සාමය

සාමය, සංවර්ධනය හා සංහිදියාව ගොඩනැගිමේදි භාෂාවේ කාර්යභාරය-1 කොටස

ප්‍රියන්ත කරුණාරත්න

“සමාජයේ පදනම භාෂාවයි. භාෂාව අපේ ආධ්‍යාත්මයට සෘජුවම සම්බන්ධ වෙනවා. එය අපේ ආධ්‍යාත්මය බාහිරව ප්‍රකාශ වීමක්. එහි හැම වචනයක්ම අපේ අධ්‍යාත්මයේ රැස් විහිදුවනවා.”

(ඉංදීය ගෝදාන් කෘතියේ කතෘ ප්‍රේමචන්ද්, 1936)

සාමය, සංවර්ධනය හා සංහිදියාව ගොඩනගාගැනීමේ මාධ්‍යයක් ලෙස භාෂාවට ප්‍රමුඛ තැනක් ලැබී තිබේ. රාජ්‍ය භාෂා ප්‍රශ්නය යටත් විජිතවාදයට නතු වු සෑම ආසියා-අප්‍රිකා රාජ්‍යයක්ම මුහුණ දුන් පොදු ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නය මනාව කළමනාකරණය කරගත් රටවල් අද වන විට සංවර්ධනය හා සාම මාවතේ  ඉදිරියට ගමන් කර තිබේ. අපට සමීප රටවල් වන ඉංදියාව, මියන්මාරය හා ඉන්දුනීසියාව නිදහස ලබාගන්නවාත් සමඟම භාෂා ප්‍රශ්නයට විසදුම් දී ස්වකීය ප්‍රතිපත්තියේ පිහිටා අනාගතය සකස් කර ගනිමින් සිටී. ලංකාව රටක් ලෙස භාෂා ගැටළුවට පිළිතුරු දී දශක පහකට ආසන්න කාලයක් වුවත් තවමත් එහි අඩුපාඩු නිවැරදිකර ගනිමින් තීරණාත්මක සංධිස්ථනයකට පැමිණීමට අපොහොසත් වි තිබේ. 

ලංකාව 1948 නිදහස ලබා ගැනීමට පෙරාතුව ‘ජාතික භාෂාව’ හා ‘රාජ්‍ය භාෂාව’ යන සංකල්ප ගැන හෝ නිදහස් ලංකාවේ අනාගත ගමන් මග කෙසේ විය යුතු ද යන කාරණය ගැන පැහැදිළි අදහසක් මෙරට වැසියන්ට තබා නායකයන්ටවත් නොතිබුණි. භාෂා ප්‍රශ්නය පිළිබඳව පොදු ජනයා ද දැනුවත් වන පරිදි ප්‍රබල සමාජ සංස්කෘතික ව්‍යාපාරයක් තුළින් කරුණු ඉදිරිපත් කිරීමක්, බුද්ධිමය සංවාදයක් නිදහස ලබා ගැනීමට පෙර මෙරට පැළ වී නොතිබුණි. එම නිසා මේ ගැටළුවට පිළිතුරු දීම දේශපාලකයින් භාර ගත්හ. සිංහල භාෂාවෙන් ලේඛණයේ යෙදුණු ලේඛකයෝ තමන් සංස්කරණය කළ පුවත් පත් සඟරා ආදියෙන් භාෂා ප්‍රශ්නය අලලා යම් යම් අදහස් ඉදිරිපත් කර තිබුණි. එහෙත් එ අදහස් ගොණු වි තිබුණේ ’ස්ව භාෂාව’ රාජ්‍ය පරිපාලනයේ යොදා ගැනීම ගැන රාජ්‍ය මංත්‍රණ සභාවට ඉදිරිපත් කෙරූ යෝජනා සාකච්ඡාවට ගැණුනු අවස්ථා පසුබිම් කරගෙනය. ඒ නිසා භාෂා ප්‍රශ්නය විසදුම් දීම අතින් ලේඛකයෝ සිටියේ දේශපාලඥයින්ට පිටුපසිනි. 

නිදහසට පෙර යුගය

1932 වසරේදී රාජ්‍ය පරිපාලනයේදී ස්ව භාෂාව යොදා ගත යුතු යැයි මුලින්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට (අද අර්ථයෙන් පාර්ලිමේන්තුව) මාතර මන්ත්‍රී ජී. කේ. ඩබ්ලිව් පෙරේරා යෝජනාවක් ගෙන ආවේය. ඉන්පසු උසාවි කටයුතු ස්ව භාෂාවෙන් කල යුතු බවට රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනාවක් ගෙන ආවේ අවිස්සාවේල්ල මංත්‍රී පිලිප් ගුණවර්ධනයි. තුන්වන වරට මෙබදු යෝජනාවක් ගෙන ආවේ  කැළණිය මංත්‍රි ඡේ. ආර්. ජයවර්ධනයි. එමගින් “යුක්තිසහගත කාලසීමාවක්” ඇතුලත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම අරමුණු කෙරිණි. 1943 ජුනි 22 දින රාජ්‍ය මංත්‍රණ සභාවට එම යෝජනාව ගෙන එන ලදී. 

එම යෝජනාවේ ඇතුළත් මුලික කරුණු වුයේ,

1ග සෑම පාසලකම අධ්‍යපන මාධ්‍ය සිංහල බවට පත් කිරීම.

2ග ආණුඩුවේ සෑම විභාගයක්ම සිංහල භාෂාවෙන් පැවැත්වීම.

3ග රාජ්‍ය මංත්‍රණ සභාවේ වැඩ කටයුතු සිංහලෙන් ද කිරීමට හැකි පරිදි නීති පැනවීම.

4ග වෙනත් භාෂා වලින් තෝරාගත් වැදගත් පොත්පත්  සිංහලයට පරිවර්ථනය කරවීමට වැඩපිළිවෙල යෙදීම ආදිය ඒ යෝජනාවට ඇතුලත්ව තිබිණි.

කෙසේවෙතත් ඡේ. ආර්. ජයවර්ධන 1944 මැයි මස 24 දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මෙසේ ප්‍රකාශ කළේය. 

“දෙමළ වැසියන්ගේ අභිප්‍රාය සිංහල බස හා සමාන   තත්වයක් දෙමළ බසටද හිමි විය යුතුයි යන්න නම් එය ඒ තත්වයට පත්වීම අප විසින් වැළැක්විය යුතු නැත.”

1944 මැයි 24 රාජ්‍ය මංත්‍රණ සභාවට යෝජනාවක් ගෙන එමින් ඡේ. ආර්. ජයවර්ධන කලින් (1943 ජුනි 22) යෝජනාවේ සිංහල වශයෙන් සඳහන් වු තැන් “සිංහල සහ දෙමළ” වශයෙන් සංශෝධනය විය යුතු යැයි කියා සිටියහ. ඒ අනුව ඔහු විටින් විටි ඔහුගේ යෝජනා සංශෝධනය කළේ “ජාතික භාෂාව” යන සංකල්පය ගැඹුරෙන් හැදෑරීමෙන් නොවන බව පැහැදිළිය.

1956 පෙරලිය

අගමැති එස්. ඩබ්ලියු ආර්. ඩී. බණ්ඩාරනායක සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 1956 දී සම්මත කරගත්තේය. මෙය ජනතාවට දුන් පොරොන්දුවක් ඉෂ්ඨ කිරීමකි. එහෙත් දෙමළ භාෂාව දෙන තැන එම පනතට අඩංගුව නොතිබුණි. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමේත් එයටත් වඩා ඩඩ්ලි=චෙල්වනායගම් ගිවිසුමේත් උතුරු-නැගෙනහිර දෙපලාතේ පරිපාලන භාෂාව වශයෙන් දෙමළ භාෂාවට ඉඩ සැලසුවේය. ඉන්පසු 1958 වසරේදි ඉදිරිපත් කළ දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත මඟින් සිංහල රාජ්‍ය භාෂාව වන අතර ම උතුරු නැගෙනහිර පරිපාලන භාෂාවක් වශයෙන් දෙමළ භාවිතය ඉඩදීමෙන් භාෂා ප්‍රශ්නය යම් සමථයකට පත් විය. ඉන්පසු 1958 වසරේ සිට ඉන් ඉදිරියට වසර 30 ක් පමණ වන තෙක් සෑම ආණ්ඩුවක් යටතේම “සිංහල රාජ්‍ය භාෂාව  වන අතර දෙමළට නිසි තැන” යන්න ජාතික ප්‍රතිපත්තිය වශයෙන් ක්‍රියාත්මක විය.

1956 රාජ්‍ය භාෂා පනත විවාදයට ගත් අවස්ථාවේදී දෙමළ මංත්‍රීවරුන් මෙන්ම ආචාර්ය එන්.එම් පෙරේරා හා කොල්වින් ආර්. ද සිල්වා ඇතුළු සමසමාජ මංත්‍රීවරු ඊට විරුද්ධව අදහස් දැක්විය. භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් සියල්ල “ඒක් භාෂාවක් නම් රටවල් දෙකක්, භාෂා දෙකක් නම් එක් රටක”් ප්‍රකාශයේ සාරානුකූලව දැක්වේ. 1958 අංක 28 දරණ දෙමළ භාෂා (විශේෂ විධිවිධාන) පනත යටතේ 1966 ජනවාරි 08 වනදා අගමැති ඩඩ්ලි සේනානායක රෙගුලාසි පැනවීමට උත්සහ කළ අවස්ථාවේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය ඊට විරුද්ධ විය. ඩඩ්ලිගෙම බඩේ මසල වඩේ යැයි කියමින් පෙළපාලි ගියේ මේ කාලයේය. ඉන්පසු ඔවුන් නැවත 1956 “සිංහල පමණයි” මුල් පනත පිළිගත්තේය. 

1970 සමඟි පෙරමුණ රජය පිහිටවීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමති ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සම්පාදනය කළ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට “ශ්‍රි ලංකාවේ රාජ්‍ය භාෂාව 1956 අංක 33 දරණ රාජ්‍ය භාෂා පනතින් නියමිත පරිදි සිංහල භාෂාව වන්නේය.” යන වගන්තිය ඇතුළත් කළේය. ඒකීය රාජ්‍ය සංකල්පය කැටිකරගත් ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ දක්නට ලැබෙන භාෂා ප්‍රතිපත්තිය යනු සාමාන්‍ය පනතකින් සංශෝධනය කළ හැකි පනතක් නොවේ. 

1977 දී ලද සුවිශේෂී මැතිවරණ ජයක්ග්‍රහණයත් සමඟ ඡේ. ආර්. ජයවර්ධන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළේය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගැනුණත් දෙමළ භාෂාවට හිමිවන තත්වය ගැන සඳහනක් එහි සදහන්ව තිබුණේ නැත. එහෙත් 1987 දී 1978 ව්‍යවස්ථාවට හදුන්වා දුන් 13 වැනි සංශෝධනයෙන් භාෂා නීතිය වෙනසක් කර “දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේය. සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේය.” යන කොටස ඇතුළත් කළේය.                

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts