සමාජ

එකම පොළොවක දෙවියන් යදිනකච්චතිව් සහෝදරත්වය

ගයාන් යද්දෙහිගේ

කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පූජාවට සහභාගී වන්නට එහි එන ජනයා සැරසෙන්නේ ජාති හා ආගම් බේද සලකුණු කරන මායිම් රේඛා සියල්ල මකා දමමිනි. ඒ අතර කතෝලිකයින් පමණක් නොව බෞද්ධ හා හින්දු භක්තිකයෝ ද සිටිති. මේසා විශාල කතාවක් කියාදී තවත් වසරක් පුරාවට කච්චතිව් නින්දට යන්නේ වර්ගභේදවාදී නින්දෙන් අවදි වන්නට අපට කාලය එළැඹ ඇති බව නොකියා කියමිනි.

කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුර

කච්චතිව් දූපත අපට වඩා කිට්ටු ඉන්දියාවට ය. 1605 දී මේ දූපත සොයා ගත්තේ සේතුපති අධිරාජ්‍යයා බව පොත පතේ සඳහන් වෙයි. රාමනාදන් පුරය පාලනය කළ සේතුපති අධිරාජ්‍යයා දූපත සොයාගෙන වසර 869 කට පසු එහි අයිතිය ශ්‍රීලංකාවට ලැබුණේ 1974 දී සිරිමා ශාස්ත්‍රි ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙසිනි. ශ්‍රීලංකා නාවික හමුදා පාලනය යටතේ පවතින මේ දූපතට සාමාන්‍යය ජනතාවට යන්නට දෙන්නේ වසරකට හරියටම එක ම දවසකි. එසේ යන අයට දූපතේ රැඳී ඉන්නට ලැබෙන උපරිමය දින දෙකකි. වසර පුරාම මුහුදු රැල්ලේ හඬ පමණක් අසන්නට ලැබෙන දූපත ඝෝෂාකාරී මිනිස් හඬින් මේ දින දෙකේදී පිරී ඉතිරී යන්නේ ශ්‍රීලංකාවෙන් සහ ඉන්දියාවෙන් දස දහසක පමණ පිරිසක්  දූපතට පැමිණිමෙනි.ජාති,ආගම්,දේශ සීමා බේද කිසිවක් නොමැතිව මේ දින දෙකේදී කච්චතිව් දූපතේදී ජනතාව මෙලෙසින් බැඳෙන්නේ එහි ඇති ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය හේතුවෙනි.

යාපනයේ සිට කිලෝ මීටර 46 ක පමණ දුරකින් පිහිටි දූපතට බෝට්ටුවකින් ළඟා වීමට පැය තුනක පමණ කාලයක් ගතවෙයි.ඉන්දියාවේ සිට නම් පැයක පමණ කාලයකින් මෙහි ළඟා විය හැකි වෙයි. මෙවර දෙව් මැදුරේ පූජාව පැවත් වුණේ මාර්තු මස 07 වෙනිදා ය.මේ වතාවේ ශ්‍රී ලාංකිකයින් 7000 දෙනකුත් ඉන්දියානුවන් 3000 දෙනකුත් ඒ සඳහා සහභාගි වන්නට පැමිණි බව ශ්‍රී ලංකා  නාවික හමුදාව කියයි. මුනි පුදට යන අයට අමතරව වසරකට වරක් දූපතට ඇතුළු වීමට ලැබෙන අවස්ථාව මඟ නොහැර දූපතේ සිරි විඳින්නට යන පිරිසක් ද මේ අතර වෙති. යාපනයේ ජනතාවට අමතරව ගාල්ල, මාතර, මීගමුව, හලාවත, මහනුවර, කොළඹ, කුරුණෑගල ආදි සෑම දිස්ත්‍රික්කයකම ජනතාව එහි පැමිණෙයි. ඒ අතර කතෝලික පිරිස වැඩි වුව ද බෞද්ධ  හා ඉස්ලාම් ආගමිකයන් ගෙන් සැලකිය යුතු පිරිසක් ද මෙහි එති. මේ එන සියලු දෙන ම ඉතා සහයෝගයෙන් එකම සහෝදර කැළක් ලෙස මේ දින දෙකේදී දූපතේ ගෙවන ජීවිතය හරිම අපූරු ය.

‘යාපනයට ඇවිත් කුරිකට්ටුවාන් ජැටිය ළඟින් තමයි කච්චතිව් එන්න බෝට්ටුවට ගොඩවෙන්න ඕන.කයිට්ස්,ඩෙල්ෆ්,නයිනතිව් වගේ දූපත්වලට යන්නත් බෝට්ටු තියෙන්නේ මෙතන ඉඳලා.මේ නිසා කුරිකට්ටුවාන් ජැටිය හැමදාම තරමක් ජනකීර්ණ තැනක්.කච්චතිව් වන්දනා දිනයදාට එතන ඇති වන්නේ හරිම ගාලගෝට්ටියක්. මිනිස්සු පැය පහක් පමණ පෝලීමේ ඉඳලා තමයි බෝට්ටුවකට නැග ගන්නේ.මේ නිසා කුරිකට්ටුවාන් ඉඳලා දූපතට යන්න සාමාන්‍යයෙන් අවම වශයෙන් පැය හතක්වත් ගත කරන්න බැතිමතෙකුට සිදු වෙනවා.‘ යි කච්චතිවු හි වෙළෙදාමේ යෙදෙන රත්නපුර දිසාවේ ප්‍රියන්ත කියයි.

ෆයිසාල්, ප්‍රියන්ත සහ වසන්ත රාජා

දූපතට එන ඉන්දීය ජනතාව ඉලක්ක කර වෙළෙඳාමේ නිරත ශ්‍රී ලාංකිකයන් එහි හරිම අපූරුවට සිය වෙළෙඳාම් කටයුතු සිදු කරන්නේ තමන් සතු භාෂා දැනුමින් උපරිම ප්‍රයෝජන ලබා ගනිමිනි.රස කැවිලි වෙළෙඳාම් කරන මොහොමඩ් ෆයිසාල් හා ප්‍රියන්ත කුමාර ද එවැනි දෙදෙනෙකි. දෙන්නා ජාතීන් දෙකකට අයත් වුව ද අවුරුදු ගණනාවක සිට එකට වෙළෙඳාම් කරන්නේ නාගදීපයේ ය. ඒ බැඳීම සහෝදරත්වයට එයා ගිය එකකි. මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ උපන් ෆසිසාල් නාගදීපයට ගියේ අවුරුදු 08 කට කලිනි. යුද්ධය නිමා වී ජනතාව වැඩිපුර යාපනයේ සංචාරය කරන්නට ගත් කල රත්නපුරේ උපන් ප්‍රියන්ත ද නාගදීපයට ගොස් ව්‍යාපාර කටයුතු කරන්නට පටන් ගත්තේ ය. එහිදී දෙදෙනා අතර හටගත් මිතුදම අදටත් එලෙසම ය.

‘නාගදීපෙට අවුරුද්ද පුරාම මිනිස්සු එනවා.මං එහේ කඩයක් කරනවා.කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යයට ලොකු සෙනඟක් එනවා. ඒ නිසා මේ දවස් දෙකේ කච්චතිව් ඇවිත් බිස්නස් කරනවා. අපි ගොඩක් බලන්නේ ඉන්දියාවේ අයට වෙළෙඳාම් කරන්න.  තල් වලින් හදන කෑම දකුණු ඉන්දියාවේ ගන්න නැහැ. ප්‍රියන්තයි මායි එකට තමයි මෙහේ බිස්නස් කරන්නේ. ඉන්දියාවේ අයට සිංහල කතා කරන්න දන්නේ නැහැ. ඒ නිසා භාෂාව නොදැන මේ වෙළෙඳාම කරන්න අමාරුයි. අවුරුදු ගානක් එකට ඉඳලා ප්‍රියන්තට දැන් ටිකක් දෙමළ පුළුවන්. මං තමයි දෙමළ අය ආවම බිස්නස් කතා කරන්නේ‘ යි ප්‍රියන්තගේ වෙළෙඳ සගයා වන ෆසිසාල් කියයි.

‘යාපනයේ වැඩිපුර ඉන්නේ දෙමළ ජනතාව. නාගදීපය වඳින්න එන්නේ සිංහල බෞද්ධ අය. කච්චතිව්වලදී අපෙන් බඩු වැඩිපුර මිලට ගන්නේ ඉන්දියානුවෝ. මේ එන අය අපෙන් මොනවා හරි මිලට ගත්තොත් තමයි අපිට කීයක් හරි ලැබෙන්නේ.‘යි ෆයිසාල් පවසයි.

පැමිණෙන්නන් සාදරයෙන් පිළිගන්නට සැකැසුණු තොරණ

තල් හකුරු, තල් චොකලට්,තල් දෝසි මිල දී ගන්නට එන අයට ඒවාහි රස බලන්නට ෆයිසාල් මුලින් අවස්ථාව ලබාදෙයි. කන්න කැමැති තරම් කන්න යැයි ඔහු පවසයි. මිලට ගන්නා දේට ඉන්දියානුවන් මුදල් ගෙවන්නේ එරට මුදලිනි.

‘ඉන්දියන් සල්ලිත් ගන්නවාද?..‘

‘ඉන්දියන් සල්ලි ගන්නේ නැතුව බිස්නස් කරන්න බැහැ. ඉන්දියන් සල්ලි යාපනේට ගිහින් මාරු කරනවා‘ යි ෆයිසාල් එසේ කතාව නිමා කරද්දී  කතාවට එක්වුණේ ප්‍රියන්ත කුමාරයි.

වර්ග අඩියකට අපි ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවට රුපියල් 200.00 ක් ගෙවනවා.මෙතන වර්ග අඩි තිහක් විතර තියෙනවා. අපි දෙන්නා හවුලේ මේක ගත්තේ. නාගදීපේ ඉඳලා බෝට්ටුවේ බඩු ගේන්න රුපියල් 40000.00 ක් ගන්නවා. බිස්නස් කරන අය දහ පහළොවක් එකතු වෙලා ඒගාන බෙදාගෙන එකවර බඩු ගේනවා. යාපනේ මිනිස්සු එක්ක මං දැන් අවුරුදු ගානක් ජීවත් වෙනවා. නාගදීපේ නම් බිස්නස් කරන්නේ එක එක පළාත්වලින් ආපු අය.මං මාසෙකට සැරයක් තමයි ගෙදර යන්නේ.දරුවෝ දෙන්නෙක් ඉන්නවා.අපි දැන් අවුරුදු ගානක් නාගදීපයේ ජීවත් වෙන්නේ.යාපනයේ ඉඳලා කිලෝ මීටර 30 ක් විතර එහාට තියෙනවා.  නාගදීපය පුංචි දූපතක්.රට ඇතුළේ ඉන්න මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අපිට නැහැ.ව්‍යාපාර කරන්නේ එකට.විනෝද වෙන්නේ එකට.මිනිස්සු ටික දෙනෙක් ඉන්නකොට ඒ අය අතර බැඳීම වැඩියි. කරදරයක් වුණොත් ඒ අය විතරයි ඉන්නේ. ජීවිතේ ගොඩ නගා ගන්න මහන්සි වෙනකොට බොරු ප්‍රශ්නවලට හිත යන්නේ නැහැ. නිකන් වැඩක් නොකර ඉන්න මිනිස්සු තමයි බොරු   ප්‍රශ්න ඇති කරගෙන ගහමරා ගන්නේ‘යි  ප්‍රියන්ත පවසන්නේ සිය ජීවිතයෙන් උගත් පාඩම් යළි අවලෝකනය කරමිනි.

වෙළෙඳාමේ නිරත ශ්‍රී ලාංකිකයන්

ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යයට පැමිණෙන දස දහසක් පමණ වන සියල්ලන්ට පූජාවට පෙර දින රාත්‍රියේ හා පසුදින උදෑසන ආහාරය ලබා දෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව ය. නාවික සෙබළුන් 200 කට වැඩි පිරිසක් ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙති. දූපතේ ඇති ප්‍රධානතම ගැටලුව පානීය ජල සොයා ගැනීමට නොහැකි වීමය. නාවික හමුදාව එයට විසඳුම් ලබාදී තිබෙන්නේ දූපත සිසාරා ජල ටැංකි ස්ථාන ගත කරමිනි. ඒවාට අවශ්‍ය ජලය ඩෙල්ෆ් හා කයිට්ස් ප්‍රාදේශීය සභාවන්ට අයත් ජල ප්‍රවාහන රථ මගින් රැගෙන එයි. ජලය පිරවූ ලොරි රථ විශාල බෝට්ටු වල පටවා ගොඩ බිමක සිට රැගෙන එන්නේ කච්චතිව් එන බැතිමතුන්ගේ පවස නිවන්නට ය.

කච්චතිව් එන ඉන්දීය හා ශ්‍රීලාංකික ජනතාව අතරින් බහුතරය ධීවරයින්ය. ඉන්දියාවේ හා උතුරේ ධීවරයින් කතා කරන්නේ එකම භාෂාවකි. මාළු අස්වැන්න සොයා මුහුදු යන තමන් ආරක්ෂා කරන්නේ ශාන්ත අන්තෝනි මුනිතුමන් බව ධීවරයින් දැඩිව විශ්වාස කරයි.

දෙරටේම ධීවරයින් කච්චතිව් එන්නට පටන් ගත්තේ 1974 න් පසු ය. ඊට පෙර එහි ආවේ ගියේ ඉන්දියානු ධීවරයින් පමණ ය. මේ යන එන ධීවරයින්ට අවශ්‍යය පිහි, ලාම්පු ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි කිරීමට වසර තිහක පමණ කාලයක් තිස්සේ යාපනයේ සිට කච්චතිව් එන වසන්ත රාජා පැවසුවේ  කච්චතිව් දූපත රටවල් දෙකක ජනතාව එකතු කරන තැනක් බව ය.

ඉන්දියාවේ සහ ලංකාවේ මිනිස්සු එකට එකතු වෙලා සහෝදරත්වයෙන් එකම පොළවක දෙවියන් යදිනවා. එකම රටක ජනතාවට ඇයි උතුර දකුණ කියලා වෙනසක් නැතුව එකට ඉන්න බැරි

‘මිනිස්සු අවුරුදු ගානක් පෙරුම් පුරනවා දූපතට ඇවිත් වන්දනා මාන කරන්න. නොකඩවා අවුරුදු 10 ක් 15 ක් එන අයත් ඉන්නවා. එහෙම එන අය අපට කතා කරලා යනවා. ඒ ගොඩ නැඟුණු හිතවත්කම් අවුරුද්දකට සැරයක් අලුත් වෙනවා. ගොඩක් මෙහේ බිස්නස් කරන්න එන්නේ දූපත්වල ජීවත් වෙන අය. එකම පිරිසක් තමයි අවුරුදු ගානක් තිස්සේ එන්නේ. මේ නිසා ඒ අය අතරත් හොඳ බැඳීමක් තිබෙනවා. ඉන්දියාවේ සහ ලංකාවේ මිනිස්සු එකට එකතු වෙලා සහෝදරත්වයෙන් එකම පොළවක දෙවියන් යදිනවා. එකම රටක ජනතාවට ඇයි උතුර දකුණ කියලා වෙනසක් නැතුව එකට ඉන්න බැරි ඇයි කියන ප්‍රශ්නය මට තියෙනවා“ යි වසන්ත රාජා කියයි.

ජාති,ආගම්,දේශ සීමා පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දින දෙකක් පුරා එකට ගත කරන ශ්‍රීලංකාවේ හා ඉන්දියාවේ ජනතාව කච්චතිව්වලදී අත්විඳින්නේ එකම ආකාරයේ පහසුකම් හා දුෂ්කරතා ය. අවම පහසුකම් ඔස්සේ කූඩාරමක හෝ විශාල වෘක්ෂයක් යට රැය පහන් කරන ඔවුන් පසුදින ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පැවැත්වෙන පූජාවට සම්බන්ධ වෙන්නේ ජාති හා ආගම් බේදවලින් බෙදී ගොස් තිබෙන රේඛා සියල්ල මකා දමමිනි. ඒ අතර කතෝලිකයින් පමණක් නොව බෞද්ධයින් හා හින්දු භක්තිකයින්ද සිටිති. මේසා විශාල කතාවක් කියාදී තවත් වසරක් පුරාවට කච්චතිව් නින්දට යන්නේ වර්ගභේදවාදී නින්දෙන් අවදි වන්නට අපට කාලය එළැඹ ඇති බව නොකියා කියමිනි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts