සමාජ

වාසිය සඳහා ජාතිය ආගම කුලය යොදාගන්න ඉඩ දෙන්න හොඳ නෑ

ශ්‍රීලාල් සෙනෙවිරත්න

ඉමිටියාස් බාකීර් මාකර් හිටපු ඇමැතිවරයෙකි. නීතිඥවරයෙකි. ජාතික එක්සත් භාවය සඳහා වන බාකීර් මාකර් පදනමේ සභාපතිවරයා ය. ඒ සියල්ලටමත් වඩා ඔහු සිංහල-මුස්ලිම් මිත‍්‍රත්වයේ සහ සහෝදරත්වයේ සුවිශේෂී ජීවමාන සංකේතයකි. රටේ ප‍්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් එකක් නියෝජනය කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවගේ ඉහළම මනාපය හිමිකරගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ ජාතික දේශපාලනයේ නිරතව සිටින ඔහු සමඟ වන මේ සංවාදය වාර්ගික සංහිඳියාව විෂය කරගනිමින් සිදු කෙරුණකි.

පාස්කු ඉරිදා එල්ල කෙරුණු බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනාලාභීන් අතර විශේෂයෙන්ම නැඟෙනහිර පළාත නියෝජනය කරන මුස්ලිම් දේශපාලකයන් ප‍්‍රමුඛත්වයක් දරනවා. ඒ ගැන ඔබ කුමන අදහසකද ඉන්නේ?

‘ ඕගනයිශේෂන් ඔෆ් ඉස්ලැමික් කන්ටි‍්‍ර’ එකේ රටවල් 16ක තානාපතිවරුන් ලංකාවේ ඉන්නවා. මේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පස්සේ මම ඒ 16 දෙනා එක්ක ගිහින් කාදිනල්තුමා හමුවුණා. ඒ වෙලාවේ අපි ඒ ප‍්‍රහාරය ගැන ඉස්ලාමීය ලෝකයේ ශෝකය, කනගාටුව පළ කළා. ඒ වෙලාවේ කාදිනල්තුමා කිව්වේ. ‘‘මේ ප‍්‍රහාරයට මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා තියනවා. නමුත් මං මේක මතුපිටින් බලන්නේ නෑ. එහි ඇතුළත මා බලනවා. ඒක පිටිපස්සේ ඉන්න බලවේග ගැන මා කල්පනා කරනවා. අපි ඉක්මන් තීරණවලට එළැඹිය යුතු නෑ. ඉවසිල්ලෙන් මේක බලන්න  ඕනේ.’’ කියා. මා ඉන්නෙත් ඒ අදහසේ.

එය ඉස්ලාමීය අන්තවාදී ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරයක් ලෙසින් පිළිගන්නට ඔබ සූදානම් නැද්ද?

දෙවෙනි ලෝක යුද්ධයේදි යුදෙව් ජාතිකයන් ඝාතනය කළේ කවුරුන් විසින්ද? ලක්ෂ ගාණක් මිනිස්සු මහ මුහුද දිගේ ගෙනල්ලා ඒ මිනිස්සුන්ව මැරුවේ කවුරුන් විසින්ද? ක‍්‍රිස්තියානි රටවල් විසින්ම නොවෙයිද? නමුත් අපි කවුරුවත් ඒකට කියන්නේ නෑ ක‍්‍රිස්තියානි අන්තවාදය කියලා. ක‍්‍රිස්තියානි ත‍්‍රස්තවාදය කියලා. හැබැයි මේකෙදි කියනවා ඉස්ලාමීය ත‍්‍රස්තවාදය, ඉස්ලාමීය අන්තවාදය කියලා. ඇයි ඒ?

එසේ නම් මේ ප‍්‍රහාරය කෙසේ හැඳින්විය යුතුද ඔබ සිතන ආකාරයට?

අන්තවාදයට, ත‍්‍රස්තවාදයට ජාතියක් හෝ ආගමක් නෑ. අන්තවාදය අන්තවාදයමයි. ත‍්‍රස්තවාදය ත‍්‍රස්තවාදයමයි. මාධ්‍ය හිමිකරුවන් ඇති කරන මේ විශේෂණ පදවලින් අපි නොමඟ යා යුතු නෑ. ගැඹුරින් බලන්න  ඕනේ මේක පිටිපස්සේ මොනවද තියෙන්නේ කියලා. අද ලෝකයේ ආයුධ නිෂ්පාදනය කරන බලගතු බලවේගවලට ගැටුම් අවශ්‍යයි ඔවුන්ගේ ආයුධ වෙළඳාම් කරගන්න. ඒ නිසා ඒ බලවේග ගැටුම් ඇති කරනවා. කාලයක් ලෝකයේ සීතල යුද්ධයක් තිබුණා. අද ලෝකයේ ඉන්දියාවයි චීනයයි අතරේ තරගයක් තියනවා. ඉස්සර සමාජවාදී කට්ටිය කිව්වේ ලාභය කියන්නේ සූරාකෑමක් කියලා. ලාභ ලබන පන්තිය කියන්නේ සූරා කන පන්තිය කියලා. නමුත් ඒ මතවාද සියල්ල අද වන විට අවලංගු වෙලා. අද චීනය ලාභය හඹාගෙන අප‍්‍රිකාවට යනවා, ආසියාවට යනවා. ලංකාවේ පෝට් සිටි හදනවා, ෂැංග‍්‍රිලා හෝටලය හදනවා ලාභය සොයාගෙන. සියල්ලම වෙනස් වෙලා තියෙන්නේ අද වෙනකොට. මේ පසුබිමත් එක්ක මේ සිද්ධි ගැඹුරින් විමසා නොබලා කතා කිරීම නුසුදුසුයි.

මාධ්‍ය  මතුපිටින් දෙන තීන්දු අපි පිළිගත යුතු නෑ.

ඒ පසුබිම තුළ විමසා බලන විට මීට සැබෑ ලෙසින්ම වගකිව යුත්තේ කවුරුන් කියාද ඔබ හිතන්නේ?

මට ඒ ගැන තීන්දුවක් දෙන්න බෑ. මම අපේ කාදිනල්තුමන් එක්ක එකඟ වෙනවා. මතුපිටින් මාධ්‍ය විසින් දෙන තීන්දු අපි පිළිගත යුතු නෑ. ජාත්‍යන්තරව පවතින තත්ත්වය කල්පනා කළ යුතුයි. ගැටුම් ඇති කළ කට්ටිය ගැටුම් ඇති කළ රටවල් දිහා බලන්න. අද මේ ත‍්‍රස්තවාදය ඇතිවෙලා තියන රටවල් දිහා බලන්න. ඇයි අද ඉරාකයේ, ලිබියාවේ ත‍්‍රස්තවාදයක් ඇතිවෙලා තියෙන්නේ. ගඩාෆිට විරුද්ධව බටහිර ලෝකය තර්ජණය කරලා සූරා කන විට අප‍්‍රිකානු සංගමයේ රටවල් මොනවද ගඩාෆි ගැන කිව්වේ? අපි මේවා තේරුම්ගත යුතුව තිබෙනවා.

ප‍්‍රහාරයෙන් පසුව  සිංහල-මුස්ලිම් දෙපාර්ශ්වයේම සිත්වල ඇතිවූ තුවාල සුවකර ගැනීම සඳහා පුරවැසියන්ගේ යම් ආකාරයේ හුදකලා ප‍්‍රයත්නයන් දැකගත හැකි වුවත් රාජ්‍ය මට්ටමෙන් කෙරෙන ප‍්‍රමාණාත්මක මැදිහත්වීමක් අපි දකින්නේ නෑ. ඔබගේ නිරීක්ෂණ මොන වගේද?

ඒ ගැනත් මට තීන්දුවක් දෙන්න බෑ. මා හිතනවා අපේ රටේ මිනිස්සු සංවේදියි. සුළි සුළඟක් ආවත්, ගංවතුරක් ආවත් ඒක අපි දකිනවා. මේ අවාසනාවන්ත තත්ත්වයේ ගොදුරු වූ පවුල් කෙරෙහි හැමෝම සංවේදි වුණා. හුඟාක් උදවිය උදව් කරන්න ඉදිරිපත් වුණා. ආණ්ඩුව ප‍්‍රතිචාර දක්වපු ආකාරය ගැන මට යමක් කියන්න පුළුවන් කමක් නෑ.

ජාතිය, ආගම පදනමින් පක්ෂ ඇතිවීම අපේ ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවට එල්ල වෙච්ච අභියෝගයක්.

දීර්ඝ කාලයක් ප‍්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ නියෝජනය කරමින් දේශපාලනයේ නියැළි මුස්ලිම් ජන නායකයන් මේ වන විට සිය ජාතිය ආගම පදනම් කරගනිමින් දේශපාලන පක්ෂ පිහිටුවා ගෙන ජනාධිපතිවරණයට පවා වෙනම ඉදිරිපත් වෙනවා. සිංහල මුස්ලිම් සමඟිය සහ විශ්වාසය බිඳ වැටෙන ආකාරයේ මෙවැනි දේට මාර්ගවලට ජනතාව යොමු වන්නේ ඇයි?

ජාතිය, ආගම පදනමින් මුස්ලිම් පක්ෂ, දෙමළ පක්ෂ, හෙළ උරුමය වගේ සිංහල පක්ෂ ඇතිවීම අපේ ශ‍්‍රී ලාංකේය අනන්‍යතාවට එල්ල වෙච්ච අභියෝගයක්. අනෙක් පැත්තෙන් අපි කල්පනා කළ යුතුව තියනවා මේ තත්ත්වයන් ඇතිවෙන්න හේතු වෙච්ච පසුබිම මොකක්ද කියලා. අපි දන්නවා ශ‍්‍රී අකුර පිළිබඳ ප‍්‍රශ්නය, පැය විසිහතරෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම පිළිබඳ ප‍්‍රශ්නය, ඒවා ඇතිවෙලා දශක දෙකකට පස්සේ අපි දැන් භාෂා දෙකම රාජ්‍ය භාෂා කරලා තියනවා. අපි එතනට එන්නේ ඒ වෙනුවෙන් ජීවිත කීයක් නැති කරගෙනද? කෝටි කීයක දේපල විනාශ කරගනිමින්ද? දෙමළෙන් ලියුමක් ලියුවොත් දෙමළෙන් පිළිතුරු ලබන්නට පුරවැසියෙකුට අයිතිය දෙන දෙමළ භාෂා විධිවිධාන පනත 66 දි ඩඞ්ලි සේනානායක මහතා ගෙනා වෙලාවේ, දිස්ත‍්‍රික් පාලනය ඒ දිස්ත‍්‍රික්කවල ඉන්න ජනතාවට දෙන්න දිස්ත‍්‍රික් සංවර්ධන සභා ගෙනා වෙලාවේ ‘ඩඞ්ලිගේ බඬේ මසල වඬේ, ඩඞ්ලි ගාව තල තෙල් ගඳයි’ කියමින් ජීවිත පවා විනාශ කෙරුවා. අවසානයේ අද වෙනකොට පළාත් සභා දීලා තියනවා. සමාජවාදී කඳවුරේ ඒ කාලේ නායකයෙක් වුණ කොල්වින් ආර්. ඩි. සිල්වා මහතා එදා කිව්වා භාෂා දෙකක් නම් එක රටයි. එක භාෂාවක් නම් රටවල් දෙකයි කියලා. එහෙම කියපු සමසමාජ පක්ෂයත් 66 දි දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනතට විරුද්ධව පෙළපාලි ගියා. ජීවිත බිලි දුන්නා. දිස්ත‍්‍රික්ක පාලනය කරන්න දිස්ත‍්‍රික් සභා ගෙනා වෙලාවෙත් ඒ සමාජවාදී පක්ෂ ඒකට විරුද්ධව පෙළපාලි ගියා. දේශපාලන බලය සඳහා ආගමයි ජාතියයි විකුණන තත්ත්වයට රටේ දේශපාලනය වැටිලා තියනවා. ඉතිහාසය පුරා අපි දැක්ක මේවා එක පිරිසකගේ වැඩක් නොවෙයි.

මුස්ලිම් ජන නායකයන්ට ප‍්‍රධාන දේශපාලන ධාරාව තුළ ඉදිරියට යාමේ කිසිඳු බාධාවක් තිබුණ බවක් අපි දකින්නේ නෑ. සිංහල ජනතාවගේත් ඉහළම මනාපය හිමි කරගත් මුස්ලිම් දේශපාලකයන්, ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පමණක් නොවෙයි කථානායකවරුන් පවා සිටිනවා. එසේ තිබියදී සිය ජාතිය සහ ආගම පදනමින් වෙනම දේශපාලන ගමනක් යන්නට මුස්ලිම් ජන නායකයන් පෙලඹෙන්නේ ඇයි?

මෙතනදි මට මතක් වෙන්නේ ටී.බී. ජයා මහතා. එකතු වුණොත් තමයි නිදහස දෙන්න පුළුවන් කියා සුද්දෝ කියන වෙලාවේ, ඩොමිනීයන් තත්ත්වය පිළිබඳ යෝජනාව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ගෙනාවා. ඒ වෙලාවේ සමහර සුළු ජන කොටස්වල නායකයෝ පනහට පනහේ කොන්දේසි ඉදිරිපත් කළා. පනහට පනක් දෙන්න කැමැති නම් තමයි අපි නිදහසට පක්ෂව අත් ඔසවන්නේ කියලා කිව්වා. ඒ තීරණාත්මක අවස්ථාවේදි ටී.බී. ජයා මහත්තයා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙදි මුස්ලිම් ජනතාවගේ ස්ථාවරය පැහැදිලි කරමින් කිව්වා ‘‘ මේ රටේ මුස්ලිම් ජනතාව ඒකමතිකව කියනවා නිදහස ලබාගැනීම වෙනුවෙන් අපි කිසිම කොන්දේසියක් ඉදිරිපත් කරන්නේ නෑ. අපිට දුක් ගැනවිලි තියනවා. අඩුපාඩුකම් තියනවා. නමුත් අපේ වැඩිමල් සහෝදරයෝ වගේ ඉන්න සිංහල ජනතාවත් එක්ක කතා කරලා නිදහසින් පස්සේ අපිට ඒ ප‍්‍රශ්න බේරාගන්න පුළුවන්. දැන් කොන්දේසි විරහිතව අප‍්‍රමාදව නිදහස ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ මේ රටේ මුස්ලිම් ජනතාව ඉන්නවා’’ කියලා. මේ රටේ ඉන්න අනෙකුත් සුළු ජන කොටස්වලටත් ආලෝකය දෙන පහනක් වන් ප‍්‍රකාශයක් තමයි එදා ටී.බී. ජයා කළේ. මේ එකමුතුව ඇයි බිඳුණේ? එතනදි මේ පක්ෂ හදපු උදවිය ගැන විතරක් නෙවෙයි, ඒ පක්ෂ හදන්න මුල් වෙච්ච හේතු මොනවාද කියන එක ගැනත් අපිට හිතන්න වෙනවා. ජාතික දේශපාලන පක්ෂ, සිය වගකීම නිවැරදිව ඉටු කළ යුතුව තියනවා. සමාජවාදී පක්ෂ පවා දෙමළ භාෂා විධිවිධාන පනත ගේන කොට ඒකට විරුද්ධ වෙනවා. බලය සඳහා කරන මේ වගේ දේවල් පසුවට විපාක දෙනවා.

වැඩිමල් සහෝදරයෝ වගේ ඉන්න සිංහල ජනතාවත් එක්ක අපිට ප‍්‍රශ්න බේරාගන්න පුළුවන්

සිංහල බෞද්ධ ප‍්‍රජාව යම් තැතිගැන්මක සිටිනවා මුස්ලිම් ප‍්‍රජාව අනාගතයේ රට ආක‍්‍රමණය කරයි කියලා. ඒ ගැන ඔබට කියන්නට ඇත්තේ කුමක්ද?

මේ ප‍්‍රශ්නය හුදකලාව ගන්න එපා. මුස්ලිම් ප‍්‍රජාවට විරුද්ධව, යම් රටක 10%ක් මුස්ලිම් හිටියොත් මෙහෙමයි හැසිරෙන්නේ, 25%ක් මුස්ලිම් හිටියොත් මෙහෙමයි හැසිරෙන්නේ, 30%ක් හිටියොත් මෙහෙමයි හැසිරෙන්නේ කියන මේ සටන් පාඨ ලංකාවට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ජාත්‍යන්තර මට්ටමෙන් ඉස්ලාමාෆෝබියාව   විසින් වපුරන දේවල්. පිලිපීනයෙදිත් ඔය කතාව කියනවා. තායිලන්තයේදිත් ඔය කතාව කියනවා. බුරුමයෙදිත් ඉන්දියාවෙදිත්  ඕකම කියනවා. මේක හරියට අර කොමියුනිස්ට්වාදයට විරුද්ධව ඇති කළ තැතිගැන්ම, බිය වගේම අද ලෝකය පුරා තමන්ගේ අරමුණු ඉටු කරගැනීම සඳහා ගැටුම් නිර්මාණය කරන්න කරන බිය වැද්දීමක්. මේක විදේශ තොරතුරු බෙදා දෙන ඒකාධිකාරයක වැඩක්. හොඳට විමසලා බලන්න මේකෙ පසුපස කවුරුන්ද ඉන්නේ කියලා. බහුතරය අතර හොඳ සංහිඳියාවක් තියනවා.

මෑතක සිට මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කිරීම ඉස්ලාමී ආගමික වියතුන්ගේ සංවිධානය කරගෙන යන රට තුළ වහාබ්වාදය පැතිරවීමේ ඵලයක් බවට චෝදනාවක් තිබෙනවා. මොකද ඔබ ඒ ගැන කියන්නේ?

අපි පුංචි කාලේ සිංහල ගම්වල සිංහල ඉස්කෝලවලට යනකොට අපේ ළමයි ළමා සාරිය ඇඳගෙන ගියා. ඔසරිය දාගෙන ගියා. දණහිසෙන් පහළටම වැහෙන ලෙස ඇඳගෙන ගියා. පසු කාලයේ මිනි ගවුම් ආවා. දැන් බටහිර බලපෑම් නිසා විවිධ විලාසිතාවේ ඇඳුම් ඇවිල්ලා තියනවා. නමුත් අපේ වටිනාකම් ලෙස ලැජ්ජා භය කියන සංකල්පය තියනවා. අපි විරුද්ධ විය යුත්තේ කුමකටද? වැඩියෙන් වහගන්න එකටද? වැඩියෙන් විවෘත කරන එකටද? අපිට අනෙක් සංස්කෘතීන් ඉවසන්න පුළුවන් වෙන්න  ඕනේ. ඒක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ. විවිධත්වය තුළ එකමුතුව තමයි සමගියට හේතු වෙන්නේ. ඉස්සර හිටිය සුදු කන්‍යා සොයුරියෝ ඇහැ ගාවට එනකම් මුහුණ වහලා හිටියේ. කවුරු හරි එදා ඒකට විරුද්ධතාවය දැක්වුවාද ඇයි මේ මුහුණ වහගෙන ඉන්නේ කියලා. මම මුහුණු වහන එකට එකඟයි කියන එක නෙවෙයි මෙයින් කියන්නට අදහස් කරන්නේ. මේ න්‍යාය පත‍්‍රය තේරුම් ගන්න. අපි ආගමික වටිනාකම් ගරු කරන උදවිය. සාරධර්ම තියන උදවිය. ඉස්සර බටහිර කිව්වේ බහු සංස්කෘතිකවාදය තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියලා. දැන් කියනවා අපේ සංස්කෘතියට  ඕගොල්ලන් ඇබ්සෝබ් වෙන්න  ඕනේ කියලා. ලතින් ඇමරිකානු කට්ටියට ගහනවා. හින්දු කට්ටියට ගහනවා. සීක් කට්ටියට ගහනවා. මුස්ලිම් කට්ටියට ගහනවා. අන්ත දක්ෂිණාංශික කොටස් මතුවෙලා තියනවා.

සංහිඳියාව වෙනුවෙන් මේ වෙලාවේ සිංහල සමාජයට දෙන්න ඔබට යම් පණිවිඩියක් තියනවාද?

නෑ, මට එහෙම දෙන්න දෙයක් නෑ. ගම්වල අපි ඔක්කොම සිංහල දෙමළ මුස්ලිම් කියලා භේදයක් නැතිව විශාල සමගියකින් ජීවත් වෙනවා. මං ඉන්නේ බේරුවල. මගේ ගෙවල් පිටිපස්සේ තියෙන්නේ මණ්ඩලවත්ත කියන කතොත්ලික ගම. තව පැත්තකින් තියෙන්නේ බොණ්ඩරගොඩ කියන බෞද්ධ ගමක්. පුදුම සහෝදරත්වයක් ඒගොල්ලන් අතර තියෙන්නේ.

සමස්ථ සමාජයක් විදිහට අපි කොහොමද මේ අභියෝගයට මුහුණ දිය යුත්තේ?

තම තමන්ගේ ආගමික වටිනාකම් අනුව බලන්න  ඕනේ. අපි ඔක්කෝම මිනිස්සු කියලා හිතන්න  ඕනේ. නිදහස් ආර්ථික ක‍්‍රමය නිසා ගම්වල තිබුණු පරණ වලව්වලට අභියෝග කරන පන්තියක් මතුවෙලා ආවා. එතන කුලය, ආගම, ජාතිය නෑ. හැකියාවයි මතුවුණේ. හැකියාවට තැන ලැබෙන සමාජයක් ගොඩනැගීමට හැමෝම එක්විය යුතුයි. තමන්ගේ වාසිය සඳහා ජාතිය ආගම කුලය යොදාගන්න ඉඩ දෙන්න හොඳ නෑ.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts