ළගන්නාසුලු වදනින් හාදකම් අමුණන දිල්මි ෆාතිමා
සරත් මනුල වික්‍රම
චට චට නාදය සමඟ මැෂිමේ ඉඳිකටුව රෙදි පොටවල් දෙකක් වේගයෙන් එක්කරයි. එලෙස ම මුස්ලිම් යුවතියක වන ඕ, ආදරය දයාව පිරි සිංහල භාෂාවේ ළගන්නාසුලු වදනින් ගනුදෙනුකරුවන් ජාලයක් රැස්කරයි. ඒ ආදරයට ජාති, කුල මල බේදයක් නැත.
ඒ වචනත් මැෂිම මෙන්ම වේගවත් ය. ඇඳුමක අවසන රේන්ද වැලකින් අලංකාරවන්නා සේ සෑම කතා වැලක් අවසානයේම සිනාවැලක් ද කාමරයේ දෝංකාරය රැක ගනී.
‘‘මම ගුරු වෘත්තිය දාලා ආවේ ජිවිතේ ආර්ථික අපහසුතා දුරුකරගන්න ඒක ප්රගමාණවත් මදි නිසා.දැන් මං ජීවිතේ ජයගත්තා කියලා හිතෙනවා. ඒ සල්ලි හම්බ කරලා සල්ලි ගොඩාක් තියෙනවා කියන එක නෙවෙයි. මට ගොඩාක් යාළුවෝ දැන් ඉන්නවා. කවුරු ළඟටවත් නොයා මං ළඟටම එන්නේ. රෑ දවල් නැතුව මං මහන්සි වෙලා ඒ අයගේ වුවමනා ඉටුකරනවා. විශ්වාසේ රකිනවා. වැදගත්ම දේ තමා තරුණ අය අරන් එන අන්තර් ජාලයෙන් හොයාගෙන අලුත් මෝස්තර ඊටත් වඩා හොඳට ඒ අයට ගැළපෙන ආකාරයට ප්රඅතිනිර්මාණය කරලා දෙන එක. මං ළඟට එන අය ඔක්කෝම වගේ සිංහල තරුණියෝ.ඒ අය මට හරිම ආදරෙයි.“ වචන අමුණන මැෂිමක්ම වුණු ඇය දිල්මි ෆාතිමා ය.
කුරුණෑගල මීගමුව පාරේ පදිංචි දිල්මි හා සැමියා අශාම් බැඳී සිටින්නේ සිංහල ආදර වචන වලිනි. බහින්බස් වුණත් සිංහලයෙනි. සිතන්නේ ද සිංහලයෙනි. සහායට කැඳවාගෙන සිටින්නේ ද සිංහල කාන්තාවෝ ය. ඔවුන්ගෙන් උදව් ඉල්ලන්නේ ද ඔවුන්ට ආදරය කරන්නේ ද සිංහල අයම ය. සිංහලෙන් සිංහල අය පමණක් සමග කතාකරන මුස්ලිම් ජනවර්ගයේ සාමාජිකයන් වැඩි දෙනාගේ සිරිත පවුල තුළ සහ මුස්ලිම් ජන සමාජය තුළ දෙමළෙන් කතාකර ආවෘත සංස්කෘතියක් ගොඩනගා ගැනීම ය.
‘‘ අනේ මන්දා..මුස්ලිම් අය දෙමළෙන්ම කතාකරන්න කියලා නීතියක් වත් තියෙනවාද? මගේ ඉස්කෝල කාලේ යාළුවොත් සේරම සිංහල. මං ලියන්නෙත් සිංහලෙන්. සිංහල දන්නෙම නැති කෙනෙක් එක්ක නම් දෙමළෙන් කතා කරනවා.මට දෙමළ කතා කරන්න පුළුවන්.ඒත් ලියන්න තමා බැරි.‘‘ ඇය එන තුරු සැමියා කතාවට එක්වුණේ එසේ ය.
ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් වූ දිල්මි 2014 වසරේ දි ගුරුවෘත්තිය අතහැරියා ය. කුරුණෑගල නගරයේ පිරිවෙනක පවත්වාගෙන ගිය මැහුම් පාඨමාලාවකට ගිය ඇය මංගල ඇඳුම් නිර්මාණය ආදී කාලීන විලාසිතාවේ ඇඟලුම් මෝස්තර ඉගෙනගත්තා ය. ‘මගේ ගුරුවරිය පුණ්‍යා කියලා කෙනෙක්.එයා මට හොඳින් ඉගැන්වුවා. මාත් එයාට බොහෝම භක්තියෙන් ඉගෙන ගත්තා.‘ යනුවෙන් දිල්මි පවසයි.
එහිදී ලද අධ්‍යාපනයෙන්පසු දිල්මි මනාලියන්ගේ රාත්‍රි ඇඳුම් හා වෙනත් ඇඳුම් ආදිය නිර්මාණය කළා ය. ඒවා තොග වශයෙන් එක අච්චුවේ තනන ඒකාකාරී ඒවා නොවිණ. වෙනත් තැනක දැකිය නොහැකි හා ඒ ඒ පුද්ගලයාගේ සිතැඟි පරිදි නිමකරන විවිධාකාර විලාසිතාවන් ය. සමහර මනාලියෝ මධු සමයට සරාගී පෙනුමේ ඇඟලුම් ගැන සිතති. ඇතැම් ගෘහණියෝ ද එදිනෙදා ජීවිතයේ විඩාව නිමවන්නට, නිවසේ විවේක ගන්නා විට හා නින්දට යන විට සුවදායක,අලංකාර හා සිය සැමියාගේ නෙත් පැහැරගන්නා විචිත්රවවත් ඇඟලුම් ගැන සිතන්නට පෙලැඹෙති. ඒත් එවැනි දේක හිඩැසක් ලාංකික වෙළෙඳපොළේ පවතින බව කිසිවෙකුට වැටහී තිබුණේ නැත.
එවැනි හිඩැසක් පිරවීමෙන් කාන්තාවන්ට වඩා පිරිමින්ගෙන් ඉල්ලුමක් පැනනගින බවට ද කිසිවෙකුට මනෝවිද්‍යාත්මක දෘෂ්ඨියක් තිබුණේ නැත. දිල්මිට මේ නිර්මාණාත්මක මෙන්ම ව්‍යාපාරික චින්තනය පහළ විය. සිංහල මෙන්ම දෙමළ හා මුස්ලිම් සමාජවලත් කාන්තාවන් සිතන පතන අයුරුත්, පිරිමින් සිතන පතන අයුරුත් ගැන අවබෝධ කරගන්නට ඇගේ විඥානය පුළුල් බව මෙයින් පෙනේ. මේ නිසා ප්‍රමුඛ පෙළේ ඇඟලුම් වෙළඳාම් හි සැපයුම්කාරියක වී විශාල පාරිහෝගික පිරිසක් දිනාගන්නට ඇය සමත්වුණා ය.
ඇඳුම යනු සංස්කෘතියේ සංකේතයක් වුණ ද ඒ නිර්මාණවලට සිංහල, දෙමළ හෝ මුස්ලිම් භේදයක් තිබුණේ නැත.
ඇඳුම යනු සංස්කෘතියේ සංකේතයක් වුණ ද ඒ නිර්මාණවලට සිංහල, දෙමළ හෝ මුස්ලිම් භේදයක් තිබුණේ නැත. එහෙත් වෙනත් ව්‍යාපාරිකයින් හා කරන ගනුදෙනුවලදී ඉලක්කයට වැඩ කිරීම හා නිසි වේලාවට ගනුදෙනු කිරීම දුෂ්කර කාර්යයක් වීම නිසා පාරිභෝගිකයා හා සෘජු සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමෙන් ඇය සිය නිවසේ දී ස්වයං රැකියාවක් ලෙස මැහුම් කාර්මාන්තය ඇරඹුවා ය.
වැඩි වශයෙන් මනාල මනාලියෝ ඇය සොයා එති. කාර්යාල සේවයේ නිරත කාන්තාවන් විශාල වශයෙන් දිල්මි සොයා එන්නේ සාරි හැට්ට මසාගැනීමට ය. සිරුරින් සිරුරට හැඩයෙන් වෙනස් විය යුතු හා විලාසිතාව ගැළපිය යුතු හැට්ට කලාව තුළ පාරිභොගිකයා දිනාගත් හැක්කේ ඉතා අල්ප දෙනකුට ය. වේගවත්භාවය මත නිර්මාණකරුවා තවත් තේරීමකට ලක්වේ. දැන් දිල්මී එක් සාරි – හැට්ටයක් මසාදීමට ගන්නා කාලය පැය භාගය දක්වා අඩු කර ඇත.
ගතවු පස්වසර පුරා ඇය සතුටුවන ප්‍රධාන කාරණයක් වන්නේ ඇය රැස්කරගත් පාරිභෝගිකයින්ගෙන් අඩක් තරම් විශාල පිරිසක් දැන් ඇය වෙත නොපැමිණීම නිසා ය. ඒ අපූරු කතාව ඇය පැවැසුවේ මෙසේ ය.
‘‘ මුල්කාලේ ඉඳන් මං ළඟින් ඇඳුම් මැහැව්ව අයගෙන් සියයට පනහක්ම දැන් මං ළඟට එන්නේ නෑ. රහස මොකක් කියලාද හිතන්නේ? ඒ හැමෝම මහන මැෂින් අරන් තනියම මහනවා. මෙතෙන්ට ආවාම මං වැඩ කරන හැටි බලාගෙන ඉඳලා ගොඩාක් අය තනියම මහන්න හිතනවා. මගෙන් අහනවා මොකද්ද හොඳ මහන මැෂිම කියලා.ම් ඒකත් හරියට කියනවා. මැෂිම ගත්තාට මහන්නත් බෑනේ. එතකොට මං අපේ මිස් ළගට යන්න පාර කියලත් දෙනවා. ඒ අය ගිහින් අපි දිල්මිගෙන් පාර අහගත්තේ කියලා කිවුවාම අපේ මිස් සතුටු වෙනවා ඇතිනේ. මං කිසිම කුහකකමක් නැතිව අලුතින් මැෂින් ගන්න අයට උදව් කරනවා.ඒක මම ලබන ලොකුම සතුටක්.‘‘ යනුවෙනි.
දිල්මිට ලැබෙන ඇණවුම් සපුරාලීම සඳහා ඇය රැකියා විරහිත සිංහල කාන්තාවන් ගණනාවක්ම යොදාගෙන සිටී. රෙදි කැපීම මැසීම වැනි කාර්යයන් මේ සහායිකාවන් කරන අතර තුර දිල්මී මනසින් ව්‍යාපාරික ලෝකයත් නිර්මාණ ලෝකයත් පීරයි. ඒ තුළින් ඇගේ පාරිභෝගිකයාට අනුබද්ධ තවත් අවශ්යිතාවන් වන සාරි මෝස්තරයට ගැළපෙන සපත්තු මෝස්තර,වළලු මෝස්තර හා මල් මොස්තර ද, මංගල ජෝඩු කල් ඇතිව රූගත කිරීම්වලට භාවිත කරන දිග වල්ගා ගවුම් ආදිය ද නිර්මාණය කරයි.
ඇතැම් වර්ගවාදී පිරිස් ජන වර්ග අනුව වෙළඳ සැල් තොරන ප්රයවණතාවක් පවා ඇති වර්තමානයේ දිල්මිට වඩා ඇය වෙත එන ගනුදෙනුකරුවන් උසස් බව හැඟේ.
‘‘ අපි දිල්මි අක්කා ළඟට එන්නේ එයාගේ සිංහල කතා විලාශය ලස්සන නිසා වශී වෙලාද කියලත් හිතෙනවා…නෑ..නෑ…එයාගේ මනුස්සකම එකක්. අනෙක සිංහල මනාල මනාලියන්ට ඕනෑ දේ ගැන එයා හොඳට හදාරලා තියනවා….අපි හුඟක් තැන් පහුකරගෙන ඇවදින් මෙතන නැවතුණේ…මෙයා මුස්ලිම් ද සිංහල කියලා අපි දන්නේ නෑ. එහෙම දැනගන්න ඕනෑත් නෑ….වැදගත් දේ මනුස්සකම….‘‘ යි කී තරුණිය කුමාරී ය.
ඒ කතාව අසා සිටි අශාම් කීවේ පසුගිය දිනවල ඇඳිරි නීති පැනවූ දිනෙක සිය කාමරවල කුලියට නැවතී සිටි පිරිස සීයයකට අධික පිරිසකගේ කුසගින්න නිවන්නට ද දිල්මී උදවු කළ බව ය.
‘ මම දන්නේ නෑ ඒ අය සිංහල ද දෙමළ ද කවුද කියලා. අපි හාල් කිලෝ දහයක බත් උයලා බුෆේ එකක් හදලා ඔක්කෝටම පහළට එන්න කියලා කන්න දුන්නා. අපි දෙන්නට ම එදා දැනුණෙ පුදුම සන්තෝෂයක්….‘‘ යනුවෙන් අශාම් කීවේ ය.
This article was originally published on the catamaran.com