රතු රසදිය ජාවාරම පසුපස සිදුවන්නේ කුමක්ද?
සචිනි ඩී. පෙරේරා
ශතවර්ෂ ගණනාවක් පුරාවටම බටහිර ජාතිකයින් රතු පාටට හුරු යම් අපූරු ද්‍රාවණයක් පිළිබඳව දැඩි අවධානයෙන් හා උනන්දුවෙන් පසු විය. මෙහි සංයුතිය, හැඩරුව, ස්වභාවය හෝ මෙය ලබා ගත හැකි ස්ථාන පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීම් නොමැති නමුත් මෙමගින් මුදල් ඉපයීමට හැකි බව ඔවුන් සක් සුදක්සේ විශ්වාස කළහ. වර්ෂ 1980 වසරේ මුල් කාල වකවානුවේ පටන් පැරණි සෝවියට් සමූහාණ්ඩු හා නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් රාජ්‍යයන් විසින් නඩු කටයුතුවලදී මෙම රහසිගත මූල ද්‍රව්‍යය පිළිබඳ පළමුවරට මාධ්‍ය හරහා ලොවට නිරාවරණය කරන ලදී. න්‍යෂ්ටික බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා මෙය භාවිත කළ හැකි බවත්, ජාත්‍යන්තර කළු වෙළෙඳපොළේ මෙම ද්‍රව්‍යය ඉතාමත් පහසුවෙන් ලබා ගත හැකි බවටත් කටකතා පැතිර තිබුණි. වර්ෂ 1990 පමණ වන විට “Red Mercury” සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිතයට පැමිණියේය. මෙය අභ්‍යාවකාශ හා න්‍යෂ්ටික කර්මාන්තයන් සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍යයක් ලෙසත් හඳුනාගන්නා ලදී. එපමණක් නොව මංකොල්ල කෑම් හා පැහැර ගැනීම් වැනි බොහෝ ජාවාරම් සම්බන්ධ නඩු කටයුතු වලදීත් මේ පිළිබඳව බහුලව කතාබහට ලක්විය.
සෝවියට් සමූහාණ්ඩු ව්‍යාපාරිකයන්, යුරෝපය හා මැද පෙරදිග ගැනුම්කරුවන් සමඟ මහා පරිමාණයේ රතු රසදිය සම්බන්ධ ගිවිසුම් වලට එළබුණු අතර ඇමරිකා එක්සත් ජනපදය හා ප්රංශයත් මෙම භාණ්ඩයේ සමීපතම පාරිභෝගිකයින් ලෙස සැලකේ. යුරෝපානු මහද්වීපවල හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් එල්ලවූ ප්‍රහාර සම්බන්ධ සිදුවීම්වලදී රතු රසදිය සෘජුවම සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙලිවේ, එමෙන්ම ඒවා අදටත් නොවිසඳුණු අභිරහස් ලෙස පවතී.
පුරාණ ඊජිප්තුවේ කාන්තා මමීන්ගේ උගුර ප්‍රදේශයේ මෙම රසායන ද්‍රව්‍යය අඩංගු වන බවට කටකතා පැතිරී ඇත. එනිසාවෙන්ම ඔවුන් සමහර මමීන් විනාශ කරන ලදී. මෙම රසායන ද්‍රව්‍යය ශරීරය තුළ පවතින තාක් තමන්ට ලෙඩ රෝග වලින් ආරක්ෂා වී සිටිය හැකි බවත් පුරාණ ඊජිප්තු ජනතාව දැඩිසේ විශ්වාස කළහ. එමෙන්ම මමීන්ගේ ශරීර අභ්‍යන්තරයේ නිශ්චිතව ම මෙම රසායන ද්‍රව්‍යය අඩංගුවේ ද යන්න සොයා ගැනීමට ඔවුනට නොහැකිවූ නිසාවෙන් මෙය තවමත් රහසිගත ප්‍රබන්ධයක් බවට ඔවුන් අතර මතයක් පවතී.
කාමර උෂ්ණත්වයේදී ද්‍රව ආකාරයෙන් පවතින මෙය සුදු රිදීවන් පාටට හුරු බැර ලෝහ ද්‍රාවණයකි. එය චෙරි ගෙඩියක ඇති රතු පැහැයට සමානය. නමුත් සුපිරිසිදු රසදිය ද්‍රාවණය තුළ රතු පැහැයක් දැකගත නොහැක. බටහිර ඉගැන්වීම් ප්‍රකාරව රතු රසදිය යන්න රතු පාටට හුරු ද්‍රාවණයක් බවට කිසිදු නිශ්චිත සාක්ෂියක් නොමැත. කෙසේ වෙතත් රසදිය ලබා ගැනීමට යපස් නිස්සාරණය කිරීමේදී දැකගත හැකි “හිඟුල්” තුළ බහුලව දක්නට ලැබෙන මර්කරි සල්ෆයිඩ් (HgS) යනුවෙන් හදුන්වනු ලබන්නේ “වර්මිලියන්” නම් රතු පැහැති ද්‍රව්‍යයකි.
මෙය ආයුර්වේද විද්‍යාවේදී ඉතාමත් අවම වශයෙන් භාවිතයට ගන්නා බවත්, රතු රසදිය යන නමින් ලේඛනගතකර නොමැති බවත්, එය න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදනය කිරීමේදී භාවිත කරන්නේද යන්න නිශ්චිතව ම හඳුනාගෙන නොමැති බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්. එන්. කෞමාල් මහතා පවසයි. රසදිය යනු පුපුරණ ද්‍රව්‍ය නිපදවීමේදී භාවිත කරන දුර්ලභ ගණයේ එක් රසායනික මූල ද්‍රව්‍යක් බවත්, පිපිරීම්වලදී ඇති වන ක්ෂණික ජ්වලන උෂ්ණත්වය හේතුවෙන් එය ඉතාමත් ඉක්මණින් නිවී යන නිසා පුපුරණ ද්‍රව්‍ය සැදීමේ මූල ද්‍රව්‍යයක් ලෙස මෙය එක් කිරීම ඵල රහිත බවත්, මෙවැනි රසායනික ද්‍රව්‍ය රසායන ප්‍රතික්‍රියා දැක්වීමට ගතවන කාලය ඉහළ බැවින් නිෂ්ක්‍රීය පිපුරුම් ද්‍රව්‍ය තුළ දීර්ඝකාලීනව නොපවතින බවත් ආචාර්ය කෞමාල් මහතා ප්‍රකාශ කරයි.
මෙම රහසිගත රසායන ද්‍රව්‍ය නීති විරෝධී සංඝටකයන් එක්කරමින් රහසිගතව නිෂ්පාදනය කරන නිසා මෙම රසායනිකය රතු රසදිය (Hgs, HgO, HgI2) හෝ රසදිය සමග මිශ්‍ර කළ රතු සායම් පමණක් වන බවත්, මෙම රසායනික ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නෛතිකව කටයුතු කළ ලෝව විවිධ ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කර ඇත. නඩු කටයුතුවලදී සාපේක්ෂ වශයෙන් සැක කරන බොහෝ සිද්ධීන්වලදී විශේෂයෙන්ම තහනම් කරන ලද මෙම රසායනිකය, නීති විරෝධීව ආනයනය හෝ අපනයනය කිරීම සම්බන්ධ සිදුවීම් සමග සෘජුව හා වක්‍රව සබඳතා පවත්නා බවත් අණාවරණය වී ඇත. තවද මෙම රසායන ද්‍රව්‍ය (hg2sb2o7) රුසියානුවන්ගේ නිෂ්පාදනයක්ද යන්න පිළිබඳව සැක සහිත බවත් එහි රුසියානු කේතය (Li-6-D) යනුවෙන් හඳුන්වන බවත්, පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී රසදිය බහුලව භාවිත කිරීමට හැකියාව තිබේ නම්, ඊටත් වඩා මිලෙන් අඩු පුපුරන ද්‍රව්‍යන් ජාත්‍යන්තර හා දේශීය යුධ අවි වෙළඳපෙළේ ඕනෑ තරම් මිළදී ගැනීමට තිබෙන බවත් ආචාර්යතුමන් පවසයි.
ලංකාව තුළ, පසුගිය ශත වර්ශයේ මුදල් ඉපැයීමට හා විනාශකාරී ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා රහසිගත නියෝජිතයින් මාර්ගයෙන් රතු රසදිය විකිණීමට හා මිළදී ගැනීමටත් උත්සහ ගෙන ඇති බව වාර්තාවේ. රතු රසදිය පිළිබඳව ලංකාව තුළ වාර්තා වන එකම සිදුවීම වන්නේ වර්ෂ 2006 හා 2008 දී එල්ටීටීයී සිවිල් යුද්ධයේදී එල්ටීටීයීය විසින් 2002 වර්ෂයේ කැලිෆෝනියාවේ පිහිටි අප්‍රසිද්ධ රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමකින් රසායන ද්‍රව්‍ය මිළදී ගැනීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් එල්ටීටී ත්රස්තවාදීන්ට එල්ල කරන ලද බරපතල චෝදනාවයි. විකිලීක්ස් (WikiLeaks) මූලාශ්රයන්ට අනුව එල්ටීටී සංවිධානයේ මෙම නීති විරෝධී ජාවාරම පිළිබඳවත් කැලිෆෝනියාවේ ස්ථාපනය කර ඇතැයි පැවසෙන මෙම නීති විරෝධී රසානාගාරය පිළිබඳවත් නිශ්චිතව ම තහවුරු කර ගත හැකි තොරතුරු පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ වොශින්ග්ටන් ප්‍රාන්තයෙන් පවා කිසිදු සඳහනක් කර නොමැති බව ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිල වශයෙන් ප්‍රකාශ කරයි. මෙම සිදුවීම නිසා ත්‍රස්ත සංවිධානයන් හා රුදුරු රාජ්‍යයන් දරුණු විනාශකාරී ආයුධ සමග හසුකර ගැනීමට නීති විරෝධී ජාවාරම් ආදිය සිදු කිරීමෙහි දක්ශයින් විසින් සිදු කරන ලද අනාවරණයක් බවත් රහස් පරීක්ෂක වාර්තා මගින් පෙන්වා දෙයි.
වර්තමානය වන විට රතු රසදිය පිළිබඳව අලුතින් ව්‍යාප්ත වන මතය වන්නේ එය පැරණි රැහැන් රහිත රේඩියෝ සහ “සිංගර්” මහන මැශින් තුළ රතු දියාරු රසායනික ද්‍රව්‍යක් ලෙස දක්නට ඇති බවයි. සමාජ මාධ්‍ය වාර්තා මගින් මෙම ද්‍රව්‍යයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියනයේ සිට ඩොලර් බිලියනය දක්වා මිලෙන් ඉහළ වන බව පෙන්වාදෙයි. මෙම රසායන ද්‍රව්‍යයේ ඡායාරූප එහි විශේෂ ලක්ෂණ, වාසි හා මිළ ගණන් පිළිබඳව සමාජ මාධ්‍යයේ සඳහන්ව තිබුණත් ඊට අදාල කටු සටහන් පරිගණක මෘදුකාංග මගින් සංස්කරණය කර ඇති බව මෙහිදී කළ තාක්ෂණික පිරික්සුමෙන් තහවුරු විය. කලකට ඉහත පටන් යන්ත්‍රානුසාරයෙන් නිපදවන ලද මෙම රසයනික ද්‍රව්‍ය එය නිෂ්පාදනයේදී එහි වැඩ කරන කම්කරුවන්ට ආශ්වාස වීම හේතුවෙන් විෂ රසායනයක් ලෙස නම් කළ අතර පසුකාලීනව එය විදුලි පරිපථ වලට එකතු කිරීමට නීතියෙන් අවසර නොදුන් බව ආචාර්ය කෞමාල් මහතා පවසයි.
මේ අතර රතු රසදිය ලඟ තබා ගැනීමේ වරදට මොහොමඩ් නියාස් නමැත්තා වර්ෂ 2019 ජනවාරි මාස 11 වන දින මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුන බව පුවත් පත් වාර්තාවක සඳහන්ව තිබුණි. තවද 2019 වර්ෂයේදී එල්ලවූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයට පහර දුන් මරාගෙන මැරෙන බොම්බකරු වන සහරාන් හෂීම් සමග මොහොමඩ් නියාස්ට සමීප සම්බන්ධයක් තිබූ බවටත් සමාජ මාධ්‍යයේ තොරතුරු සංසරණය විය. මෙම සිදුවීමේ ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේදී මහනුවර පොලීසියේ ස්ථානාධිපතිවරයා පවසා සිටියේ එවැනි කිසිදු සිදුවීමක් වාර්තාවී නොමැති බවත් එය ව්‍යාජ පුවතක් බවත්ය. රතු රසදිය පිළිබඳව පළවූ මෙම ව්‍යාජ පුවත පිළිබදව වැඩිදුරටත් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික ආරක්ෂක අංශ ප්‍රධානී (CBRN) හා පොලිස් හදිසි විමර්ශන ඒකකයේ දුරකථන අංකයන් සම්බන්ධ කරගත් අතර එහිදී අනාවරණය කරගන්නා ලද තොරතුරු වලින් හෙළි වූයේ රතු රසදිය ලඟ තබා ගැනීම, විකිණීම හා රැගෙන යන්නන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයට බලයක් ඇති බවයි. මේ පිළිබඳව වැඩි දුරටත් ශ්‍රී ලංකා හමුදා CBRN අංශ ප්‍රධානී හා එවකට සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න යන මහත්වරුන්ගෙන් කරුණු විමසීමේදී ඔවුන් පවසා සිටියේ මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමන්ට බලයක් නොමැති බවයි. එල්ටීටීඊ ය විසින් රතු රසදිය මිළදී ගැනීමට උත්සාහ කළ සිදු වීම හැර වෙනත් කිසිදු ලේඛනගත සිදුවීමක් ලංකාව තුළ වාර්තා නොවේ. කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයින් විවිධ ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් විවිධ ප්රචණ්ඩ අර්බුදකාරී වාතාවරණයන් නිර්මාණය කරමින් වාසි සලසා ගැනීම උදෙසා සියලු ආකාරයේ වාංචනික රසායන ද්‍රව්‍යයන් විකිණීමෙන් හා මිලදී ගැනීම මගින් ජනතාව නොමග යැවීමට උත්සහ කරන බවත් ආචාර්යතුමන් පැවසීය.
ඇතැම් ගෝලීය හා කලාපීය ත්‍රස්ත කණ්ඩායම්වලට එරෙහිව පවත්නා ගනුදෙනු චෝදනාවන් හේතුවෙන් ඔවුන්ට රතු රසදිය ලබාගැනීමට නොහැකි වී ඇති බවත් මෙම රසායන ද්‍රව්‍ය ප්‍රාන්ත ඇතුළත හා ඉන් පිටතත් කළු වෙළෙඳපොළ තුළ න්‍යෂ්ටික ගැනුම්කරුවන් අතර විකිණෙන බවත් න්‍යෂ්ටික තාක්ෂණ අවි නිෂ්පාදනය කරන්නන් ඔවුන්ගේ ජාවාරම් හා වංචාවන් සඳහා මෙය උපාය මාර්ගයක් ලෙස භාවිත කරන බවත් KGB හා GRU යන රහස් පරීක්ෂක සංවිධාන පෙන්වා දෙයි. රතු රසදිය ද්‍රාවණයේ පැවැත්ම සත්‍යයක් වුවත් එවැනි දැවැන්ත ගණයේ ජාවාරම් හා මංකොල්ලකෑම් ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයට හැකියාවක් නොමැති බව පැහැදිලිව පෙනේ. නමුත් වෛරී ප්‍රකාශයන් හා ව්‍යාජ පුවත් ව්‍යාප්තිය මගින් සිදුවන බලපෑම වළක්වා ගැනීම සඳහා අප රටක් ලෙස ගෝලීය න්‍යෂ්ටික ආරක්ෂණ ප්රතිපත්තීන් හා උපාය මාර්ගයන්ට අවනත වීම අත්‍යාවශ්‍ය වේ. කළු වෙළෙඳපොළ තුළ රතු රසදිය යනුවෙන් හදුන්වනු ලබන්නේ රසදිය නොවන යම් වෙනත් ද්‍රව්‍යයක නමක් සන්නිවේදනය කිරීම සඳහා හමුදාව විසින් භාවිතයට ගන්නා රහසිගත සංකේතයක් විය හැකිය. රතු රසදිය මිළදී ගන්නන් සමහර අවස්ථාවලදී රතු රසදිය කිලෝවක් සඳහා ඩොලර් මිලියන ගණනක් වැය කරන බව නඩු කටයුතු සාක්ෂි මගින් වාර්තා වේ. තවද එය ලෝකයේ බොහෝ රටවල ඉහළ පෙළ දේශපාලන හා හමුදා කුමන්ත්‍රණ සඳහා පරිභෝජනයට ගන්නා දෙයක් ලෙසද හඳුනාගත හැකිය.