අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන වෛරී ප්‍රකාශ

සමාජ මාධ්‍ය දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ කුණාටු මැද පුංචි ඡන්දයේදී නොරැවටී සිටීමේ අභියෝගය ජයගැනීම.

ආනන්ද ධර්මප්‍රිය ජයසේකර

රටපුරා මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක්,ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළුව පුංචි ආණ්ඩු 339 ක් වෙනුවෙන් මහජන නියෝජිතයින් 8297 දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට තව ඇත්තේ එක්දිනක් පමණි.එම නියෝජිත ධූර 8297සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් අපේක්ෂක අපේක්ෂිකාවෝ 71,000 ක් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටිති. මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ මැයි 06 වැනිදා පැවැත්වෙන මැතිවරණයේදී ලියාපදිංචි ඡන්දදායකයින් 17,296,330 ක් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටිති.

මැතිවරණයේ අවසන් සතිය සහ අවසන් සතියේ අවසන් දින කිහිපය යනු මැතිවරණයක වඩාත්ම තීරණාත්මක කාල පරිච්ඡේදයයි. එනම්,ඡන්දදායකයෙකු තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම හෝ නොකිරීම පිළිබඳව තීන්දු ගන්නා,එසේම ඡන්දය භාවිත කරන දේශපාලන පක්ෂය සහ අපේක්ෂකයින් පිළිබඳව වැඩියෙන්ම විමසිලිමත්වන කාල වකවානුවයි. ඡන්ද දායකයාට සිය ඡන්දය බලපෑමකින් තොරව,නිදහස්ව පාවිච්චි කිරීමට ඇති අයිතියට එරෙහිව විවිධ ක්‍රමෝපායයන් භාවිත කරමින් දුස් තොරතුරු, වැරදි පුවත් හා වෛරී ප්‍රකාශ පතුරුවන්නන්ටද, ‘ප්‍රොපගැන්ඩා කැම්පේන්වල’ යෙදෙන්නන්ටද මැතිවරණයක මෙම අවසාන දින කිහිපය අතිශයින්ම වැදගත් දින කිහිපයකි.ඒ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේද ඔස්සේ නොව,ඡන්දදායකයින් මං මුලාකිරීම මගින් තම තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහාය.අවසන් මොහොතේ සිදුවන මෙම වැරදි තොරතුරු ප්‍රචාරණයන්හි ප්‍රධාන ප්‍රචාරක මාධ්‍ය බවට පත්ව ඇත්තේ සමාජ මාධ්‍යයයි.සමාජ මාධ්‍ය පරිශීලකයින් දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ පිළිබඳ දැනුම්වත්භාවයෙන් අඩු,පහසුවෙන් රැවටෙනසුළු පිරිසක් වන තරමට කූට අරමුණු ඇතිව දුස් තොරතුරු පතුරුවන්නන්ගේ කාර්යය පහසුවෙයි.

“2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සමාජ මාධ්‍ය ආයතන විසින් සමස්ථ මැතිවරණ කාලය තුළ ඉවත් කරන ලද සබැඳීන් ප්‍රමාණය 2515 ක් වූ අතර මැතිවරණයේ නිහඬ කාලය තුළ ඉවත් කරන ලද සබැඳීන් ප්‍රමාණය 1822 ක්
වී තිබිණි.”

මැතිවරණ තොරතුරු වාර්තාකරණය සම්බන්ධ මාධ්‍ය නිරීක්ෂණ වාර්තා පෙන්වා දෙන ආකාරයට, කිසියම් හෝ පාලනයකට යටත්ව ජනමාධ්‍යවේදීන් විසින් ප්‍රවෘත්ති හා විශේෂාංග අන්තර්ගත සම්පාදනය කෙරෙන රූපවාහිනී,ගුවන් විදුලි ඇතුළු විද්‍යුත් නාලිකා හා පුවත්පත්වලට වඩා පුරවැසි අන්තර්ගත සම්පාදකයින් විසින් හසුරුවනු ලබන සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වන දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ ප්‍රමාණය සාපේක්ෂව ඉහළ අගයක් ගනී.

අවසන් වරට පැවැති 2024 ජනාධිපතිවරණයේ සහ පාර්ලිමේන්තු මැතිවරණයේ සමාජ මාධ්‍ය හා සම්බන්ධ පැමිණිලි කළමනාකරණයේ පසු විපරම් වාර්තාව – ‘මැතිවරණ ක්‍රියාවලියට සමාජ මාධ්‍යවල බලපෑම’ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදී තිබුණේ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි වශයෙන් සමාජ මාධ්‍ය ඒකකය වෙත ලැබුණ පැමිණිලි වලින්, නාමයෝජනා දින සිට මැතිවරණ දින දක්වා සමස්ථ මැතිවරණ කාලය තුළ සමාජ මාධ්‍ය ආයතන විසින් ඉවත් කරන ලද සබැඳීන් ප්‍රමාණයට (872) ආසන්න සංඛ්‍යාවක්,එනම්,සබැඳීන් 751 ක් මැතිවරණයේ නිහඬ කාලය තුළ ඉවත් කිරීමට සිදුවූ බවයි.2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සමාජ මාධ්‍ය ආයතන විසින් සමස්ත මැතිවරණ කාලය තුළ ඉවත් කරන ලද සබැඳීන් ප්‍රමාණය 2515 ක් වූ අතර මැතිවරණයේ නිහඬ කාලය තුළ එලෙස ඉවත් කරන ලද සබැඳීන් ප්‍රමාණය 1822 ක් වී තිබිණි.මැතිවරණ වකවානුවක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන දුස් තොරතුරු,වැරදි පුවත් ආදී විවිධ වර්ගීකරණයන්ට අයත් වැරදි සහ වෛරී අන්තර්ගතයන් දහස් ගණනක් අතරින් මෙම සංඛ්‍යාලේඛන තුළ ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ සමාජ මාධ්‍ය ඒකකය වෙත ඉදිරිපත් වූ පැමිණිලි වලින්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් බවට තීරණය කරන ලද අතලොස්සක් ගැන පමණක් වුවද මෙම තොරතුරු මැතිවරණයේ අවසන් දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන හානිදායී අන්තර්ගතයන්හි ප්‍රමාණය සහ ස්වභාවය පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත්ය.

මෙම තත්ත්වය වාර්තා වන්නේ සාමාන්‍ය කාලවකවානුවක් තුළ නොව, මැතිවරණ කාලසීමාවක විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය විසින් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන නිකුක්කර ඇති තත්ත්වයක් තුළ වීමද මෙහිදී පුරවැසි සමාජයේ අවධානය යොමු වියයුතු විශේෂ කරුණකි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සිය දත්ත විශ්ලේෂණ ඇසුරින් පෙන්වාදෙන පරිදි දකුණු ආසියාවේ ඉහළම ජංගම දූරකථන ඝණත්වයක් පවතින්නේ ශ්‍රී ලංකාවේය.එය 131.5% කි.එනම්, පුද්ගලයින් 100 කට ජංගම දූරකථන සංඛ්‍යාව 131.5 කි.එම ජන ඝණත්වය බස්නාහිර පළාතට 123.3% ක් වනවිට දකුණු පළාතට 81.7% කි.මධ්‍යම පළාතට 83.2% කි.අග නගරය හා තදාසන්න ප්‍රදේශවලින් ඔබ්බෙහි පිහිටි උතුරු මැද පළාතේ 90.3% කි.අඩුම ජංගම දුරකථන ඝණත්වයක් ඇති ඌව පළාතේද 62.1% කි. එම කොමිෂන් සභාව සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර ඇති දත්ත අනුව 2024 වසරේ ආරම්භය වනවිට සිටි ශ්‍රී ලංකාවේ ජංගම දූරකථන ග්‍රාහකයින්ගේ සංඛ්‍යාව මිලියන 28.9 කි.ස්ථාවර ග්‍රාහකයින් මිලියන 3.5 කි.අන්තර්ජාල සේවා ග්‍රාහකයින් මිලියන 22.8 කි.මෙම තොරතුරු නිරන්තරයෙන් වෙනස් වෙමින් ,වර්ධනය වෙමින් පවතින අතර මෙම දත්ත අනුව සැලකූවිට දුස් තොරතුරු පැතිරවීම සඳහා කූට අරමුණින් සන්නිවේදනයේ යෙදෙන්නන්ට මෙම ජංගම දූරකථන ග්‍රාහකයින් හා අන්තර්ජාල පරිශීලකයින්ගේ සමාජ මාධ්‍ය ජාල කොතරම් වටිනා තෝතැන්නක්දැයි පැහැදිලිය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, 2024 වසරේ සිව්වන කාර්තුවට අදාළව (2024 දෙසැ: 31 දිනට) නිකුත්කර ඇති දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල ඔස්සේ සමාජ මාධ්‍ය පරිශීලනය විශ්ලේෂණය කළවිට ඉදිරියෙන්ම සිටින්නේ ෆේස්බුක්(fb )ය. ෆේස්බුක් පරිශීලකයින්ගේ සංඛ්‍යාව 15,031,412 (19%)කි.යූටියුබ් පරිශීලකයින් 14,528,371 (18%) කි. වට්ස්ඇප් 14,928,520 (18%) කි. වයිබර් 6,068,833 කි.ඉමෝ 7,662,817 කි .ඉන්ස්ටග්‍රෑම් 8,470,698 කි .ස්නැප් චැට්4,012,121 කි .ටික්ටොක් 10,557,052කි .

මැතිවරණ කාලසීමාවකදී විද්‍යුත්,මුද්‍රිත හා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් දුස් තොරතුරු,අසත්‍ය හා වෛරී ප්‍රකාශ පතුරුවන්නන්ගෙන් ඡන්දදායකයාට වන හානිය වළක්වාගන්නේ කෙසේද?අප කෙටි ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් ඒ ප්‍රශ්නය ඊට පිළිතුරු දීමට සිටින හොඳම පුද්ගලයා වන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වෙත යොමු කළෙමු.

දුස් තොරතුරු,වෛරී ප්‍රකාශ සම්බන්ධ පැමිණිලි ඉතාම අඩුයි.

සමන් ශ්‍රී රත්නායක, මැතිවරණ කොමසාරිස් ජනරාල්

“මැතිවරණ කොමිෂන් සභාව විදියට අපි මාධ්‍ය උපමාන නිකුත් කරල තියෙනවා.ඒ වගේම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලාවල හැසිරීම් නිරීක්ෂණය කරනවා.ඒ සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීමේ යාන්ත්‍රණයකුත් ඇතිකර තියෙනවා.සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳවත් මෙවරත් අපේ විශේෂ ඒකකයක් ක්‍රියාත්මක වෙනවා. ඒත් පසුගිය මැතිවරණවලට සාපේක්ෂව සැලකූවිට මෙවර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අපට ලැබීඇති පැමිණිලි සංඛ්‍යාව ඉතාම අඩුයි.විශේෂයෙන්ම දුස් තොරතුරු,වෛරී ප්‍රකාශ වගේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉතාමත්ම අඩුයි. ”

“ මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව 71,000 ක් තරම්. සාමාන්‍යයෙන් එක්කෙනෙක් එක් වරදක් කළත් පැමිණිලි ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි වෙන්න ඕන.ඒත් මේ අපේක්ෂකයින්ගේ බල සීමාවල් කුඩා නිසා ඒවා ජාතික මට්ටමින් වාර්තාවීම් සහ පැමිණිලි ඉදිරිපත්වීම් අඩුයි.උතුරේ සමාජ මාධ්‍ය භාවිතය ගොඩක් වැඩි නිසා මැතිවරණයේදී කාන්තාවන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන වෛරී කථනයන්,මඩ ගැසීම් වගේ සිදුවීම් තරමක් වැඩි බව පෙනෙනවා. ” මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ,මැතිවරණ කාල සීමාව තුළ සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීම සහ සමාජ මාධ්‍යජාලා හරහා සිදුකරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි ගැන ක්‍රියා කිරීම සඳහා ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ වත්මන් සමාජ මාධ්‍ය නිරීක්ෂණ සම්බන්ධයෙන්ද, පසුගිය මැතිවරණවලට අදාළව ඉදිරිපත්වූ සමාජ මාධ්‍ය පැමිණිලිවල ස්වභාවය සහ එල්ලවූ අභියෝග සම්බන්ධයෙන්ද අප මැතිවරණ කොමිෂන් සභාවේ පර්යේෂණ හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ චන්න පී.ද සිල්වා මහත්මා සමග වැඩිදුර සාකච්ඡා කළෙමු.

චන්න පී.ද සිල්වා, අධ්‍යක්ෂ- පර්යේෂණ හා ක්‍රමසම්පාදන

“පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබුණ පැමිණිලි 6524 ක් අතරින් ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ සියුම් පරීක්ෂා කිරීම් වලින් අනතුරුවඋල්ලංඝණය කිරීම් ලෙස හඳුනාගත් පළකිරීම් 3277 ක් සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකළා. ඒ අතරින් 2515 ක සබැඳීන් සාර්ථකව ඉවත් කරගැනීමට හැකිවුණත් තවත්පැමිණිලි129 ක සබැඳීන් ඉවත්කිරීම සමාජ මාධ්‍ය ආයතන ප්‍රතික්ෂේප කළා.”

“ පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ප්‍රධාන වර්ගීකරණ හතක් යටතේ අපේ සමාජ මාධ්‍ය පළකිරීම් නිරීක්ෂණ කටයුතු සිදුවුණා.අපට ලැබුණ පැමිණිලිවල නීතිමය සහ මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම් යළි පරීක්ෂාකර බැලීමකින් පසුව තොරාගනු ලැබූ පැමිණිලියි, අප සබැඳීන් ඉවත්කරවාගැනීම සඳහා අදාළ සමාජ මාධ්‍ය ජාල ආයතන වෙත යොමුකළේ. ජනාධිපතිවරණයට අදාළව අප යොමුකළ පැමිණිලි අතර වෛරී ප්‍රකාශ සම්බන්ධ පැමිණිලි 713 සහ දුස් තොරතුරු සම්බන්ධ පැමිණිලි 389 ක්, වැරදි පුවත් 231 ක් තිබුණා. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අප යොමුකළ පැමිණිලි අතර වෛරී ප්‍රකාශ සම්බන්ධ පැමිණිලි 306 ක් තිබුණා.දුස් තොරතුරු පැමිණිලි සංඛ්‍යාව 188 ක්. වැරදි පුවත් සම්බන්ධ පැමිණිලි 83ක්.
ජනාධිපතිවරණයට අදාළව අපට ලැබුණ පැමිණිලි 2877 ක් අතරින් නීති,මාධ්‍ය උපමාන හා සමාජීය මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම් ලෙස හඳුනාගෙන අප සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකළ 2010 ක් වූ පළකිරීම් අතරින් 872 ක සබැඳීන් සාර්ථකව ඉවත් කරගැනීමට හැකිවුණා.ඒත්, පැමිණිලි 201 ක සබැඳීන් ඉවත්කිරීම සමාජ මාධ්‍ය ආයතන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපට ලැබුණ පැමිණිලි 6524 ක් අතරින් ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ සියුම් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව උල්ලංඝණය කිරීම් ලෙස හඳුනාගත් පළකිරීම් 3277 ක් සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකළා. ඒ අතරින් 2515 ක සබැඳීන් සාර්ථකව ඉවත් කරගැනීමට හැකිවුණත් තවත් පැමිණිලි129 ක සබැඳීන් ඉවත්කිරීම සමාජ මාධ්‍ය ආයතන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.”

මැතිවරණ කොමිෂන් සභාවේ පර්යේෂණ හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට, මැතිවරණ කොමිෂන් සභාව සියුම් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව, උල්ලංඝණය කිරීම් ලෙස හඳුනාගනිමින් සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකරන ලද ඇතැම් පැමිණිලි එලෙස ප්‍රතික්ෂේප වීමට බලපෑ ඇති හේතු කිහිපයකි.

“සමාජ මාධ්‍ය ආයතන වෙතින් ප්‍රතික්ෂේප වීමට ඉලපෑ ප්‍රධාන හේතුවක් තමයි,පැමිණිලි කර ඇති පළකිරීමක් මගින් උල්ලංඝණය කර ඇති දේශීය නීතිය අදාළ වගන්ති සමග දැක්වීමට අපහසුවීම.ඉහත සඳහන් කරන ලද සමාජ මාධ්‍ය පළකිරීම් වර්ගීකරණය පිළිබඳ ඇතැම් නිශ්චිත නිර්වචන දේශීය නීතිතුළ නැහැ.නිදර්ශනයක් ලෙස ජනවර්ගය,ජාතිකත්වය,කුලය,ආගමික ලැදියාවන් වගේ දේවල් නැත්නම්,මේ සමහර දේවල් උල්ලංඝණ ප්‍රකාශයන් දේශීය නීති යටතේ වෛරී ප්‍රකාශන ලෙස සැලකෙන්නේ නැහැ.මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන මාධ්‍ය උපමාන සඳහා නෛතික බලයක් නොමැතිවීමත් ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී ගැටලුවක් ලෙස මතුවුණා. ” සිය අත්දැකීම් විස්තර කරමින් චන්න පී.ද සිල්වා මහත්මා පැවැසීය.

පියුමි ආටිගල – නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ)

‘මැතිවරණ ක්‍රියාවලියට සමාජ මාධ්‍යවල බලපෑම’ පිළිබඳ සමාජ මාධ්‍ය හා සම්බන්ධ පැමිණිලි කළමනාකරණයේ පසු විපරම් වාර්තාව ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ) පියුමි ආටිගල මහත්මිය ඇතුළු කණ්ඩායම ප්‍රායෝගික හා ඵලදායී යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. මෙම ගැටලු පාලනය කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ(5)(අ) අනුව්‍යවස්ථාව තුළට සමාජ මාධ්‍ය සඳහා උපමාන සැකසීමට ප්‍රතිපාදන ඇතුළත් කිරීම,සමාජ මාධ්‍ය ජාලවල සමාජීය මාර්ගෝපදේශ වලට අනුකූල වන ආකාරයට මාධ්‍ය උපමාන සැකසීම ඒ අතරින් කිහිපයකි.

“අපට එල්ලවූ හැම අභියෝගයක් සම්බන්ධයෙන්ම එම තත්ත්වය වෙනස් කරන්න අපි කණ්ඩායමක් ලෙස සෑහෙන උත්සාහයක් ගත්තා.දේශීය නීතිතුළ අඩුපාඩු පවතින අවස්ථාවල සමහර සබැඳීන් ඉවත් කරවීමට ගතවන වෙලාව වැඩියි.එවැනි පමාවීම් වනවිට එය සමාජය පුරා ඔඩුදුවල,ඒකෙන් සෑහෙන හානියක් සිදුවෙලා ඉවරයි.වට්ස්ඇප් වගේ සමහර ‘ක්ලෝස් ගෘෘප්’වල හුවමාරුවූ,අපට මැදිහත්වීමට අපහසු හානිදායී අන්තර්ගත සම්බන්ධයෙන් පවා විධිමත් ලෙස පැමිණිලි ලැබුණ අවස්ථාවලදී අප ක්‍රියාත්මක වුණා. මෙවර අපේ කණ්ඩායම සාපේක්ෂව අඩුයි.පැමිණිලි ඉදිරිපත් වීමේත් විශාල අඩුවක් තිබෙනවා.ඒත්, මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළවත් අපේ මාධ්‍ය නිරීක්ෂණ ඒකකය සුපුරුදු පරිදි ක්‍රියාත්මකයි.” පර්යේෂණ හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙවර සමාජ මාධ්‍ය හැසිරීම සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අලුත් ‘ඇප් එකක්’හඳුන්වා දෙමින් එයට සිය සමාජ මාධ්‍ය ජාල හරහා පුළුල් ප්‍රසිද්ධියක්ද ලබාදී තිබේ.

‘කරුණු පරික්ෂාව’ පුංචි කාලෙම ලබාදිය යුතු දැනුමක්!

සමාජ මාධ්‍ය පුහුණුකරු , කසුන් කුමාරගේ)

අසත්‍ය හා විකෘති කරන ලද තොරතුරු සහ වෛරී ප්‍රකාශ හානිදායී බව හඳුනාගැනීමෙන් පසුවත් එම ඇතැම් සබැඳීන් ඉවත්කරවීමට සමාජ මාධ්‍ය ආයතන සමග විශාල අරගලයක් කිරීමට සිදුවීම ගැන පොදුවේ දෝෂාරෝපන එල්ල වෙද්දී තරුණ සමාජ මාධ්‍ය පුහුණුකරුවෙකු හා බාහිර කථිකාචාර්යවරයෙකු වන කසුන් කුමාරගේ පවසන්නේ සමාජ මාධ්‍ය හිමිකරුවන් තමන්ගේ පරිශිලකයා වෙනුවෙන් මැදිහත් වෙමින් එවැනි සියුම් සොයාබැලීමකට යාමේ හොඳ ත්තකුත් තිබෙන බවය.

“ මැතිවරණ කොමිෂන් සභාව හෝ රජය හෝ වෙනත් ප්‍රබල පාර්ශවයක් විසින් ඉල්ලීමක් කළ පමණින් කිසියම් අන්තර්ගතයක් වහාම ඉවත් නොකොට සමාජ මාධ්‍ය හිමිකරුවන් තමන්ගේ නිර්ණායක මත එය නැවත විමර්ශනය කරන එකේ හොඳ පැත්තකුත් තියෙනවා. ඔවුන්ට බාහිර පාර්ශවයකට වඩා තමන්ගේ පරිශීලකයා වැදගත්. මේ මොහොතේ මැතිවරණ කොමිසම සහ රජය නිවැරදිව ක්‍රියා කරනවා වියහැකි වුවත් තවත් අවස්ථාවක එසේ නොවීමට ඉඩ තිබෙනවා. එම නිසා තෙවැනි පාර්ශවයක් ඒ ගැන මධ්‍යස්ථව විමර්ශනය කිරීම හොඳ දෙයක්.

මට හිතෙන්නේ මේ කරුණු පරීක්ෂාව ගැන පුරුද්ද ළමයෙකුට පුංචිම කාලේ ඉඳලා ලබා දියයුතු දැනුමක්. කරුණු පරීක්ෂා කිරීමේ විවිධ මෙවලම් රාශියක් තිබුණත් ඒ හැම දැනුමක්ම නිරන්තරයෙන් වෙනස් වෙනවා. අලුත් වෙනවා. ඒත් පුද්ගලයෙකුට කිසියම් තොරතුරත් ලැබුණ විට එම තොරතුර පිළිගැනීමට සහ තවත් අයෙකුට බෙදාහැරීමට පෙර ඒ ගැන සැලකිළිමත්වීමේ පුරුද්දක් ඇතිකළ හැකිනම් දුස් තොරතුරු වලින් සිදුවන හානිය සෑහෙන මට්ටමකින් පාලනය කරගත හැකි බවයි මගේ අදහස. ” කසුන් කුමාරගේ පවසයි.

දුස් තොරතුරු මගින් සිදුවන සමාජ හානිය අවම කරගැනීමට රටක් වශයෙන් හා පුරවැසි සමාජයක් වශයෙන් අවශ්‍ය නීති හා සමාජ ප්‍රතිසංස්කරණ දිනාගැනීම වෙනුවෙන් මහන්සි නොවිය යුතු බවක් මෙයින් අදහස් නොවේ.එහෙත්, අප ඒ වෙහෙස දරන අතරම සමාජ මාධ්‍ය තුළ පමණක් නොව එදිනෙදා ජීවිතයේදී, අපව මංමුලාකරන විවිධ රවටන්නන් කෙතරම් සියුම් සහ දක්ෂ ලෙස සිය කාර්යයේ නිරත වුවද ඔවුන් වහා හඳුනාගැනීමට තරම් අපට සූක්ෂම වියහැකි නම් අපට වන හානිය අවම කරගත හැකියැයි ඔබට නොසිතේද?

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts