Uncategorized

හික්කඩුවේ වෙරළ විනාශයෙන් වැනසෙන සංචාරක කර්මාන්තය

කමණී හෙට්ටිආරච්චි

“අපේ හික්කඩුව වෙරළ තීරය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. නීති විරෝධී වැලි ජාවාරම්කාරයෝ වැලි හෑරිල්ල දිගටම කර ගෙන යනවා. වෙරළ කඩා වැටිලා. වාරකං කාලයට මුහුද කොහොමත් හෑරෙනවා. නමුත් ඒ වැලි තව තැනකට එකතු වෙනවා. අපි ඒවා හරිගස්ස ගන්නවා. මේ වැලි ජාවාරම්කාරයෝ සමග සමහර අමාත්‍යංශ නිලධාරීන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා අපි මේ ගැන කිව්වට බලධාරීන් වගකට ගන්නේ නෑ. මෙහෙම ගියොත් වෙරළ විනාශ වෙලා හික්කඩුවේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. අම්බලංගොඩ ඉඳලා ගිංතොටට එනකං මේ ගැටලුව තිබෙනවා. මේක රටට ඩොලර් ඕන වෙලාවක්. ලබන මාසේ වෙනකොට සංචාරකයින් ලංකාවට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ ගැන අවධානය යොමු කරලා, මේ ප්‍රශ්නයට අපිට කඩිනමින් විසඳුමක් දෙන්න කියලා.”

හික්කඩුව වෙරළ තීරයේ ජනතාව රටේ ප්‍රධාන මාධ්‍යය අමතමින් පසුගිය දිනවල තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ මේ අයුරිනි.

ලංකාව මේ වන විටත් මුහුණ දී සිටින බරපතල ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අතිශයින් වැදගත් වේ. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට නම්, ඒ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් සහ ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගැනීම අදාළ බලධාරීන්ගේ පූර්ණ වගකීමකි.නමුත් හික්කඩුවේ සිදුවිමෙන් පෙනියන්නේ බලධාරින් තම යුතුකම සහ වගකිම නිසි අයුරින් ඉටු නොකරන බවකි.

වෙරළ ආශ්‍රිත ස්වභාවික සෞන්දර්ය රටක වටිනාකම ඉහළට ඔසවා තබන අතර එය සංචාරක ආකර්ශනය දිනා ගැනීමට ද සමත් වේ. එසේම දේශීය සංචාරකයින්ගේ විනෝදාස්වාදය සහ විවේකය සඳහා ද වෙරළ තීරයෙන් ලැබෙනුයේ නොමද සහයකි. වෙරළ ඛාදනයෙන් සෞදර්යාත්මක අගය පිරිහී යයි. මෙරට වෙරළ ඛාදනය සංචාරක ව්‍යාපාරයට පමණක් නොව ඒ ආශ්‍රිතව ගොඩ නැගී ඇති ධීවර කර්මාන්තයට ද සමස්ත වෙරළබඩ ජනජීවිතයට ද කරනු ලබන බලපෑම සුළුවෙන් තක්සේරු කළ නොහැකිය.

මේ වන විට ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත හෝටල්වලින් සියයට 75 ක් ද සමස්ත හෝටල් කාමරවලින් සියයට 80 ක් ද පිහිටා ඇත්තේ, වෙරළ ආශ්‍රිත පටු බිම් තීරයේ බව සංඛ්‍යාලේඛනවලින් තහවුරු වෙයි. වෙරළ ඛාදනය ප්‍රබල වන විට සංචාරක හෝටල් වලටත් ගිමන්හල්වලටත් භෝජනහල්, පිහිනුම් තටාක වැනි ගොඩනැගිලිවලටත් හානි සිදුවන අතර දැනටත් එවැනි ගොඩනැගිලි රැසක් විනාශ වී තිබේ. මෙරට වෙරළ තීරය ආශ්‍රිතව පිහිටුවා ඇති සෞන්දර්යාත්මක ස්ථාන 89 ක් මේ වන විටත් වෙරළ ඛාදනය හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති බව හඳුනාගෙන ඇත. එමෙන්ම ඓතිහාසික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් ඇති ස්ථාන රාශියක් ද විනාශ වීමට පටන් ගෙන ඇත. 

ශ්‍රී ලංකාවේ කල්පිටියේ සිට යාල දක්වා ඇති කිලෝමීටර් 685 ක් පමණ දිග වෙරළ ආශ්‍රිත කොටස් වාර්ෂිකව වර්ග මීටර් 175,000 ත් 285,000 ත් අතර වෙරළ ඛාදනය හේතුවෙන් විනාශ වන බවට ගණන් බලා ඇත. මෙය බැලූ බැල්මට කෙනෙකුට එකවර පෙනී යා නොහැකි බැවින් ඊට ලබා දිය හැකි සරල උදාහරණය බොහෝ දෙනා දන්නා සීනිගම දේවාලයයි. එම දේවාලය වර්ෂ 1840 ත් 1920 අතර කාල වකවානුවේ පිහිටා තිබුණේ මුහුදු වෙරළ ආශ්‍රිතව ය. නමුත් එය අද වන විට පිහිටා ඇත්තේ ගොඩ බිම දෙස සිට මුහුදට වන්නට සැතපුම් කාලක පමණ දුරිනි. 

වෙරළ ඛාදනයට බලපාන ස්වභාවික හේතූන්ට අමතරව මානව ක්‍රියාකාරකම් රාශියක්ද ඉවහල් වේ. ස්වභාවිකව පිහිටා ඇති කොරල් පාෂාන වැටි වෙරළේ දියකඩන ස්ථාන ලෙස හඳුන්වයි. එමගින් මුහුදු රළ මගින් වෙරළට වන හානිය වැළැක්වීම සඳහා ස්වභාවික බාධකයක් ලෙස ක්‍රියා කරයි. නමුත් වෙරළ ආශ්‍රිතව හුණු කර්මාන්තය සඳහාත් මසුන් ඇල්ලීම සඳහාත් නීති විරෝධී ලෙස කොරල් පර විනාශ කිරීම දිගින් දිගටම සිදුවේ. එමෙන්ම සංචාරක කර්මාන්තයේ ආකර්ශනය සඳහා ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස තැබීමට කොරල් පර විනාශ කරනු ලබයි. 

වෙරළාසන්නයේ පිහිටි ප්‍රධානම වෘක්ෂලතා පද්ධතිය කඩොලාන පරිසර පද්ධතියයි. මෙමගින් වෙරළ කලාපය තරංග ඛාදනයෙන් ආරක්ෂා කරයි. නමුත් වර්තමානයේ විවිධ ඉදිකිරීම් ආරථික කටයුතු, දැව සඳහා මෙන්ම ආරක්ෂක කටයුතු සඳහාද කඩොලාන පරිසරය විනාශ කරනු ලබයි. මේ හේතුවෙන් මුහුදු තරංග ගොඩබිම තුළට ඇදී ඒමෙන් වෙරළ ඛාදනය වේගවත් වේ. මෙම ඛාදනය ප්‍රබල වන විට ගල් වැටි බැඳීම කරනු ලබයි. මුහුදු තරංගවල ප්‍රබලත්වය සහ දිශාව පිළිබඳව විමර්ශනය නොකර එලෙස ගල්වැටි බැඳීම සහ වෙනත් බැමි ඉදි කිරීමෙන් එම බැමි විසින් තරංග ශක්තිය වෙනත් වෙරළාශ්‍රිත කලාපයක් වෙත යොමු කිරීමෙන් එම ප්‍රදේශයේ වෙරළ ඛාදනය ඉහළ යාම සිදු වේ. 

මානව ක්‍රියාකාරීත්වය සහ ස්වභාවික ක්‍රියාවලීන් ඉහළ යාමෙන් වෙරළ ඛාදනය සීග්‍ර වන බව පෙනී ගොස් ඇත. මෙමගින් භූමි සම්පත රටට අහිමි වෙමින් තිබේ. එමෙන්ම මේ හේතුවෙන් භූමි ප්‍රමාණය අඩු වී ගොඩබිමට අයත් පාංශු ස්ථරය සාගරයට එකතු වේ. ලංකාවේ දකුණු හා නිරිත දිග වෙරළ තීරයට මෙය බරපතල ලෙස බලපා ඇත. සුනාමි ව්‍යසනය ද මේ තත්ත්වය දරුණු වීමට හේතු විය. සුනාමියෙන් ද වැඩි හානියක් සිදු වූයේ ඉහත වෙරළ තීරයන් දෙකට ය. මෙම පාරිසරික තත්ත්වය හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ ගොඩබිමට වඩා පහළ මට්ටමකට පැමිණේ. ඉන් සිදුවනුයේ ගංගා මෝය හරහා ගොඩබිමට ලවණ ජලය ගලා ඒමයි. එය ගංගා හා අභ්‍යන්තර ජලාශවලට එකතු වීමෙන් පරිභෝජනයට ගන්නා ජලයට සහ කෘෂි කාර්මික ජලයට කරදිය මිශ්‍ර වීමෙන් භෝගවල ඵලදායිතාවට හා ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරයි. 

වෙරළ ඛාදනය ස්වභාවික සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන නමුත් එය වෙරළ ආශ්‍රිත ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලට එල්ල කරන බලපෑම අවතක්සේරු කළ නොහැකි ය. මුහුදු කලපු හා මුහුදු බොකු ආශ්‍රිත ධීවර කර්මාන්තයට මෙමගින් අහිතකර බලපෑමක් එල්ල වේ. වෙරළේ ධීවර බෝට්ටු නවතා තැබීමට නොහැකි වීම, මත්ස්‍ය අභිජනන කලාප විනාශ වීම හේතුවෙන් මත්ස්‍ය බෝ වීම නතර වේ. 

ඉහත තත්ත්වය දෙස විමර්ශනය කිරීමෙන් පෙනී යන්නේ, රටක ස්වභාවික සම්පතක් වූ වෙරළ තීරයක තිබෙන ස්වභාවික, සමාජයීය, ආර්ථික වැදගත්කමය. මෙහි වූ සුවිශේෂී වැදගත්කම සලකා බලා, 1986 වසරේදී වෙරළ සංරක්ෂණ පනත මේ රටේ ස්ථාපිත කරනු ලැබීය, එය 1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ පනත ලෙස හඳුන්වනු ලබයි. එම පනතේ ආවරණය යටතේ වෙරළ කලාප කළමණාකරණ ව්‍යාපෘතිය ආරම්භ වූ අතර එය වරින් වර සංශෝධනය වී අවසන් වරට සංශෝධනය වී ඇත්තේ 2018 වසරේදීය. 

මෙම වෙරළ සංරක්ෂණ පනතේ අරමුණු අතර ඇති ප්‍රධාන අරමුණු කිහිපයක් මෙසේ දැක්විය හැකිය. වෙරළබඩ පරිසරයේ තත්ත්වය වැඩි දියුණු කිරීම, වෙරළ තීරය සංවර්ධනය කිරීම හා කළමණාකරණය කිරීම, වෙරළබඩ ප්‍රජාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම, වෙරළබඩ සම්පත් මත පදනම්ව ආරථික සංවර්ධනය කිරීම හා පහසුකම් සැපයීම ඉන් සමහරකි. මෙම අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන ආයතනවල වගකිව යුතු නිලධාරීන්ගේ අනුදැනුම යටතේ හික්කඩුවේ ජනතාව පවසන පරිදි වැලි ජාවාරම්කරුවන් වෙරළ විනාශ කරමින් සිටීනම්, එය වහාම සොයා බැලිය යුතු තත්ත්වයකි. මන්ද යත් එය හික්කඩුවේ ජනතාවට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොව සමස්ථ ශ්‍රී ලාංකිකයින්ටම ප්‍රශ්නයක් වන බැවිණි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts