අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

රටේ වත්මන් අර්බුදය මැතිවරණයකින් ජය ගත හැකිද 

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු 

රනිල් ගෝඨා ආණ්ඩුව පත්වී මාස එකහාමාරකට ආසන්නය. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කළයුතු දීර්ඝ කාලීන වැඩ පිළිවෙල මේ මාස එකහාමාරක කාලය තුළ යම් ආකාරයකින් ඉදිරියට යමින් තිබුනද ජනතාව බලාපොරොත්තුවූ  ඇඟට දැනෙනා සහන කිසිත් තවම ලැබී නැත. අනෙක් පසින් බැලූවද එවැනි සහනයක් ලබාදීමට රනිල් වික්‍රමසිංහට නොව විශ්වකර්ම‍යාටවත් රටේ  පවතින දැවන්ත අර්බුදය හමුවේ හැකියාවක් නැත

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අගමැති ධූරය භාරගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බොහෝ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම වැනි අයගෙන් පමණක් නොව රාජපක්ෂවරුනගේ පරම දේශපාලන හතුරෙක්වූ ෆීල්ඩ් මෂල් සරත් ෆොන්සේකාගෙන්ද ඔහු එකී ඉල්ලීම කළේය. එහෙත් කිසිවෙකුත් ඊට එකඟ නොවූ අතර අවසන අගමති ධූරය හිමිවූයේ පාර්ලිමේන්තුවේ තනි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණක් හිමිව තිබූ රනිල් වික්‍රමසිංහටය. . සුළු වෙනස්කම් සහිතව රනිල්ට සිදුවූයේ පොහොට්ටු  ආණ්ඩුවේම දිගුවක් ලෙස ආණ්ඩුවක් පවත්වාගෙන යාමටය. එම ක්‍රියාව නිසා අළුත් ආණ්ඩුවක් ලෙස ලෝකය තවමත් රනිල්ගේ ආණ්ඩුව පිළිගන්නේ නැත.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයත්, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයත් තවමත් ඉන්නේ පාර්ලිමෙන්තු මැතිවරණයක් බලාපොරොත්තුවය. ඔවුනගේ තර්කය වනුයේ තාවකාලික ආණ්ඩුවක් පිහිටවා මාස කිහිපයකින් මැතිවරණයකට යාමය. ඊට අමතරව ජනාධිපති ඉවත්විය යුතු බවද ඔවුනගේ ඉල්ලීමකි. ජනාධිපති ඉවත්විය යුත්තේ තාවකාලික ආණ්ඩුව පිහිටවීමෙන් පසුව නම් එම පක්ෂ දෙක අන්තර්වාර හෝ තාවකාලික පාලනයකට එකඟ නොවීමෙන් කර අත්තේ වරදකි. මන්ද යත් තාවාකාලික ආණ්ඩුවක් මුලින්ම පිහිටවා අනතුරුව ජනාධිපති ඉවත් කිරීමේ කටයුත්තට එළඹීමට අවම වශයෙන් උත්සහ ගැනීමට හෝ ඔවුනට හැකියාව තිබූ බැවිනි.

තවත් ආකාරයකින් ප්‍රශ්ණය සළකා බැලීමේදී ජනාධිපති ඉවත්වූ පසු හවුල් ආණ්ඩුවකට ඔවුන් එකඟවන්නේයයි අප සිතමු. එහෙත් පවතින ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ඉවත්වුවහොත් ඔහුගේ ධුර කාලය සම්පූර්ණ කිරීමට කෙනෙකු පාර්ලිමෙන්තුව තුළින් පත් කරනු ඇත. ඒ තැනැත්තා පිළිබඳ ස.ජ.බ ට හෝ ජා.ජ. බලවේගය නිස්චිත අදහසක් නොකියයි. එහෙත් පොදුජන පෙරමුණට පැහැදිළි බහුතරයක් හිමි පාර්ලිමේන්තුවක් මගින් පත්වන ජනාධිපති ස.ජ.බ හෝ ජා.ජ. බලවේගයේ අපේක්ෂාවන් ඉටුකරන කරනු ඇතුයි බලාපොරොත්තු විය නොහැක. එවන් ජනාධිපතිවරයෙක් යටතේ තාවකාලික හෝ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටවීමට එම පක්ෂ එකඟ දැයි ඔවුන් වහා පැවසිය යුතුය. මන්ද යත් ඔවුන් ඉවත්වන්නයයි පවසනුයේ වසර පහක ජනවරමක් සහිතව තේරී පත්වූ ජනාධිපාතිවරයෙකුටය. ව්‍යවස්තානුකූලව නිල කාලය ගෙවී යන්නට පෙර ජනාධිපති ඉවත් කිරීමට ව්‍යවස්ථානුකුල ප්‍රතිපාදන තිබේ. එහෙත් ජනාධිපතිවරයා නියෝජනය කරනා පක්ෂයට සුපැහැඳිලි බහුතරයක් හිමි පාර්ලිමේන්තුවක් තුළ එකී ව්‍යවස්ථානුකූල ප්‍රතිපදන මගින් ජනාධිපති නෙරපීමට ඇත්තේ කණ කැස්බෑවා වියසිදුරෙන් අහස දකිනවා වැනිී සීමිත ඉඩකි.

ජනාධිපතිවරයා ඉවත්කිරීමට ඇති අනෙක් ක්‍රමය වනුයේ ජනතා අරගලයක් මගින් බලයෙන් පහ කිරීමය. එවැනි ක්‍රියාවක් මගින් ජනාධිපති ධූරයෙන් පහකළද ඉන් අර්බුදය නිමවෙතැයි බලාපොරොත්තු විය නොහැක. ජනාධිපති නෙරපා හැරියද පවතින ව්‍යවස්තාවට අනුව ජනාධිපති රාජ්‍යයේ ප්‍රධානියා වන බැවින් එම ධූරයට කෙනෙකු පත්කර ගැනීම අනිවර්ය වෙයි. පවතින පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව පාර්ලිමේන්තුව විසින් ජනාධිපති කෙනෙකු පත් කිරීමේදී තීරණාත්මක බලයක් හිමිවනුයේ පොදුජන පෙරමුණට මිස ස.ජ.බ හෝ ජා.ජ.බලවේගයට නොවේ. එහෙයින් එම ජනාධිපති විපක්ෂය හෝ අරගල කරුවන් අපේක්ෂාකරන ආකාරයේ කෙනෙකු වේයයි සිතන්නට නොහැක. එසේ නොකර පාර්ලිමේන්තුවට බලය පැවරීමට නම් පවතින ව්‍යවස්තාව සශෝධනය කිරීමට සිදුවෙයි. එය සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර ඇතැම් විට ඒ සඳහා ජනාධිපතිවරණයකට පවා යාමට සිදුවෙනු ඇත.

එසේනම් අවසාන විකල්පය වනුයේ ජනාධිපති නෙරපා හැර ව්‍යවස්ථාව නොතාකා ආණ්ඩුවක් පිහිටවා කටයුතු කිරිමය. අරගල කරුවන් දියවන්නාවෙන් එපිටට බලයක් යනුවෙන් පවසනුයේ එවන් පාලනයක් විය යුතුය. එහෙත් එවන් පාලනයක් ගොඩ නගන්නට යාමෙන් ශ්‍රී ලංකාව ලිබියාවක් නොවී නතර වෙතැයි යමෙක් අපේක්ෂා කරයි නම් ඒ ඉතා ළදරු දේශපාලන කියවීමක් සහිත අයෙක් විය යුතුය. මුහුණ දෙමින් සිටිනා අර්බුදය ජයගන්නට ජාත්‍යන්තර සහය අපේක්ෂා කරමින් සිටිනා රටකට එවැනි අසම්මත ආණ්ඩුවක් පත් කර ගනීමෙන් සිදුවනුයේ  කබලෙන් ලිපට වැටීමටය. අනෙක් අතට එවැනි පාලනයක් ස්ථාපිත කිරීමට යාමේදී  අදවනවිට දක්නට නැති ප්‍රායෝගිකා ගැටළු මෙන්ම වර්තමානයේ සමාන අදහස් දරනා විපක්ෂ දේශපාලන පක්ෂ අරගලකරුවන් අතර විභේදනයක් ඇතිවීමට පවා ඉඩ ඇත. එනිසා පොදු එකඟතාවයකින් අසම්මත ආණ්ඩුවක් ගොඩනගා ලෝකයේ ආධාර සමග වැටී ඇති අර්බුදයෙන් ගොඩ යෑමට සිතීම යනු කිසිසේත් ප්‍රායෝගික තත්ත්වයක් නොවේ. 

වත්මන් පාර්ලිමේන්තුව තේරී පත්වූයේ 2020 අගෝස්තු මස පස්වැනිදා පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙනි. පවතින ව්‍යවස්ථාවට අනුව මේ පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පණවා ඇති භාධකය ඉවත් වන්නේ 2023 පෙබරවාරී පස්වෙනිදාට පසුවය. එහෙත් ඉන් පසුව කරනා විසුරවීමක් පවා මූලික අයිතිවාසිකම් නඩුවක් මගින් අභියෝගයට ලක් කළ හැක. ඒ බව 19 වැනි ව්‍යවස්තා සංශෝදනයේ පැහැඳිළිව සඳහන් වෙයි. ඒ අනුව ගාලු‍ මුවදොර අරගලකරුවෝ, ස.ජ.බ සහ ජා.ජ. බලවේගය කෙතරම් පරසක්වල ගැසූවද ලබන වසරේ පෙබරවාරි මසට පෙර පාර්ලිමේන්තුව විසුරවන්නට යාම නිශ්චිත ලෙසම අධිකරණය හමුවේ ප්‍රශ්ණ කිරීමට වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පොදුජන පෙරමුණ පෙළබෙනු ඇත. යහපාලන රජයේ අගමැති ධූරය වෙනස් කිරීමට ගොස් විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ කණ්ඩායම ගත් උත්සහය අධිකරණය හමුවේ පරාජය වීම ඔවුන් පූර්වාදර්ශයක් ලෙස ගන්නවා  ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටිනුයේ ඩොලර් ප්‍රශ්ණයකට පමණක් නොවේ. බරපතල රුපියල් හිඟයකටද අප මුහුණ දෙමින් සිටිනා බව අමතක නොකළ යුතුය. රටටම බරක් වී ඇති දැවැන්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට අගමැති පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තේය. එවන් පසුබිමකදී මැතිවරණයක් පැවත්වීමට යන රුපියල් කෝටි 20 කට  ආසන්න ප්‍රමාණය සපුරා ගැනීම ආණ්ඩුවට අභියෝගයකි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩළ සභික කේ.ඩී. ලාල් කාන්ත මැතිවරණය තම වෘතීය සමිතිය මගින් නොමිලේ පැවත්වීමට යෝජනා කරනුයේ මෙකී වියදම් ප්‍රශ්ණය නිසාය. එහෙත් ස්වාධීන මැතිවරණ කොමිසම මගින් පැවැත්විය යුතු මැතිවරණයක් දේශපාලන පක්ෂයක වෘතීය සමිතියක් මැදිහත්වී පවත්වන්නට යෝජනා කිරීම ලාල් කාන්ත වැනි පලපුරුදු දේශපාලන ක්‍රියාධරයෙකු විසින් නොකළ යුතු විහිළුවකි . ඊට අමතරව වසර ගනනක සිට පළාත් සභා විසුරවා ඒවා ආණ්ඩුකාර වරුනගේ පාලනයට යටත් කර ඇති බව අප සැලකිල්ලට ගත යුතුය. එම මැතිවරණය පැවැත්වීමට ප්‍රමුඛතාවය දෙන බව ශ්‍රිලංකාව ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තරයට ප්‍රතිඥා දී තිබේ. එළබෙන සැප්තැම්බර් මාසයේ පළාත් පාලන ආයතන වල නිලකාලයද ඉක්මවා යනු ඇති බැවින් එම මැතිවරණයද 2023 මාර්තුවට පෙර පැවැත්විය යුතුව ඇත. එසේ තිබියදී ඒ සියළු මැතිවරණයන් මග හැර තවත් වසර තුනකින් පැවත්වීමට නියමිත පර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටීම කෙතරම් දුරට ප්‍රායෝගිකදැයි සිතා බැලිය යුතු නොවන්නේද. 

මේ සියළු නෛතික සහ ව්‍යවස්ථානුකූල ත‍ර්ක අමතක කර පර්ලිමේන්තු මැතිවරණයක් පැවත්වූයේයි අප මදකට සිතමු. එවන් මතිවරණයකින් ආසන 113 ඉක්මවූ බහුතර බලයක් යම් පක්ෂයකට ලබා ගත නොහැකි වුවහොත් සිදුවන්නේ කුමක්දැයි සිතා බැලිය යුතු නොවන්නෙද. ස.ජ.බ සහ ජා.ජ. බලවේගයට පුර්ණ බලයක් සහිත ආණ්ඩුවක් පිහිට වීමට නොහැකි වුවහොත් ඔවුන් ගන්නා තීරණය කුමක්ද. පවතින පාර්ලිමේන්තුවේ සියල්ලෝම දූෂිතයන් බැවින් ඔවුන් සමග තාවකාලික ආණ්ඩුවක් පිහිටවීමට තමන්ට බැරි බවට හඬ නගනා ඔවුන් නව පාර්ලිමේන්තුවකදී වෙනත් පක්ෂ සමග ආණ්ඩුවක් පිහිටවීමට එකඟ වන්නේද. එවැනි එකඟතාවයකට ස.ජ.බ සහ ජා.ජ. බලවේගය පැමිනෙන්නේ අභිනව පාර්ලිමේන්තුව සුදු චරිත වලින් පිරී යන්නේ යයි සිතාද. එවන පූර්ව උපකල්පනයකට පැමිනීමට ඔවුනට ඇති සාක්ෂි මොනවාද . නොඑසේනම් මැතිවරණයකින් පසු පත්වෙන නව පාර්ලිමේන්තුවකදී දූෂිත පක්ෂ සමග එක්ව ආණ්ඩුවක් සැදීම වරදක් නොවේයයි ඔවුන් සිතන්නේද. මේ ප්‍රශ්ණ වලට දැන් තබා පිළිතුරු සැපයීම රටේ අනාගතයට මෙන්ම එම පක්ෂ වල පැවැත්මටද හිතකර වෙනු නොඅනුමානය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts