අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

සාමය හා සංවර්ධනය සදහා ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාවය

ප්‍රියන්ත කරුණාරත්න

ආර්ථික සංවර්ධනය සදහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීමට 1978 ව්‍යවස්ථව ජේ- ආර් ජයවර්ධන ප්‍රමුඛ එ-ජා-ප ආණ්ඩුව හදුන්වා දුන්නේය- රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ශක්තිමත් විධායක ජනාධිපති ධූරයක් අවශ්‍ය බව අවධාරනය කර විධායක ජනාධිපති ධූරය පිහිටුවා වසර 44 ගෙවෙන තැන විධායක ජනාධිපති ධූරය ඇසුරෙන් අප රටක් ලෙස ලබාගත් ආර්ථික සමෘද්ධියක් නොමැති බව පෙනේ- මේ ලියන මොහොත වන විට ලංකාවට ඇති මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇ-ඩො-මි- 1-9 කි- ආර්ථික වර්ධනය කෙසේවෙතත් ජනාධිපති ධූරය ඇසුරෙන් ගොඩනැගුණු දේශපාලනය බලය අවභාවිත කළ ආකාරය, රාජ්‍ය තුළ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම බිදවැටීම, සමාජ අසාධාරණය වැඩිවීම, ජාතීන් අතර අසහනය වැඩි වීම හා සාමය බිදවැටීම හේතු වූ ආකාරය පසුගිය වසර 44 තුළ මැනවින් පැහැදිලිය.  සාමය සහ සංවර්ධනය සදහා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල ඉක්මන් අවශ්‍යතාවයා හා මගහැරුනු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවස්ථා කෙරෙහි නැවත සිතා බැලීම කාලෝචිතය.

1978 ව්‍යවස්ථාවට එක් කරන ලද 6 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනම රාජ්‍ය පිළිබද අදහසක් දැරූ පාර්ලිමේන්තුවේ විපක්ෂ මංත්‍රීවරුන් 20කගේ මංත්‍රීධුර අහිමි වීමට හේතු විය- දෙමළ ජාතිකයන්ට පාර්ලිමේන්තුව තුළ නියෝජනය අහිමි වීම පසුකාලීනව දෙමළ බෙදුම්වාදීන්ගේ මතවාදය ත්‍රස්ත්‍රවාදය දක්වා වර්ධනය විමට ප්‍රබල හේතුවක් වු බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ අදහසයි- ඒ ආශ්‍රයෙන් පසුව ඇතිවූ කළු ජූලිය හා යාපනය පුස්තකාලයට ගිණි තැබීම වැනි සිදුවීම් හමුවේ ත්‍රස්තවාදය තවදුරටත් පෝෂණය වූ අතර එම සිදුවීම් සාමය හා සංහිදියාව බිද්වැටී අනවරත සන්නද්ධ ගැටුම්වලට මුහුණදීම නිසා ජනයා අපේක්ෂා භංගත්වයට පත්වීමටද ආර්ථිකය බිදවැටීමටද ජාත්‍යන්තර ප්‍රතිරූපය කැළැල් වීමටද බලපෑවේය- 

ප්‍රංශය ආදර්ශයට ගෙන සකස් කරන ලද සමානුපාතික නියෝජන ක්‍රමයට මනාප සංකල්පය එකතු කිරීම නිසා විචාරයෙන් තොර දේශපාලන නියෝජිතයන්ට පාර්ලිමේන්තු දොරටුව විවර විය- එමඟින් මුදලට හා වරප්‍රසාද වලට  සිය මන්ත්‍රී ධූරය සමග විකිණෙන්නාවූ මහජන නියෝජිතයන් හා පරාධීන ඡන්දදායකයන් බිහි වූ අතර පාලකයන් යනු නීතියට මුවාවී දේශීය සම්පත්, මහජන දේපළ කොල්ලකෑමේ හා  විදේශයන්ට විකුණාකෑමේ යෙදෙන නිර්ලජ්ජිත පිරිසක් බවට පත්වීමට ඉඩවර සලසනු ලැබීය. මේ ක්‍රමය අද වන විට පරිපාකයට පත්ව තිබේ- මීට පිළිතුරක් ලෙස 2003 වසරේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුනු පාර්ලිමේන්තු කමිටුවේ යෝජනා  තවමත් මෙරට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ඵලදායී ලෙස යොදාගෙන නොමැත.එම ක්‍රියාවලියට පෙර මෙරට ජාතික ගැටළුවට පිළිතුරක් ලෙස 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය යෝජනා කෙරුනත් සිංහල-ද්‍රවිඩ නායකයන්ගේ වෙනස් මතවාද නිසා පළාත් සභා සාර්ථක නොවූ අතර අමතර ප්‍රශ්න රාශියක් ද ඇතිවිය- එහි අවාසනාවන්ත ඉරණම වූයේ වසර 30ක් දක්වා සිවිල් යුද්ධයකට පාර කැපීමයි- යුද්ධය මිලිටරීමය වශයෙන් පරාජය කර අවසන් වුවත් උතුරෙන් පලවාහරිනු ලැබූ අන්‍ය ජාතීන් යළි පදිංචි කළද, යුධමය විසඳුමකින් නොනැවතී පවත්නා ප්‍රශ්නවලට විසඳුම් වශයෙන් සංහිඳියාව හා සාමය ගොඩනැඟීමේ සමාජ ව්‍යාපාර පෙරටු කොට ගත් දේශපාලන විසඳුමක අවශ්‍යතාවය බැහැර කළ නොහැකි සත්‍යයකි. මන්දයත් මානව ආරක්ෂාව හා සංවර්ධනය සඳහා ස්ථාවර, සාමකාමී රාජ්‍යයක් යන්න අත්‍යාවශ්‍ය සාධකයක් වන හෙයිනි.ඒ සදහා උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් පලාත් සභා සහ ජනසභා වැනි බලය විමධ්‍යගත කිරීමේ ව්‍යවස්ථාමය  විධිවිධාන ආපසු හැරවීමේ යෝජනා බෙහෙවින් බැරෑරුම්ව  නැවත සලකා බැලිය යුතුය. එනයින් බලන කල ශ්‍රීලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ප්‍රගමනය උදෙසා රාජ්‍ය ව්‍යුහය තුළ ජනවාර්ගික පදනමක් මත නොවන  පරිධියට දේශපාලන බලතල බෙදාලීමක් (නොඑසේ නම් විමධ්‍යගත කිරීමක්) කාලීනව අවශ්‍යව තිබෙන බව පිළිගත යුතු වේ- 

2000 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය විසින් ගෙන එනු ලැබූ ව්‍යවස්ථා යෝජනාවලිය මෙරට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගමන් මගෙගි සාපේක්ෂ වශයෙන් ඉදිරිගාමී ප්‍රතිසංස්කරණයක් ලෙස සැළකිය හැකිය- එහෙත් එම යෝජනාවලිය යථාර්ථයක් බවට පත් කරගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයට නොහැකි වූවා පමණක් නොව ලංකාව අනිවාර්යයෙන් විසදුම් දිය යුතුව තිබෙන අදහස් කෙරෙහි සිංහල සමාජයේ අනියත බියක් ඇතිවිය- එම යෝජනාවලියේ ඒකීය රාජ්‍ය අදහස දක්නට නොතිබූ අතර ඒ වෙනුවට පළාත් සංගමයක් යෝජනා කෙරිණි- පළාත් සංගමය යනු අද ලෝකයේ බලය බෙදීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති වඩාත් ඉදිරිගාමීම අදහසකි- එහෙත් එම අදහස ද්‍රවිඩ බෙදුම්වාදයට උඩගෙඩි දීමක් හා රට දෙකඩ වීමට හේතුවක් යැයි සිංහල බෞද්ධ උගතුන් හා දේශපාලඥයන් අර්ථ දැක්වුහ- එය ජාත්‍යන්තර බෙදුම්වාදී උවමනාවන් සඵල කිරීමට ආණ්ඩුව උත්සහ කිරීමක්ය යන ප්‍රවාදය ප්‍රබල ලෙස ජනගත කෙරිණි- එහි අවසන් ප්‍රතිඵලය වූයේ ෆෙඩරල් හෙවත් පරිපාලනයේ පහසුව තකා බලය බෙදීමේ අදහස සිංහල-බෞද්ධ ජනතාවට බියජනක  සහගත හැගීමක් ජනිත කරවිමය.

2015 යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරනු ලැබූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියද මුල් අවස්ථාවේදී සංවිධිතබවක් හා සාර්ථකභාවයක් ප්‍රකට කළේය- පවතින ව්‍යවස්ථාවේ දුර්වලතා අධ්‍යනය කර අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබද මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව ඉතා වැදගත්ය- කෙසේවෙතත් මේ ක්‍රියාවලිය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කරලිමට පාර්ලිමේන්තුව අසමත් විය- කවර අන්දමේ දේශපාලන පොරොන්දු දී බලයට පත්වන ජනාධිපතිවරයෙකුට වුවත් පවතින ආණ්ඩුක්‍රම ව්‍යුහය පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණයට ලක්කිරීමට සත්‍ය වුවමනාවක් නොමැති බව ප්‍රකට විය. ඊට අමතරව පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ නිසි උද්‍යෝගයක් සහ හැගීමක් නොවූවා පමණක් නොව ආණ්ඩු පක්ෂ – විපක්ෂ භේදයකින් තොරව බහුතරයක් මන්ත්‍රීන් තුළ ඒ සඳහා සැබෑ වුවමනාවක්  මෙන්ම අවබෝධයක්ද නොවූ බව එම ක්‍රියාවලිය  කඩාකප්පල් කිරීම සදහා නැගූ අභූත චෝදනා වලින් ඉතා පැහැදිලිය. මෙම තත්වය පුද්ගල බද්ධ වරදකට වඩා මුදල් බලය මත පාලන බලය තීරණය වන ක්‍රමයක වරදය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යුහය යළි ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍යව ඇති මේ මොහොත ඉතා වැදගත්ය. මන්දයත් ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටි යුද නිසා වැනසී ගිය දකුණු හා නැගෙනහිර ආසියානු රාජ්‍යයන් බොහොමයක් සාමය සමඟිය හා සංහිඳියාව ඔස්සේ සංවර්ධනය වෙමින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි. එබැවින් රටක් ලෙස අප පසුපසට ගමන් කිරීම මෙරට වෙසෙන්නන්ට පමණක් නොව ජාති ආගම් භේදයකින් තොරව මෙරට ජන්ම භූමිය කරගත් සියලු දෙනාට බෙහෙවින් ලජ්ජාව ගෙන දෙන කාරණයකි. . නූතන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන්ට හා ශිෂ්ඨ රට වල ප්‍රමිතීන්ට අනුව රාජ්‍ය පාලකයන් රාජ්‍යකරණයේදී බැදී සිටින්නා වූ පොදු ජනයා කෙරෙහි වගකීම,වගවීම, පාරදෘශ්‍යභාවය මෙන්ම ඔවුන් හුදෙකලා කිරීමකින් තොරව පාලනයට සහභාගී කර ගැනීමද,ඔවුනට  රාජ්‍ය සම්පත් හා දේපල කළමනාකරණය පිළිබද තොරතුරු නිර්ව්‍යාජව හෙලි කිරීමද,මහජන භාරය නිරන්තරයෙන් ආරක්ෂාකිරීමද කල යුතු වේ. ඒ සදහා මගහැරුනු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවස්ථා කෙරෙහි නැවත සිතා බැලීම අවශ්‍ය කෙරේ-රටක් ලෙස අප ඇද වැටි සිටින අගාදයෙන් ගොඩ ඒමටනම් මෙකි අවශ්‍යතාවය බැහැර කළ නොහැක.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts