සමාජ

සංහිඳියාව ඇතිකිරීමේ වගකීමෙන් කිසිවකුට මිදෙන්න බෑ

උපුල් තම්මිට

ජාතීන් අතර සංහිඳියාව අත්‍යවශ්‍ය වු මොහොතක විවිධ ජනවර්ග එකමුතුවෙන් ජනපවුරක් නිර්මාණය කරන්නට මුල් වූවෝ මිහින්තලය රාජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ ය. සංහිඳියාව පිළිබඳ වන බුද්ධ පුත්රරයෙකුගේ වගකීම පිළිබඳ උන්වහන්සේ දැක්වූ ජීවමාන උදාහරණය එයයි.

මිහින්තලා ජනපවුරේ ආරම්භයට මුල්වූ කරුණු කවරේද?   

සාමනේර භික්ෂූන් වහන්සේනමක් සිටියදී වගේම මගේ උසස් අධ්‍යපනය හදාරපු විශ්ව විද්‍යාල අධ්‍යාපනය කාලය අතරතුරත් මං දැක්කේ අරගල. රජරට පළාතේ  ගම්වලට දුප්පත්කම අලුත්දෙයක් නෙවෙයි. වෙලාවට වැස්සෙ නැත්නම් මිනිස්සු ලොකු ආර්ථික අරගලයක ඉන්නෙ. ඒ අරගලය ජාති ආගම් භේදවලින් තොරව කවුරුනුත් මුහුණ දෙනවා.    යුද්ධ කාලෙදි මන්නාරමෙන් අවතැන්වුණු මුස්ලිම් ජනතාව මේ අවට තැන්තැන්වල කඳවුරුවල ජීවත් වුණා. අපේ විහාරස්ථානය ඉදිරිපිටින් තමයි මහනුවර යාපනය ඒ නවය මාර්ගය තියෙන්නේ. යාපනේ යන එන දෙමළ අය මේ පාරෙන් ගියත් කිසි දවසක අපි දිහා බැලුවෙ නෑ. මේ සෑම කෙනෙකුම ළඟ තිබුණෙ අවිශ්වාසය. විශ්ව විද්‍යාලෙදි දෙමළ, සිංහල, මුස්ලිම් ආදී ලෙස ජාති හා ආගමික වශයෙන් නියෝජනය වුණත් අපි හැමෝම ජීවත්වුණේ එකම සමාජ තලයේ. ඇත්තටම මා දුටුවා, සංහිඳියාව තියෙනවානම් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියල. මේ අත්දැකීම් තමයි මිහින්තලා ජනපවුරට අඩිතාලම වුණේ.

ජනපවුරෙ සහාය ලබන පවුල් එකසිය පනහක් විතර මේ වෙනකොට ඉන්නවා. පුද්ගල සංඛ්‍යාව වශයෙන් හත්සීයක් විතර ඉන්නවා. ඒ අතරින් මුස්ලිම් පවුල් පහළවක් විතර වගේම ද්‍රවිඩ පවුල් විස්සකට එහා පිරිසක් සාමාජිකයන් වශයෙන් ඉන්නවා.ජනපවුරට ජාති ආගම් කුලභේද නැහැ.මාසෙකට සැරයක් හෝ දෙවරක් සාමාජිකයන් රැස්කරනවා.තියෙන ගැටලු සාකච්ඡා කරනවා.සමහර ගැටලුවලට ඒ වෙලාවේම විසදුම් ලබාදෙනවා.මෙතනදී සිංහලද දෙමළද මුස්ලිම්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.වැදගත් වෙන්නේ පුරවැසියන් විදිහට ඔවුන්ට ඇති අයිතිවාසිකම් වගේම ඉල්ලීම් සදහා සාධාරණයක් ඉෂ්ඨ කරදීමයි. මේ හැමෝම යම් සමාජ අසාධාරණකම්වලට ලක්වුණු පිරිස්. ඔවුන් අපෙන් විශාල දේවල් ඉල්ලන්නේ නැහැ. අපි හැකි ආකාරයෙන් අපිට තියෙන සබඳතා මත දේශීය – විදේශිය දානපතියන්ගේ ද්‍රව්‍යමය ආධාර ලබාගෙන ඒවා ජනපවුරේ සාමාජිකයන් අතර බෙදාදෙනවා. ඊට අමතරව සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් පොදු සමාජ සත්කාර සිදුකරනවා. එවැනි වැඩසටහන්වල ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ සාමාජිකයන් අතර අන්‍යොන්‍ය සබඳතාව තහවුරු කර ගැනීමයි. වෙනත් වචනයකින් කීවොත් සංහිදියාවට අත්පොත් තැබීමට ඔවුන් නැඹුරුකිරීමයි. සාමාජිකයන්ගේ ගැටලුවලට මුල්වෙලා තියෙන හේතුව හඳුනාගෙන අප සතු සම්බන්ධතා මත ඔවුන් නිසිතැනට යොමුකර පසුවිපරම් සිදුකිරීම කරනවා.

පසුගිය කාලයේ සිදුවුණු අවාසනාවන්ත සිදුවීම්  ජනපවුරේ කටයුතුවලට එල්ල කළ බලපෑම කෙබඳු ද?

කොහෙත්ම නැහැ. හේතුව ජනපවුරේ භූමිකාව ආරම්භයේ සිටම සැමට සමානත්මතාවය කියන ප්‍රතිරූපය ගොඩනඟන්න අපිට හැකි වුණා.පන්සලේ මොනයම් උත්සවයකට ඔවුන් පැමිණියත් කිසිම භේදයකින් තොරව ඔවුන්ගේ වගකිම් ඉෂ්ඨ කරනවා. සිංහල ද, දෙමළ ද,  මුස්ලිම්ද කියල කිසිම භේදයක් නැතිව ඔවුන් තමන්ගේ වගකීම් ඉෂ්ඨ කරනවා. නිදහස තමයි මේ සෑමදෙයකටම මුල්වෙන්නේ. අපි යමක් බලෙන් සම්ප්‍රේෂණය කරන්න ගියොත් එතැන ගැටුමක් ඇතිවෙනවා. භාෂා හෝ ආගමික අදහස් ඔවුන්ගේ සිත්තුළට බලෙන් කාවැද්දීම ඉතාම භයානකයි. එය බුදු දහමටත් විරුද්ධයි.

 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමඟ මුස්ලිම්වරුන් හා සිංහල ජනසමාජය අතර යම් සැකයක් පවතින බවයි පැහැදිලි වන්නේ?

මේ කථාවට හේතුව මේ ජන සමාජය ගොඩ නඟා ගත් මිථ්‍යාවයි. සහරාන් බෝම්බ ගැහුවට මුළු මුස්ලිම් ජන සමාජයම සහරාන්ගේ අනුගාමිකයො නෙවෙයි. සුළු කණ්ඩායමක් තමයි මේ පසුපස ඉන්නේ. රටේ පාලක පක්ෂයට හැකියාවක් තියෙන්න ඕන පාලිතයින්ට මේ තත්වය හරි හැටි අවබෝධකර දෙන ක්‍රියාවලියකට යන්න. මේක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තිස් අවුරුදු යුද්ධයකදී අපිත් එක්ක අමනාප වුණු  දෙමළ ජනතාව අපිත් එක්ක මිත්‍රවෙන්න යුද්දෙ අවසන්වෙලා අවුරුදු ගණනක් ගතවුනා.  හුදකලා වුණොත් ප්‍රශ්න වැලක් එනවා ඉදිරියට. මේ රටේ විවිධ ආගම්වලට අයත් විවිධ ජාතීන් ඉන්නවා. ඒ ඒ ජාතීන්ගේ සමාජ වටපිටාව, ඒ වගේම ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳ, ඒවාට ගරු කරන්න අන් අයට පුරුදු කරන්නට වුවමනායි.

 යළිත් මෙවැනි තත්වයක් උදානොවීමට නම් කළ යුත්තේ කුමක්දැයි ඔබවහන්සේ සිතනවා ද?

අපිට ආසන්නම රට ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ අබ්දුල් කලාම්. එතුමා වෘත්තිකයෙක් දාර්ශනිකයෙක් විද්වතෙක්.භෞතික විද්‍යාවේ ප්‍රවීනයෙක් වගේම න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ මහා විද්වතෙක්. ඔහු ඉන්දියාවේ පහළ ම ජන සමාජය නියෝජනය කරමින් සමාජයේ ඉහළටම ආ, මුළු ලෝකයේම ගරුබුහුමන් ලබපු පුද්ගලයෙක්. ඔහු කිසිම දවසක ජාතිවාදී වුණා ද? තමන්ගේ ජාතිය ගැන විතරක් හිතුවද? නැහැ. ඒ නිසයි ඔහුගේ ජයග්‍රහණය සමස්ත භාරතයේ ජයග්‍රහණය වුණේ. ඒ නිසයි මා කියන්නේ පාස්කු ඉරිදා වැනි සිදුවීම් නොවෙන්නනම් මුස්ලිම් ජනසමාජය නියෝජනය කරන නායකයින්ට විශාල වගකීමක් තියෙනවා ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇතිකරන්න.  මා විශ්වාස කරනවා යමෙකු වරදක් කරන්න කලින් ඒ වරද දකින්න පුළුවන් නායකයන් අපිට අවශ්‍ය බවයි මා හිතන්නෙ. අපරාධයකට දඬුවම් දීමෙන් පමණක්ම අපරාධ නවත්වන්න බැහැ. සාමය සංහිදියාව ඇතිකරන්න ආකල්පමය වෙනසක් අවශ්‍යයි. ඒ ක්‍රියාවලිය තරමක් සංකීර්ණයි. එයට ආරම්භයක් ලබා දුන්නොත් අපට ඉතාම කඩිනමින් ප්‍රතිපල දැකබලාගන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts