අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ලංකාවේ ජාතික භාෂාවන් රට තුලම නොසලකා හැරීම

බී. කිරුබාහරන්

පසුගිය සංඛ්‍යාලේඛන අනුව, මිලියන 21.7ක් වන ශ්‍රී ලංකාවේ ජනගහනය, 74.88% – සිංහල බහුතරය ලෙස ද සහ 24.6% දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකා දමිළ, මුස්ලිම් සහ ඉන්දියානු දෙමළ ලෙස කණ්ඩායම් තුනකින් ද සමන්විත වේ. 0.2% මැලේ, 0.18 බර්ගර්, වැදි/ස්වදේශීය ප්‍රජාව සහ 0.14% වෙනත් ලෙස අනෙකුත් ජනවර්ගයන් දැක්විය හැකි ය. ජනගහනයෙන් 70.2%ක් බෞද්ධ, 12.6% හින්දු, 9.7% ඉස්ලාම් සහ ඉතිරි 6.1% කතෝලික/ක්‍රිස්තියානි සහ වෙනත් යන කොටස්වලට අයත් වේ. 

වසර තුන්දහසක ලිඛිත ඉතිහාසයක් පවතින ලංකාවේ, සිංහල සහ දෙමළ භාෂාවන්, ජාතික භාෂාවන් ලෙස එහි ව්‍යවස්ථාව තුළ ප්‍රකාශයට පත්කර ඇත. ව්‍යවස්ථාවේ 4 වන පරිච්ඡේදයේ, 18 වන වගන්තියේ, පළමු කොටසේ සඳහන්වනුයේ, සිංහල ලංකාවේ රාජ්‍ය භාෂාව වියයුතු බව යි. ඊළඟ දෙවන කොටසේ දැක්වෙන්නේ, දමිළ භාෂාව ද අනෙක් රාජ්‍ය භාෂාව වියයුතු බවත් සහ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධිත භාෂාව වශයෙන් ද 4 වන ඛණ්ඩයේ සඳහන් වේ. ව්‍යවස්ථාවේ, 4 වන පරිච්ඡේදයේ, 19 වන වගන්තියට අනුව, සිංහල සහ දෙමළ ජාතික භාෂාවන් ලෙස පැවතිය යුතු අතර එම භාෂාවන් දෙකටම සමාන තත්ත්වයන් තිබිය යුතු බව දක්වා ඇත. 

1956, අංක 33 රාජ්‍ය භාෂා පනත අනුව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව 1956.01.01 දින පිහිටුවා ඇත. 1987 ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සහ 1988 16 වන සංශෝධනය අනුව, සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවන් වියයුතු බව ද, ඉංග්‍රීසි සම්බන්ධිත භාෂාව ලෙස ද ප්‍රකාශ කර ඇති අතර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මෙය පවත්වාගෙනයාම සම්බන්ධයෙන් වගකිවයුතු වේ. අංක 1681/3, 2010.11.25 දිනැති ගැසට් නිවේදනය මඟින් රාජ්‍ය භාෂා සහ සමාජ අනුකලනය පිළිබඳ අමාත්‍යාංශය පිහිට වූ අතර, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිසම සහ භාෂා අධ්‍යාපන සහ පුහුණුව පිළිබඳ ජාතික ආයතනය මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. 

ව්‍යවස්ථාව තුළ සිංහල සහ දෙමළ භාෂාවන් ජාතික භාෂාවන් ලෙස ප්‍රකාශ කර තිබුණ ද, ව්‍යවස්ථාවේ සඳහන් නියෝග නිසිලෙස ක්‍රියාත්මක කර නොමැත. අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු තුළ වැඩකටයුතු සිදුවනුයේ සිංහල භාෂාවෙන් පමණි. සිංහල නොදන්නා දමිළ පුරවැසියෙක්, රාජකාරී පරමාර්ථයක් සඳහා මෙම ආයතනයකට ගියහොත්, ඔහුට භාෂා පරිවර්තකයෙකු ද කැටුවයාමට සිදු වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල තිබෙන පළාත් කාර්යාල සහ දෙපාර්තමේන්තු තුළ, රාජකාරී කටයුතු සිදුවනුයේ දමිළ බසින් පමණක් වන අතර එය සිංහල ප්‍රජාව අපහසුතාවයට පත්වීමට හේතු වේ. 

භාෂා කොමිසමේ හිටපු සාමාජික සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්.පී.එම්. සයිබ්දීන් පැවසුවේ, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කඩකරන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට එරෙහිව උසාවි නීතිය තුළ අභිචෝදනා ඉදිරිපත්කිරීමේ බලය භාෂා කොමිසමට පවතින බව යි. නමුත්, මේ දක්වා එකඳු නඩුවක් ගොනු වී නැත. ශ්‍රී ලංකාව තුළ, දේශපාලනික බලවත්කම් සහිත අමාත්‍යාංශවලට, විශේෂයෙන්ම ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම සැකසහිත වේ. 

1956 සිංහල පමණක් නීතිය හඳුන්වා දී ගත වූ පසුගිය වසර 50ක කාලයේ සිට මේ දක්වා, භාෂා ගැටළුව සම්බන්ධයෙන් කිසිඳු උන්නතියක් ඇති වී නොමැත. ලංකාවේ ව්‍යවස්ථාව තුළ, සිංහල සමඟ දමිළ භාෂාව ද රාජ්‍ය භාෂාවක්ය යන තත්ත්වය ලබාදුන්න ද, දෙමළ රාජ්‍ය භාෂාවක් වශයෙන් භාවිත කරන බවට මේවනතුරු ද ප්‍රත්‍යක්ෂ වී නොමැත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක දමිළ නිලධාරීන් නොමැති අතර, ඔවුන්ගෙන් බොහොමයකට දමිළ භාෂාව පරිවර්ථනය කිරීමේ හැකියාව නොමැත. ඇතැම් ආයතනයන් හි සේවයකරන දෙමළ නිලධාරීන් තුළ රාජ්‍ය භාෂාවන් නිසිලෙස ක්‍රියාත්මකවන්නේ ද යන්න සැකයක් පැවතිය ද, අනවශ්‍ය ගැටළුවලට මුහුණදීමට ඇති බිය නිසා ඒවා පෙන්වානොදේ. 

දමිළ ප්‍රජාව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, නිවේදන සහ චක්‍රලේඛ තුළ වෙනස්කම්කොට සැළකීම්වලට මුහුණදෙන අතරතුර, ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මස ජනපති බවට පත් වූ පසුව, ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනයට ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනාකිරීම තහනම් කරන ලදී. මෙම තහනම සාධාරණීකරණය කරමින්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේ, “රටේ එක් ජාතික ගීයක් පමණක් තිබිය යුතු අතර එය දෙකට බෙදිය නොහැකි යි. එය භාෂා දෙකකින් ගායනාවන්නේ නම්, එහි අදහස ජාතීන් දෙකක් බව යි. මෙම තීරණය අරගෙන තිබෙන්නේ සිංහල, දමිළ සහ මුස්ලිම් යන සියළුදෙනා ලංකාවේ එක් ජාතියක් වශයෙන් සළකමිනි. ජාතික ගීය දෙවරක් ගායනා කිරීම, සංහිඳියා උත්සාහයන්ට අවහිරතාවයක් බවට පත්විය හැකි ය” යනුවෙනි. මෙම ප්‍රකාශය විශාල මතභේදයක් ඇතිකිරීමට තුඩුදෙන්නක් විය. 

දමිළ ප්‍රජාව මෙවන් තත්ත්වයක සිටිය දී, රජය විසින් එක් ජාතික භාෂාවකට එරෙහිව වෙනස්කම්කොට සළකන අතර භාෂා ගැටළුව තවමත් ලංකාව තුළ අඛණ්ඩව පවතින පසුබිමක් තුළ, චීනය විසින් මෑතක දී දෙමළ භාෂාව හා සම්බන්ධ තවත් ගැටළුවක් නිර්මාණය කර ඇත. දෙමළ වෙනුවට රාජ්‍ය භාෂාවක් වශයෙන් චීනයේ භාවිත, නමුත් ලංකාවේ භාවිත නොවන භාෂාවක් වන මැන්ඩරින් භාෂාව හඳුන්වාදීමට උත්සාහකිරීම, මෙම මතභේදයට තුඩු දී ඇත. ප්‍රධාන නගරයේ සහ ඉන් පිටත ඇති නාම පුවරු, දැන්වීම් පුවරු සහ සමරු ඵලකවල ජාතික භාෂාවන්ගෙන් එකක් වන දමිළ භාෂාව ඉවත් කර, මැන්ඩරින් භාෂාව යොදා ඇත. 

මෙයට ප්‍රතිචාර වශයෙන් චීන තානාපති චෙන් යුවාන් පැවසුවේ, “ශ්‍රී ලාංකීය ජනතාව සමඟ චීනයේ සබඳතාවය, සිංහලයන්ට පමණක් සීමා නොවේ. අපි කැමතියි දමිළ කතාකරන ජනතාවත් අපේ මිතුරු කවයට සම්බන්ධ කරගන්න. ලංකාව තුළ චීනය විසින් භාරගෙන ඇති සංවර්ධන ව්‍යාපෘතීන් හි නාම පුවරු තුළ ලෝකයේ එක් පැරණිතම භාෂාවක් වන දෙමළ භාෂාව නොසලකා හැරීමට අපිට සුළු හෝ චේතනාවක් තිබුණේ නෑ. ව්‍යාපෘතිවල දැනටමත් තනවා ඇති නාම පුවරුවල සොයාගෙන ඇති අක්ෂර වින්‍යාස දෝෂ සහ භාෂාමය වෙනස්කම්කොට සැළකීම ආදිය ක්‍රමානුකූලව නිවැරදි කිරීමට අපි කටයුතු කරනවා. භාෂා පරිවර්තනයන් සම්බන්ධයෙන් අපි ඔබ වෙත ප්‍රවේශවීමට සූදානම්. අනාගතයේ නාමපුවරු තැනවීමේ දී ඔබ සමඟ සාකච්චා කිරීමට අපේ වාණිජ අංශය තුළ නිලධාරියෙක් මා විසින් පත්කරලා තියෙනවා. අපේ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන චීන ජනතාව මෙම මිහිරි දමිළ භාෂාව ඉගෙනගැනීමට කැමැත්තක් දක්වනවා. ඔවුන්ට සහයෝගය ලබාදෙන්න කියලා මම ඔබෙන් ඉල්ලසිටිනවා. කුමන හෝ සහායක් ඔබ අපගෙන් ඉල්ලාසිටින්නේ නම්, ලංකාවේ ජනවර්ගයන් අතර සහසම්බන්ධතාවය ඇතිකිරීමට උපකාරීවන ඕනෑම දෙයක් සැපයීමට අපි සූදානම්” බව යි.

චීන තානාපතිවරයා විසින් පවසන ලද කරුණුවලට ප්‍රතිවිරුද්ධව, දමිළ ප්‍රජාව චීනයේ වෙනස්කම්කොට සැළකීමට අඛණ්ඩව ලක්වෙමින් සිටින අතරතුර, චීනය විසින් ලංකාවට මැන්ඩරින් භාෂාව හඳුන්වා දී ඇත. චීන කණ්ඩායම් විසින් භාරගෙන සිදුකරන සංවර්ධන ව්‍යාපෘතීන්ට අයත් බොහෝ වැඩබිම්වල, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ට සමාන මැන්ඩරින් භාෂාවට ප්‍රමුඛත්වයක් ලබා දී, දමිළ භාෂාව නොසලකාහැර ඇත. චීන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළ දැකිය හැක්කේ සිංහල, ඉංග්‍රීසි සහ මැන්ඩරින් භාෂාවන් පමණි. 

