දූපත් මානසිකත්වයෙන් මිදුණුමන්නාරමේ සහජීවනය
උපුල් තම්මිට
දූපතක ජීවත්වුවත් දූපත් මානසිකත්වයෙන් මිදී ජාතීන් අතර සහජීවනය ගොඩනඟන්නට මන්නාරම වැසියන් දැරූ උත්සාහය නිසා සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වා ගැනිමට මේවනවිට ඔවුනට හැකිව තිබේ.
“ අපේ ආගමේ කිසිම තැනක සදහන් වෙන්නෙත් නැහැ අනුමත කරන්නෙත් නැහැ මනුෂ්‍ය ඝාතන හෝ වෙනයම් අපකීර්තිමත් ක්‍රියාවන් ගැන. සාමය සහජීවනය තමයි කුරානයේ මූලික ඉගැන්වීම. පාස්කු ප්‍රහාරයට සම්බන්ධවුණු අය කිසිම විදිහකින් ඉස්ලාම් දහම අදහන අය නෙවෙයි. ඔවුන් වෙනත් කුමක් හෝ න්‍යායකට අනුව කටයුතු කරන පිරිසක් .ඒ වුණත් ඒ සිදුවීමෙන් පසුව මන්නාරමේ ජීවත්වෙන අපේ ජීවිත විශාල කඩාවැටිමකට ලක්වුණා. ඒ වගේම සමස්ත මුස්ලිම් සමාජයටම ඉන් විශාල අපකීර්තියක් ඇතිවුණා ”.
දීර්ඝ කල්පනාවක නිරත වෙමින් විටෙක හැගුම්බරවන ඔහු මන්නාරම දිස්ත්‍රික්කයේ ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති මෙන්ම මන්නාරම මුවර් වීදියේ මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවි වන සෙයිනුල් ආබ්දීන් අසීම් ය. මන්නාරම නගරයේ මෙන්ම සමස්ත මන්නාරම දිස්ත්‍රික්කයේ ජීවත්වන මුසල්මානුවන්ගේ නායකත්වය හොබවන ඔහු පාස්කු ප්‍රහාරයත් සමඟ ඇතිවූ තත්ත්වය මෙන්ම වර්තමානය පිළිබඳ ද දැක්වූයේ මෙවැනි අදහසකි.
“ අවුරුදු විසිහතක වගේ කාලයක් යුද්ධය නිසා නිසා අපි අනන්තවත් දුක්වින්දා. මන්නාරම අතහැරල පුත්තලමේ අනාථ කඳවුරුවල යුද අනාථයන් විදිහට ජීවත්වෙලා ආපහු දෙවියන්ට පිංසිද්ධවෙන්න මන්නාරමට එන්න ලැබුණා. ඒ වගේම ද්‍රවිඩ ජනතාවත් මැණික්ෆාම් අනාථ කඳවුරේ ජීවත් වුණා. යුද්දෙන් පස්සෙ අපි දෙගොල්ලටම ආපහු ගම්බිම්වලට ඇවිල්ල ජීවිතය ගෙනියන්න ලැබුණෙ අවුරුදු එකොළහක් විතරයි. ආයෙමත් මහ විශාල ගැටුමක් ඇතිවෙල මිනිස්සු අතරේ අවිශ්වාශය ගොඩනැඟෙන පරිසරයක් ඇතිවුණා පාස්කු ඉරිදා බෝම්බ සිද්ධියත් සමග ”.
වෙනදාට හැම උදෑසනකම තමන්ට ‘වනක්කම්‘ කියූ දෙමළ කතෝලික සහෝදරවරුන් ඔවුන් දෙස නොබලා ම යාම ඔවුනට ඉවසුම් නොදෙන්නක් විය. වැල්ලට අලුත් මාලු ආ විගස ඔවුනට දැනුම් දුන් කතෝලික ධීවර සහෝදරවරු සෙයිනුල් ආබ්දීන්ලා සිටින පළාතකටවත් නොආහ.
