අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

සැකකරුන් නිදහස් වේ- වින්දිතයන්ගේ අයිතිවාසිකම්?

ප්‍රියන්ත කරුණාරත්න

පසුගිය වසර මැද භාගයේ සිට මේ දක්වා මෙරට යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතිය තුළින් එක් ප්‍රධාන ලක්ෂණයක් ඉස්මතු වෙමින් තිබේ. මෙම ලක්ෂණය ක්‍රම රටාවක් ලෙස මතුවී 2020 ජූලි මාසයේ සිට පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නා අතර මේ වන විට එම ක්‍රම රටාව යම් ආකාරයකට සාමාන්‍යයකරණය පත් වී ඇති ආකාරය හඳුනාගත හැකිය. මේ කියන ලක්ෂණය නම් මහා පරිමාණ මුදල් වංචා, මූල්‍ය අවභාවිතය, පොදු දේපල අවභාවිතය, හා විවාදාපන්න මනුෂ්‍ය ඝාතන චෝදනා වලට ලක් වූ තැනැත්තන් අධිකරණ පද්ධතිය තුළින් ම නිදහස ලැබීම, නිදොස් කොට නිදහස් කිරීම හෝ ජනාධිපති සමාව ලැබීමයි. බැලූ බැල්මට සාක්ෂි ප්‍රමාණවත් නොවීම, තාක්ෂණික වැරදි, කාර්ය පටිපාටිමය වැරදි, හා නීති ආයතන විසින් කරුණු යෙදී ඇති ආකාරය අනුව තවදුරටත් නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට අනවශ්‍ය බවට නිර්දේශ කිරිම කිරිම වැනි හේතුන් ඉහත චෝදනා ලැබූවන් හෝ සැකකරුවන් නිදොස් කිරීම හෝ නිදොස් කොට නිදහස් කිරීමට බලපෑ හේතුන් ලෙස හඳුනාගත හැකිය. ඒ අනුව එහි ඇති වරදක් නැති බව කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් එම තර්කයට එපිටින් දෙවෙන ක්‍රම රටාව තේරුම් ගැනීම මේ මොහොතේ වැදගත්ය. ඒ අනුව 2020 ජූලි සිට අද දක්වා කාලය තුළ ප්‍රධාන සිදුවීම් 12 ක් මෙම ලිපියෙන් අවධානයට ලක්කරනු ලැබේ.

මෙරට අධිකරණ ආයතන තුළින් ම ඉස්මතු වී ඇති උක්ත ලක්ෂණය හදුනාගැනීමට අපට උදව් වන සිදුවීම් අතරට; 1. අනීතික ලෙස අලි පැටවුන් පස්දෙනෙක්  ළඟ තබා ගැනීමේ චෝදනා ලැබූ අලි රොෂාන් හා තවත් සැකකරුවන් සිව් දෙනෙක් නිදොස් කොට නිදහස් කිරිම; 2.”දිවි නැගුම” නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීම; 3. ”සිල් රෙදි” නඩුවෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස් කිරීම; 4. ”ජෝෂප් පරරාජසිංහම්” ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ”සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්” නිදොස් කොට නිදහස් කිරීම; 5.රුපියල් මි.3.9 ක් අවභාවිත කිරීම සඳහා චෝදනා ලැබූ වත්මන් කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් කිරීම; 6.රුපියල් මි. 5ක මුදල් අවභාවිත කිරීම පිළිබඳ චෝදනා ලැබූ හිටපු රේගු අධ්‍යක්ෂක රන්ජන් කනගසාවේ නිදොස් කොට නිදහස් කිරීම; 7. මූල්‍ය විෂමාචාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීම; 8. රුපියල් මිලියන 40 ක අල්ලස් චෝදනා ලැබූ කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා තවත් දෙදෙනෙකු ඇප මත නිදහස් කිරීම; 9. මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක ලෙස රුපියල් මිලියන 880 ක මූල්‍ය අලාභයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඇප මත නිදහස් කිරීම; 10. රුපියල් කෝටි හතක පමණ වටිනා ඉඩමක් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු ඩී.අයි.ජී වාස් ගුණවර්ධන හා ඔහුගේ බිරිඳ නිදොස් කොට නිදහස් කිරීම; 11.රුපියල් මිලියන 41.2 ක මුදල් හා වස්තු අයථා ලෙස අත්පත් කර ගැනීමේ චෝදනා ලැබූ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඇප මත නිදහස් කිරීම; 12.ඇවන්ගාඩ් සමාගමේ ක්‍රියාකාරීත්වය මගින් රජයට රුපියල් බි.11.4 ක පාඩුවක් කිරිම සම්බන්ධයෙන් මූල්‍ය විෂමාචාර චෝදනා ලැබූ නිශ්ශංක සේනාධිපති ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීම යන සිදුවීම් ඇතුළත් වේ.

මෙම නඩුවල කටයුතු ආරම්භය, ස්වභාවය හා ක්‍රියාත්මක ක්‍රියාත්මක වූ ආකාරය අනුව බලන විට ඒවායේ ඇති පොදු ලක්ෂණ කීපයක් ද හඳුනාගත හැකි වේ. මෙම නඩු කටයුතු සියල්ලම ආරම්භ කර තිබෙන්නේ පැවති යහපාලන රජය කාලයේ දීය. 2015 මැතිවරණ වේදිකාවේ දී හා දින 100 ප්‍රතිපත්ති මාලාව තුළ ද ඇතුළත් වූ වැදගත් මූලිකාංගයක් වූයේ බරපතළ මූල්‍ය විෂමාචාර ක්‍රියා වලට සම්බන්ධ වූ පෙර පැවති රජයේ දේශපාලනඥයින් හා නිලධාරීන් නීතිය හමුවට ගෙන එන බවය.  ඒ සදහා පොරොන්දුවක් පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන 2015 ජනාධිපතිවරණ වේදිකාවේ මහජනයා හමුවේ පොරොන්දුවක් දුන්නේය¤ ඒ අනුව මේ නඩු පවරා තිබෙන්නේ 2010-2014 මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළදී යම් චෝදනා ලැබූ රජයේ ඉහළ නිලතල දැරූ දේශපාලනඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ය. එම දේශපාලනඥයෙක් අතරට මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, නැගෙනහිර පලාත් ආණ්ඩුකාර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හා ජනාධිපති වෙළඳ හා විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම් සජීන් ද වාස් ගුණවර්ධන ඇතුළත්ය. නඩු පවරා තිබූ මහින්ද රාජපක්ෂ පාලන සමයේ සේවය කළ නිලධාරීන් අතරට හිටපු අගවිනිසුරුවරයා, ජනාධිපති ලේකම්වරයා, හිටපු ඩී.අයි.ජී නිලධාරියෙකු, විදුලි සංදේශන නියාමන සන්දේශන නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරයා ඇතුළත් වේ. මොවුන් සියලු දෙනාපැවැති මහින්ද රාජපක්ෂ පාලනය සමග ඍජු දේශපාලන හෝ රාජ්‍ය සේවා මට්ටමෙන් සම්බන්ධතා ගොඩනගාගෙන තිබූ ප්‍රබල දේශපාලනඥයින් හා නිලධාරීන් ය. ඉහත දක්වා ඇති සැකකරුවන්ගේ නාමාවලියේ එම රජය සමඟ දේශපාලන හෝ රාජකාරි සම්බන්ධතාවයක් නොතිබූ එකම තැනැත්තා නිරාජ් රොෂාන් නොහොත් අලි රොෂාන් නැමැත්තාය. මේ සියලු දෙනාට චෝදනා ගොනු කර නඩු පවරා තිබෙන්නේ 2015-2019 අතර කාලය තුළ ය.

විශේෂයෙන්ම චෝදනාවලට ලක්වූ දේශපාලනඥයින් සියලු දෙනා ගෙනා ප්‍රධාන තර්කය වූයේ මේ නඩු කිසිදු පදනමක් නැති හා දේශපාලන පලිගැනීම් පවරන ලද නඩු බවයි. සාමාන්‍යයෙන් දේශපාලන පලිගැනීම් මත යම් තැනැත්තෙකුට විරුද්ධව යම් චෝදනාවක් ගොනුකර ඇති විට ඒ සඳහා අධිකරණ මාර්ගයෙන්ම ගත හැකි චෝදනාවන්ට ලක් වූ තැනැත්තන්ට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් මෙරට නීති පද්ධතිය තුළ ස්ථාන ගත කර තිබේ. එවැනි අවස්ථාවකදී චූදිතයන්ට අපරාධ නඩු විභාගයේ දී ම මූලික විරෝධතාවයක් ගෙන ඒමට හැකි ය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හැකිය. එම පෙත්සමෙන් තමන් ගිය අයිතිවාසිකම් කඩ වී ඇති බව හෝ කඩවීමට අත්‍යාසන්න බව පෙන්වා දිය හැකිය. ඊට අමතරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තිය යටතේ අභියාචනාධිකරණයට රීට් ආඥාවක් ( තහනම් ආඥාවක්) යොමු කළ හැකිය. එහෙත් 2015-2019 කාලය තුළ දී එවැනි ආකාරයේ කරුණු දැක්වීම් කර තමා වෙතට එල්ල වී ඇති චෝදනාව නිවැරදි කර ගැනීමේ ප්‍රවේශයකට මෙම එකදු සැකකරුවෙකු හෝ යොමු වී නැත. කෙසේවෙතත් මෙම සැකකරුවන් බරපතළ මූල්‍ය චෝදනාවලට ලක්ව ඇති හෙයින් එය මෙරට ආර්ථික තත්ත්වය තවදුරටත් පිරිහීමට බලපානු ලැබිය හැකි අතර ප්‍රධාන විවාදපන්න මිනීමැරුම් නඩුවක ප්‍රධාන සැකකරුවෙක් නිදොස් කොට නිදහස් කිරීම රටක නීතියේ – විධානයේ ආධිපත්‍ය පවත්වා ගෙන යෑම සඳහා බලපෑම් කරනු ඇත.

2019 අගභාගයේ දී යහපාලන රජය බිඳ වැටීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව රජයක් බිහි කර ගැනුණි. මෙම පාලනය සඳහා මං හෙළි කරන මූලික ලේඛනය වන ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක් මූලික ප්‍රතිපත්තියක් ලෙස දේශපාලඥයින් හා රාජ්‍ය සේවකයින් හැකිතාක් දුරට දූෂණ-අක්‍රමිකතා සීමා රේඛාවෙන් පිටත රේඛාවේ තබා ගැනීමට අවශ්‍ය නීතිය හා ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමයි. එසේම 2019 ජනාධිපතිවරණ වේදිකාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යහපාලන රාජ්‍ය සමයේදී දේශපාලන පළිගැනීමට ලක්වූ දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන්ට යුක්තිය ඉටුකරන බව සපථ කළේය. ඒ අනුව 2014 නොවැම්බර් 16 වැනි දින, 2015 ජනවාරි- 2019 ඔක්තෝම්බර් යහපාලන ආණ්ඩු කාලය තුළ සිදුවී ඇතැයි කියන දේශපාලන පලිගැනීම් පිළිබඳ පරීක්ෂාකර තොරතුරු ලබා ගැනීම සඳහා දේශපාලන පලිගැනීම් සම්බන්ධ කොමිෂන් සභාව 2020 ජනවාරි 9 වැනිදා නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රයෙන් පත් කළේය.  රාජ්‍ය නිලධාරීන්ට, රාජ්‍ය සංස්ථා සේවකයන්ට, සන්නද්ධ හමුදා හා පොලිස් සේවයේ සාමාජිකයන්ට විඳින්නට සිදුව ඇතැයි කියන පලි ගැනීම් සඳහා පත්කරනු ලැබූ මෙම කොමිෂන් සභා වාර්තාව 2014 අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිනි. මෙම කොමිෂන් සභා වාර්තාවෙන් යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන පළිගැනීමට යටත්ව තිබේ ය යන පිළිගැනීම යටතේ මේ වන විටත් මෙරට අධිකරණවල විභාග වන අල්ලස් දූෂණ, අනුක්‍රමිකතාව නඩු හතලිහකට ආසන්න ගනනක් ඉල්ලා අස්කර ගැනීමට නිර්දේශ ලබා තිබේ.  මෙම දේශපාලන පසුබිම 2020 ජූලි සිට මේ මස දක්වා අතර කාල පරාසය තුළ ක්‍රමයෙන් සාමාන්‍ය කරණය වන ප්‍රධාන-විවාදාපන්න නඩුවලට අදාළ සැකකරුවන් නිදහස් වීම හෝ නිදොස් කොට නිදහස් කිරීමේ ප්‍රවණතාව හඳුනා ගැනීමට ආලෝකයක් විහිදුවයි.

ඉහතින් දැක්වූ දැක් වූ සිදුවීම් දොළස අතුරින් පහත සැකකරුවන් නිදොස්කොට නිදහස් කිරීම කෙරෙහි තාක්ෂණික ගැටළු බලපා තිබේ. එම ගැටලු අතර සාක්ෂි වල දුර්වලතා, සාක්ෂි වල ඌනතා හා පරස්පරතා කාලා විරෝධී කාලය ඉක්මවීම ඉදිරිපත් සාක්ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු නොවීම, යන කරුණු මත තවදුරටත් නඩු කටයුතු ඉදිරියට ගෙන යෑමට නොහැකි වීම මත අදාළ සැකකරුවන් නිදහස් හෝ නිදොස් කොට නිදහස් කර තිබේ. නඩුවේ කරුණු යෙදී ඇති ආකාරය හා සාක්ෂි වල ප්‍රමාණාත්මක භාවයේ ගැටළු හේතුවෙන් නඩු කටයුතු 3 ක් (12න්) ඉදිරියට ගෙනයාමට නොහැකි නිසා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් කොමිෂන් සභාව ඉවත් කරගෙන තිබේ. එම නිසා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන නිදහස ලැබීය. අලි රොෂාන් ඇතුළු හතර දෙනෙක් නිදොස් කොට නිදහස් කරනු ලැබීම කෙරෙහි සාක්ෂි ප්‍රමාණවත් නොවීම බලපා තිබූ අතර හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිදොස් කොට නිදහස් කිරීම කෙරෙහි ඉදිරිපත් කර තිබූ සාක්ෂි වල පරස්පරතා හේතු විය. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ජෝසප් පරරාජසිංහම් නඩුවේ ප්‍රධාන සැකකරුට එරෙහිව ගොඩ නගා තිබූ චෝදනා පත්‍රය ඉවත් කර ගැනීම නිසා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇප මත නිදහස් කෙරිණි. වාස් ගුණවර්ධන හා ඔහුගේ බිරිඳට එරෙහි ව ගොඩනඟා තිබූ අධිචෝදනා පත්‍රය නීතිපති දෙපාර්තමේන්තුව ඉවත් කර ගැනීම හේතුවෙන් එම සැකකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරන ලදී.

හුදු තාක්ෂණික කාරණා මත හෝ ඉහතින් දැක්වූ වෙනත් කාරණා මත යම් දේශපාලන සම්බන්ධතා ඇති සැකකරුවන් නිදහස් වීම වින්දිතයන්ගේ කෝණයෙන් යුක්තිය ඉටුකරගැනීම සදහා ඔවුන්ට ඇති මූලික මානව අයිතිවාසිකම් කඩවීමක්ද වේ- අවසන් වශයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදි මහතා දැක්වූ අදහසක් දැක්වීම වටී- එයින් කියැවුනේ දේශපාලකයන්ගේ නඩුවලදී අල්ලස් කොමිසම දක්වන බුරුල සාමාන්‍ය මිනිසුන්ට එරෙහි නඩවලදී නැහැ යන්නයි- එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා තහවුරු කර ඇති නීතිය ඉදිරියේ සැමට සමානයන් ලෙස සැළකුම් ලැබීමට ඇති මූලික අයිතිවාසිකමද කඩ කඩවීමකි-    

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts