සිරිපා කරුණාවයි, කොටි වැඩියෙන් මියයාමයි, කෙරුවාවම හෙළිවෙයි
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
තද වැහි කාලයට අහසෙන් මාළු වැටෙන බව අපි අසා ඇත්තෙමු. එහෙත් අඩි තුන හතරක් දිග කොටියෙක් අහසින් වැටුන බව කිසිවෙක් ඔබට පැවසුවහොත් ඔබේ ප්‍රතිචාරය කුමක් වේදැයි සිතා බලන්න . නිසැකවම ඔබ හඩ නගා සිනහවෙනු ඇත. එහෙත් එය සිනහවට කරුණක් නොවන බව පසක් වනුයේ පසුගිය 3 වැනිදා තලවකැලේ ලෝගී වත්තේ වතු නිවාසයක විසූ කම්කරු පවුලක් මේ අත්දැකීමට මුහුණ දුන් අත්දැකිමත් සමගය. ඔවුන්ගේ නිවසේ වහලයට වැටුන කොටියා වහලයත් කඩාගෙන නතරවූයේ නිවසේ නිදන කාමරයේ වු ඇඳ මතය. සොයා බැලිමේදී වාර්තාවූයේ බල්ලන් දඩයමේ ආ කොටියෙකු සිය ඉලක්කය වැරදීම නිසා පහත් බිමක තිබූ වතු නිවාසයේ වහලයට වැටී ඇතිබවත්, අනතුරුව වහලය කඩාගෙන නිවාසය තුළට ඇද වැටී ඇති බවත් ය.
මේ සිදුවීමෙන් දින දෙකකට පමණ පසු තවත් කොටියෙක් මන්දකට අසුව බේරාගන්නට යාමේදී මියගිය බව වාර්තා වීම නිසා මේ දිනවල කඳුකර ප්‍රදේශවල කොටීන් පිළිබඳ බොහෝ කතා සමාජ ගත වෙමින් තිබේ. එහෙයින් මධ්‍යම කඳුකරයේ කොටි ගහනය සහ ඔවුන් මුහුණදෙන ප්‍රශ්ණ ගැන සොයා බලන්නට අපි වනජීවී දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලයට ගොඩවැදුනෙමු. සමනල අඩවිය භාර වන සත්ව අඩවි ආරක්ෂක ඩි.පි. ශ්‍රියාසිංහ කඳුකරයේ කොටි ගැන කතාවට එක්වූයේ බොහෝ කැමැත්තෙනි.
“ ඇත්තටම මධ්‍යම කඳුකරයේ කොටි ගහනය පිළිබඳ විදිමත් සංගනනයක් තවමත් කරලා නෑ. ඒත් යම් තරමකින් කොටි මේ පළාත්වල ජීවත් වෙනවා“ ඔහු පැවසීය. මධ්‍යම පලාතේ කොටි පිළිබඳ ලියන කියන බොහෝදෙන ඔවුන් හඳුන් වනුයේ “කඳුකර කොටි“ නමිනි. එහෙත් වන සත්ව අඩවි ආරක්ෂක ඩි.පි. ශ්‍රියාසිංහ පවසනුයේ කඳුකර කොටි නමින් වෙනමම උපවිශේෂයක් විද්‍යාත්මකව තහවුරුව නැති බවය.
” කොටියාගේ විද්‍යාත්මක නාමය Panthera pardus pardus. ලංකාවෙ වාර්තා වෙන කොටියා මෙරටට ආවේනික උපවිශේෂයක් . එයාගේ නම Panthera pardus kotiya. යාල විල්පත්තුව වගේම මධ්‍යම කඳුකරයෙත් වාර්තාවන්නේ මේ විශේෂයම තමයි. ඒත් ජීවත්වෙන පරිසරය අනුව මේ ගොලන්ගේ කෝට් එකේ (හමේ) වෙනස් කම් තියෙන්න පුළුවන්. සාමාන්‍යවශයෙන් කියනවනම් යාල ඉන්න කොටින්ට වඩා කඳුකරයේ ඉන්න කොටින් ගේ හම අඳුරු පාටක් ගන්නවා. එක ජීවත්වන පරිසරයට අනුව සිදුවෙන අනුවර්තනයක් විතරයි. ඒ හැර විද්‍යාත්මක පරීක්ෂණයකින් කඳුකර කොටි කියලා වෙනමම උපවිශේෂයක් තවමත් තහවුරු කරලා නෑ” ඔහු පවසන්නේය.
මෙරට බ්‍රිතාන්‍යය කිරීටයට නතුවීමට කළින් ඝන වනාන්තරයක්ව පැවති මධ්‍යම කඳුකරය මුලින්ම කෝපි වගාවටත්, අනතුරුව තේ වගවටත් මහා පරිමාණයෙන් නිරාවරණය විය. ඒ සමගම කඳුකර වනාන්තර නිජබිම කරගත් වනසතුන් ස්වකිය වාසස්ථාන පිළිබඳ අර්බුදයකට මුහුණ දෙන්නට විය . වර්තමානයේ කොටි ගම්මාන වලට පැමිණීම එකී නිජබිම් අහිමි වීමේ අර්බුදයේ එක්තරා දිගුවක් ලෙසින් දැක්විය හැක. වන සත්ව අඩවි ආරක්ෂක ඩි.පි. ශ්‍රියාසිංහ මධ්‍යම කඳුකරයේ වන වැස්ම පිළිබඳ දක්වනුයේ මෙවැනි අදහසකි. “ වර්තමානයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වනාන්තර එළිවිම වැඩි වෙලා තියනවා. කඳුකරයේ ප්‍රධාන වන වැස්ම ගැන කතා කරනවානම් සමනළ රක්ෂිතය ලෝකාන්තයට සම්බන්ධවෙනවා. එතනින් නුවරඑළිය, අඹේවෙල, නානුඔය ඔස්සේ පිදුරුතලාගල රක්ෂිතය තෙක් එය පැතිරෙනවා. ඊට අමතරව තේවතු වලට මැදිවෙලා කුඩා කැලෑ කුට්ටි තියනවා. වතුවලත් ජල පහරල් සහ කඳු මුදුන් ආශ්‍රිතව කුඩා වනාන්තර පවතිනවා. මේවා සුදු ජාතිකයන් සිටි කාලයේ සිට පවතින ඒවා. මෙන්න මේවායේත් කොටි ඉන්නවා. මේ අය වරින් වර ගම් වලට එනවා”.
ඒ ආකාරයෙන් ජනාවාස වලට එන කොටි නිසා වතුකරය යම් තරමකට නොසන් සුන් වී ඇත. මෙලෙස පැමිනෙන කොටින්ට බහුලවම ගොදුරු වන්නේ ගෙවල්වල ඇති දැඩි කරනා බල්ලන්ය . කොටියා බල්ලන් දඩයමට රුචිය. කොටියාගේ පැණිමුල බල්ලා ලෙස ගැමියන් පවසන්නේ ඒ නිසාය. මිනිසුන් විසින් අටවන මදු මධ්‍ය කඳුකරයේ කොටි මුහුණදෙන ප්‍රධාන තර්ජනය වෙයි. බොහෝවිට ත්‍රි රෝද රථ සඳහා යොදාගන්නා කේබල් වලින් සාදාගන්නා මදු පැටලෙන කොටි අවාසනවන්ත ලෙස මියයනු දැක ගත හැක. කඳුකර පළාත්වල කොටින්ට මරු කැඳවන මදු ගැන අප වන සත්ව අඩවි ආරක්ෂක ඩි.පි. ශ්‍රියාසිංහගෙන් විමසීමු.
” කොටි මදුවල පැටලී මිය යාම සැබෑම අවාසනාවන්ත තත්ත්වයක් . මේ මදු අටවන්නේ ගොඩක් වෙලාවට ඌරන්ට. එහෙම නැතිව චේතනාන්විතව කොටින්ට අටවනවා නොවේ. එහෙත් කොටියෙක් අහු උනාම සතාට වගේම නීතියට තියන බයට මිනිස්සු මග හැරලා යනවා. “ ඔහු පවසන්නේය.
මධ්‍ය කඳුකරයේ කොටි මරණ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුව කරනා ලද සොයා බැලීමකදී ඉතා වැදගත් සාක්ෂි දෙකක් තහවුරු කර ගන්නට හැකිව තිබේ . ඒ සෑම වසරකම දෙසැම්බර් සිට මැයි දක්වා කොටි මදුවල පැටලීම වැඩියෙන් වාර්තා වන බව සහ කොටි වැඩිම ප්‍රමානයක් මිය යන්නේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ බවයි. මෙම කාල සීමාව සිරිපා වන්දනා සමය වන අතර එම කාලයේදී වන්දනාකරුවන් විශාල පිරිසක් හැටන්, ගිනිගත්හේන, නෝටන්බි්‍රජ්, වටවල, ආදී ප්‍රදේශවල සැරිසරයි. මෙම පිරිස් අතරින් දඩමස් සඳහා ඉල්ලුමක් ඇතිවන අතර එම ඉල්ලුම සැපයීමට වතු කම්කරුවන් සහ ගැමියන් වඩ වඩාත් මදු ඇටවීමට යොමුවෙති.ඉලක්කය වෙනත් සතුන් වුවද අවාසනාවන්ත ලෙස කොටි ඒවාට බිලිවෙයි. අඹගමුව ප්‍රාදේශිය ලේකම් ප්‍රදේශයේ වැඩි කොටි මරණ ප්‍රමණයක් වාර්තා වීමට ප්‍රධාන හේතුව කොටි ගහණය සුලබ සමණළ රක්ෂිතය එහි පිහිටීම සහ ශ්‍රිපාදය වෙත යන වන්දනා කරුවන් වැඩි දෙනෙක් එම ප්‍රදේශයේ ගැවසීම නිසා එම ප්‍රදේශයේ මස් සඳහා වඩි ඉල්ලුමක් ඇතිව්වීමය.
ශ්‍රී ලංකාවේ කොටි මරණ පිළිබඳ 2010 -2020 දශකය අළලා කරනා ලද සමීක්ෂණයකට අනුව මරණ 71% කටම හේතුව මදු සහ වෙනත් උගුල් ඇට වීම බව තහවුරු වෙයි. මීට අමතරව කොටි මරණවලින් 10% කට හේතුව වසදීම බව එම සමීක්ෂණ දත්ත තහවුරු කරයි. රිය අනතුතුරු නිසා සිදුවන කොටි මරණ ප්‍රමාණය 7% ක් ලෙසද , වෙඩි තැබීමෙන් සිදුවන මරණ ප්‍රමණය 8% ලෙසද එකී සමීක්ෂණය මගින් තහවුරු වෙයි . ඊට අමතරව පහරදීම්වලින් සහ විදුලි වැර වැදීමෙන් සිදුවන කොටි ප්‍රමාණය 4% ක් ලෙසද එම වාර්තාව තහවුරු කරයි. මේ අනුව ලංකාවට ආවෙණික උපවිශේෂයක් වන කොටියාට ඇති ප්‍රධාන තරජනය මදු සහ උගුල් ඇටවීම බව වටහා ගැනීම අසීරු නොවේ.
එකී තර්ජනය දුරලනු වස් කොටියා ආරක්ෂා කර ගනීම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුව ප්‍රජාව දැනුවත් කරති. කොටියා යනු මිනිසුන් මරා කන සත්වයෙක් නොවන බවත් ආරක්ෂා කර ගත යුතු සම්පතක් බවත් වතු කම්කරුවන් ප්‍රමුඛ කඳුකර ජනතාවට අවබෝද කරදීම මෙකී දැනුවත් කිරීම් මගින් සිදුවේ. දෙපාර්තමේන්තුවට අමතරව ලෙපර්ඩ් ඩයරි වැනි පාරිසරික සංවිධානද මේ සඳහා එක්ව සිටී. මෙකී දැනුවත් කිරීම්වලට අමතරව වනබිම් සහ සතුන් ගමන් කරනා මංකඩ ආශ්‍රිතව නිරන්තර සෝදිසි කිරීම් කරමින් මදු සහ උගුල් ඉවත් කිරිමට වන ජීවී නිළධාරීන් කටයුතු කරයි. එහෙත් මධ්‍ය කඳුකරයේ කොටි ජීවත්වන වන බිම් සියල්ල පවතින්නේ වන ජීවිය බාරයේ නොවීම ඒ කටයුත්තට සැලකිවයුතු බාධවන් ගෙන එයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික ඉඩම් සහ තේවතු ආශ්‍රිත පටු කැලෑ බිම්වල සැලකිවයුතු තරමේ කොටි ගහනයක් වාර්තාවෙන බැවින් උගුල් ඉවත් කිරීමේදී වන ජීවී නිළධරීන්ට ප්‍රායෝගික බාධාවන්ට මුහුණ දීමට සිදුවෙයි.
මදුවලට කොටුවන කොටි ඒවායෙන් මිදීමට උත්සහය ගනී . එකී උත්සහයන් නිසා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදුවී උන්ගේ මරණය කඩිනම් වෙයි. පසුගිය වර්ෂයේදී මධ්‍යම පළාත අශ්‍රිතව මදුවල පැටලී මියගිය කොටින්ගේ සංඛ්‍යව 8 ක් වන අතර වන ජීවී නිළධාරීන් විසින් බේරාගත් සංඛ්‍යාව 3 දෙනෙකි. එහෙත් එය ඊට පෙර වසරවලට සාපෙක්ෂව යම් තරමක සතුටු දායක තත්වයකි. ගෙවීගිය 2020 වර්ෂයේදී කොටි 15 දෙනෙකු උගුල්වලට හසුවී ඇති අතර ආරක්ෂිතව මුදාගැනීමට එම වසරේ හැකිව ඇත්තේ 6 දෙනෙකු පමණක් බව දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි. මෙම වසරේදී මේ වන විට මධ්‍ය කඳුකරයෙන් කොටි මරණ දෙකක් වාර්තා වී ඇති අතර ඉන් පළමුවැන්න නෝටන් බි්‍රජ් ප්‍රදේශයේ පෞද්ගලික තේ ඉඩමක් ආශ්‍රිතවද දෙවැන්න හැටන් සමර්හිල් වත්තේදීද වාර්තා විය. මීට අමතරව මාදුරුඔය ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව සහ පොතුවිල් ප්‍රදෙශයෙදීද තවත් කොටි මරණ දෙකක් වාර්තා විය.
විපතට පත් කොටි මුදා ගැනීමට යාමේදී සිදුවන අත් වැරදීම් නිසාද මරණ කිහිපයක් සිදුව ඇත. මෑතකදී හැටන් සමර් හිල් වත්තේදී මන්දක සිරවූ කොටියෙක් බේරා ගැනීමට ගසක් කැපීමෙන් සිදුවූ මරණය එවැනි විවාද සම්පන්න මරණයකි. ඒ පිළිබඳ දැනටමත් දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් අරඹා ඇත. කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් මුල්කරගෙන වනජීවී දෙපාර්තමේන්තුව විවේචනය කිරීම බහුලව දැකගත් හැකි තත්ත්වයකි. එහෙත් අවම නිළධාරීන් සහ සම්පත් ප්‍රමාණයක් සමගින් සුවිශාල බිම් ප්‍රමාණයක් ආරක්ෂා කිරිම දුෂ්කර කාර්‍යයකි. පුහුණු නිළධාරීන් හිඟය, පශු වෛද්‍යවරුන් ප්‍රමානවත් නොවීම, වනජීවී කාර්යාල සිමිත ප්‍රමණයක් පිහිටා තිබීම පමණක් නොව මේ වන විට ඉන්ධන හිඟය නිසාද ඕවුහු බරපතල අර්බුදයන්ට මුහුණ දෙමින් සිටිති.