‘ඇත්තටම කීවොත් අපි තනිවුණා වගේ කියල දැනුණ. දකුණෙන් එන සිංහල ව්‍යාපාරිකයන් මන්නාරමට පැමිණීම ප්‍රතික්ෂේප කළා. මේ තත්වය නිසා මුස්ලිම් ප්‍රජාවගේ සියලුම ව්‍යාපාර පාඩු ලබන තත්වෙකට පත්වුණා. සෑම මුස්ලිම්වරයෙක්ම දුක කියන්න හොයාගෙන මා හමුවෙන්න පල්ලියට එනවා. සමහරු රැය ගතකරන්නේ පල්ලියේ. ඒ තරමට ඔවුන්ගේ අනාගතය ගැන ඇතිවුණේ අවිනිශ්චිත තත්වයක්. අපේ කාන්තාවෝ පාරෙ බැහැල යන්න අකමැතිවුණා ඇතිවුණු අවිනිශ්චිත තත්වයත් එක්ක. එළිපිට ගැටුමක් ඇතිවුණේ නැහැ නමුත් බයක් තිබුණා ද්‍රවිඩ කතෝලිකයන්ගෙන් අපිට යම් කරදරයක් සිදුවෙයි කියල. මොකද ඒ තරමටම මහ භයානක විදිහට පාස්කු ඉරිදා සිද්ධිය මන්නාරමට දැනෙන්න වුණා ”. යි සෙයිනුල් ආබ්දීන් පවසන්නේ තැතිගත් බැල්මෙනි. ඒ සඳහා ගත හැකි විකල්ප පියවර පිළීබඳ ඔහු ඇතුළු මුස්ලිම් ප්‍රජාව කල්පනා කළහ.
දකුණේ බොහෝ අන්තවාදීන් බලාපොරොත්තුවුණු ගැටුම් මන්නාරමේ ඇති නොවෙන්නට බලපෑ ප්‍රධාන හේතුව වූයේ අන්තර් ආගමික කමිටුවේ පැවැති අයෝමය තිබුනු ශක්තියයි.
“ අපි පත්වෙලා හිටපු අසරණ තත්ත්වය පිළිබඳ මුලින්ම කතා කළේ ශාන්තිපුර පංසලේ හාමුදුරුවෝ. මන්නාරමේ ස්ථිර පදිංචි සිංහල කවුරුත් නැතිවුණත් හාමුදුරුවන්ට මන්නාරම ජන සමාජය බොහෝම ඉහළින් ගෞරව කරනවා. ඇත්තම කීවොත් උන්වහන්සේ මේ දූපතේ පාලමක් හැදුවා. ඒ පාලම තමයි ආගමික සහජීවනයක් තුළින් මිනිස්සු අතර තිබුන අවිශ්වාසය නැතිකිරීම. උන්වහන්සේ මන්නාරම රදගුරුතුමා මුණගැහුණා. ඒ වගේම හින්දු කුරුක්කල්තුමා හමුවුණා. මේ ප්‍රශ්නය ගැන ගොඩක් ගැඹුරින් සාකච්ඡා කළා. අන්තිමේදී හාමුදුරුවෝ මන්නාරම අන්තර් ආගමික සංවිධානයේ උපදේශක වශයෙන් කටයුතු කරමින් අන්තවාදී අදහස් හෝ ක්‍රියාකාරකම් දූපතට එන්නටවත් දූපතෙන් පිටතටත් යන්න නොදී කටයුතු කළා. ද්‍රවිඩ කතෝලික ජනතාව දැනුවත්කිරීමට රදගුරුතුමා විශාල මහන්සියක් ගත්තා. මං අපේ මුස්ලිම් ජනතාවට මේ අයගේ සාමය වෙනුවෙන් කරන කැපවීම පිළිබඳ දැනුම්වත් කළා.‘ යි සෙයිනුල් ආබ්දීන් සුසුමකින් ළය සැහැල්ලු කරගනිමින් කියයි.
දකුණේ බොහෝ අන්තවාදීන් බලාපොරොත්තුවුණු ගැටුම් මන්නාරමේ ඇති නොවෙන්නට බලපෑ ප්‍රධාන හේතුව වූයේ අන්තර් ආගමික කමිටුවේ පැවැති අයෝමය තිබුනු ශක්තියයි.
‘විශාල පිරිසක් බලාපොරොත්තුවුණා මන්නාරමට විෂ පොවන්න. අපේ රටේ සමහර මාධ්‍ය හැසිරීම ඉතාම පහත් තත්වයක තිබුණේ. මිනිස්සුන්ට මන්නාරම ගැන වැරදි වගේම අසත්‍ය තොරතුරු දැනගැනීම වළක්වන්න අපිට ක්‍රමයක් තිබුණෙ නැහැ. අපිට කරන්න පුළුවන්වුණු එකම දේ තමයි මිනිසුස්න්ට නිතරම සත්‍ය තත්වය අවබෝධකරදීම. අපිට හැකිවුණා අවසානයේ ජයගන්න. සෑම ජාතියක්ම සෑම ආගමිකයෙක් එක්ක සහජීවනයෙන් කටයුතු කරන්න ”.
2015 වසරේ තමන් ශාන්තිපුර පංසල භාර ගන්නාවිට මන්නාරම හැබෑම දූපතක් ලෙස පැවති බවයි මන්නාරම නගරයේ ඇති එකම බෞද්ධ විහාරස්ථානයවන ශාන්තිපුර ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරාධිකාරී පඬුවස්නුවර විමලරතන හිමියෝ පවසති.
“ මුස්ලිම් වැඩිපිරිසක් හිටියේ පුත්තලමේ අනාථ කඳවුරුවල. ඉඩ ලැබෙන අවස්ථාවල ඔවුන් ඇවිත් ඉඩකඩම් දේපළ බලලා යනවා මිසක් නිරන්තරවම මන්නාරම නගරයේ ගැවසුණේ නැහැ ත්‍රස්තවාදී තර්ජන නිසා. කොහොම හරි යුද්ධය අවසන්වෙලා මන්නාරම දියුණු වුණා. අපේ මිනිස්සුත් නිතරම රටපුරා ගමන්කරන්න පටන් ගත්තා. මෙහෙ වෙළඳාම දියුණු වුණා.රජයේ කාර්යාල, වෙළඳ ව්‍යාපාර අලුතින් ඇතිවුණා. වාරකං අවසන්වුණාම දකුණේ සිංහල සංක්‍රමණික ධීවර ප්‍රජාව මන්නාරමට යන්න එන්න ගත්තා. මිනිසුන් අතර සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියල වෙනසක් තිබුණෙ නැහැ ”.
මන්නාරමේ අවාසනාව නැවත වරක් හිස එසවූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ බව පඬුවස්නුවර විමලරතන හිමියෝ පවසති.
‘මෙහේ වැඩිපුර ඉන්නේ කතෝලික ද්‍රවිඩ ජනතාව. ඒ මිනිස්සු කුපිත වුණේ නැතිවුණත් යම් සැකයක් අවිශ්වාසයක් ගොඩනැඟුණා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව. මේ තත්ත්වයට විසඳුම් සෙවීම අතිදුෂ්කර කාර්යක් වුණා. මා සර්ව ආගමික කමිටුවේ අනුශාසක වශයෙන් මන්නාරමේ සමස්ථ ජනතාවට ආමන්ත්‍රණය කරන්නට අනෙක් ආගමික නායකයන් අවස්ථාව සලසා දුන්නා. මෙතනදී මන්නාරම රදගුරුතුමන් විශේෂයෙන් සිහිපත්කරන්න ඕන. උන්වහන්සේ විශාල වෙහෙසක් ගත්තා මන්නාරමේ සියලු ජාතීන් අතර සාමය ඇතිකිරීම සදහා ”.
සර්ව ආගමික කමිටුව සතියකට දෙතුන් සැරයක් රැස් විය. ගත් තීන්දු තීරණ මත මුලු මන්නාරම දිස්ත්‍රික්කයේම සෑම ගම්මානයකටම මේ කමිටුව ගමන් කළේ ය. ඇතිව තිබෙන තත්වයෙන් මිදෙන්නට නම් තමන් කළ යුත්තෙ කුමක්ද යන්න පිළිබඳ ජනතාව දැනුම්වත් කෙරිණි.
‘මිනිස්සු අපේ කීම පිළිගත්ත. ආපහු තමන්ගෙ එදිනෙදා කටයුතුවල නිරතවෙන්න පටන් ගත්තා. සැකය, අවිශ්වාසය තුරන් වුණා. හැමෝම තේරුම් ගත්ත කොහෙවත් හිටපු කණ්ඩායමක් කරපු වැරැද්දකට අවුරුදු ගාණක් එකට ජීවත්වෙලා හිටපු මිනිස්සු පලි නැහැ කියල. අද වෙනකොට මන්නාරම යහපත් අතට හැරිල තියෙනවා. අපිට කියන්න තියෙන්නේ දූපතක ජීවත්වුණත් දූපත් මානසිකත්වයක් මෙහෙ මිනිස්සුනට නැහැ කියන එකයි. ඔවුන් ඉතාම නිවැරදිව ලෝකය දිහා බලපු නිසයි ආගමික සහජීවනයෙන් ජාතීන් අතර සහෝදරත්වය ගොඩ නඟාගන්න හැකිවුණේ ” යැයි පඬුවස්නුවර විමලරතන හිමියෝ පවසති.
බහුවාර්ගික මෙන්ම බහු ආගමික ජන සමාජයක් දිවි ගෙවන මන්නාරම දූපතේ වැසියන්ට තිරසාර සහජිවනයක් ගොඩනඟාගැනිමට හැකිවීම දිවයිනේ අනෙකුත් පළාත්වල බහු වාර්ගික බහු ආගමික ජනසමාජයට ලබාදෙන ප්‍රබල පණිවිඩයකි.
This article was originally published on the catamaran.com