ශ්‍රීලංකාවේ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ගැන එක්සත් ජාතීනගේ අවධානය
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
කොළඹ නගරයේ එක්රැස්වන කුණු කසල ප්‍රතිචක්‍රිකරණය සදහා කොළඹින් පිටත ඊට අදාල මධ්‍යස්ථාන පිහිටුවිමට උත්සහා දරන අවස්ථාවලදී කොළඹ කුණු අපට එපා යැයි කියමින් රටපුරා කෙරුණු උද්ඝෝෂන අපට තවමත් මතකය.තමන් ජිවත්වන පරිසරයට ඉන් අවැඩක් වේ යැයි උපකල්පනය මත ඔවුන් එසේ කළහ.
ශ්‍රීලංකාවේ එලෙස සාකච්චාවට බඳුන්වනුයේ නාගරිකව ගොඩ ගැසෙනා කසළ නිකසල කිරීම ගැනය. ජීවත් වීමට හිතකර වටපිටාවක් ඇතිකර සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක පැවැත්ම තහවුරු කිරීමට මෙකී නාගරික කසළ කළමනාකරණය වැදගත් බව සැබෑය. එහෙත් ජනතා සෞඛ්‍ය කෙරෙහි තීරණාත්මක බලපෑමක් නිසැකවම ඇතිකරනා සෞඛ්‍ය අංශයේ (රෝහල්, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන, වෛද්‍ය රසායනාගාර ආශ්‍රිතව) ජනනයවන අපද්‍රවය කළමනාකරණය කිරීමගැන සමාජයක් ලෙස අප එතරම් දැනුවත් නැත.
එහෙත් 2019 විගණකාධිපති වාර්තාවේ පවා රෝහල් පද්ධතිය ආශ්‍රිතව ජනනය වන සායනික් අපද්‍රව්‍ය කළමණාකරණය කිරීම පිළිබඳ අවධානය යොමුකර ඇත. සෞඛ්‍ය අංශයේ ජනිතවන සායනික අපද්‍රව්‍ය විශාල සමාජ සහ පරිසරික ප්‍රශ්ණයක් විය හැකි බව එම වාර්තවෙන් පෙන්වා දෙයි. මේ පිළිබඳ අප කළ විමසීමට පිළිතුරු දුන් මධ්‍යම පරිසර අධීකරියේ කසළ කළමනාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( කසල කළමනාකරණ) ජේ.එම් ඉන්ද්‍රරත්න පවසනුයේ 2018 වසර පමණ වනතෙක් ශ්‍රීලංකාවේ සායනික අපද්‍රව්‍ය කළමනාකරණයේ ගැටළු පැවතියද මේවන විට ඒවා සියල්ලම පාහේ සාර්ථකව විසඳා ඇති බවය.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ.එම්. ඉන්ද්‍රරත්න කරනා මේ ප්‍රකාශය එක්සත් ජාතීනගේ සංවර්ධන වැඩසටන (U.N.D.P) සහ එක්සත් ජාතීනගේ ළමා අරමුදල
( U.N.I.C.E.F ) එක්ව කරනා ලද තක්සේරු අධ්‍යනයකින්ද තහවුරුකර තිබේ. එකී තක්සේරු වාර්තාව පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටනේ නේවාසික නියෝජිත රොබර්ට් ජුකාම් විසින් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන වෙත බාරදෙන ලද අතර ශ්‍රීලංකාව සායනික අපද්‍රවය කළමනාකරණය, ප්‍රමිතිකරණය ඇතුලු අංශ ගණනකින් ප්‍රගතියක් ලබාඇති බව එහි සඳහන්වේ. රජයේ සහ පෞද්ගලික අංශයේ රෝහල් ආයූර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන, වෛද්‍ය රසායනාගාර, සෞඛ්‍ය මධ්‍යස්ථාන ආදියට නව බද්දක් පනවා සායනික අපද්‍රවය කළමනකරණය තව දුරටත් විධිමත් කිරීමටද එම වාර්තාව මගින් යෝජනා කර තිබේ.
ශ්‍රීලංකාවේ සායනික අපද්‍රවය කළමනාකරණය වූ කලී මුළුමනින්ම රාජ්‍ය අංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් නොවේ. ඊට පෞද්ගලික අංශයේ ආයතන දෙකක සෘජු දායකත්වය ලැබේ. ඒ පිළිබඳව අපකළ විමසුමට පිළිතුරුදුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ( කසල කළමනාකරණ) ජේ.එම් ඉන්ද්‍රරත්න පවසනුයේ මෙරට සායනික අපද්‍රව්‍ය කළමනාකරණයට දායකවන පුද්ගලික ආයතන දෙකක් මගින් ටොන් 17 කට ආසන්න සායනික අපද්‍රව්‍ය ප්‍රමාණයක් කළමනාකරණය කරන බවයි.
”ලංකාවේ රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථන, රසායනාගාර ආදී ස්ථාන ආශ්‍රිතව දිනකකට සායනික අපද්‍රව්‍ය ටොන් 40 ක් පමණ ජනිත වෙනවා. මේ ප්‍රමාණයෙන් ටොන් 15 එක් පුද්ගලික ආයතනයක් මගින් කළමනාකරණය කරනවා. අනෙක් සමාගම ටොන් 2 ක් කළමනාකරණය කරනවා. මේ සඳහා ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන් භාවිත කරනවා. ටොන් 2 කක ප්‍රමාණය කළමනකරණය කරන්නා සමාගම සතු දාහකයක් හම්බන්තොට ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. ටොන් 15 ක අපද්‍රව්‍ය ප්‍රමානයක් කළමනාකරණය කරනා සමාගම සතු දාහකය පිහිටා තිබෙන්නේ කෙලවරපිටියේ. ” නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා පවසන්නේය. කොවිඩ් 19 වසංගතය වේගයෙන් පැතිර යමින් තිබු සමයේ සායනික අපද්‍රව්‍ය ප්‍රමාණය දෛනිකව මෙට්‍රික් ටොන් 12 කින් පමණ ඉහළ ගිය බවත් වසංගතයේ ව්‍යප්තිය පහළ යාමත් සමග මේවනවිට එය යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවත් ඔහු පවසන්නේය.
පෞද්ගලික අශයේ දායකත්වයෙන් සායනික අපද්‍රවය ටොන් 17 කළමනාකරණය කරනා විට ඉතිරි ටොන් 23 ක ප්‍රමාණය බැහැර කරනා ආකාරය ගැන අප විමසිළිමත් වූයෙමු. එහිදී අනාවරණය වූයේ රාජ්‍ය සහ පෞද්ගලික අශයේ බොහෝ රෝහල් සතුව තමන්ගේම දාහක ඇති බවයි. “හලාවත, අනුරාධපුර, මීගමුව, පොලොන්නරුව වගේ ගොඩක් රෝහල්වල සායනික අපද්‍රවය පුළුස්සන්න දාහක තියනවා. ඒ වගේම තමයි යුධ හමුදා රෝහල, නවලෝක රෝහල, ආසිරි රෝහල වගේ පෞද්ගලික අංශයේ මහාපරිමාන රෝහල් සතුවත් මේ වගේ දාහක තියනවා, ඒ අයත් තමන්ගේ අපද්‍රව්‍ය තම ආයතන තුළම දහනය කරනවා” නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ.එම් ඉන්ද්‍රරත්න පවසන්නේය. සායනික අපද්‍රව්‍ය දහනය කිරීම ඉතා ප්‍රවේසම් සහගතව කළ යුතු දෙයකි. මන්දයත් රෝහල් කාර්‍ය මණ්ඩළය, රෝගීන් මෙන්ම අවට පදිංචි කරුවන්ද කුමනාකාරයකින් හෝ එකී අපද්‍රව්‍ය වලට නිරාවරණය වීමෙන් භයානක ප්‍රතිඵල අතිවිය හැකි බැවිනි.මෙහි වඩාත්ම අපූරු කාරණය වනුයේ ශ්‍රීලංකාවේ විශාලතම රෝහල ලෙස සැලකෙන කොළඹ ජාතික රෝහල සතුව අපද්‍රව්‍ය දාහකයක් නොමැතිවීමය. ජාතික රෝහලේ දෛනිකව ජනනයවන ටොන් 1.5 ක සායනික අපද්‍රව්‍ය ප්‍රමාණය සිසිලි හනාරෝ සමාගම හරහා බැහැර කරනු ලබයි. සායනික අපද්‍රව්‍ය පෞද්ගලික අංශයේ ආයතන හරහා බැහැර කිරීම් කළද එකී ක්‍රියාවලිය මුලුමනින්ම පරිසර බළධාරීන්ගේ අධීක්ෂනයට සහ නියාමනයට ලක්වේ.
අන් සෑම කසළ බැහැර කිරීමක්දී මෙන්ම සායනික අපද්‍රව්‍ය බැහැර කිරිමේදීද වඩාත් වැදගත් කාරනය ලෙස අපද්‍රව්‍ය වෙන් කිරීම දැක්විය හැක. ඒ සඳහා ජාත්‍යන්තර වර්ගීකරණ ක්‍රම වේදයක් ඇති අතර ශ්‍රීලංකාවේද එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකවේ. ඒඅනුව සැත්කම් සඳහා භාවිත කරනා තියුණු තළ, සිරින්ජර් පළමු ඛාණ්ඩයට අතුළත්වේ. ආසාදිත අපද්‍රව්‍ය දෙවන ඛාණ්ඩයට ඇතුලත්වෙන අතර ඊට භාවිත කරන ලද වෙළුම් පටි, පුළුන්, ප්ලාස්ටර් වැනි ද්‍රව්‍ය අඩංගුය. රෝගීනගෙන් බැහැර කරන ශරීර කොටස්, රසායනාගාර වලින් ඉවතලන රුධිර සහ තරළ කොටස් තුන්වන කාණ්ඩයට ඇතුළත්වේ.වරක් භාවිතකරන ලද අත්වැසුම් මුව ආවරන වැනි ඒවා සිව් වන ඛාණ්ඩය ලෙස බැහැර කෙරේ. පිළිකා රෝගීන්සඳහා භාවිත කරන කල් ඉකුත්වූ ඖෂධද සායනික අපද්‍රව්‍ය සමග බැහැර කරනු ලැබේ.
ටොන් 15 ක සායනික අපද්‍රවය ප්‍රමාණයක් බැහැර කරනා “සිසිලි හනාරෝ” සමාගමේ සිනෙත් පෙරේරා අප හා අදහස් දක්වමින් පැවසූවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් තමනට වෙන්කරදී ඇති රෝහල් වලින් තම සමාගම සායනික අපද්‍රව්‍ය එක් රැස්කරගන්නා බවයි. “අපි මේ අපද්‍රවය එක් රැස් කිරීම ඉතා ප්‍රවේශම් සහගතව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කරනවා. ඒ සඳහා විශේෂ පුහුණු සේවක කණ්ඩායම් සහ වාහන අප සතුව තිබෙනවා.
මෙම අපද්‍රව්‍ය ප්‍රවාහනයට පවා බලපත්‍ර ලබාගත යුතුයි. මෙවැනි කාර්යන්හීදී ජාත්‍යන්තරව භාවිත කරනා ආරක්ෂිත ඇඳුම් සහ සෙසු මෙවලම් අපේ සේවක කණ්ඩයම් භාවිත කරනවා. අප විසින් එක් රැස් කරගනු ලබන සායනික අපද්‍රව්‍ය සම්මත තත්ත්වයන් යටතේ පුලුස්සා දමනවා” ඔහු පවසන්නේය.
සායනික අපද්‍රව්‍ය කලමනාකරණයේදී එකී අපද්‍රව්‍ය අන් කසළ සහ මුසුවීම වලකාලීම ඉතා වැදගත් කාර්යකි. එහි වගකීම ඉටුකරමින් ජනනය වන ස්ථානයේ සිට බහැර කරන ස්ථානය තෙක් එම අපද්‍රව්‍ය හසුරවනු ලබන්නේ රෝහල් වලට අනුයුක්ත සනීපාරක්ෂක කම්කරුවන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සුළු සේවකයන් විසිනි. මෙහිදී ඔවුන් ඇතැම් අවස්ථාවන්හී අනාරක්ෂිතව එම කාර්ය කරනු නිරීක්ෂණය කළ හැකි විය. එහෙයින් ඔවුන් නිසි පරිදි දැනුවත් කිරීම සහ අවශ්‍ය ආරක්ෂක මෙවලම් සපයාදීම ඉතාවැදගත් වේ. රෝහල් ආශ්‍ර්‍රිත සනීපාරක්ෂක සේවාවේ සේවා නියුක්තිය 80% පමණ කාන්තාවන්ය. එම නිසා සායනික අපද්‍රව්‍ය අවිධිමත්ව හැසිරවීම මගින් බරපතල කාන්තා සෞඛ්‍ය තර්ජනයක් ඇතිවීමට තිබේනා ඉඩකඩ වැඩි බව සදහන් කළ හැකිය.
ஐக்கிய நாடுகளின் அவதானத்தைப் பெற்றுள்ள இலங்கையின் மருத்துவக் கழிவு முகாமைத்துவம்