සමාජ

ශ්‍රී ලාංකික සමාජ රටාවක් ගොඩනැඟීම අන්තවාදයට හොඳ ම පිළිතුරයි

මෙලනි මානෙල් පෙරේරා

ශ‍්‍රී ලංකාවේ සියලූම ජන කණ්ඩායම් වර්ගය අනුව හෝ ජාතිය අනුව වෙනස්වීම්වලට භාජනය නොකොට තමන් ශ‍්‍රී ලාංකිකයන් ය යන හැඟීම ඉස්මතු වන සමාජ රටාවක් ගොඩනැඟීම ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩනැංවීම සඳහා වන හොඳම ප‍්‍රවේශය බව ශ‍්‍රි ලංකා මහජන සෞඛ්‍ය සංසදය අවධාරණය කරයි.

සිවිල් සංවිධාන සහ පුද්ගලයින් 57ක් නියෝජන කරන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය සංසදයේ උපදේශක හා එහි හිටපු කැඳවුම්කරු, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ හිටපු සෞඛ්‍ය අධ්‍යාපන නිලධරයකු සහ සමාජ ක‍්‍රියාධරයකු ද වන සිරිමල් පීරිස් මහතා, ඒ සඳහා වන සිය වැඩපිළිවෙළ මෙලෙස විග‍්‍රහ කරයි.

පාස්කු ඉරිදා සිදුවුණු ඛේදවාචකයෙන් පසු පසුගිය කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ඇතිවුණු කලබලකාරි තත්ත්වයට බලපෑ හේතු සාධක ඔබ දකින්නේ කෙලෙසින් ද?

ත‍්‍රස්තවාදී සහ අන්තවාදී ප‍්‍රහාරයන්ගේ ගොදුරක් බවට ශ‍්‍රී ලංකාවත් එහි මිනිස්සුත් ලක්වුණා. පාස්කු ඉරිදා සිදුවුණු ඛේදවාචකය නිරපරාදේ සිදුවුණු ම්ලේච්ඡු ත‍්‍රස්ත ක‍්‍රියාවලියක්. පාස්කු ඉරිදා සිදුවුණු ඛේදවාචකයෙන් දින 22 කට පස්සේ රටේ තැනින් තැන හටගත්තේ ත‍්‍රස්තවාදයක් නෙවෙයි, එය දරුණු ගණයේ අන්තවාදයක්. වර්තමානය වනකොට මේ රට විවිධ ආකාරයේ දරුණු අන්තවාදයන් ගෙන් පිරිලා ඉතිරිලා වැරදි මාවත්වල ගමන් කරන්නට සලස්වලා. මේ ත‍්‍රස්තවාදී, අන්තවාදී ක‍්‍රියා කිසිම ආකාරයක ශිෂ්ටසම්පන්න සමාජයක සිදුවිය නොහැකියි.

සිංහල බෞද්ධ රට කියා හඳුන්වා දෙන රටේ එකී නිර්මල බෞද්ධ දර්ශනය සමඟ පුරවැසියන් යහමග, නිසි මඟ ගෙන යා යුතු ඇතැම් නියමුවන් ම මේ පුරවැසියන්ගේ මනසට වෛරී අදහස් ඇතුළත් කිරීමයි. වෙනස් කොට සැලකීම් බැහැර ලා එක්ව ජීවත් වෙන්නට කියා කියා දෙනවා වෙනුවට, බෙදී වෙන් වී ජීවත්වීම වෙනුවෙන් සිය වචන, ක‍්‍රියා, සිතුවිලි වලින් අනුග‍්‍රහය දැක්වීම ඉතාම කනගාටුදායකයි. සිදුවිය යුත්තේ නොමග යන මිනිසුන් ධර්මානුසාරයෙන් නිවරැදි මඟට ගැනීමයි.

අන්තවාදයෙන් ත‍්‍රස්තවාදය පෝෂණය කරන බවත්, ත‍්‍රස්තවාදයෙන් අන්තවාදය පෝෂණය කරන බවත් මේ සිදුවීම් අපිට මනාව තහවුරු කර පෙන්නුවා.

අන්තවාදයෙන් ත‍්‍රස්තවාදය පෝෂණය කරන බවත්, ත‍්‍රස්තවාදයෙන් අන්තවාදය පෝෂණය කරන බවත් මේ සිදුවීම් අපිට මනාව තහවුරු කර පෙන්නුවා. රටත් පුරවැසියනුත් විනාශකර දමන මේ අන්ත දෙකම අප පිළිකෙව් කරනවා. එහි මූලයන් ශ‍්‍රී ලාංකීක සමාජයෙන් ඉවත් කිරීමට දායක වන ලෙසට සියලුම පුරවැසියන්ගෙන් අප ඉල්ලා සිටිනවා. ඊට අවංකව දායකවීම ජාතික යුතුකමක්.

මේ ජාතික යුතුකම ඉටුකරනු සඳහා පුරවැසියන් කුමක් කළ යුතු දැයි ඔබ අදහස් කරනවාද?

පුරවැසියන් ක‍්‍රියාත්මක වියයුතු, අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. සමස්ත රටට, සමස්ත ජාතිකයින්ට යහපතක් උදාවෙන සියලූ දෙනාගේ මනුෂ්‍යත්වය රැකෙන කාරණා 05ක් නිවරැදිව ක‍්‍රියාත්මක කළොත් එහි ප‍්‍රතිඵලය අප භුක්ති නොවින්දත් අපගේ දරුවන් හෝ ඔවුන්ගේ දරුවන් භුක්ති විඳීවි. අනාගතය යහපත් වේවි. ඒ උදෙසා වර්තමානයේ ජීවත්වෙන, මේ අන්තවාදයන්ගෙන් පීඩා විඳින, යුක්ති සාධාරණය සංහිඳියාව ප‍්‍රාර්ථනා කරන වැඩිහිටි ප‍්‍රජාව වන අප මේ පසුබිම සකස් කරන්නට මුලපිරිය යුතුයි.

පළමුවෙන්ම, ශ‍්‍රී ලංකාවේ සියලූම සමාජ ස්ථරවල වෙසෙන ඉතා කුඩා ජන කණ්ඩායම් කොන් නොකර ඔවුන්ගේ සහභාගිත්වය ද ඇතිව, වෙනස්වීම්වලට භාජනය නොවී වර්ගය, ජාතිය ඉස්මතු නොවී තමන් ශ‍්‍රී ලාංකිකයන් ය යන උතුම් හැඟීම හැඟෙන පරිදි ශ‍්‍රී ලාංකික ජාතියක් ගොඩනැංවීම සඳහා කතිකාවතක් ආරම්භ කළ යුතුයි. තැන තැන කෙරෙන අසාර්ථක කතිකා නොව ශක්තිමත් පදනමක් සහිතව සමාජයේ සියලූ ස්ථර නියෝජනය වන පරිදි කතිකාවත අරම්භ කළ යුතුයි.

දෙවනුව, විවිධ ආගමික වත් පිළිවෙත් පවත්වා ගෙන යා හැකිවූත්, විවිධ සංස්කෘතික වටිනාකම් පවත්වා ගෙන යා හැකිවූත්, පොදු නීතියේ සීමාවට යටත් විය හැකි පරිදි විද්‍යානුකූලවූත් තාර්කිකවූත් පොදු නීතියක් රට තුළ ක‍්‍රියාත්මක කළ යුතුයි. සියලුම පාසල් ආගම් වශයෙන් හෝ ජන වාර්ගික කණ්ඩායම් වශයෙන් බෙදා වෙන් නොකොට, ශිෂ්‍යයන් තුළ සම්ම්ශ‍්‍රණයක් ඇතිකර, අන්‍ය ජාතින් සමඟ එක්ව ජීවත්වීමට අවස්ථාව ලබාදී ඒ සඳහා අවශ්‍යතම පරිචයන් ගොඩනැංවිය යුතුයි. බෙදීම්, වර්ග කිරීම් පාසල් අධ්‍යාපනයේ සිට ම නැතිකළ යුතුයි කියා අප විශ්වාස කරනවා. එවිට පාසලේ සිට ම පොදු බව, සමානාත්මතාව මේ දරුවන් ඉගෙන ගන්නවා. සියල්ලන්ම එක සමාන අයිතීන් භුක්ති විඳීමට හිමිකම් ලබන්නන් බව ළමයින් ඉගෙන ගන්නවා.

මානව අයිතිවාසිකම් පාසල් විෂයක් වශයෙන් අනුමත කිරීම සහ එමඟින් තම තමන්ගේ අයිතිවාසිකම් මොනවා ද? අන් අයගේ අයිතිවාසිකම් මොනවා ද? තමන්ගේ අයිතීන් රැකගෙන අන් අයගේ අයිතීන් ද ආරක්‍ෂා කළ යුත්තේ කෙසේ ද කියා ළමයින් කුඩා කාලයේ සිටම ඉගෙනීමට අවශ්‍යකරන පසුබිම සකස්කර දීම සිදු වෙනවා. අද ඉතාම දරුණු ලෙස අවධානමට, තර්ජනයට සහ හෑල්ලුවට ලක්ව තිබෙන මිනිස් අයිතිවාසිකම් එහි උපරිමයෙන් තහවුරු කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා.

ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අතර එකිනෙකාගේ ආරක්‍ෂාව සුරැකෙන සහ යුක්තිය ඉටු වන පරිසරයක් නිර්මාණය කිරීම සුදුසුයි

අවසන් වශයෙන් අපි කියනවා, සියලුම ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අතර එකිනෙකාගේ ආරක්‍ෂාව සුරැකෙන සහ යුක්තිය ඉටු වන පරිසරයක් ද නිර්මාණය කිරීම සුදුසුයි කියලා. මේ කාරණා සියල්ල හොඳින් සාකච්ඡාවට බඳුන්කරලා හොඳ පදනමක් ඇතිව ක‍්‍රියාවට නංවන්නට උත්සාහ ගත යුතුයි.
අප මෙම යෝජනා ප‍්‍රසිද්ධියට පත්කර තිබෙන නිසා අපි අපේක්‍ෂා කරන්නේ මහජනතාව, රටේ පුරවැසියන් මේවා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක විය යුතු බවයි. කතිකාවත් ගොඩනඟා ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ග ගත යුතුයි. ඒ හරහා අදාළ බලධරයන් වෙත බලපෑම් කළ යුතුයි.

මේ සඳහා පෙරමුණ ගත යුත්තේ කවුරුන් ද?

සමාජයේ සිටින මධ්‍යස්ථ මත දරණ, අන්තවාදී නොවන, සුබවාදීව සිතන පතන, යහපත්, සාධාරණ ආකල්ප දරණ, විකල්ප අදහස් දැරීමට කැමැත්තක් ඇති ආගමික නායකයන්, තරුණ කොටස්, සමාජ ක‍්‍රියාධරයන්, ඇතුළු සාමාජීය වශයෙන් වැදගත් හරවත් භූමිකා දරණ සියලු පුරවැසියන්ට පුළුවන් මේ වෙනුවෙන් දායක වෙන්න, හඬක් නගන්න.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts