝනා ව්‍යසනය තුළ මතුව ඇති ප්‍රධානම ගැටලුවක් වන්නේ මේ මානසික පීඩාවයි. ආර්ථිකය මේ මානසික අර්බුදයට මූලික හේතුවයි. එය නිරන්තර ප්‍රචණ්ඩත්වයට හේතුවන මතභේදයන්ට මඟ පාදයි.
එමෙන්ම අද වාතාවරණය අනුව සැමියන්ගෙන් බිරින්දෑවරුන් නිරන්තර විමසන්නේ “බොන්න සල්ලි තියෙනවා නම් ගෙදර වියදමට නැත්තේ ඇයි?” යනුවෙනි. ආදායම් නැති වීම සහ වෙනදා මෙන් තමන් කැමැති පරිදි නිදහසේ එළි පෙහෙළියට යෑමට නොහැකි වීමෙන් පිරිමින්ට ආතතියට පත්වී ඇති සෙයක් හැඟෙනු ඇත. ඇතැම් පිරිමින් පවසන්නේ ඔවුන් මත්පැන් සොයන්නේ ආතතියෙන් මිදීමට බවයි. මේවා පර්යේෂණය කළ යුතුව ඇති කරුණුය.
කොරෝනා පාලන සමය තුළ රට පුරා මත්පැන් අලෙවි සැල් වසා ඇත. එහෙත් වන්නි කලාපය වැනි ස්ථානවල හොර ‘කසිප්පු’ (සඳඑළිය) නීතිවිරෝධීව නිෂ්පාදනය කෙරෙන අතර හොර රහසේ පුළුල් ලෙස අලෙවි කෙරෙයි. ඊටත් වඩා සරුවට ගංජා අලෙවිය බොහෝ පෙදෙස්වල සිදු වේ. මහජනතාව පොලීසියට දැන්වූවද මත්ද්‍රව්‍ය විකුණන්නන්ට සහ ජාවාරම්කරුවන්ට එය කළ අය පිළිබඳ තොරතුරු දැනගැනීමේ අවකාශය තිබේ. මත්ද්‍රව්‍ය විකුණන්නන් සහ ජාවාරම්කරුවන් විසින් තොරතුරු සපයන්නා ඉලක්ක කරනු ලබයි. ඇතැම් නීති විරෝධී කටයුතු පිළිබඳ මහජනයා නොතකා සිටින්නේ පළිගැනීම්වලට ඇති බිය නිසාය.
දරිද්‍රතාව, බීමත්කම සහ නූගත්කම අඩු ආදායම් ලාභී බොහෝ දෙනා එදිනෙදා වැඩ කරන ජීවත්වන ප්‍රදේශවල තීරණාත්මක ලක්ෂ්‍යයට පැමිණ ඇත. කොවිඩ් -19 පවුල්වල සහ පුද්ගලයන්ගේ බොහෝ වේදනාවන්ට හේතු වී තිබේ. කොරෝනාවෙන් ජීවිතයට ඇති වූ වෙනස්කම් එක්සත් ජනපදයේ පවා ගෘහස්ථ හිංසනය ඉහළ දැමීමට හේතූ වී ඇතැයි සමීක්ෂණවලින් පෙන්වා දෙයි.
සුපුරුදු ආකාරයෙන්ම හේතු ලෙස දක්වා ඇත්තේ ආදායම් අහිමි වීම, යහළු මිත්‍රාදීන් සහ නෑදෑයන් හමු නොවීමෙන් ඇතිවන ආතතිය සහ ඇබ්බැහියයි. මෙහිදී අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ මේ ජීවිතය වෙනස් කරන අත්දැකීම නිසා ඇතිවන ආතතිය පිළිබඳවයි.
මේ වාතාවරණය බිය, නොරිස්සුම්ගතිය, විඩාව සහ කාංසාව ඇති වීමට හේතු වේ. මේවා පොදු හැඟීම් බවට පත්ව තිබේ. රට වසා දැමීම නිසා පවුලේ සියලුම සාමාජිකයන් එක නිවෙසක කොටු වූ විට, ඔවුන්ගේ ජීවන රටාවට වියවුල් වී, මූලික තාවකාලික අපහසුතාව සන්සිඳී යන අතර පැරැණි සහ නව ගැටලු මතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මතුවන පුද්ගලාන්තර ගැටලු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට හේතු වෙයි. මනෝවිද්‍යාඥයකු වන වෛද්‍ය සිවයෝගනාදන් ඔහුගේ ‘කොවිඩ් ආසාධනය පැතිරීම නිසා ජීවිතයේ ඇති වූ වෙනස් කම්’ ලිපියේ පවසා ඇත.
රජයේ වගකීම වන්නේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ගන්නා මිනුම් දඬු සමඟ මෙවැනි කරුණු පිළිබඳ හෙළිදරවු කරගැනීම මෙන්ම ඒවාට ආමන්ත්‍රණය කළ හැකි යාන්ත්‍රණයක් ගොඩ නැඟීමයි. වෙනත් බොහෝ රටවල කොරෝනා ආසාදිත කර්මාන්තකරුවන්ට සහනාධාර සැපයීමේ ක්‍රමවේදයක් සකසා ඇත. එවැන්නක් ලංකාවේ ක්‍රියාත්මකව නැත. රජය පවසන්නේ එමඟින් දුප්පතුන් සඳහා වන රුපියල් 5000/- දීමනාව වෙනුවෙන් රුපියල් බිලියන 30 වෙන් කොට ඇති බවයි. (https://www.virakesari.lk/article/106844)
මේ දීමනාව ලබා දෙනුයේ සමෘද්ධි ප්‍රතිලාභය ලබන පවුල්, අඩු ආදායම්ලාභී පවුල්, වයෝවෘද්ධ දීමනාව ලබන පවුල්, ආබාධිත දීමනාව ලබන පවුල්, සහ වකුගඩු රෝග දීමනාව ලබන පවුල් වශයෙන් ඛාණ්ඩ හතකටය. මෙය පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව අනුව ප්‍රමාණවත් නොවන බවට ද ජනතාව මැසිවිලි නඟයි.
කොරෝනා සමය යනු යම් විශේෂිත කාල වකවානුවකදී නිමා වවන ගැටලුවක් නොවේ. වසර ගණනාවකට ඇදී යන්නකි. නැතහොත් එසේ අඛණ්ඩව යෑමට සූදානම්ය. ජනතාව මේ වෙනස් වූ ජීවිතයත් සමඟ ගනුදෙනු කරන ආකාරය පිළිබඳ අවබෝධය ලබා ගැනීම අවශ්‍යය.
සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ කොරෝනා සමයේ අධ්‍යාපනික පුහුණුවයි. මේවා ගුරුවර ගුරුවරියන් අතර මෙන්ම සිසුසිසුවියන්ගේ ද ආතතියට හේතු වෙමින් පවතිතැ’යි වාර්තා වේ. වැසුණු පාසල් සමඟ ශ්‍රී ලංකාවේ දැන් ඊ-අධ්‍යාපනය මෙහෙයවෙමින් පවතී. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව සිසුන් සහ ගුරුවරුන් නිසි නියාමනයක් නොමැතිකම නිසා අසහනයෙන් (විෂාදයෙන්) පෙළෙන අතර මේ පිළිබඳ පැමිණිලි ද වාර්තා වී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනික ක්‍රියාකාරකම්වල නිරත වීමේදී සිසුන්ට පාසල් නිල ඇඳුමින් සැරසීමට මෙන්ම ගුරුවරුන්ගේ නිල ඇඳුම් පිළිබඳවද බල කෙරෙන බවට චෝදනා කරමින් පැමිණිලි ලැබී ඇත.
අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ මෙවැනි සිදුවීම් ඇති වීම වැළැක්වීමට පාසල්වල විදුහල්පතිවරුන් සහ උපවිදුහල්පතිවරුන් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. සිසුන්ගේ අධ්‍යාපනික පුරුදු නියාමනය අනිවාර්ය අතර මාර්ගෝපදේශ ස්ථාවරව පැවතිය යුතුය.
මිනිසුන් කොරෝනා ව්‍යාප්තියෙන් තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වැදගත් වනවා සේම ජනතාව කොරෝනා සමයේ අතුරු ආබාධයක් වන ආතතියෙන් තම තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමත් වැදගත්ය.
“සමස්ත සුවතාවට මෙන්ම යහපැවැත්මට සම්පූර්ණයෙන්ම මූලික වන්නේ යහපත් මානසික සෞඛ්‍යයයි” යනුවෙන් පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ආචාර්ය ටෙඩ්රොස් ඇඩනොම්ය. “කොවිඩ් -19 ලොව පුරා මානසික සෞඛ්‍ය සේවා අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කර තිබෙනවා. ලෝක නායකයන් වේගවත්ව සහ තීරණාත්මක ලෙස දිවි රැකගැනීමේ මානසික සෞඛ්‍ය වැඩසටහන් වෙුනවෙන් වසංගත කාලය තුළත් ඉන් පසුවත් වැඩි වශයෙන් ආයෝජනය කිරීමට ක්‍රියා කළ යුතුයි.” යනුවෙන් ඔහු පැවසීය.
கொரோனா அழுத்தங்கள்! “குடிக்க பணம் இருக்கு, வீட்டு செலவுக்கு ஏன் பணம் இல்லை?”
“Have Money To Drink, But Not For Household Expenses?”