සත්‍ය සොයන්න ලියන්න ඉඩ දෙන්න
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වල විනිර්මුක්තිය නැවතීම පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙනි
සම්පත් දේශප්‍රිය
ලාංකීය මාධ්‍යයට එරෙහිව ප්රචණ්ඩත්වයේ අසිපත එසවුනු දිනය බොහෝ ඈතට දිවෙන්නකි.මේ රටේ පාලන බලය හෙබවූ දේශපාලන බලාධිකාරිය සහ ඔවුන්ගේ ස්වාමිත්වය යටතේ පෝෂණය ලද විවිධ සංකීර්ණ සමාජ ස්ථරයන් ගේ විවිධ පීඩන යටතේ මාධ්‍යයට කටයුතු කිරීමට සිදුවිය.එය ඉතිහාසයයි .නමුත් මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනයේ සිට පසුගිය දශක කිහිපය තුළ ලාංකීය මාධ්‍යවේදීන් අරඹයා වු අපරාධ වල ලැයිස්තුව බොහෝසෙයින් දිගු විය.එසේ අපරාධ කළ වගකිව යුත්තන්ට එවැනි දෑ කිරීමට තිබෙන මුක්තිය තහවුරු කළ ලාංකීය ආණ්ඩුකරණයේ එම අශීලාචාර කතාවට පෙර අපරාධයක් යනු කුමක්ද එවැනි අපරාධ පිටු දැකීමට ශිෂ්ට සම්පන්න මානව ප්‍රජාව ඇතිකරගෙන තිබෙන්නා වූ සම්මුතීන් පිළිබඳ කෙටි විමසා බැලීමක් කළ යුතුය .
සමාජ විද්‍යා විශ්වකෝෂයේ අපරාධයක් යන්න නිර්වචනය කර ඇත්තේ “නීතියෙන් තහනම් කළ හා දඬුවමකට යටත් කළ ඕනෑම ක්‍රියාවක් අපරාධයක් “ලෙසය .ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධයක් ලෙස හඳුන්වා ඇත්තේ සමාජ සුභ සිද්ධීන්ට බාධා පමුණුවන වැරැදි ය .උදාහරණයක් ලෙස මිනීමැරීමේ සිට සුනඛයෙකුට කර පටියක් නොමැතිව පිටතට යාමට ඉඩ දීම ද අපරාධයකි .
ලාංකීය නීති පද්ධතිය සන්තකයේ අපරාධ පිළිබඳ එවැනි නිර්වචනයක් පවතින නමුත් මෑතකාලීනව මාධ්‍යවේදීන්ට එරෙහිව වූ දීර්ඝ අපරාධ ලැයිස්තුවේ විශේෂිත කතාබහකට ලක් වූ සිදුවීම් කිහිපයක්සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක ව තිබෙන ආකාරය පිළිබඳ විමසීමක් කිරීම උචිත ය .1)2000,10,19.මයිල්වානගම් නිමල රාජන් ඝාතනය. අධිකරණ ක්‍රියාමාර්ග අවසන් නැත
2)2004,5,1,අයියතුරේ ජී නඩේෂන් ඝාතනය.පැමිණිලි කර තිබෙන නමුත් මෙතෙක් ප්‍රගතියක් නැත .
3)2004,8,16,කන්දසාමි අයියර් ඝාතනය.
පැමිණිලි කලත් ප්‍රගතියක් නැත.
4)2005,4,28,ධර්මරත්නම් සිවරාම් ඝාතනය අධිකරණ ක්‍රියාමාර්ග අවසන් නොමැත .
5) 2005,8,12, රේලන්ගි සෙල්වරාජා ඝාතනය විමර්ශන නොමැත.
6)2005,8,29, සුඩර් ඕලි පුවත්පත් ආයතනයට බෝම්බ ප්‍රහාරය.පැමිණිලි කර ඇති නමුත් ප්‍රගතියක් නොමැත
7)2006,1,24,සුබ්‍රමනියම් සුගීදරන් ඝාතනය .අධිකරණ ක්‍රියාමාර්ග අවසන් නැත
8)2006.7.1.සම්පත් ලක්මාල් ඝාතනය විමර්ශන නතර වී තිබේ .
9)2007,2,15,සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් අතුරුදහන් කිරීම .අධිකරණ ක්‍රියාමාර්ග අවසන් නැත .
10)2007,12,27,ටී,එම්,ජී චන්ද්‍රසේකරට කළ පහරදීම අධිකරණ ක්‍රියාමාර්ග අවසන් නැත.
11)2008,1,25,ලාල් හේමන්ත මාවලගේ ට පහරදීම ,විමර්ශන අවසන් නමුත් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන නැත .
12)කීත් නොයාර් පැහැර ගෙන යෑම සහ අමානුෂික වධ බන්ධනවලට ලක් වීම.අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන් නැත .
13)2008,5,28,රූපසිංහම් දේව කුමාර් ඝාතනය.අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් එය අවසන් නැත .
14)2009,1,6,සිරස මාධ්‍ය ආයතන සංකීර්ණයට ක්ලේමෝ බෝම්බ තබා විනාශ කිරීම .පැමිණිලි කර ඇති නමුත් විමර්ශන වල ප්‍රගතියක් නොමැත .
15)සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත්.අවසන් නැත .16)2009,6,1,පෝද්දල ජයන්ත පැහැර ගෙන යෑම හා පහර දීම අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් අවසන් නැත .18)2010,7,10,සියත මාධ්‍ය ආයතනයට පහරදීම .පැමිණිලි කර තිබෙන නමුත් විමර්ශන වල ප්‍රගතියක් නොමැත .
19)2011,2,1,ලංකා ඊ නිව්ස් ආයතනය ගිනිතැබීම .පැමිණිලි කළ ද විමර්ශන වල ප්‍රගතියක් නැත .
20)2006,5,2,උදයන් පුවත්පත් ආයතනය ගිනිතැබීම .පැමිණිලි කළ නමුත් විමර්ශන වල ප්‍රගතියක් නැත .
21)2013,8,23,මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් ට තර්ජනය කිරීම .විමර්ශන නතර වී ඇත .
ප්රජාතන්ත්රවාදී පාලනයක් ස්ථාපිත රටක් ලෙස අප ජාත්‍යන්තරය සමඟ විවිධ අන්දමේ සබඳතාවන් සම්මුතීන් සහ ගිවිසුම් සමග බද්ධ වූ රාජ්‍යයකි.එබැවින් 1984 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වද දීම් සහ අනෙකුත් කෲර හෝ අවමන් සහගත සැලකීම.හෝ දඬුවම් වලට එරෙහි සම්මුතිය අපට ද අදාළ වන්නේ ය .එමෙන්ම වධහිංසාව මානව වර්ගයාට එරෙහිව අපරාධයක් ලෙසත්,එය අනුල්ලංඝනීය අයිතියක් ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන ඇත .වධහිංසාව සිදු කරන්නෙකුට එරෙහිව ඕනෑම රටක නඩු පැවරීමට හැකියාව ලැබෙන ලෙස එහි වගන්ති සංශෝධනය වී තිබේ .
මේ අතර 1948 මානව හිමිකම් විශ්ව ප්රකාශනයේ පස් වන වගන්තිය තුළින් වදහිංසාව වැළැක්වීමට පියවර ගෙන ඇත .එසේම එක්සත් ජාතීන්ගේ 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ හත් වන වගන්තිය තුළින් වධහිංසා වැළැක්වීමට පියවර ගෙන ඇත .
මෙම ලිපියේ මුලින් සඳහන් කළ සිදුවීම් දාමය සිය දේශපාලන සටන් පාථ බවට පත් කරගනිමින් ආණ්ඩු බලයට පත් වූ නමුදු අව්‍යාජ ලෙස ඊට වගකිවයුතු පාර්ශවයන්ට දඬුවම් ලබාදීමටත් ඒ හරහා හරහා වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමටත් අසමත්ව තිබේ ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ 2020 දර්ශකයේ ලංකාව පසුවන්නේ පසුවන්නේ 127 වැනි ස්ථානයේය .එය 2019 වර්ෂයට සාපේක්ෂව බැලීමේදී තවත් එක් ස්ථානයකින් පහලට යෑමකි .
කෙසේ නමුත් මිනිසෙකුට මිනිසෙකු ලෙස ජීවත් වීමේ මූලික අයිතිය වෙනත් පාර්ශවයක් විසින් ඉතා සාපරාධී ලෙස බලහත්කාරයෙන් උදුරා ගත් බව ඉහත සිදුවීම් නිරීක්ෂණය දී පෙනී යයි සෑම පුද්ගලයෙකුටම යම් මතයක් දැරීමට එය ප්‍රකාශ කිරීමට තිබෙන්නාවූ අයිතිය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම විශ්ව ප්රඥප්තීන් ගෙන් ගෙන් ද තහවුරු කර තිබෙන්නකි . එසේම මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණය සහ ප්‍රකාශන නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස සලකා නඩු තීන්දු ගණනාවක් ලබා දී ඇත .ඉතිහාසයේ එසේ වුවත් මාධ්‍ය ආයතන වලට සහ මාධ්‍යවේදීන්ට සිදුවූ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මේ රටේ සබුද්ධික පුරවැසියන් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය .ජාතික සහ ජාත්‍යන්තර තලයේ සිවිල් සංවිධාන සෑහීමට පත්වන අන්දමේ යමක් මෙතෙක් සිදු වී නොමැත .එබැවින් සිදුව ඇත්තේ මාධ්‍ය වලට එරෙහි අපරාධ කළ පුද්ගලයන් හෝ කණ්ඩායම්වලට තවදුරටත් එවැනි දෑ සිදු නොකිරීමට බල කෙරෙන තත්ත්වයක් නීතිමය ක්‍රියාවලියක් ඔස්සේ සිදු නොවීමය .
මේ රටේ මාධ්‍ය නිදහස අධිකරණ ක්‍රියාවලිය මානව හිමිකම් සංක්‍රාන්තික යුක්තිය ඉටු නොවීම වැනි කාරණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයන් වල දී සුවිශේෂී අවධානයට ලක් වී ඇත .එසේ අවධානයට ලක් වූයේ රටට යහපත් ලෙස නොවේ .මෙවැනි පසුබිමක covid වසංගතයට අදාළව නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය මගින් උද්ඝෝෂණ වැලැක්වීම සහ එම නිවේදනය පාදක කර ගනිමින් ආණ්ඩුව විවේචනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුට ගැනීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත .එය මෙරට දැනුවත් පුරවැසියන් ගේ ද විවේචනයට ලක්ව ඇත .මෙරට මාධ්‍යවේදීන්ට සිදුවූ අපරාධ වලට එරෙහි විනිර්මුක්තිය නතර කිරීමේ දී නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන සහ දේශපාලන බලාධිකාරිය නොකළ යුතු දෙයක් සිහිපත් වේ .එනම් ක්‍රිස්තු පූර්ව 1900දී බැබිලෝනියාවේ පැවති “හමුරාබි”නීති සංග්‍රහයයි එය පලිගැනීම මූලධර්මය කරගත්තකි .ඇසට ඇස දතට දත එහි සංකල්පයයි .මාධ්‍යවේදීන්ට එරෙහිව කළ අපරාධ වල දී නීතිය ඉටුකිරීම හමුරාබි නීතිය යටතේ සිදු නොවන්නේ නම් අපට ශිෂ්ට සම්පන්න අභිමානවත් රාජ්‍යයක් ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටීමට හැකියාව ලැබෙනු ඇත .