
ලංකාවේ සමාජ මාධ්‍ය හා වෛරී කථනය
නෙවිල් උදිත වීරසිංහ
රට තුළ සමාජ මාධ්‍යය පරිහරණය කරන්නන් වඩ වඩා වේගයෙන් වැඩි වීමත් සමග ඔන්ලයින් සංවාද මණ්ඩප තුළ වෛරය, අනර්ථය හා හිංසාව වර්ධනය වෙමින් හා පැතිරෙමින් පවතින්නේ සංකීර්ණ ස්වභාවයකින් බව, එම තත්ත්වය වඩාත් ම කාරුණික තරුණ ජන කොටසක් තුළ ගැඹුරු හා මුල් කාලීන මතවාදීමය පෙරළිකාරිත්වයකට දායක වන බව සහ එම පෙරළිකාරිත්වය වෙනත් විවිධ මාධ්‍ය හා උපක්‍රම ගණනාවක් හරහා අන්තවාදී ක්‍රියාකාරීත්වයකට පසු කාලයේ දී ගසා කෑ හැකි සරු පසක් බවට පත් වන බව ශිල්පා සමරතුංග සහ සංජන හත්තොටුව ගේ “ප්‍රචන්ඩත්වයට කැමතිවීම”අධ්‍යයනය පෙන්වා දෙයි.
පසුගිය දශකය තුළ ලංකාවේ අන්තර්ජාලය භාවිතය විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර එහි අතුරු නිෂ්පාදනයක් වන සමාජ මාධ්‍ය භාවිතයේද සුවිශාල වර්ධනයක් පසුගිය වසර පහ තුළ අපට හදුනාගත හැකිය.
2018 වර්ශයේදී සමස්ත අන්තර්ජාල සම්බන්ධතාවයන් 2.3 % වර්ධනය වී ඇත. 2018 වර්ෂය අතරතුරදී ස්ථාවර අන්තරජාල සම්බන්දතාවයන් 1,530,099 දක්වා වර්ධනයවී ඇති අතර ජංගම අන්තර්ජාල සම්බන්දතාවයන් 5,733,062 දක්වා ඉහල ගොස් ඇත. මේ අතර, අන්තර්ජාලය විනිවිද යාම (පුද්ගලයින් 100 දෙනෙකු සඳහා සම්බන්ධතා වශයෙන්) 2017 අවසානයේ 27.5% ට සාපේක්ෂව 2018 අවසන් වන විට එය 33.5% වි ඇත (ශ්‍රී ලංකා මහ බැංකුව,2018) ක්‍රියාශීලී සමාජ ජාලා පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 6.2 ක් වන අතර දුරකථන ඔස්සේ පැමිනෙන පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 5.7 කි(Sri Lanka Together වෙබ් අඩවිය). 2019 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් 5,454,000 ක් සිටි අතර එය ජනගහනයෙන් 25.9% කි. ඔවුන්ගෙන් බහුතරය පිරිමින් (67.8%) ය. වයස අවුරුදු 25 ත් 34 ත් අතර පුද්ගලයින් විශාලතම පරිශීලක කණ්ඩායම වන අතර එය 36.3% කි.(NapoleonCat වෙබ් අඩවිය)
පසුගිය දශකය තුළ ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය තුළ සිදුවෙමින් පවතින මෙම විශාල වර්ධනය යහපත් සමාජයක් සදහා අවශ්‍ය කෙරෙන සමාජ වටිනාකම් සහ ආකල්පයන් වර්ධනය කිරීමට ඉවහල් වන මෙවලමක් වශයෙන් භාවිතා වීමකට වඩා දශක තුනක යුද්ධයකට පසුවත් සමාජය තුළ අනෙකාට එරෙහිව පවතින වෛරය ප්‍රතිනිශ්පාදනය කිරීමට ඉවහල් වන මෙවලමක් වශයෙන් භාවිතා වීම පිළිබඳව විමසා බැලීම වැදගත්ය.
වෛරී කථනය යනු කුමක්ද ?
එක්සත් ජාතීන්ගේ සංවිධානය 2019 මැයි මස නිකුත් කරන ලද ලේඛණය තුළ වෛරී කථනය යනු කුමක්ද ? යන්න මෙසේ පැහැදිලි කරයි “වෛරී කථනය පිළිබඳ ජාත්‍යන්තර නෛතික අර්ථ දැක්වීමක් නොමැත, වෛරය යන්නෙහි සවභාවය මතභේදාත්මක හා විවාදාත්මකය. මෙම ලේඛනයේ සන්දර්භය තුළ වෛරී කථනය යන යෙදුම, කථනය, ලිවීම හෝ හැසිරීම පිළිබඳ ඕනෑම ආකාරයක සන්නිවේදනයක් ලෙස වටහා ගැනෙයි. පුද්ගලයෙකුට හෝ කණ්ඩායමක් සම්බන්දයෙන් ඔවුන් කවුරුන්ද යන්න මත පදනම්ව නොසලකාහරින හෝ වෙනස්කොට සලකන ආකාරයේ භාෂාවක් භාවිතාකරන්නේ හෝ භාෂාවකින් පහර දෙන, වෙනත් ආකාරයකට කිවහොත් ඔවුන්ගේ ආගම, ජනවාර්ගිකත්වය, ජාතිකත්වය, ජාතිය, වර්ණය, සම්භවය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ වෙනත් අනන්‍යතා සාධක මත පදනම් වීමයි.”
මුස්ලිම් විරෝදය හා බැදුනු සමාජ මාධ්‍යන් හි වෛරී කථනය
2013 අගෝස්තු 10 සෙනසුරාදා කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි මස්ජිඩ් දීනුල් ඉස්ලාම් මුස්ලිම් යාච්ඤා මධ්‍යස්ථානය ප්‍රහාරයට ලක් විය. මින් පසු වඩාත්ම කැපී පෙනෙන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය හට ගත්තේ අලූත්ගම ප්‍රදේශයෙහි 2014 ජූනි 15 දින ය.
මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩත්වය වඩාත් ම කැපී පෙනුණේ ග්‍රෑන්ඩ්පාස් හා අලූත්ගම සිදුවීම්වල දී වුවත් වෙසෙසින් ම 2012 වසරේ සිට බොහෝ අන්තවාදී, ස්වයං ප්‍රකාශිත සිංහල බෞද්ධ කණ්ඩායම් සමාජ මාධ්‍ය සංවාද මණ්ඩප තුළ දී ද සැබෑ ලෝකයේ සිදුවීම් තුළ දී ද මුස්ලිම් විරෝධී ප්‍රලාප වේදිකාරූඪ කොට පතුරවා හැර ඇත(BBC, 2014).
2018 මාර්තු 05 වනදා නුවර ප්‍රදේශ කිහිපයක ඇතිවූ මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා පසුව දිගන හා තෙන්නෙකුඹුර ප්‍රදේශ දක්වා පැතිරිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුනසේකර මහතා ප්‍රකාශකර සිටියේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් හෝමාගම හා කොල්ලුපිටිය ප්‍රදේශවලින් වයස අවුරුදු 17 සහ 18 ක තරුණයින් දෙදෙනෙකුව නුවර සිදුවීමට අදාලව සමාජ මාධ්‍යන් තුළ වෛරී කථනය ඇවිස්සීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් බවයි (Daily News,2018). මහනුවර ප්‍රදේශයේ ගැටුම් ගැන කටකතා පැතිර යමින් පවතින අතරවාරයේ ව්‍යාජ ප්‍රකාශන පතුරුවා හැරීම සඳහා සමාජ ජාල මාධ්‍ය උපයෝගී කර ගන්නා බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව ආණ්ඩුවේ නියෝගය පරිදි ඊට අවහිර කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් පියවර ගනු ලැබුණි. සමස්ත දිවයින ආවරණය කෙරෙන මට්ටමින් සහ සියලු සමාජ ජාල මාධ්‍යයන්ට බල පැවැත්වෙන මට්ටමින් ශ්‍රී ලංකාව තුළ මෙවැනි අවහිර කිරීමක් සිදු වූ පළමු අවස්ථාව මෙය විය(BBC,2018). ශ්‍රී ලංකාවේ ජන කොටස් සම්බන්ධයෙන් වෛරී අදහස් පැතිරවීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම ගෙන තිබෙන පියවරයන් සම්බන්දයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සමාජ ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන ප්‍රකාශ කරයි (BBC,2018).
2018 නොවැම්බර් 27 වන දින ව්‍යාජ පුවත් සහ අනිශ්ඨ තොරතුරු සම්බන්දයෙන් ලන්ඩනයේ පැවති ජාත්‍යන්තර නඩු විභාගයේදී ෆේස්බුක් සමාගමේ ප්‍රතිපත්ති විසදුම් පිළිබඳ උප සභාපති රිචඩ් ඇලන් මහතා දිගන සිදුවීමට අදාලව ශ්‍රි ලංකාව තුළ වාර්ගික වෛරය ඇතිකරන තැපැල් කිරීම් නැතිනම් පෝස්ට් ඉවත් නොකිරීමෙන් ෆේස්බුක් සමාගම වරදක් සිදුකර ඇතිබව ප්‍රකාශ කලේය. (Daily mirror,2018).
ප්‍රචණ්ඩත්වය ඇති වූ විගසම ෆේස්බුක් හි පළ වූ ලිපි විශ්ලේෂණය කිරීමේදී, විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ දිගන කෝලාහලය, වෛරී පණිවුඩ තරුණ පරම්පරාව ඉලක්ක කරගත් බව හදුනාගත හැකි අතර ඔවුන් පණිවිඩ වේගයෙන් ව්‍යාප්ත කළහ. එවැනි සිදුවීම් වලදී බෙදාගැනීමේ (shares) සංඛ්‍යාව ද විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පැහැදිලිය. එපමණක් නොව, එවැනි වෛරී පෝස්ට් බොහෝවිට තරුන පරම්පරාව ආකර්ශනය කරගන්නා ආකාරයට නිර්මානය වී ඇති අතර බොහෝ පණිවිඩ ඉල්ලා සිටින්නේ පෝස්ටුවෙහි පණිවිඩය බෙදා ගැනීමට හෝ එයට අදාලව ක්‍රියා සිදු කිරීමට ය. එවැනි සිදුවීම් අතරතුර සහ පසුව, ෆේස්බුක් පිටුවල වෛරී පණිවිඩ යළිත් වට්ස්ඇප් කණ්ඩායම් හරහා යවනු ලැබේ (Cyber Guardian 2019). නව මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ පුවත්පත් කලාවේදියෙකු වන රයිසා වික්‍රමතුංග ප්‍රකාශ කරන්නේ “විශේෂයෙන්ම වට්ස්ඇප් පනිවිඩ සදහා සෘජුවම ස්ථානයක් නිශ්චිත ඉලක්කයක් ඇති අතර, මිනිසුන්ට නිශ්චිත ස්ථානයකට යන ලෙස, නිශ්චිත පරිශ්‍රයකට හෝ නිශ්චිත ව්‍යාපාරික ස්ථානයකට පහරදෙන ලෙස කියා සිටිනව. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි විවෘත වේදිකාවලට වඩා වට්ස්ඇප් හි එය සිදුවෙමින් පවතිනව. අපරාධ විමර්ශකයින්ට හෝ පර්යේෂකයන්ට මේ සම්බන්දයෙන් විමර්ශනයන් සිදුකිරීම වඩා දුෂ්කර කෙරී තිබෙනව” යනුවෙනි(Cyber Guardian 2019).
පහත වගුවේ දැක්වෙන්නේ 2019 ජනවාරි 09 සිට 2019 ජූලි 31 වෙනිදා දක්වා වෛරී ප්‍රකාශයන් ප්‍රවර්ධනය කල ලංකාවේ ෆේස්බුක් පිටු දහයක් තුළ පෝස්ට් (තැපැල් කිරීම්) සහ තැපැල් කිරීම් හි ස්වරූපය පිළිබඳ සංඛ්‍යාවන්ය.
ෆේස්බුක් පිටුව
|
පෝස්ට් ප්‍රමාණය | ජායාරූප පෝස්ට් | වීඩියෝ පෝස්ට් | පෝස්ට්- සබදතා | රසිකයන් විසින් පෝස්ට් කිරීම |
Ceylon Blood | 536 | 486 | 47 | 1 | 1 |
මනංකල්පිත | 70 | 47 | 21 | 0 | 1 |
Sinhala Lanka Organization | 363 | 276 | 78 | 1 | 3 |
සිංහලයා | 22 | 12 | 5 | 5 | 11 |
මම සිංහල ඇයි අවුල්ද? | 88 | 87 | 0 | 0 | 0 |
මල්වඩම | 319 | 288 | 16 | 2 | 0 |
සිංහල පාරිභෝගික හා වෙළද සංගමය | 189 | 169 | 5 | 11 | 16 |
සිංහල විද්වත් එකමුතුව | 82 | 69 | 10 | 0 | 0 |
සිංහලයන් සුරකිමු | 302 | 283 | 9 | 8 | 1 |
සිංහලේ වැසියන් | 292 | 212 | 43 | 6 | 15 |
(Cyber Guardian, 2019)
ඉහත සදහන් වෛරී කථනය ප්‍රවර්ධනය කල ෆේස්බුක් පිටු අතරින් මල්වඩම, සිංහලේ වැසියන්, Sinhala Lanka Organization, Ceylon Blood යන ෆේස්බුක් පිටු මේවන විට භාවිතයේ නොමැත. බොහෝවිට සිදුවන්නේ මෙවැනි පිටු වෙනත් නම් වලින් නැවත පවත්වාගෙන යාමයි. ඉහත සදහන් මේ වනවිට භාවිතයේ නොමැති ෆේස්බුක් පිටු හැර භාවිතයේ පවතින පිටු අතරින් ෆේස්බුක් පිටු පහක 2020 මාර්තු 01 දා සිට දෙසැම්බර් 15 දක්වා වන දළ හැසිරීම පහත පරිදිය.
ෆේස්බුක් පිටුව | පෝස්ට් සංඛ්‍යාව | වෛරී කථනය ප්‍රකාශවී ඇති අන්තර්ගතයන් ගණන |
මම සිංහල ඇයි අවුල්ද? | 15 | 03 |
සිංහල විද්වත් එකමුතුව | 115 | 06 |
සිංහල පාරිභෝගික හා වෙළද සංගමය | 14 | 0 |
මනක්කල්පිත | 29 | 0 |
සිංහලයන් සුරකිමු | 2019 දෙසැම්බර් මාසයෙන් පසුව තැපැල්පත් කිරීම් සිදුවී නොමැත |
ඉහත උදාහරණයන් සමග සමාජ මාධ්‍යන්හි වෛරී කථනය ප්‍රකාශයට පත්වන ආකාරය පරීක්ෂා කිරීමේදී, සමාජය තුළ ඒ කාලයට අදාලව පවතින හිංසාකාරී හා බැහැරකිරීම්වාදී ක්‍රියාවන්හෝ කථිකාවන් සමාජ මාධ්‍ය තුළ වෛරී කථනයන් වශයෙන් ප්‍රකාශයට පත්වන අයුරු අපට දැකගත හැකිය. වෛරී ක්‍රියාවන් හා කථිකාවන් සමාජය තුළ බලවත්වන ස්වරූපයට සාපේක්ෂව තැපැල් කිරීම් අඩු වැඩි වන ආකාරයද අපට නිරීක්ෂනය කල හැකිය. මේ හරහා සමාජය තුළ එම අවධියෙහි අධිනිශ්චය වන වෛරී ක්‍රියාවන් හා සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ වන වෛරී කථනයන් එකිනෙකින් ප්‍රතිපෝෂණය වන ආකාරයද අපට නිරීක්ෂනය කල හැකිය.
දණ්ඩ නීතිය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු ඉතා පැහැදිලිව ලංකාව තුළ වෛරී කථනය වැලැක්වීම සම්බන්දයෙන් භාවිත කලහැකි රෙගුලාසීන්ය. නමුත් මෙම ලිපිය සදහා පාදක කරගත් බොහෝමයක් මූලාශ්‍රයන් පෙන්වාදෙන ගැටලුව වන්නේ ලංකාවේ සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්වන වෛරී කථනයන්ට එරෙහිව පවතින මෙම නීති අදාළ කර නොගැනීම හෝ තෝරා ගත් අවස්ථාවල පමණක් අදාළ කර ගැනීම පිළිබඳව පවතින ගැටලුවයි.