ශ්‍රී ලංකාවේ යුද ගැටුම තුළ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය
සුනිල් ජයසේකර
තිස් වසරක යුද සමය තුළ ජනමාධ්‍ය භූමිකාව හා ජනමාධ්‍යකරුවා මුහුණ දුන් අභියෝග පිළිබඳව සලකා බැලීමේදී නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ හා ජනමාධ්‍යකරුවාගේ වෘත්තීය භාවිතය කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. 1948 වසරේ දී ශ්‍රී ලංකාව බ්රිත්යානයන්ගෙන් නිදහස ලබා ගත්තේ සියලු ජාතීන් පොදු අභිලාශයක පිහිටා කටයුතු කිරීම තුළය. ලංකාවට නිදහස ලබාදෙද්දී උඩරට සිංහල ප්‍රජාව වෙනම පාලන ඒකකයක් ඉල්ලා සිටියදී මේ රටේ දෙමළ හා මුස්ලිම් ප්‍රජාව රටේ බහුතරය සමග ඉල්ලා සිටියේ ඒකීය, එක්සත් නිදහස් ලංකාවකි. එදා ඇතැම් විට මේ රටේ මුස්ලිම් හා දෙමළ ප්‍රජාව තමන් බහුතරයක් වාසයකරන ප්‍රදේශ මුල් කරගෙන වෙනම ස්වයං පාලනයක් ඉල්ලා සිටියේ නම් ලංකාව නිදහස ලබා ගන්නේ ඒකීය රාජ්‍යයක් ලෙස නොවීමට බොහෝ ඉඩ කඩ තිබුණි.
එදා මේ රටේ බහුතර සිංහල දේශපාලන නායකත්වය දෙමළ හා මුස්ලිම් ජනමත ප්‍රධානීන් සමග එක පෙළට සාමූහිකව පෙනී සිටි ඒ අරමුණ නිදහසින් පසු ඒ ආකාරයටම යාවත්කාලීන කිරීමට කටයුතු නොකිරීම අද අප තේරුම් ගත යුත්තේ කෙසේද? නිදහසේ උණුසුම මැකී යන්නටත් ප්‍රථම සුළුතරයේ දෙමළ ජනතාවගේ පුරවැසි අයිතිය අහිමි කිරීම, ඉන් අනතුරුව සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීම, සුළු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබූ 29 වන වගන්තිය ඉවත් කිරීම වැනි බහුජාතියේ ආධිපත්‍යය උදෙසා ගත් පියවරයන් පසුකාලීනව නිර්මාණය වූ ජාතික අර්බුදයන්ට හේතු වූ බව පැහැදිලි සත්‍යයකි. ඒ මගින් ඇති කරන ලද බලපෑම සලකා බැලීමේදී මේ රටේ ජනමාධ්‍ය ආයතනයන්හි හා පොදුවේ ජනමාධ්‍යකරුවන්ගේ භූමිකාවද අප ගැඹුරින් විමසා බැලිය යුතුව තිබේ. එහෙත් අවාසනාවකට පොදු සමාජයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප්‍රජාව අතර පවා එවැනි පසුවිපරමක්, සංවාදයක් හෝ අවම වශයෙන් ඒ ගැන පශ්චාත්තාපයක් පවා ඇති බවක් අදටද දකින්නට නැත.
නිදහසින් පසු ගෙවී ගිය වසර 73ක කාලයෙන් වසර තිහක පමණ කාල සීමාවක් මේ රට වෙළාගෙන පැවැතියේ බිහිසුණු යුද ගැටුමකිනි. එහිදී මේ රටේ ජනමාධ්‍යකරුවාගේ භූමිකාවද ඔවුන් මුහුණ දුන් අභියෝගයන් ද සලකා බලන්නේ නම් නිසැකවම අපට දැක ගත හැකි පැහැදිලි චිත්‍රයක් තිබේ. එනම් රටක් ලෙස අප මුහුණ දුන් සමස්ථ අර්බුදයන් තුළ ජනමාධ්‍ය ප්‍රජාවේ පාර්ශ්වකාරී භූමිකාවය. රටේ ජනමාධ්‍ය ප්‍රජාව නියෝජනය කරන ජනමාධ්‍ය ආයතන මෙන්ම ජනමාධ්‍යවේදියාද එම කුලකයට අන්තර්ගතව සිටිනු එහිදී අපට දැක ගත හැකි වනු ඇත.
ඒ අනුව පසුකාලීනව ඇති වූ යුදමය තත්ත්වය තුළ එය වාර්තාකරණයට ආදාළව මෙන්ම පොදුවේ සමස්ථ දේශපාලන, ආර්ථික හා සමාජීය චලනයන් හමුවේ පවා මේ රටේ ජනමාධ්‍යකරුවා ඉටුකර ඇති භූමිකාව නිදහසින් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ සෑම දේශපාලන අධිකාරියන්හි අභිලාෂයන් සමග බොහෝ දුරට සමපාත වී තිබූ ආකාරයක් එහිදී දැක ගැනීමට හැකිවනු ඇත.
1980 දශකයේ ආරම්භයත් සමග වර්ධනය වූ උතුරු නැගෙනහිර සන්නද්ධ අරගලය හේතුවෙන් වඩාත්ම බලපෑමකට ලක් වූයේ මේ රටේ සාමාන්‍ය ජනතාවය. විනාශ වූයේ මේ රටේ ජන ජීවිතය හා සමස්ථ ආර්ථිකයයි. ඒ අනුව එකී යුද ගැටුම ඒ ආකාරයට බිහිසුණු හා විනාශකාරී වීම කෙරෙහි මෙන්ම ඛේදනීය වීම කෙරෙහිද මේ රටේ ජනවිඥානයේ නිදන්ගතව පැවැති අභිලාෂයන් හෝ තම සමාජ වටාපිටාව කෙරෙහි ඔවුන් තුළ පැවැතියා වූ සවිඤ්ඥානකත්වයේ ප්‍රමාණය තීරණාත්මක සාධකයක් විය. එය ඔවුන්ට ආකස්මිකව ලැබෙන්නක් නොවීය. එම දැනුම හා අවබෝධයේ ප්‍රමාණය ඔවුන් ලබා ගත්තේ තම තමන්ගේ වූ වටාපිටාවෙනි. එහිදී මේ රටේ ජනමාධ්‍යකරුවා වෙත පැවරී තිබුණු වගකීම් ඉටු කිරීම හෝ නොකිරීම ඒ කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරලීය. රට තුළ සිදුවෙමින් පවත්නා ඛේදවාචකයක ගැඹුර මෙන්ම එය ඒ ආකාරයට ඛේදනීය නොවීම සඳහා සිදු කළ යුතුව තිබූ සමාජ මැදිහත්වීම පිළිබඳ සංවාදය ආරම්භ කිරීම හා යාවත්කාලීන කිරීමේ වගකීම වෘත්තීය වශයෙන් පැවරී තිබුණේ ජනමාධ්‍යවේදීන් වෙතය. දැන් අප විමසා බැලිය යුත්තේ එය එසේ ප්‍රමාණවත් හෝ ගුණාත්මක ආකාරයට සිදු කළේ ද යන්නය. එමෙන්ම එවැනි උත්සාහයක් සඳහා මේ රටේ ජනමාධ්‍ය ප්‍රජාව තුළ ප්‍රමාණවත් හා අධිෂ්ඨානශීලි උත්සාහයක් පැවතියේද යන්නය.
අප ඉතා හොඳින් දන්නා පරිදි ශ්‍රී ලංකාව මුහුණදුන් තිස් අවුරුදු යුදමය තත්ත්වය තුළ එක් එක් ජාතීන් මුල්කර ගනිමින් මේ රට ධ්රැවීකරණයකට ලක්ව තිබිණ. එය සිංහල හා දෙමළ සමාජයේ අති බහුතරයකට අදාළව පැහැදිලි වූ සත්‍යයකි. ඒ අනුව මේ රටේ සිංහල ප්‍රජාවට ආමන්ත්‍රණය කළ බහුතර ජනමාධ්‍ය මෙන්ම උතුරු නැගෙනහිර දෙමළ සමාජයට ආමන්ත්‍රණය කළ බහුතර ජනමාධ්‍යයන්ද සිදු වෙමින් පැවති තත්ත්වය වාර්තා කරන ලද්දේ තම තමන්ගේ පාඨක, ශ්‍රාවක හා ප්‍රේක්ෂක ජනතාව ඉලක්ක කර ගනිමින්ය. එය බොහෝ විට පාර්ශ්වීය වූවා පමණක්ම නොව අනුග්රහක භූමිකාවකින්ද යුක්ත විය. ඒ තුළ උතුරේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව සිංහල සමාජය නියෝජනය කරන ජනමාධ්‍ය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළාක් මෙන්ම දකුණේ සිංහල ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව මෙන්ම ඔවුන් මේ යුද ගැටුම තුළ මුහුණ දෙමින් සිටි සැබෑ තත්ත්වයන් පිළිබඳව දෙමළ සමාජය නියෝජනය කළ ජනමාධ්‍යය ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නැත. ඒ වෙනුවට ඔවුන් තම කාර්ය භාරය කොට සලකන ලද්දේ තමන් නියෝජනය කරන ප්‍රජාව උත්තේජනය කිරීම හෝ තම ප්‍රතිවාදීන්ගේ පරාජය දැකීමට කැමැතිවන ආකාරයේ හැඟීම් බර වාර්තා කිරීම්ය. ඒ අතර ඉතාමත් සුළු පිරිසක් තම පාර්ශ්වයන් හි පණිවිඩකරුවන් ලෙස හෝ ඔවුන් වෙත තොරතුරු සපයන්නන් වැනි තත්ත්වයක කටයුතු කරමින් යුද්ධයේ පාර්ශ්වකාරී භූමිකාවක නිරතවී සිට ඇති බව අද වන විට රහසක් නොවේ.
එවැනි පසුබිමක මාධ්‍ය නිදහසට අදාළව රාජ්‍ය බලධාරීන් විසින් පණවා තිබූ සීමාවන් පවා ඒ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වූ බවක් දකින්නට නොතිබිණ. එදා එවැනි තත්ත්වයක් තුළ උතුරේ යුද ගැටුම් පැවති කවර හෝ ප්‍ර දේශයකට ස්වාධීනව ඇතුළු වෙමින් තම වෘත්ත්තීය කටයුතු සිදු කිරීමට මේ රටේ කිසිදු ජනමාධ්‍යවේදියෙකුට හැකියාවක් නොතිබිණි. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයක් ලබාගැනීමට අත්‍යාවශ්‍ය වී තිබුණි. එමෙන්ම එවැනි අවසරයක් ලබාගැනීම අතිශය දුශ්කර කටයුත්තක්ද විය. ඒ තරමටම ඊට අදාළ නියෝග හා විධිවිධාන දැඩි කර තිබිණි. එවැනි පසුබිමක දකුණේ මෙන්ම උතුරේ සාමාන්‍ය ජනතාව තමන්ගේම රට තුළ පවතින දැවැන්ත ඛේදවාචකයෙහි තොරතුරු ලබා ගත්තේ එක්කෝ තම පාර්ශ්වය නියෝජනය කරන ජනමාධ්‍යයන් වෙතිනි. එසේත් නැතහොත් තුන්වන පාර්ශ්වයක් වන විදේශීය ජනමාධ්‍ය ලංකාවට අදාළව පළකරනු ලබන පුවත් හා තොරතුරු පාදක කර ගනිමිනි.
මෙම තත්ත්වය මේ රටේ වාර්ගික අගතීන් තීව්ර කළා පමණක් නොව එවැනි පසුබිමක සැබෑ සමාජ සංවාදයකට තිබූ ඉඩ කඩ ද අහුරාලීය. එපමණක් නොව මේ රටේ ජනමාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවකට මෙන්ම ජනමාධ්‍ය ආයතන සැලකිය යුතු ප්‍රමාණයකට එම තත්ත්වය තුළ අත්කර දුන් ඛේදනීය ප්‍රතිඵල කෙරෙහිද පසුබිම සැකසීය. තම වෘත්තීය භාවිතය නිසා පසුගිය කාලයේ ඝාතනය වූ ජනමාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුට මෙන්ම සැලසුම් සහගතව විනාශ කරන ලද ජනමාධ්‍ය ආයතන බොහෝ ගණනකට එවැනි ඉරණමක් අත්වූයේ එවැනි තත්ත්වයක් තුළය. සියල්ලටම වඩා රටක් ලෙස අප යුද්ධය හමුවේ ගෙවා ඇති වන්දිය අති දැවැන්ත කරලීම සඳහාද එම පසුබිම බොහෝ සෙයින් ඉවහල් විය. ඒ අනුව යුද්ධය මගින් පාඩම් උගන්වා ඇත්තේ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනකොටස් ප්රමුඛ කරගත් සමස්ථ සමාජයට පමණක්ම නොවේ. එමගින් මේ රටේ ජනමාධ්‍යකරුවා ප්‍රමුඛකරගත් සමස්ථ ජනමාධ්‍ය ප්‍රජාවටද බපරපතළ පාඩමක් උගන්වා තිබේ. ප්රශ්නය වන්නේ මේ රටේ පොදු සමාජය මෙන්ම ජනමාධ්‍ය ප්‍රජාව පවා එම පාඩම නිවැරදිව තේරුම් ගෙන තිබේද යන්න පිළිබඳවය.