සිංහල දෙමළ සංහිඳියාවේ දිශානතිය යාපනය සිංහල මහා විද්‍යාලය
මංගලනාත් ලියනාරච්චි
ජාති භේදයකින් තොරව එදා උතුරේ දරුවන්ට ශිල්ප බෙදු යාපනය සිංහල මහා විද්‍යාලයේ නටබුන් තුළ සැඟව ඇත්තේ, කලකට පෙර යාපා පටුනේ දිශානතිය වු සිංහල දෙමළ සංහිඳියාවයි.
“කළු ජූලිය නිසා අපිට කොළඹ අතහැරලා යාපනේට එන්න වුණා.ඒ වෙන කොට මමයි,නංගිලා දෙන්නයි,මල්ලියි සිංහල මාධ්‍යෙයන් ඉගෙන ගත්තේ.ඒ වෙන කොට යාපනේ සිංහල මහ විද්‍යාලයේ ළමයි 800 විතර ඉගෙන ගත්තා…සිංහල දෙමළ ළමයි හරි හරියට හිටියා.මුස්ලිම් අයත් එහෙමයි.85 අප්‍රේල් මාසේ ස්කෝලේ ගිනි තියද්දී මම ඒ ස්කෝලෙම ගුරුවරියක්.ස්කෝලේ ගිනි ගනිද්දී මගේ පපුව පිච්චිලා ගියා.ඒ දැනිච්ච වේදනාව මේ දැනුත් මගේ හිතට දැනෙනවා..”
යාපනය සිංහල මහා විද්‍යාලයේම ශිල්ප හදාරා පසු කලක එහිම ගුරුවරියක ලෙස කටයුතු කල අර්සුලා විවේකානන්දන් මහත්මිය යාපනය සිංහල මහා විද්‍යාලයේ අත්දැකීම් ගොනු කරන්නේ,සොම්නස මෙන්ම දොම්නසද එක් කරමිනි.
83 කලු ජූලියෙන් කොළඹ හැර උපන් ගමට එන අර්සුලා විවේකානන්දන් මහත්මිය 81 වසරේ උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට, පසුව එහිම විද්‍යා ගණිත ගුරුවරියක ලෙස පත්වීමක් ලැබීමේ භාග්‍ය හිමිකර ගන්නීය.
යාපනේ පාසල් ජීවිතේ හරිම සුන්දරයි
“මාත් එක්ක තව යාපනේ ඒ කාලේ හිටිය සුජාතා,ප්‍රෙමිලා,උර්මිලා කියලා කිහිප දෙනෙකුටම පත්වීම් ලැබුණා.ස්කෝලේ ගිනි තිබ්බට පස්සේ අපි අල්ලපු වැටේ තිබ්බ සෙන්ට් මේරිස් එකේ පාසල කර ගෙන ගියා. 87 ඉන්දියන් හමුදාව එනකොට අපි යාපනේ ටවුන් එක දාලා පුන්ගුඩතිව් වලට ගියා.ඒ වෙන කොට මම විවාහ වෙලා හිටියේ.මහත්තයා නුවර එළියේ නිසා අපි යාපනේ අතහැරලා මහත්තයාගේ ගමට පදිංචියට ආවා.ඇත්තටම යාපනේ පාසල් ජීවිතේ හරිම සුන්දරයි.ඒ සුන්දරත්වය ලංකාවේ වෙන කිසිම පාසලක තිබුණා කියලා මම නම් හිතන්නේ නැහැ.වෙසක්,පොසොන් එනකම් අපි ඇගිලි ගැන ගැනා ඉන්නේ.භක්ති ගීත කංඩායමේ වැඩිම පිරිස දෙමළ අය.හැබැයි,එකක් කියන්න ඕනේ.ඒ කාලේ අපිට සිංහල දෙමළ මුස්ලිම් කියලා අවබෝධයක් තිබුනෙම නැහැ.ඒක නම් හරිම අපූරුයි.අපි රෑ ස්කෝලේ නැවතිලා වෙසක් කූඩු හදපු හැටි,පෙරහැරවල් කරපු හැටි මැවිලා පේනවා..”
එදා යාපනේ පාසලට සමුදී දකුණට පැමිණි අර්සුලා මහත්මිය මේ වන විට මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ භාෂා පරිවර්තිකාවක් ලෙස කටයුතු කරන්නීය.යාපනය සිංහල මහා විද්‍යාලය නැවත ගොඩ නැගීමේ කටයුත්තේ,පෙර ගමන්කරුවෙකු ලෙස ඇය විශාල කාර්ය භාරයකට උර දෙමින් සිටි.
ජාති භේදයකින් තොරව උතුරේ දරුවන්ට ශිල්ප
ජාති භේදයකින් තොරව එදා උතුරේ දරුවන්ට ශිල්ප බෙදු යාපනය සිංහල මහා විද්‍යාලයේ නටබුන් තුළ සැඟව ඇත්තේ,කලකට පෙර යාපා පටුනේ දිශානිගත වු සිංහල දෙමළ සංහිදියාවයි.එදා උතුරේ ජීවත් වු සිංහල දරුවන් පමණක් නොව,එහි ජීවත් වු දමිල හා මුස්ලිම් දරුවන්ටද,බර්ගර් හා බෝරාවරුන්ටද යාපනය සිංහල මහා විද්‍යාලය සොදුරු තක්ෂිලාවක්ම විය.රුදුරු යුද්ධයේ ගිනිදැල් යාපනය සිංහල මහ විදුහලේ මතකය කටුගා විසිහත් වසරක් ගෙවෙන මේ මොහොතේ,ඊට නැවත පණ දෙන්නට වෙර දරන ජාතීන්ගේ සුසංයෝගයෙන් පිරි අපූරු මිනිසුන් පිරිසකගේ මතක ආවර්ජනය අපව අමන්දානන්දයට පත් කර වන්නේය.
යාපනය සිංහල මහා විද්‍යාලයේ ආරම්භය 1931 දක්වා දිව යන්නෙකි.එකල යාපනයේ පිහිටි මහ පරිමාන කර්මාන්ත ශාලාවක් වු කන්කසන්තුරෙයි සිමෙන්ති කම්හලේ සේවයට දකුණේ සිට පැමිණි බොහෝ දෙනකු සිය අඹු දරුවන් සමග යාපනයේම පදිංචි වු බැවින් යාපනයේ ස්ථාන කිහිපයකම සිංහල පාසල් ක්‍රියාත්මක විය.ඒ අතරින් සිංහල මහා විද්‍යාලයට හිමි වූයේ ප්රමුඛ තැනකි.
ශ්‍රී ලංකා පොලිසිය, ආරක්ෂක අංශ, දුම්රිය දෙපාර්තමේන්තුව,රෝහල, ලංගම,චු න්නාකම් පිහිටි විදුලි බල මංඩලේ උප වැඩ පොල, ආහාර දෙපාර්තමේන්තුව වැනි ආයතනයන්හි සේවයට පැමිණි පිරිස්ගේ දරුවන්ගෙන් මෙන්ම යාපනයේ ව්‍යාපාර කටයුතු වල නිරත වු සිංහල ජාතිකයන්ගේ දරුවන්ගේ තක්ෂලාව වූයේ,යාපනය සිංහල මහා විද්‍යාලයයි.
යාපනය බ්‍රවුන්ස් පාරේ පදිංචි එරබද්දගොඩ සිංහගේ පියදාස යාපනයේම ඉපිද යාපනේ සිංහල මහා විද්‍යාලයේම අධ්‍යාපනය ලබා පසු කලක එම විද්‍යාලයේම ගුරුවරයෙකු ලෙස කටයුතු කල අයෙකි.මේ වන විට හැත්තෑපස්වන වියේ පසුවන පියදාස මහතා යාපනයේ ප්‍රකට සිංහල භාෂා ගුරුවරයෙකි.
විද්‍යාලය වැසී යාම පිළිබඳ දෙමළ බහුතරය විරුද්ධයි
“ඉස්සර යාපනේ දෙමළ අය බේකරි වැඩ දන්නේ නැහැ.දකුණේ සිංහල අය තමයි යාපනේ බේකරි ව්‍යාපාරය කර ගෙන ගියේ.අපේ තාත්තා කලෙත් බේකරී රස්සාව. අපේ බේකරිය ඒ කාලේ යාපනේ හරි ප්‍රසිද්ධ බේකරියක්.ඔරියන්ටල් බේකරිය කිව්වොත්,නොදන්න කෙනෙක් නැහැ.අපේ පව්ලේ අයියා හැර අනිත් හැමෝම යාපනේ සිංහල මහා විද්‍යාලයේ ඉගෙන ගත්තේ.ඒ කාලේ යාපනේ ගොඩක් දෙමළ අයත් සිංහල ඉගෙන ගත්තා.මොකද එයාලා හිතුවා සිංහල ඉගෙන ගත්තොත්,රජයේ රස්සාවක් ගන්න පහසුයි කියලා.යාපනයේ සිංහල මහා විද්‍යාලය වැසී යාම පිළිබදව අදත්,යාපනේ දෙමළ බහුතරය විරුද්ධයි..”
යුද ගැටුම් පැවති සමයේ පවා යාපනය අත නොහැර ගිය සිංහලයන් අතලොස්ස අතරින් කන්කසන්තුරේ පදිංචි 69 හැවිරිදි ඩී. එම්. ඩී. ඒ. විජේසෝම මහතා ප්‍රෙදේශයේ ප්‍රකට චරිතයකි.සිමෙන්ති කම්හලේ සේවයට පැමිණෙන විජේසෝම මහතාගේ පියා ඇතුළු හත් දෙනෙකුගෙන් යුත් පවුලේ පිරිස නවාතැන් ගන්නේ,කන්කසන්තරේ සිමෙන්ති කම්හලට අයත් නිළ නිවාසකය. පළමු ශ්‍රේණියේ සිට සමාන්‍ය පෙල දක්වා යාපනය සිංහල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විජේසෝම මහතා පසු කලක,යාපනයේම දෙමළ තරුණියක් සමග විවාහ වී කන්කසන්තුරේම නතර වනුයේ,යුද්ධයද තුට්ටුවකටත් මායිම් නොකරමිනි.
විජේසෝම මහතා කියන අන්දමට හැත්තෑව දශකයේ සිසුන් 1200 පමණ යාපනය සිංහල මහ විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇත. එකල යාපනේ පැවති උග්‍ර කුලීන කුලහීන භේදයට විසදුමක් ලෙස දෙමළ ජනයා සිංහල පාසල් වලට සිය දරුවන් ඇතුලත් කිරීමට පෙලඹී තිබේ.
“මගේ හොදම යහළුවා චන්ද්‍රෙස්කරන්.යාපනේ නාවලර් පාරේ හිටියේ.අපි ඒ කාලේ,සහෝදරයෝ වගේ.පස්සේ එයා නේවි එකට බැදුණා. කලබල ඇති වෙන කොට එයා යාපනේ ඉන්න බැරිව ත්රීකුණාමලේට ගියා කියලා ආරංචි වුණා.එච්චරයි.ඊට පස්සේ එයා ගැන හෙව්වත් තොරතුරක් දැන ගන්න බැරි වුණා.අද යාපනේ සිංහල ස්කෝලේ තිබුණ තැනක්වත් නැහැ.ඒත්,පාසල නැවත පටන් ගන්නවා නම්,ඒක හරි වටින වැඩක්..”
යාපනය සිංහල මහා විද්‍යාලය සිංහල හා දෙමළ සිසුන්ට පමණක්ම ශිල්ප සැදු පාසලක් නොවීය. එකල යාපනයේ විසු මුස්ලිම් දරුවන් වැඩි දෙනකු අධ්‍යාපනය ලබා ඇත්තේද, යාපනය සිංහල මහ විද්‍යාලයේ වීම විශේෂත්වයකි.
“මගේ තාත්තා යාපනේ හොද ව්‍යාපාරිකයෙක්.මම ඉපදුනෙත් යාපනේමයි.මම මුලින්ම ඉගෙන ගත්තේ,දමිළ මාධ්‍යෙයන්. 1 ඉදලා 5 පංතිය වෙනකම්.ඒත්,මම හරි ආශයි සිංහල ඉගෙන ගන්න.අපේ පාසලේ අපිට සිංහල උගන්නපු සර් මාව සිංහල මහා විද්‍යාලයේ එතකොට හිටිය එදිරිවීර සර්ට භාර දුන්නා.එදිරිවීර සර් කිව්වා මාස තුන හතරක් බලලා බැරිනම් ආපහු යන්න කියලා.මම කොහොම හරි සිංහල ඉගෙන ගෙන පංතියේ 4 වැනියා වුනා.ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි.දැන් වගේ ජාති භේදයක් අපි අතර තිබුණේ නැහැ.නමින් විතරයි අපි වෙනස් වුණේ.ඒ කාලේ ස්කෝලේ භක්ති ගීත කංඩායමෙත් මම හිටියා.අපි වෙසක් එකට කැරොල් යනවා. ඒ කාලේ මතක් වෙද්දීත් හිතට හරි ආඩම්බරයක් දැනෙනවා.” එසේ කියන්නේ 52 හැවිරිදි එම්.ජී.අයි.ජව්ෂි මහතායි.
සහෝදර දෙමළ ජනතාවගේ ගැටලුව
යාපනයේ එකල පැවති ප්‍රකට රන් සාප්පු අතර සිංහල ජාතිකයන්ට අයත් රන් සාප්පු හෙවත් ජුවලරි යාපනයේ ජනතාව අතර වඩාත් ප්‍රකට විය.ඒ අතරින් 50 දශකයේ යාපනයට පැමිණ රත්තරං ව්‍යාපාරයට අත ගැසු විජේසිරි මුදලාලි මහතාට අයත්,විජේසිරි ජුවලස් මුල් පෙලේ එකකි.විජේසිරි මුදලාලි එවකට යාපනයේ වඩාත් ප්‍රකට චරිතයකි.උත්තර ලංකා බෞද්ධ සංගමයේ භාණ්ඩාගාරික වු විජේසිරි මහතා අවස්ථා කිහිපයකදීම ජාතිවාදී කෝලාහල හේතුවෙන් විවිධ අතවර වලට ලක්වුනද,කිසි විටකත් දෙමල ජනතාවට වෛර කල අයෙකු නොවීය. ඔහු සහෝදර දමිල ජනතාවගේ ගැටළුව මනාව අවබෝධ කර ගත් අයෙකු විය.
විජේසිරි මහතා උතුරේ දෙමළ ජනතාව සමග තිබු බැදීම කොතෙක්ද කිව හොත්,ඔහුගේ දියණිය වු ධම්මිකා විජේ සිරි මහත්මිය වැඩිවියට පත්වීමේ උත්සවය පවා යාපනයේ සිරිත් විරිත් වලට ගරු කරමින් හින්දු චාරිත්‍රානුකූලව පැවැත්වු අයුරු ධම්මිකා මහත්මිය සිහි කරන්නේ,මහත් වු තෘප්තියකනි.
වර්තමානයේ මහනුවර ප්‍රෙදේශයේ ප්‍රකට පාසලක ගුරුවරියක් ලෙස කටයුතු කරන ඇය ගත් කතු වරියකි.යාපනය සිංහල මහ විද්‍යාලය නැවත ආරම්භ කිරීමේ දැඩි උවමනාවකින් පෙලෙන ඇය ඒ සදහාම පිහිටවු යාපනය සිංහල මහ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන්නීය.
“ 77 කලබල වලට අහුවෙලා කිසිම දෙයක් නැතිව තැනින් තැන ඇවිදිද්දී පවා අපේ තාත්තා අපිට කියපු දෙයක් තමයි මේ ප්රශ්නය ජාතිවාදි අර්බුධයක් නෙවෙයි,දේශපාලන උවමනාව මත සිදුවන දෙයක්.ඒ නිසා කවදාවත් දෙමළ ජනතාවට වෛර කරන්න එපා කියන එක.අදටත් අපේ ඇගේ තියෙන්නේ,ඒ ආභාෂය කියලයි මම හිතන්නේ.අපි යාපනේ ගෙවපු ජීවිතේ හරිම සුන්දර අත්දැකීමක්. කොහොම වුනත්,අපි යාපනේ ගෙවපු සුන්දර කාල වකවානුව නැවත අනාගත පරපුරට උදා කිරීම තමයි,අපේ වගකීම හා යුතුකම වෙන්නේ.ඒ වෙනුවෙන් තමයි අපි මේ වෙහෙසෙන්නේ..”
අපූරු අත්දැකීම් ගොන්නක්
ධම්මිකා විජේසිරි මහත්මියට යාපනය හා යාපනය සිංහල මහා විද්‍යාලය සමග ඇත්තේ,අපූරු අත්දැකීම් ගොන්නකි.ඇය මෙන්ම ඇය සමග එම පාසලේම අධ්‍යාපනය ලද බොහෝ දෙනකු කියන කාරණයක් වන්නේ,එදා ඔවුන් ජාතීන් කිහිපයකටම අයත් වූවන් වුවද,කිසි විටකත් තමා සිංහලද, දෙමළද,මුස්ලිම්ද,බර්ගර්ද එසේත් නැතහොත් බෝරාද කියා හැගීමක් නොවු බවයි.
යාපනය සිංහල මහ විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයකු වු ඒ.ශ්‍රී රංජන් මහතා මේ වන විට යාපනයේ දෙමළ දරුවන්ට මෙන්ම රජයේ සේවකයන්ටද සිංහල උගන්වනු ලබන ප්‍රකට ටියුෂන් ගුරුවරයෙකි.පියා කුරුනෑගල ප්‍රෙදේශයේ සිංහල අයෙකු වුවද,මව යාපනයේ දමිළ කාන්තාවක් වු බැවින් යාපනයේම පදිංචි වු ශ්‍රී රංජන්,මේ වන විට යාපනයේ වඩාත් ප්‍රකට ශ්‍රී මාස්ටර් නමිනි.
ඔහු එදා පාසලේ වොලිබෝල් කංඩායමේ මෙන්ම කැඩෙඩ් කංඩායමේද උද්යෝගිමත් සාමාජිකයෙකු වූ අතර, සිංහල මහා විද්‍යාලයේ භක්ති ගීත කංඩායමේ නිත්‍ය ගායකයාද විය.ඔවුන් වෙසක් හා පොසොන් සමයේ කැරොල් කරත්තයක නැගී යාපනය පුරා මුදාහල භක්ති ගීත සිංහලෙන් භාෂාවට පමණක් සීමා නොකර දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීම උතුරට නැවුම් අත්දැකීමක් වු බව ශ්‍රී රංජන් මහතා සිහි කරන්නේ,මහත්වු තෘප්තියකිනි.
“සල් මලින් පිරි මල් වනේ අප බෝසතානෝ බිහිවුනේ..නාගලිංග පූ රෛන්ද සෝලෙයිල් සිද්ධාර්තර් පිරාන්දර්….”
එකල යාපනයේ වොලිබෝල් ශූරයන් වන්නේ,සිංහල මහ විද්‍යාලයයි.එහි සිංහල ක්‍රීඩකයන් අතලොස්සකි.වැඩි දෙනකු දෙමළ හා මුස්ලිම්ය. නමට පමණක් සිංහල මහ විද්‍යාලය විය.බොහෝ විට යාපනය සිංහල මහා විද්‍යාලය ක්‍රීඩා කරන තරග බැලීමට යාපනයේ දෙමළ ජනයා වැල නොකැඩී එති.සිංහල හා දෙමළ පාසලක් තරග කරන විට ප්රෙදේශවාසීන්ගේ සහය හිමි වන්නේද,සිංහල මහ විද්‍යාලයටය.ඒ සුළුතරය දිරි ගැන්වීමේ හා සතුටු කිරීමේ අදහසින් වන්නට ඇත.
භාෂා ත්‍රිත්වයෙන්ම හොද හැටි සන්නද්ධව
යාපනයේ ප්රමුඛ පෙලේ පාසල් දෙවැනි තැනට දමමින්,යාපනයේ සිංහල මහා විද්‍යාලය යාපනයේ හොදම පාසල් ශිෂ්‍ය භට කංඩායම ලෙස කිරුළු පලදින්නේ,සියළු ජාතීන්ගේ සුසංයෝගයෙනි.එදා ඔවුන්ට ඒ සදහා මග පෙන්වු ආනන්ද තිලකරත්න ගුරු මහතාද අදටද අමතක නැත.
යාපනේ ඉපිදී එහිම හැදුණු වැඩුණු රොහාන් පෝල් ඩැනියෙල් මහතා දමිළයෙක්ද,ලංසියෙක්ද හෝ වෙනත් ජාතිකයෙක්ද යන්න හරි හැටි උකහ ගැණීම අසීරු වුනද,යාපනයේ සිංහල මහ විද්‍යාලය නැවත ගොඩනැගීමේ දැඩි ගායකින් පෙලෙන අය අතරින් ඔහුද අයෙකි.මේ වසරේ මැයි මාසය වන විට සිංහල මහ විද්‍යාලයට අනුභද්ධ ළදරු පාසලක් ආරම්භ කොට ඉන් පළමු වසරට පිවිසෙන දරුවන්ගෙන් 2020 වසරේදී පාසල නැවත ආරම්භ කිරීම ඔවුන්ගේ අරමුණ බව ඩැනියෙල් මහතා කියා සිටි.
“මම යාපනේ ඉපදුනේ..මම ඇත්තටම කියනව නම්,දෙමළ කතෝලික.ඒ කාලේ යාපනේ ක්‍රිස්තියානි පාසල් කොළඹටත් වඩා ජනප්‍රියයි.එහෙම තියෙද්දීත් අපේ තාත්තා මාව සිංහල පාසලට දානවා.ඒකටත් හේතුවක් තිබ්බා.ඒ කාලේ සිංහල මහ විද්‍යාලයේ විදුහල්පති එදිරිවීර කියලා සර් කෙනෙක්.එයයි අපේ තාත්තයි ගජ යාළුවෝ.ඉතින් එදිරිවීර සර් අපේ තාත්තට කියනවා මාව එයාගේ පාසලට දාන්න කියලා.ඒ අනුව තමා මම සිංහල පාසලට දාන්නේ.මම තමා යාපනේ සිංහල මහ විද්‍යාලයෙන් ඉස් ඉස්සෙල්ලාම ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්නේ.ඒ කාලේ දැන් වගේ ශිෂ්‍යත්ව විභාගයෙන් දහ පහලොව පාස් වෙන්නේ නැහැ.වැඩිම වුනොත්,දෙකයි..තුනයි.මම ශිෂ්‍යත්වය සමත් වුනහම අපේ තාත්තා මාව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කරන්න සම්මුඛ පරීක්ෂණයටත් අරන් යනවා.අපිට ඒ කාලෙත් භාෂා තුනම කතා කරන්න පුළුවන්.ඒ නිසා සම්මුඛ පරීක්ෂණයත් ඉහලින්ම සමත් වෙනවා.ඒත්,මට ඒ ගමන යන්න එදිරිවීර සර් දෙන්නේ නැහැ.සර් කියනවා මේ දරුවා අයිති යාපනේ සිංහල මහ විද්‍යාලයට..ඒ නිසා අරන් යන්න එපා කියලා.මම අදටත් ඒ තීරණය සියයට සීයක් නිවැරැදියි කියලා හිතෙනවා…”
1979 වසරේදී යාපනය සිංහල මහා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරටද පත්වන ඩැනියෙල් මහතා පාසලට අයුබෝවන් කියන්නේ,1982 වසරේ උසස් පෙල විභාගයට වානිජ අංශයෙන් පෙනී සිටීමෙන් පසුවය.කෙසේ වෙතත්,1985 වසරේදී ඔවුනට යාපනයට සමුදීමට සිදු වන්නේ,අනපේක්ෂිත අන්දමිනි.
යාපනය සිංහල මහ විද්‍යාලයේ ආභාෂයත් කැටිව භාෂා ත්‍රිත්වයෙන්ම හොද හැටි සන්නද්ධ වු ඩැනියෙල් මහතාට තරුණ වියේදීම දිවයිනේ ප්රමුඛ පෙලේ ඖෂධ සමාගමක වෙළද නියෝජිත තනතුරක් හිමිවන අතර,මේ වන ඔහු තමාටම අයත් සමාගමක හිමිකරුවෙකු ලෙස කටයුතු කරයි.
යාපනය නල්ලූර් කෝවිල පාරේ පදිංචි 80 වන වියේ පසුවන කේ.නඩේෂන් මහතා යාපනය සිංහල මහා විද්‍යාලයේ අවසන් විදුහල්පතිවරයායි.1970 වසරේ උප ගුරුවරයෙකු ලෙස යාපනය සිංහල මහා විද්‍යාලයට පැමිණෙන නඩේෂන් මහතා 1993 වසරේ දී එහි විදුහල්පතිවරයා ලෙස පත් වන අතර, 1995 වන තෙක් පාසල පවත්වාගෙන යෑමට කටයුතු කර ඇත.
“94 අවුරුද්ද වෙන කොට ළමයි 11 දෙනෙක් සාමාන්‍ය පෙළ පංතියේ හිටියා.ඒ අය ඔක්කොම දෙමළ ළමයි.ඒ අය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටියට පස්සේ ළමයි නැති නිසා අපිට පාසල වසා දමන්න වුනා.හිතට හරි වේදනාවක් දැනුනා.අවසානෙට ඉතිරි වුණේ,මමයි,පියදාස සර්යි,වාම දේවන් කියන විද්‍යා උගන්නපු සර් විතරයි.අපිට එහෙම දෙමළ පාසල් වලට ට්‍රාන්සර් හම්බ වුණා.ඉතින්,ඔන්න ඔහොමයි සිංහල පාසල යුද්ධය නිසා අභාවයට ගියේ.”කර තිබේ.
අභිමානවත් පාසලක දොරගුලු වසා
1994 වසරේ දී යාපනය සිංහල මහා විද්‍යාලයේ අවසන් සිසු පිරිස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු , නඩේෂන් මහතා පාසලේ සියළු ලිපි ලේඛණ හා රබර් මුද්‍රාව යාපනය කලාප අධ්‍යාපන කාර්යාලයට භාර දෙනුයේ,වසර 64 ක ඉතිහාසයකට උරුමකම් කී අභිමානවත් පාසලක දොරගුලු වසමිණි.
“මම දැන් විශ්‍රාමික වුනත්,ආපහු සැරයක් යාපනේ සිංහල ස්කෝලේ පටන් ගන්නව නම්,එක දවසක්හරි ඒ දරුවන්ට උගන්නලා එන්න ලොකු ආශාවක් මගේ හිතේ තියෙනවා..” නඩේෂන් මහතා අපට සමුදෙමින් කියා සිටියේ,වැසී ගිය යාපනය සිංහල මහ විද්‍යාලය පිළිබද අව්‍යාජ ලෙන්ගතුකමකිනි.
This article was originally published on the catamaran.com