Uncategorized

සමනළ කන්ද පරයා ගොඩගැසෙමින් තිබෙන ප්ලාස්ටික් කන්ද

මහේෂ්වරී විජයානන්දන්

ශ්‍රී ලාංකිකයින් පමණක් නොව ලොව පුරා වෙනත් රටවල ජනතාවද  වන්දනා කිරීමට සහ සංචාරය කිරීම සඳහා පැමිණෙන  ‘ශ්‍රී පාදස්ථානය’  ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ස්ථානයකි.

මුහුදු මට්ටමේ සිට අඩි 7,359 ක උසින්, සබරගමුව සහ මධ්‍යම පළාත් අතර මායිමේ පිහිටා ඇති  ශ්‍රී පාදස්ථානය නොහොත් සමනළ කන්ද ශ්‍රී ලංකාවේ දෙවන උසම කන්ද වන අතර එය බෞද්ධයන්ගේ මෙන්ම ජාති ආගම් භේදයකින් තොරව අන්‍යයන්ගේද ගෞරවයට පාත්‍රවූ  සිද්ධස්ථානයක් ලෙස සැලකේ . සමනළ කඳු මුදුනේ සිට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සුන්දරත්වය සහ හිරු උදාව දැක බලා ගතහැකි අතර ඒ සඳහාම විදේශීය සංචාරකයෝ විශාල වශයෙන්  පැමිණෙමින් සිටිති.

ශ්‍රී පාද වන්දනා සමය සෑම වසරකම දෙසැම්බර් මාසයේ පුන් පොහොය දිනයෙන් ආරම්භ වන අතර අප්‍රේල් මාසයේ පොහොය දිනයෙන් අවසන් වේ.  එය ශ්‍රී ලංකාවේ දීර්ඝතම සෘතුමය වන්දනා ස්ථානය ලෙසද සැලකෙයි.

  එම සෘතු වන්දනා සමයේදී ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට සහ එහි සංචාරය කිරීමට පැමිණෙන පිරිස විසින්  පරිසරයට මුදාහරින අපද්‍රව්‍ය  මේ වනවිට විශාල පාරිසරික තර්ජනයක් බවට පත් වී ඇත.

වන්දනා සමය ආරම්භ වී අවසන් වන සෑම අවස්ථාවකම දිරාපත් නොවන අපද්‍රව්‍ය ටොන් ගණනක් එහි එක්රැස් වන අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා විවිධ ස්ථානවලට යැවීමට සිදුවී තිබේ.  මස්කෙළිය ප්‍රාදේශීය සභාව, නල්ලතන්නි පොලිසිය, ප්‍රාදේශීය ප්‍රජා සංවිධාන සහ Eco Spindles නමැති පෞද්ගලික ආයතනය  එක්ව  දැනට එම භාරධූර කාර්යයට උරදී  සිටිති.

  වන්දනාකරුවන්  සහ සංචාරකයින් විසින්  පරිසරය වෙත මුදා හරිනු ලබන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යමින් පවතින තත්ත්වය තුළ එම ප්‍රදේශයේ තුළ එක්රැස් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ කාර්යය වසර 4ක පමණ සිට සිදුකරනු ලබන්නේ Eco Spindles සමාගම විසිනි. මෙහි එක්රැස් වන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් කොටසක් හොරණ පිහිටි ඔවුන්ගේ ප්‍රතිචක්‍රීකරණ සමාගමට යවා ඉතිරිය මස්කෙළිය ප්‍රාදේශීය සභාවට භාර දෙන බව Eco Spindles කළමනාකරණ අංශයේ ප්‍රධාන ව්‍යාපෘති නිලධාරී සුපුන් ලක්මාල් මහතා පවසයි.

මෙලෙස ටොන් ගණනින් එකතු වන අපද්‍රව්‍යවලින්  තම සමාගම  නයිලෝන් නූල්, පිරිසිදු කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ආදිය  නිෂ්පාදනය කර විදේශ රටවලට අපනයනය කරන බවද ඔහු පැවසීය.

තවද නල්ලූර් සහ තලවිල විහාරස්ථානවල වාර්ෂික මංගල්‍යයන්හිදී පරිසරයට ඉවත දමන ප්ලාස්ටික් අපද්‍රව්‍යද තම සමාගම විසින් එක්රැස් කරඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

Eco Spindles සමාගමේ තොරතුරුවලට අනුව පසුගිය 2022 වසරේ සමනළ කඳු ප්‍රදේශයෙන් එක්රැස් කර ඇති ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය 130,000 කි. මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පරිසර අංශය භාර නිලධාරි රසික සමරනායක මහතා පැවසුවේ පසුගිය අප්‍රේල් මසින් නිම වූ  මෙවර වන්දනා සමයෙන් පසු ප්ලාස්ටික් බෝතල් ටොන් 3ක් මේ වන විට එකතු වී  ඇති බවයි.

එසේම නල්ලතන්නි – ශ්‍රී පාද මාර්ගයෙන් දිරාපත් නොවන  අපද්‍රව්‍ය ටොන් 110 ක් එකතු වී ඇති අතර ඒවා  මස්කෙලිය – රිකාඩාන් ප්‍රදේශයේ පිහිටි ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයටද, ප්ලාස්ටික් බෝතල් Eco Spindles සමාගමට යැවූ  බව ඔහු පැවසීය.

මෙම අපද්‍රව්‍ය පිරිපහදුව සඳහා මෙවර මස්කෙළිය ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 40ක් වැය කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ පොලිතින් භාවිතයෙන් සිදුවන පාරිසරික තර්ජනය වැලැක්වීම සඳහා මයික්‍රෝන 20 හෝ ඊට අඩු පොලිතීන්  හා ඇතැම් පොලිතීන් නිෂ්පාදන භාවිතය තහනම් කිරීමේ නියෝගයක් 2017 සැප්තැම්බර් 1 වැනි දින ගැසට් පත්‍රය මගින් දැන්වූ අතර, එමඟින් ආහාර ඇසුරුම් කිරීම සඳහා භාවිත කරන ලන්ච්ෂීට්, ග්‍රොසරි බෑග් හා පොලිතින් බෑග් නිෂ්පාදනය, අලෙවි කිරීම සහ භාවිතය ද තහනම් කරන ලදී.

මීට අමතරව විවෘත ස්ථානවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිස්සීම තහනම් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර සැමරුම් උත්සවවලදී පොලිතින් භාවිතය ද තහනම් කරන ලදී. 

නමුත් කෙතරම් තහනම් කිරීම් කළද , කෙතරම් ගැසට් නිවේදන නිකුත් කළද ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතින් අපද්‍රව්‍ය නිසා පරිසරය දිනෙන් දින විවිධ තර්ජනවලට ලක්වීම වළක්වා ගැනීමට නොහැකි වී තිබේ.

මෙම දිරාපත් නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් වාසස්ථාන සහ පරිසර පද්ධති වෙනස් කරන අතර දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමට පරිසර පද්ධතිවලට ඇති හැකියාව අඩු කෙරෙන බව පැවැසේ.

එමඟින් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවනෝපාය, ආහාර නිෂ්පාදන හැකියාවන් සහ සමාජ යහපැවැත්ම සඳහා  සෘජුවම බලපෑම් ඇතිකරන අතර පිළිකා ඇතුළු බරපතල රෝග අවදානමක්ද ඇතිකරයි.

වාර්ෂිකව ලොව පුරා ප්ලාස්ටික් ටොන් මිලියන 368 ක් පමණ නිෂ්පාදනය වන අතර ශ්‍රී ලංකාව මේ වන විට විවිධ භාවිතයන් සඳහා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 300,000 ක් ආනයනය කරන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සමස්ත ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් සියයට 32ක් එක්රැස් කරනු ලබන අතර ඒවායින් ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ 4% පමණක් බව වාර්තා වේ.

මෙයින් 68% ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් නොකරන අතර 44% ක් විවෘතව පුළුස්සා දමන  බවද පැවැසේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් භාවිතයට එරෙහිව නව තහනම් කිරීම් රැසක් ක්‍රියාත්මක වුවද දෛනිකව එක්රැස් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම් කරයි. එම නිසා ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට, මිනිස් ජීවිතවලට සහ ජෛව විවිධත්වයට සිදුවන බලපෑම අවම කිරීමට   ගත යුතු පියවර සම්බන්ධයෙන් කඩිනම් අවධානයක් යොමුවිය යුතුව ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

  Sri Lanka Rainforest Defenders හි සම නිර්මාතෘ සහ සම්බන්ධීකාරක ජයන්ත විජේසිංහ  පවසන්නේ, ප්ලාස්ටික් යනු පොසිල ඉන්ධන වලින් ලබා ගන්නා නිෂ්පාදනයක්  වන අතර ප්ලාස්ටික් නිෂ්පාදනයේ සිට විවිධ ආකාරයෙන් පරිසරයට තර්ජනයක් එල්ල කරනු ලබන බවයි.

 එසේම අද ශ්‍රී ලංකාව තුළ සංචාරක ප්‍රදේශවල ප්ලාස්ටික් භාවිතය ඉහළ යමින් පවතින බවත්, එය සංචාරක කර්මාන්තයට සහ ස්වභාවධර්මයට අහිතකරව බලපා ඇති බවත් ඔහු  වැඩිදුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් උවදුර වැළැක්වීම සඳහා බොහෝ පියවර ගත හැකි අතර  ප්ලාස්ටික් භාවිතය අපගේ පරිභෝජනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම එක් සාර්ථක පියවරක් බවටද පරිසර හිතකාමීහු අදහස් පළකරති.  

 ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය අනිවාර්ය කළ යුතු බවද ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්වන තවත් අදහසකි. දැනට ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සිදු කරනු ලබන්නේ 2% වැනි ඉතා කුඩා පරිමාණයක් බවද පැවැසේ.

ප්ලාස්ටික් නිෂ්පාදන හා ඒ ආශ්‍රිත ව්‍යාපාරවල යෙදී සිටින සමාගම් විශාල සංඛ්‍යාවක් තම ප්ලාස්ටික් නිෂ්පාදන එක්රැස් කිරීමේ හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වගකීම පැහැර හරිමින් සිටින බවට චෝදනාවක් පවතී.  

  අප අත්විඳින ලද සොබා දහමේ දායාදයන්  අපගේ අනාගත පරපුරටද භුක්ති විඳීමට අවස්ථාව සලසමින්  ශ්‍රී පාදස්ථානය ඇතුළු පුදබිම් ආශ්‍රිත ප්‍රදේශ සහ වටිනා ස්වභාවික සම්පත්වලින් පිරුණු අනෙකුත් ස්ථානවල දිරාපත් නොවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වැළකීම සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම යුතුකමක් හා වගකීමක්ව පවතී.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts