අජිත් පැරකුම් ජයසිංහ
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් වෙනස් කතිකාවකට මා පිවිසුණේ 1994 ජනාධිපතිවරණය වකවානුවේ සාම ව්‍යාපාරය සමග සම්බන්ධ වීමෙනි. ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය කෙරෙහි කලකිරී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වාමාංශික පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති හා වෙනත් සිවිල් සමාජ සංවිධාන හා පුද්ගලයන් විසින් නායකත්වය දෙන ලද මෙම ව්‍යාපාරය විසින් ජාතික ගැටලුවට බලය බෙදාගැනීම ඔස්සේ සාකච්ඡාමය විසඳුමක් අවශ්‍ය බවට අදහසක් ප්‍රවර්ධනය කරන ලදී. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බලයට ගෙනඒම සඳහා මෙම අරගලය පසුබිම් විය.
ඊට පෙර මා ජනවාර්ගික ගැටලුව ගැන දැරූ අදහස ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර විසින් රචිත ‘දෙමළ ඊලාම් ගැටලුවට විසඳුම කුමක්ද?’ යන කෘතිය මගින් ඉදිරිපත් කරන ලද මතය විය. ඒ අනුව, දෙමළ ඊලාම් යනු, ශ්‍රී ලංකාව බෙදා වෙන්කර, දුර්වල කර, තම භූ දේශපාලනික මූලෝපායට නතුකරගැනීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයේ උපායමාර්ගයකි. එසේම, එය ඉන්දියානු ව්‍යාප්තවාදයේ උවමනාවන් ද ඉටුකරයි. ඒ අනුව, ප්‍රතිගාමී වූ මෙම අරගලය පරාජය කළ යුතුය. සමාජවාදී ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ ‘සැබෑ’ නියෝජිතයන්ට ස්වයං පාලනයක් ලබාදීමට මෙම මතය අනුව විරුද්ධත්වයක් නැත.
එහෙත්, සෙසු වාමාංශික පක්ෂ හා සිවිල් සංවිධාන බොහොමයක ස්ථාවරය වුණේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ෆැසිස්ට්වාදී, ජාතිවාදී සංවිධානයක් වුවත්, දෙමළ ජනතාවගේ අරගලය සාධාරණ එකක් බවයි. එබැවින්, ස්වයං නිර්ණ හිමිකම මත පදනම්ව බලය බෙදාගැනීමේ විසඳුමකට යා යුතු බව වැඩිදෙනෙකුගේ අදහස විය. එය සමාජවාදී රජයක් පිහිටුවන තෙක් කල් නොදමා ධනේශ්වර ක්‍රමය තුළම විසඳාගත යුතු ප්‍රශ්නයක් බව ඔවුන්ගේ අදහස විය.
බලය බෙදාගැනීමේ විසඳුමකට දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය එකඟ නොවන්නේ නම් කුමක් කළ යුතුද යන ප්‍රශ්නයට පිළිතුර පසු කලෙක සාමය වෙනුවෙන් යුද්ධය නමින් ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වූයේය. එනම්, කොටි සංවිධානය මර්දනය කිරීමෙන් පසු සෙසු බලවේග සමග සාකච්ඡාමය විසඳුමකට පැමිණීමයි.
ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වඩාත්ම රැඩිකල් වාමාංශික දෘෂ්ටිවාදීමය ඉදිරිපත් කිරීම සිදුකළ හිරු කණ්ඩායමේ මතය මට වඩාත් ආකර්ශනීය විය. හිරු කණ්ඩායම යනු හිරු පුවත්පත පළ කළ පිරිස හා ඒ වටා එක්රැස් වූ සෙසු කණ්ඩායම් හා පුද්ගලයන්ය. හිරු පුවත්පත ස්වාධීන මාධ්‍ය ආයතනයක් වුව ද එය ජනතා විමුක්ති පෙරමුණෙහි ඉදිරිපෙළ සංවිධානයක් ලෙස ක්‍රියාත්මක විය. එහෙත්, ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හිරු කණ්ඩායම හා ජවිපෙ අතර ඇති වූ විවාදයක ප්‍රතිඵලයක් ලෙස හිරු කණ්ඩායම ජවිපෙන් වෙන් විය. රෝහිත භාෂණ අබේවර්ධනගේ දෘෂ්ටිවාදීමය නායකත්වයෙන් යුක්ත වූ මෙම දේශපාලන කණ්ඩායම දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම සම්බන්ධයෙන් වඩා රැඩිකල් මතයක් ඉදිරිපත් කළේය.
ස්වයං නිර්ණ හිමිකම යනු ජාතීන් සතු වෙන්වීමේ අයිතිය බවත්, ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් අරගල කරන ආකාරය තීරණය කිරීම ද ස්වයං නිර්ණ හිමිකමේ ම කොටසක් බවත් හිරු කණ්ඩායමේ දැක්ම විය. එහිදී දෙමළ ජනතාව තම නියෝජිතයා ලෙස දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය තෝරාගන්නේ නම්, එයට එරෙහි වීමට සිංහල හෝ වෙනත් ජාතියකට අයිතියක් නැති බව හිරු කණ්ඩායමේ අදහස විය. දෙමළ ජාතිය සමග සම්මුතියකට යාමේ පදනම වන්නේ ඔවුන්ගේ අරගලය ඒ සැටියෙන් පිළිගැනීම බව ද, සාකච්ඡාමය විසඳුම් හෝ යුද්ධය තීරණය වන්නේ ඒ අනුව බව ද හිරු කණ්ඩායම ඉදිරිපත් කළේය.
සාම ව්‍යාපාරය තුළ සිටි විවිධ කණ්ඩායම් විවිධාකාරයෙන් යුද්ධයට විරුද්ධ වුව ද, එම කණ්ඩායම්වලට යුද්ධය සම්බන්ධයෙන් විවිධ ස්ථාවර තිබුණු බව ද, අවසානයේදී ගත් කල යුද විරෝධය හා සාමය යනු වියුක්ත සංකල්පයක් නොවන බව ද මෙයින් පැහැදිලි වේ. විරුද්ධ කුමන යුද්ධයට ද යන්න අවශ්‍ය කුමන සාමය ද යන්න මත පැහැදිලිව තීරණය වේ.
ඒ අනුව, අපට අවශ්‍ය කුමන සාමයක් ද යන්න පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් සමාජයට අවශ්‍යය. සාමය ගොඩනැගීම හෙවත් peacebuilding, සංක්‍රාන්ති යුක්තිය හෙවත් transitional justice සහ සංහිඳියාව හෙවත් reconciliation වැනි සංකල්ප භාවිතයට පැමිණියේ තරමක් මෑත කාලයේදීය. විශේෂයෙන්ම, මෙම සංකල්ප භාවිතයට පැමිණියේ යුද ගැටුම අවසන් වූ පසුවයි. එසේත් නැතහොත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය 2009දී යුද්ධය පරාජය වීමෙන් හා ශ්‍රී ලංකා රජය ජයග්‍රහණය කිරීමෙන් පසුවයි. කොටි සංවිධානයේ නායකත්වය හා සාමාජිකත්වයෙන් ද සැලකියයුතු පිරිසක් සමූලඝාතනය කර ඔවුන්ගේ යුද බලය විනාශ කර දමා දශක ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය නිල නොවන රාජ්‍යය ද අහෝසි කර දැමීමෙන් පසුවයි.
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ පරාජය හුදෙක්ම සංවිධානයක පරාජයක් ලෙස හැඳින්විය නොහැකිය. එම සංවිධානය හොඳින් හා නරකින් යන දෙකෙන්ම දෙමළ සමාජය තුළ තම ආධිපත්‍යය තහවුරු කරගෙන තිබිණි. දෙමළ ජාතික අයිතිවාසිකම් පිළිබඳ අරගලයේ නායකත්වය ඔවුන් අතට ගෙන තිබිණි. ඔවුන් දෙමළ ඊලාම් නිල නොලත් රාජ්‍යයක් ද ගොඩනගා තිබිණි. ඒ අනුව එය සරල සංවිධානයක් නොවේ. පොලීසි, හමුදා, අධිකරණ, බදු එක්රැස් කරන ව්‍යූහ ආදිය පවා පිහිටුවාගෙන ලාංකීය දෙමළ සමාජය මත වන්නි භූගෝලීය සීමාවෙන් එපිටට පවා විහිදෙන දෘෂ්ටිවාදී, දේශපාලනික හා සංවිධානමය ආධිපත්‍යයක් පිහිටුවාගෙන සිටි දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය මුලිනුපුටා දැමීමෙන් පසු දෙමළ සමාජයෙහි ඇති වී තිබෙන්නේ රික්තයක් බව පෙනේ.
මෙම රික්තය තුළ දෙමළ ජාතික අයිතිවාසිකම් පිළිබඳ කතිකාවේ මූලික සාධකයක් වන දේශපාලන කතිකාවට මුල්තැන අහිමි වී ඇති බවක් ද නිරීක්ෂණය කළ හැකිය. 1940 දශකයේ රාජ්‍යය තුළ සිංහලයන්ට 50%ක ඉඩක් හා සෙසු සුළුතර ජාතීන්ට 50% ඉඩක් ඉල්ලා සිටි ජී.ජී. පොන්නම්බලම්ගේ පනහට පනහ ඉල්ලීමේ සිට අද දක්වා කාලය තුළ දෙමළ දේශපාලන අරගලය සන්ධිස්ථාන රැසක් පසුකර පැමිණ ඇත. එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ නායකත්වයෙන් දෙමළ රාජ්‍ය පක්ෂය හෙවත් ෆෙඩරල් පක්ෂය බිහිවීම, 1950 දශකයේ අගභාගයේදී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක හා චෙල්වනායගම් අතර ගිවිසුම හා බලය බෙදීම සඳහා රට සභා යෝජනාව, එම උත්සාහය අසාර්ථක වීම, 1960 දශකයේ අග භාගයේදී අගමැති ඩඩ්ලි සේනානායක හා චෙල්වනායගම් අතර ගිවිසුම හා එහි පරාජය, 1970 දශකයේ අගභාගයේදී දෙමළ සංවිධාන එක්සත් කරමින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බිහිවීම හා වෙනම දෙමළ ජාතියක් හා රාජ්‍යයක් සංකල්පගත කළ වඩුක්කොඩෙයි යෝජනා, 1977 මහ මැතිවරණයේදී දෙමළ ජනතාව එම යෝජනා අනුමත කිරීම, දෙමළ සන්නද්ධ අරගලය, 1987 ඉන්දු ලංකා ගිවිසුම හා පළාත් සභා, නිල නොලත් රාජ්‍යය ආදිය එම සන්ධිස්ථානයි.
ඒ හා සමාන්තරව සිංහල මූලික රාජ්‍යය විසින් ද දෙමළ අරගලයට එරෙහි දේශපාලන ජයග්‍රහණ රැසක් සලකුණු කරගන්නා ලදී. නිදහස් සිංහල රාජ්‍යය තුළ සිංහල ජාතික ආධිපත්‍යය තහවුරු කරගැනීම, සෝල්බරි ව්‍යවස්ථාව තුළ සුළුතර ප්‍රජාවන් සඳහා තිබුණු විශේෂ ආරක්ෂණයන් අහෝසි කිරීම, 1972 හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් සිංහල මූලික ඒකීය රාජ්‍යය තහවුරු කරගැනීම, හයවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනම රාජ්‍යය පිළිබඳ කතාකිරීම පවා නීති විරෝධී කිරීම, 2009දී තිස් අවුරුදු යුද්ධය ජයගැනීම ආදිය එවැනි සන්ධිස්ථානයි.
2009දී යුද්ධය අවසන් වීමෙන් පසු සාම කතිකාව තුළ ස්ථාපිත වූ සාමය ගොඩනැගීම, සංක්‍රාන්ති යුක්තිය, සංහිඳියාව වැනි සංකල්ප තුළ දෙමළ දේශපාලන අරගලයේ ඉල්ලීම් කෙරෙහි එතරම් බරක් තිබුණේ නැත. ඒ වෙනුවට, අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය, හානිපූරණය, යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් විභාග කිරීම වැනි කාරණා වඩා වැදගත් විය. 1987දී ජාතීන් අතර බලය බෙදීම සඳහා හඳුන්වාදෙන ලද පළාත් සභා ක්‍රමය ද අද වන විට විකෘති කර අක්‍රිය කර දමා තිබේ. ඉන්දු ලංකා ගිවිසුම අනුව, දෙමළ ජනතාවගේ සම්ප්‍රදායික වාසභූමිය ලෙස සලකා 1988 පළාත් සභා පනත මගින් ඒකාබද්ධ කරන ලද උතුරු නැගෙනහිර පළාත් සභා පසුව වෙන් කර වෙනම පළාත් දෙකක් බවට ද පත්කරන ලදී. යුද්ධයෙන් පසුව මෙම පළාත් සභා දෙක නැවත පිහිටුවන ලදී. ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය බලය බෙදීමක් හරහා විසඳුමක් සෙවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ප්‍රජාව සමග එකඟ වී ඇතත් එය ක්‍රියාත්මක වූයේ නැත.
මෑතකාලීන සාමය ගොඩනැගීමේ ව්‍යාපෘති සමග ද තරමක් සමීපව කටයුතු කිරීමට මට අවස්ථාව ලැබිණි. මෙම සාම ව්‍යාපෘති විසින් සාමය උල්ලංඝනය වීමට ප්‍රධාන හේතුව වූ දේශපාලන ප්‍රශ්නය සිතාමතා මගහරිමින් වෙනත් කාරණා මතුකිරීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබිණි. නිදසුනක් ලෙස, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 දරණ තරුණයා, සාමය හා ආරක්ෂාව පිළිබඳ යෝජනාව පිළිබඳ සාමය ගොඩනැගීමේ ව්‍යාපෘති තුළ කතිකාවක් ඇති විය. එහෙත්, එම කතිකාව සංයුක්ත අන්දමින් දේශපාලනික ප්‍රශ්නය ස්පර්ශ කරන ආකාරයක් දකින්නට ලැබුණේ නැත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 1325 දරණ යෝජනා සම්මතය හෙවත් කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ යෝජනා සම්මතය පවා කාන්තා ගෘහ මූලික පවුල් වැනි යුද්ධයේ ප්‍රතිඵල කෙරෙහි තබන ලද බර දේශපාලන ප්‍රශ්නය කෙරෙහි තැබුවේ නැති බව මගේ නිරීක්ෂණයයි.
සාමය සම්බන්ධ දේශපාලනයෙහි මගේ අත්දැකීම් ඇසුරින් තබන ලද මෙම කෙටි සටහනෙහි මා අවධාරණය කරන මූලික කරුණ වන්නේ ලංකාවේ සාමය ගොඩනැගීම සඳහා ජනවාර්ගික ප්‍රශ්නයේ දේශපාලනික ගැටලුව අනිවාර්යයෙන්ම ආමන්ත්‍රණය කළ යුතු බවයි. වඩාත් සරලව කීවොත්, දෙමළ ජනයා ඇතුළු සුළුතර ජනවර්ගයන්ට දේශපාලනික බලය පිළිබඳ පැහැදිලි ප්‍රශ්නයක් තිබේ. ඔවුන්ට තම ශක්තීන් උපයෝගී කරගෙන සමාජය සංවර්ධනයට දායක වීමේ වැඩි නිදහසක් හා බලයක් ලැබෙන පරිදි ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතිව්‍යූහගත කළ යුතුය. එය සාමයේ මූලික කොන්දේසියකි. ජනවාර්ගික සංහිඳියාවෙන් තොරව ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගිය නොහැකිය.
Peace-Building In Sri Lanka: The Path Taken And The Path Ahead