රියයන් අහිමි වේදනාව යකාවැවෙන් වවුනියාවට
සරත් මනුල වික්‍රම මොහොමඩ් ෆායිස්
මුකුණු ඔය නිසොල්මනේ ගලාබසී. ඒ අසබඩ ජන ශූණ්යබ වූ පුරාණ ගම්මානය දැන් අලුත් වී ඇත. ගම මැදින් අද කාපට් මාර්ගය,විදුලිය හා නළ ජලය පවා විහිදී යයි. නිවාස ද අලුත්වී ඇත. නැත්තේ ගමේ එදා තිබූ සිරියාව ය. ඇත්තේ ණය බර ය. ගමේ හැටඅට දෙනකු ම සැතපෙන්නේ කැබිතිගොල්ලෑව බොරලු කන්දේ ය. ඒ ලොවක් හැඬවු යකාවැව යි.
දාහතර වසරකට පෙර සිදු වූ බස් බෝම්බ ප්‍රහාරයට අදත් හෙළන කඳුළු මතින් නැගී හිඳ තම ගම්වාසින්ට සිදු වු හානියට තොරතුරු පනත මගින් කරුණු විමසා එම යකාවැවේ කාන්තාවක් වන්දි ඉල්ලයි. යුද්ධය නිසා සිය සැමියා ද, බස්බෝම්බය නිසා පුත්‍රයා ද ඥාතීවරිගයාගෙන් අඩක්ම අහිමි ඇය එම්.මල්ලිකාවතී ය. ලිපිගොනු පිටින් ඔසවාගෙන ජිවිතයේ වැඩි කාලයක් රජයේ කාර්යාලවලට ගොස් නිලධාරින් හා ගැටෙමින් යුක්තිය ඉල්ලන පනස්හත් හැවිරිදිඇය වෙහෙසෙන්නේ ගම වෙනුවෙන් යමක් දිනා දීමට යි.
කැබිතිගොල්ලෑව යකාවැව බස් බෝම්බය පුපුරා යන්නේ කෝංගොල්ලෑවේදී ය. කැබිතිගොල්ලෑව, යකාවැව අතර ධාවනය වූ 63-2548 බස් රථය 2006.06.15 දින කෝංගොල්ලෑවේදී ක්ලේමෝ ප්‍රහාරයට ලක් වීමෙන් බස් රථයේ ගමන් කළ 122 ක් වූ පිරිසෙන් 70 දෙනකු මරුමුවට පත් වෙයි. මියගිය එම 70 දෙනා අතරේ හය හතර නොතේරුණු කුඩා දරුවෝ 16ක් වූහ. තවත් 69 දෙනකු තුවාල ලබති. ඉන් අඩක්ම සදාකාලික අබ්බගාතයන් බවට පත්ව සිටිති.
එවකට රජය යකාවැවේ ජනතාව නැවත පදිංචි කෙරුවේ වන්දි ගෙවන බවට පොරොන්දු වීමෙනි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ මල්ලිකාවතී පැවැසුවේ මෙවැන්නනි.
‘‘ 2007 දී අපට වන්දි මුදලක් අනුමත වෙලා ගෙවන්න ආවා. අපි එපා කීවා. ඒකට හේතුව රුපියල් 25000ක සුළු මුදලක් වීම. ඒ මුදල් බෙදන්න ආව එවක ඇමතිවරයකු වුණු තිස්ස කරල්ලියද්ද මහත්තයම පිළිගත්තා මේ මුදල ප්‍රමාණවත් නෑ කියලා. අපි එදා ඉඳන් සාධාරණ මුදලක් ඉල්ලුවා. අඩුම ගානේ පනස් දාහක්වත් දෙන්න කියලා. පනස්දාහ ලැබුණෙත්නෑ. කලින් කලට ප්‍රාදේශීය ලේකම්වරුන් මාරුවුණා. අපි ඒ හැමෝටම කරුණු දැක්වුවා. කාලය ගෙවුණා විතරයි.
පසුගිය වසරේ නොවැම්බර් මස කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2006-2009 කාලය තුළ අවතැන්ව සිටි අය ගැන තොරතුරු තිබේද? ඒ අයට වන්දි ගෙවා තිබේද? වන්දි ගෙවීම භාර කුමන ආයතනයට ද? ඒ සඳහා ගෙන ඇති පියවර කුමක්ද ? ආදී වශයෙන් විමසීමක් කර තිබිණි.
හානිපූරණය සඳහා වන කාර්යාලයට ද තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පත්‍රයක් යොමු කරන්නට මල්ලිකා ඇතුළු පිරිස පෙලැඹිණි.
‘මේ දෙකටම පිලිතුරු ආවා. ඒ එක්කම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කැබිතිගොල්ලෑව පොලිසියට දැනුම්දී තිබුණා සිදුවු හානිය තහවුරු කර දෙන්න කියලා. අපි මේ ගැන දිගින් දිගටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනුත් පුනරුත්ථාපන අධිකාරියෙනුත් විමසීම් කළා. ඒ අය කියන්නේ අදාළ තොරතුරු සපයන්නැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් අනෙක් ආයතනත් දැනුම්වත් කළ බවයි. මේ තොරතුරු ලැබුණු ගමන් අප වෙත එවනවා කියලා. ඒ අනුව අපි නැවත හොයා බැලුවා මෙහෙම ලියුමක් ඇවිත් තිබෙනවා ද කියලා. ඒක ඇත්ත. පොලිසියේ තීරණය වෙන්නේ අපි සරණාගත කඳවුරට ගියාට පස්සේ විවිධ හේතු නිසා ගෙවල් විනාශ වුණ නිසා ඒ ඒ අය වෙන වෙනම පොලිසියට පැමිණිලි ඉදිරිපත් කරන්න වුවමනායි කියලා. මුල් කාලේ ඉදිරිපත් කරපු තොරතුරු අවුරුදු පහක් ගියාට පස්සේ පොලිසියේ නෑ. අපි මේවාට අදාළ පොලිසියේ නිලධාරින් හම්බවෙන්න පොලිස් මූලස්ථානයටත් ගියා‘‘ යනුවෙනි.
මල්ලිකා ගමේ කාන්තාවන් ද සමඟ රජයේ ආයතනවලට ගොස් මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කළ හා කරුණු වාර්තා කළ වාර ගණන අපමණ ය.සරණාගත කඳවුරුගතවීම නිසා නිවාස දේපල අහිමිවීම හා කඳවුරුවල කරදර විඳීම සම්බන්ධයෙන් ඔවුන් ඉල්ලන්නේ කෝටි ගණනක වන්දියක් නම් නොවේ. ඒ බව මල්ලිකාගේ බසින්ම මෙසේ ය.
‘‘යකාවැව යුද්ධයට මූණ දුන්නේ බස් බෝම්බය වෙලාවේ විතරක් නෙවෙයි. 1994 කුඹුරුවල වැඩකරමින් හිටිය තුන්දෙනෙක් කොටි අරන් ගියා. ඒ අය තමා පී. අවුසද හාමි, කේ .ධර්මපාල, සරත් ප්‍රේමතිලක. ඒ අයගේ පවුල්වල අය අදටත් දුක්විඳිනවා. හරි නම් උතුරේ අය නෙවෙයි අපියි උපවාස කරන්න ඕනෑ. අපේ අය නිරායුධ අහිංසක මිනිස්සු. බස් බෝම්බයට අහුවුණේ කච්චකොඩියේ මළගෙදර ගිය යකාවැව ගමේම අය.“
උතුරු පළාතේත්,නැගෙනහිර පළාතේත් විශාල වශයෙන් වන්දි ගෙවූ අවස්ථාඇති බව මල්ලිකාගේ අදහසයි.
‘උතුරු මැද අපිට ඒ සාධාරණය ඉෂ්ඨවුණේ නෑ. අපේ ගමේ සමහරු ආපහු පදිංචියට ආවේ නෑ. සිද්ධිය වෙන්න කලින් ගමේ පවුල් 128ක් හිටියා. ආපහු එන්න ඉතිරි වුණේ පවුල් 90යි. 69ක් මැරුණා. තුවාල වු 60 දෙනාගෙන් 48 දෙනෙක්ම බරපතල විදියට තුවාල ලැබුවා. මේ නිසා ලෙඩ දුකින් පීඩා විඳින අය තාම ඉන්නවා. සමහරුන් බීමතට ඇබිබැහිවෙලා. ඒ ශෝකය නිසා ඇති වෙච්චි මානසිකත්වය. සමහර අයට හොඳ සිහියක් , හොඳ ඇවතුම් පැවතුම් නෑ. ඒ අයගේ මානසිකත්වය හදන්න හිතුව තරම් හොඳවැඩ පිළිවෙළක් හැදුණෙ නෑ. සමහරුන්ට විශ්වාස නෑ වන්දි මුදලක් ලැබේවි කියලා. එහෙම බලාපොරොත්තු අතහැරගත්තු පිරිසකුත් ඉන්නවා. ඒත් මං අධෛර්ය නෑ.‘
එක් එක් පවුලට වූ හානි වෙන වෙනම තක්සේරු කරලා පොලිස් වාර්තාවන්ට අනුව තොරතුරු තහවුරු කරගෙන ගෙවන්න තමා පුනරුත්ථාපන අධිකාරිය බලාපොරොත්තු වන්නේ. ඒකාලේ අපි ගෙවල්වලින් ගියාට පස්සේ මේ සේරම වල් අලින් විනාශ කළා. වන්දි ගෙවනකල් කියලා කැඩිච්චි බිත්ති තියාගෙන ඉන්න බෑ. මගේ දුවගේ මඟුල් ගෙදර පවත්වන්න අලුත්වැඩියාවක් කළා. කැඩිච්ච බිඳිච්චා දැන් තහවුරු වුණත් නැතත් මාත් පැමිණිල්ලක් කළා.
2007 ලැබෙන්න තිබුණේ රුපියල් විසිපන්දාහයි. අපේ ජීවිතවලට වෙච්චි හානිය කොච්චරද? අපේ පවුල් පරම්පරා විනාශ වුණා. දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටුණා. මානසික වශයෙන් අපි හැමෝම ලෙඩ්ඩු. ඒක තක්සේරු කරන්නේ කොහොමද? දැන් ගමේ ඉන්න හැමෝම මූල්‍ය සමාගම්වලට ණයකාරයෝ වෙලා ඉන්නේ. ණය වෙන්න හේතුව නැවත ජීවිත පටන්ගන්න වගා ණය ආදිය ගැනීම. වැස්ස නැතිව වගා පාළු වුණාම ණය ගෙවාගන්න බැරිවුණා. මං පොදුවේ හිතනවා එක් පවුලකට ලක්ෂ පහ හය ගානේ වැටෙන්න වත් ලොකු මුදලක් දුන්නා නම් මේ අයගේ ආර්ථික කඩාවැටීමයි ,මානසික කඩාවැටිමයි දෙකම සමනය වෙනවා කියලා. අපි දුක් විඳපුවා නම් සිමාවක් නෑ. ඒවාට තක්සේරු නෑ. ‘‘ යි ඇය කීවා ය .
මල්ලිකා ඇතුළු ගැමියන්ගේ ගේ සටන අවසානයේ රජයෙන් ලැබී ඇති පිළිතුර වන්නේ ප්‍රාදේශීය ලේකම් මගින් තක්සේරුවක් කර ඔවුනගේ නිවාස හා දේපල වලට වූ හානිය නිවාස අධිකාරියට දැනුම් දෙන්න යන්නයි. ඒත් අද එය එසේ කළ හැක්කක් දැයි එම ගමේම ඒ.කුසුමාවතී මහත්මිය ප්‍රශ්න කරයි.
යකාවැවට කිලෝමීටර දහයක් එපිටින් වව්නියාව නගරයේ සිට තවත් පිරිසක් තමන්ට අහිමි වූ පවුල් සාමාජිකයින් ඉල්ලා අඛණ්ඩ අරගලයක නිරතව සිටී.
ඒ අරගලය වව්නියා දිස්ත්‍රික්කයේ අතුරුදන් වූවන් සොයා දෙන ලෙස ඔවුන්ගේ පවුල් සාමාජිකයින් ය. ඒ වෙනුවෙන් ඔවුන් උපවාසයක් අරම්භ කළේ 2017 වසරේ ජනවාරි මාසයේ දී ය. 2017 පෙබරවාරි මාසයේ එවක රජය විසින් එම සාමාජිකයින් අරලියගහ මැදුරට කැඳවා උපවාසය අත්හරින ලෙසත් සති දෙකක කාලය තුළ විසඳුමක් ලබාදෙන බවත් පැවසීම නිසා එදා උපවාසය නැවතිණි. එම පොරොන්දුවට වසර තුනක් ගතවී ඇතත් සිදුවූ දෙයක් නොමැති බව උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් කේ.රාජ් කුමාර් මහතා පවසයි.
යුද සමයේදී අතුරුදහන් වූ සිය ඥාතීන් සහ දරුවන් සොයා දෙන ලෙස රජයට බල කෙරෙන විරෝධතා ගණනාවක් ද වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලද පැවැත්විණ.
කිසිවිටකත් යුද්ධයට සම්බන්ධ නොවූ තම ඥාතීන් පැහැර ගෙන යාම බරපතළ අපරාධයක් බව පැවසූ ඔවුහු අතුරුදහන් වූවන් ගැන සෙවීම ජාත්‍යන්තර අධිකරණයකට භාර කරන ලෙස රජයට බල කර සිටියහ.
යුද සමයේ සිදු වූ දහස් ගණනක් අතුරුදහන් වීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේදී ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
යුද්ධයේ අවසන් කාලය තුළ 16,000 සිට 22,000 දක්වා පිරිසක් අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රවීණයකු වන හුවාන් මෙන්ඩිස් පවසා තිබිණි.
1983 වසරේ සිට ගැටුම් පැවති කාලය දක්වා 65,000 ක පිරිසක් අතුරුදහන් වී ඇති බව සංහිඳියා කාර්යාලයේ ප්‍රධානී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියා සිටියාය. https://www.bbc.com/sinhala/sri-lanka-37223846
යකාවැවේ මල්ලිකාගේ අරගලය තරම් උතුරේ අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සටන හුදකලා නැත. එම ජනයා සමඟ උතුරේ දේශපාලන නායකයන් මෙන්ම අනෙකුත් වින්දිතයින් ද ඒකරාශීව සිටීම විශේෂත්වයකි. ඔවුන් විවිධ මැසිවිලි නගති. ජාත්‍යන්තරයේ සහාය පතති.
යුද්ධය නිමා වී මේ දක්වා අතුරුදහන්වූවන් එක් අයෙකුගේ හෝ විස්තරයක් සොයාදීමට රජය කටයුතු කර නැති බව උතුරු පලාත් හිටපු මහ ඇමති සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි.
උතුරේ යුද්ධය අවසන් සමයේ දී තම දියණිය අතුරුදන් වූ බව පවසන මුලතිව් මල්ලාවි ප්‍රදේශයේ පදිංචි ත්‍යාගලිංගම් යෝග රාසා පැවැසුවේ මෙවැන්නකි.
‘‘ මට මගේ ඇස්දෙක වාගේ හිටපු එකම ගෑනු දරුවා යෝගරාසා මංජුලා. එයා ඉගෙනගන්න හරිම දක්ෂයි. ඒ කාලකන්නි යුද්ධය නිසා මගේ දරුවාට ඉගෙනගන්නවත් ලැබුණේ නෑ. වයස දහඅට ලැබුවා විතරයි. දෙදාස් අටේ සැප්තැම්බර් දවසක එයා පන්තියට යන්න පිටත් වුණා , ආපහු ගෙදර ආවේ නෑ.අදත් අපි දූ එනකල් මඟ බලාගෙන ඉන්නවා. මගේ නෝනා අද වෙනකල් හරියට යමක් කන්නේ බොන්නේ නැතුව අඬ අඬා දුකෙන් බලාගෙනඉන්නවා. අද හිටියා නම් එයා විශ් විද්‍යාලේ ගිහින් ඉගෙනගෙන රස්සාවකුත් අරන් අපිව විඳින දුකෙන් බේරාගෙන. අපිට අපේ දරුවා ඉන්නවාද? මැරිලාද වත් කියලා හරියට කියන්න කියලා ඉල්ලන්නේ.‘‘ යනුවෙනි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් හිටපු උතුරු පළාත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය ද කරුණ දැක්වුවා ය.‘‘යුද්ධයේ අවසන් දින කීපයේදී මගේ මහත්තයා ඇතුළු කිහිප දෙනෙක් අතුරුදහන් වෙලා. යුද්ධය අවසන් වෙලා අවුරුදු දහයකට වඩා ගතවෙලා. අදාළ පිරිස ගැන කිසිම ආරංචියක් නෑ. රජය ඒ ගැන අපිට පිළිතුරක් නොදෙන නිසායි ජාත්‍යන්තරයෙන් විසඳුමක් ඉල්ලන්නේ. මගේ මහත්තයා නැතුව දරුවන් හදාවඩා ආරක්ෂාකරගන්න මං වින්ද දුක දන්නේ දෙවියෝ විතරයි. තුවාලයක් තියන කෙනාලු තුවාලේ වේදනාව දන්නේ කියලා කියමනක් තිබෙනවා. පාලකයන්ට ඕවා තේරෙන්නේ නෑ.‘‘ යි ඇය කීවා ය.
යුද්ධය නිමා වී මේ දක්වා අතුරුදහන්වූවන් එක් අයෙකුගේ හෝ විස්තරයක් සොයාදීමට රජය කටයුතු කර නැති බව උතුරු පලාත් හිටපු මහ ඇමති සී.වී.විග්නේශ්වරන් මහතා පවසයි.
‘‘රජය කියන ආකාරයට ලංකාව තුළ කිසිවෙකුත් අතරුදහන් වෙලා නෑ. මේ ජනතාවගේගැටලුව ඉතා සංවේදීයි. මේ අය කන්න බොන්න ඉල්ලන්නේ නෑ.මේ පාලකයින්ගෙන් අපි ඒ බව තේරුම් අරන් විසඳුමක් දෙන්න කියලා ඉල්ලනවා‘‘ යනුවෙන් ඔහු පවසයි.
වවුනියාවේ පිරිස තෙවසරක් තිස්සේ තවමත් මහමගට වී මාරුවෙන් මාරුවට සත්‍යග්‍රහයේ නිරතව සිටිති. කැබිතිගොල්ලෑවේ පිරිස මියගිය අය නැවත ඉල්ලා පලක් නැති නිසා වන්දියක් හෝ ඉල්ලති.
This article was originally published on the catamaran.com