චීන ආධාර යටතේ, නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ලේ ඉලෙක්ට්‍රොනික පුස්තකාලයක් ඉදිකර ඇත. එම පුස්තකාලයේ සවිකර තිබූ ඵලකය විවෘත කරන ලද්දේ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සහ චීන තානාපති කී සෙන්හොන්ග් විසිනි. ඵලකයේ ඇතුළත් ලේඛනය සමන්විත වූයේ සිංහල, ඉංග්‍රීසි සහ මැන්ඩරින් භාෂාවන් ගෙන් වූ අතර, ජාතික භාෂාවන් ගෙන් එකක් වූ දමිළ භාෂාව එහි දී නොසළකා හැර තිබුණි. සිංහල සහ දෙමළ භාෂාවන් ලංකාවේ රාජ්‍ය භාෂාවන් වූ අවස්ථාවක, රටේ නීතිය අර්ථවත් කිරීමේ වගකීම ලබා දී ඇති මෙවැනි වැදගත් දෙපාර්තමේන්තු තුළ දමිළ භාෂාව නොසලකා හැරීම විශාල ලෙස මතභේදයකට තුඩු දෙන ලදී. 

මේ තත්ත්වයන් යටතේ, චීන තානාපති කාර්යාලය විස්තර කරනු ලැබුවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ චීන ආධාර යටතේ ඉදි වූ ඉලෙක්ට්‍රොනික පුස්තකාලය ගොඩනගනු ලැබුවේ චීන ජනතාවගේ මුදල්වලින් බැවින් ඵලකය තුළ ඇතුළත් චීන භාෂාව සාදරයෙන් පිළිගන්නා බව යි. නමුත් දමිළ පාර්ශවයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති සෙන්තිල් තොන්ඩමන් සහ දමිළ ප්‍රගතිශීලී පක්ෂයේ සභාපති මනෝ ගනේෂන් ඔවුන්ගේ විරෝධතාවය පළකළහ. ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති සහ අගමැති සම්බන්ධීකරණ ලේකම් සෙන්තිල් තොන්ඩමන් මෙම ගැටළුව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි සමඟ සාකච්චා කළ අතර, එම අමාත්‍යවරයා සෙන්තිල් තොන්ඩමන් වෙත සහතික කරනු ලැබුවේ එම ඵලකය තුළ දමිළ ප්‍රජාව නියෝජනයවිමට අදාළ කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව යි. එය අනුගමනය කරමින් ඵලකය ඉවත්කරන ලදී. 

නාම පුවරු තුළ දමිළ භාෂාව වෙනුවට චීන භාෂාව යෙදීම පුදුම සහගත නොවේ. නමුත්, ඇතැම් ස්ථානවල චීනය විසින් සිංහල භාෂාව පවා නොසලකා ඇති අයුරු දැකගත හැකි ය. ගල්කිස්ස දුම්රිය ස්ථානයේ තනවා ඇති දිගු දුර දුම්රිය සේවා කාලසටහන දැක්වෙන නාමපුවරුවේ ප්‍රදර්ශනය වනුයේ, ලංකාවේ සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවන් නොව ඉංග්‍රීසි සහ මැන්ඩරින් භාෂාවන් ය. පසුව මෙම නාම පුවරුව වෛරසයක් මෙන් සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වූ අතර දුම්රිය දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුවත්වන්නේ එමඟිනි. දුම්රිය දෙපාර්තමේන්තුවේ කළමනාකරු ඩිලන්ත ෆර්නෑන්ඩු දක්වන්නේ, මෙම නාම පුවරුව තැනවූයේ කවදා ද සහ කවුරුන් විසින් ද යන්න විමර්ශනයක් කිරීමට නියම කළ බව යි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඔහු කළමනාකරු බවට පත්වීමට පෙර මෙම නාම පුවරු තනවා ඇති බව යි. 

එසේම, උතුරු පළාතේ දෙවන වැදගත් නගරය වන චාවකච්චේරි හි චීන රජයේ කොන්ත්‍රාත් සමාගමක් වන චීන රාජ්‍ය කොන්ත්‍රාත් ඉංජිනේරු සමාගමේ නාම පුවරුව තුළ, ලංකාවේ ජාතික භාෂාවන් සියල්ල නොසලකාහැර ඉංග්‍රීසි සහ මැන්ඩරින් භාෂාවන් පමණක් විශාල අකුරෙන් ප්‍රදර්ශනය කර තිබුණි. 

හුදෙක් චීනය පමණක් නොව ඉන්දියාව ද ජාතික භාෂාව වන සිංහල නොසලකාහැර හින්දි භාෂාව ඇතුළත් කර තිබුණි. යාපනයේ පිහිටි ඉන්දියානු මහ කොමිසමේ උප-කාර්යාලයේ නාම පුවරුව තුළ ඉංග්‍රීසි, දමිළ සහ හින්දි පමණක් ලියා ඇත. ඉන්දියාව විසින් සිංහල භාෂාව නොසලකාහැර ඇත. 

රටේ ජාතික භාෂාවෙන් හෝ සම්බන්ධිත භාෂාවෙන් තොරව වෙනත් භාෂාවන්වලින් ප්‍රසිද්ධියේ නාම පුවරු ප්‍රදර්ශනය කිරීමට අවසරයක් නොමැත. මේ හේතුව නිසාම සිංහලයන්, නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් ඔවුන්ගේ පල්ලිවල සහ සංස්කෘතික මධ්‍යස්ථානවල අරාබි භාෂාව යොදාගැනීම සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කළහ. දමිළ භාෂාව නොසලකාහැරිම සම්බන්ධයෙන් සහ මැන්ඩරින් භාෂාවට විරෝධීව රාජ්‍ය භාෂා කොමිසමේ සහකාර අධ්‍යක්ෂ සිවප්‍රගාසම් මදිවනන් පවසන්නේ, චීන සමාගම් යටතේ ඉදිවන ව්‍යාපෘතීන් හි පුවරු තුළ මැන්ඩරින් භාෂාව දර්ශනය වන අතර ලංකාවේ ජාතික භාෂාවන් නොසලකාහැර ඇත. රාජ්‍ය භාෂාවන් මෙලෙස නොසලකාහැරීම ව්‍යවස්ථාවේ 4 වන ඛණ්ඩය උල්ලංඝණය කිරීමකි. මෙම සිදුවීම පිළිබඳ සැළකිල්ලක් දැක්වුවහොත්, ලංකාව තුළ ක්‍රියාත්මකවන දේශීය හෝ ජාත්‍යන්තර සමාගම්වල සියළුම දැන්වීම් පුවරු තුළ ජාතික භාෂාවන් පමණක් යොදාගත යුතුය යන්න නීති ගෙනඒමේ යෝජනාවක් පිළිබඳ කටයුතු සිදුවෙමින් පවතී.

 

මෙම මතභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඔහුගේ ප්‍රතිචාරය දක්වමින් පවසාසිටිනුයේ, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා මැදිහත්ව සිටින චීන රාජ්‍ය සමාගමට රජය විසින් නිල වශයෙන් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ත්‍රෛභාෂා ප්‍රතිපත්තියට ගරු කර කටයුතු කරන ලෙසට යි. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළ දමිළ භාෂාව නොසලකාහැර ඇති බවට පැමිණිලි ලැබුණ අතර, මේ සම්බන්ධයෙන් චීන රාජ්‍ය සමාගම වෙත රාජකාරිමය වශයෙන් දැනුම් දී ඇත. 

ශ්‍රී ලාංකිකයන්, කිසිඳු චීන භාෂාවක් සම්බන්ධයෙන් දක්ෂ නොවන අතර මෙම භාෂාව ශ්‍රී ලාංකිකයන්ට වාසි සහගත බව කිසිලෙසකත් සඳහන් කළ නොහැක. මැන්ඩරින් භාෂාව සහිත නාම පුවරු තනා ඇත්තේ ලංකාවේ සිටින චීන ජාතිකයන්ට වාසි සහගත වන අයුරින් නම් හෝ චීන සමාගම් යටතේ සේවය කිරීමට මෙහි පැමිණ සිටින චීන ජාතිකයන් සඳහා නම්, දමිළ භාෂාව නොසලකාහැරීමට අවශ්‍ය නොවේ. නමුත්, නාම පුවරු තුළට හතරවන භාෂාව ලෙස මැන්ඩරින් භාෂාව ඇතුළත් කිරීමට චීනයට හැකි ය.  

இலங்கையில் வெளிநாடுகளால் புறக்கணிக்கப்படும் தேசிய மொழிகள்

Lankan National Languages Ignored By Foreign Countries

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts