සමාජ

ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා රෝහල් පිළිබඳ අවශ්‍යතාවය

ටී. මතියලකන්

ශ්‍රී ලංකාව  තුළ වැඩිහිටියන්  – එනම් වයස අවුරුදු 60 ඉක්ම වූ ජනගහනයෙන් සියයට 20ක් වන පිරිස – වෙනුවෙන් රෝහල් නොමැති වීම අතිශය බරපතළ ගැටලුවකි. වර්තමානයේ උතුරේ ප්‍රථම වතාවට වැඩිහිටි රෝහලක් පිහිටුවීම වෙනුවෙන් හදිසි කැඳවීමක් කර ඇති අතර එය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉක්මනින් ඉටු කළ යුතු අවශ්‍යතාවක් ලෙස ද සැලකේ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය රජයේ මෙන්ම පෞද්ගලික අයෝජකයන්ගේ ඉහළම ප්‍රමුඛතාව ලැබූ ක්ෂේත්‍රයක් ලෙස අදටත් පවතී. උදාහරණයක් ලෙස උතුරු පළාත් සභාව එහි  අරමුදල්වලින් 50%ක් වැය කරන්නේ සෞඛ්‍ය අංශය වෙනුවෙනි. සමස්තයක් ලෙස රටම ගත් කල මධ්‍යම රජය යටතේ රෝහල් 49ක් ක්‍රියාත්මක වන අතර පළාත් සභාවල අධීක්ෂණය යටතේ රෝහල් 1054ක් ක්‍රියාත්මක වන්නේ රටේ මිලියන 20ක් ජනතාවගේ සේවා අවශ්‍යතා ඉටු කිරීම සඳහා රෝහල් 1103ක එකතුවක් තනමිනි. මේ පහසුකම් අතර ළමා රෝහල්, මාතෘ නිවාස, ක්ෂය රෝගය සඳහා වන රෝහල් සහ අක්ෂි රෝග සඳහා වශයෙන් විශේෂිත රෝහල් ද වේ. මීට අමතරව සිය ගණනක් පෞද්ගලික රෝහල් ද වෙනමම ක්‍රියාත්මක වෙයි. 

රට පුරා පෞද්ගලික හා පොදු රෝහල්  ජාලය එසේ වුවත්, ශ්‍රී ලංකාවේ වෙසෙන මිලියන 3.7ක වැඩිහිටි ජනගහනය සඳහා වෙන් වූ රෝහලක් තවමත් ඉදි වී නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩිහිටි පුරවැසියන්ට ද සාමාන්‍ය රෝහල් වෙත තම සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ගොස් අන් රෝගීන් සමඟ පහසුකම් බෙදා ගැනීමට සිදුව තිබේ. සාමාන්‍ය වාට්ටුවලට වයසක රෝගීන් ඇතුළත් කළ විට ඔවුන්ගේ වයස නිසාම ඇතැම් විට කොන් වූ හැඟීමක්  ඔවුන්ට ඇතිවේ. ඔවුන් පෙන්වා දෙන්නේ රෝහල් පරිශ්‍රය බෙදා හදා ගන්නා රෝගීන් සැසඳිය හැකි වයස් මට්ටම්වල සිටින්නේ නම් තමන්ගේ සිතට මෙන්ම සෙසු කටයුතු සදහා ද එය සහනයක් වන බවයි.

වැඩිහිටියන්ට ප්‍රමුඛතාව දෙමින් ගරු කිරීම අපේ සංස්කෘතිය හා සබැඳුණු සම්ප්‍රදායේම කොටසක් ලෙස පැවත එන අතර රෝහල් සහ බස්රථ වැනි පොදු ස්ථානවල එය දැක ගත හැකිය. එහෙත් වේගයෙන් වෙනස්වන කාලයත් සමඟ දැන් බොහෝ විට තරුණ ගැහැනු පිරිමි ඇතැම් දේවල වාසිය ගන්නා විට වැඩිහිටියන් පසෙකට වී සිටිනු නිතර  දක්නට ලැබේ. තවදුරටත්, මෑතක් වනතුරු රජයේ වැඩිහිටි දීමනාව වූයේ රු. 250ක් වන අතර බොහෝ තැන්වල ඒ මුදල ලබා ගැනීමට යෑම සඳහා ඔවුන්ට ඒ හා සමාන මුදලක් ප්‍රවාහන ගාස්තු ලෙස වියදම් කරන්නට සිදු වේ. ඇතැම් වැඩිහිටියන් රුපියල් 2000 ක සහාය ලැබේ. රටේ සෞඛ්‍ය ජාලයේ විශේෂඥ වෛද්‍යවරුන් 3000ක් සහ වෛද්‍යවරුන් 20000ක් සේවය කරද්දී රජය වැඩිහිටියන් සඳහා වෙන් කළ වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සමඟ රෝහල් පිහිටු වීම කළ නොහැකි දෙයක් නොවේ.

මේ ගැටලුව පිළිබඳ අදහස් දැක්වූ යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති පොන්. බාලසුන්දරම්පිල්ලෙයි වැදගත් නිරීක්ෂණයන් කීපයක් ගෙනහැර පෑවේය. රටේ වැඩිහිටි ජනගහනයෙන් සුළු සංඛ්‍යාවක් පමණක් විශ්‍රාම ලාභීන් වන බැවින්   බාලසුන්දරම්පිල්ලෙයි අවධානය යොමු කළේ ඉතිරි පිරිස ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂණය සහ ඖෂධ සඳහා වන වියදම් සපයා ගැනීමේදී බොහෝ ගැටලුවලට මුහුණ දෙන බවයි. “අද සමාජ වෙනස්කම් හේතුවෙන් වැඩිහිටියන්ට රැකවරණය සැපයීම සහ ඔවුන්ට සහාය දැක්වීම අපහසු වී තිබෙනවා. ඒ නිසා වැටිහිටි නිවාසයක් හැකි ඉක්මනින් ස්ථාපිත කළ යුතුයි.” ඔහු අදහස් දැක්වීය. ” එතෙක් රෝහල් සමඟ වැඩිහිටි නිවාස ඒකාබද්ධ කළ  යුතුයි. වෙහෙස මහන්සියෙන් වැඩ කර තමන් සතු සියල්ල දෑවැද්දට දී දැන් ඉන්න තැනක් නැති සමහර වැඩිහිටියන් ඉන්නවා.”  තවදුරටත් බාලසුන්දරම්පිල්ලෙයි අවධානය යොමු කරවූයේ රැකියා සඳහා දරුවන් පිට ප්‍රදේශවල වෙසෙන මවුපියන්ගේ හුදෙකලාබව සහ කලකිරීම පිළිබඳවයි. “මේ ගැටලු අවම කිරීම සඳහා රජය මේ ප්‍රශ්නය විසඳීමට ධවල පත්‍රිකාවක් සකසා ප්‍රකාශ කළ යුතුයි.” ඔහු අවධාරණය කළේය.  

සමාජ සේවකයකු මෙන්ම අවශ්‍යතා ඇති අය සඳහා නිවාස කිහිපයක් සහ  වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන්නෙකු වන අරු. තිරුමුරුගන් අදහස් දක්වමින් පැවසුවේ දිගු කාලයක් තිස්සේ ඔහුගේ අපේක්ෂාව වැඩිහිටියන් සඳහා රෝහලක් ඇතිවනු දැකීම බවයි. “වැඩිහිටි ජනගහනය වැඩිවෙමින් පවතිනවා.” ඔහු දැක්වීය. ” බිරිය සහ සැමියා දෙදෙනාම රැකියාවල නියුතු වීමට සිදුවීම  ඔවුන්ගේ දරුවන්ගේ අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. එවිට මේ වැඩිහිටියන්ට තනිව ජීවත් වීමට සිදු වීම නිසා හුදෙකලාබවින් ඔවුන්ගේ ජීවිත සානුකම්පිත තත්ත්වයට  පත්වෙලා.” වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කිරීම පවතින ගෝලීය ප්‍රවණතාව වුවත් ඒ සඳහා ඇති අවස්ථාව පුළුල් කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව තිරුමුරුගන් පෙන්වා දුන්නේය.

රෝහලක්  ඉදි කිරීමට යාපනයේ ඇති දූපත්වලින් එකක අවශ්‍ය තරම් ඉඩකඩ ඇති අතර එවැනි ඉදිරිගාමි කටයුත්තක් සාදරයෙන් පිළිගැනීමට ජනතාව සූදානමින් සිටී. මන්ඩයිතිවු හි මෑතක පැවැති සාකච්ඡාවකදී සායනික අපද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව දහනය කිරීම සඳහා භෂ්මකයක් ස්ථාපනය කළ යුතු බවට සෞඛ්‍ය නිලධාරීන් කළ යෝජනාවට ජනතාව විරෝධය පළ කළහ. ඔවුන් විවෘතවම පැවසුවේ මණ්ඩතිවු පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයට කිලෝමීටර 3ක් දුරින් පමණක් වන අතර – ඒ දූපත නගර සභාවේ කොටසක් ලෙස එක් කිරීමට උත්සාහයක් ගෙන නැති තත්ත්වයක් තුළ- එය නගරසභාවේ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානයක් බවට පත් නොකරන ලෙසයි. වැඩිහිටයන්ට රෝහලක් ඉදි කිරීමේ සැලසුමකින් මේ විරෝධතාවලින් හඟවන වන කොන් කිරීම වැනි හැඟීම වළක්වා ලිය හැකිය.  

மூத்த பிரஜைகளுக்கு தனியான வைத்தியசாலை அமைக்கப்படுமா?

The Compelling Issue Of Hospitals For Sri Lanka’s Elderly

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts