සාමය

යුධ ගැටුම් මැද මාධ්‍යයේ භූමිකාව සොයා මා කළ මෙහෙයුම

නාමිණී විජේදාස

ශ්‍රී ලංකාවේ ගැටුම් වාර්තාකරණය මා නිහතමානි කළ අත්දැකීමක් විය. ගරිල්ලා යුද්ධයක් වූ එය සැම තැනම පැතිරී තිබිණි. මාධ්‍යෙව්දීන් ලෙස අපට වාර්තා කිරීමට සිදු වූයේ යුද්ධ පෙරමුණේ ගැටුම් පමණක් නොවේ. සියදිවිනසා ගැනීමේ ප්‍රහාරවල සිට පසු කාලයේ සමූලඝාතන හා ගුවන් ප්‍රහාර දක්වා වූ රටේ අනෙක් පෙදෙස්වලට එල්ල  වූ ප්‍රහාරද වාර්තා කිරීමට සිදු විය.  

මම මෙහිදී ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම්වල දේශපාලනය ස්පර්ශ නොකරමි. එක් පාර්ශවයක අර්ථ දැක්වීම අනුව ත්‍රස්තවාදියා තවත් සමාජ කන්ඩායමක නිදහස් සටන් කරුවෙකු වන අතර එය බොහෝ අභ්‍යන්තර යුධ ගැටුම් පවතින රටවල සාමාන්‍ය තත්වයකි . මම 1994 දී ජීවිතයේ දහඅට වැනි  වසරට පා තබා  මාසයකට පසු පුවත්පත් කලාවට එක් වූයෙමි. එම වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ලෙස තේරී පත් වූ අතර ඇය කඩිනමින් සාම ක්‍රියාවලියකට මුල පිරුවාය රටේ පැවති යුධමය ගැටුම්වලට මුලික වූ විෂය කරුණුවලට දේශපාලනික විසදුමක අවශ්‍යතාවය වෙනුවෙන් ඇය ඒ මොහොතේ පෙනී ස්ටියාය.එල්.ටී.ටී.ඊ සංවිධනය සහ ආණ්ඩුව අතර සාකච්ඡා අසාර්ථක වූ අතර තුන්වන ඊළාම් යුද්ධය 1995අප්‍රේල් මාසයේදී ආරම්භ විය.

යුධ ගැටුම්වලට අදාලව මගේ පළමු අත්දැකීම වූයේ 1996 ජනවාරී මස සිදුවූ  මහ බැංකු බෝම්බ ප්‍රහාරයයි.  දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් ගොඩනැගිල්ල තුළට පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් ගැටීමෙන් පුද්ගලයින් 100 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූහ. දහස් ගණනක් තුවාල ලැබූහ.

 මාගේ වයස අවුරුදු 19ක් වූවා පමණි. කොළඹ කොටුවේ වීදි කොනකින් හැරුනු විට ගිනි දැල් අතරින් මා දුටු විනාශය මගේමොළයට නොමැතිනම් මගේ සිතට ඒ අවස්ථාවේ දරාගැනීම  අපහසු විය. . එසේ වුවත් එවැනි බලවත් විනාශයක් ආවරණය කිරීමට තරම් මා නිර්වින්දනය වීම හෝ  අසංවේදි විම  සිදුවූ ක්‍රියාවලියක ආරම්භය එය යැයි මම සිතමි . සිරුරු ඉවත් කිරීම ගැන මම සංවේදිව වාර්තා කළෙමි . එකිනෙකා වැළඳගෙන සිටි සිරුරු දෙකක් ඉවතට ගත් ආකාරය තවමත් මට මතකය. 

පසුකාලයේදී   හැඩීමකින් තොරව බිහිසුණු සිදුවීම් ආවරණය කිරීමට මට හැකි වූයේ කෙසේද හා  කුමක් නිසාද කියා මම කල්පනා කරමි. මම තවමත් එය විශ්ලේෂණය කිරීමට උත්සාහ කරමි. නමුත් ආගන්තුකයන්ගේ අවමංගල්‍ය උත්සවවලදී  මම කඳුළු සලමින් වැළපුණු අවස්ථා තිබිණි, දුක දැකීම මරණය දැකීමට වඩා වේදනාකාරී වූ නිසාය.

යුද පෙරමුණේ සටන් බිමට ගොස් කළ ඒවා නොවීය.  ඒවා හමුදාව විසින් සංවිධානය කරන ලද සංචාර වල ස්වරූපය ගත් අතර එම කාලය තුළ අපව ආරක්ෂාව යටතේ විවිධ ස්ථාන කරා ගෙන ගොස් තොරතුරු ලබා දෙන ලදී . එය හොඳම විදිහ නොවුවත් යුද බිමට මාධ්‍යවේදීන් ගෙන ඒම සඳහා ඔවුන්ට තිබුණු ආරක්ෂිතම ආකාරය එය විය. මා වඩාත්ම ප්‍රිය කළේ උතුරට හෙලිකොප්ටර්වලින් කළ ගමන්වලටය. ඒ යුද පෙරමුණට ළඟා වීමේදී මිසයිල ප්‍රහාරවලින් ගැලවීම සඳහා ගස්වල මුදුන් වල ගැටෙමින් ගමන් කරන නිසාය. හෙලිකොප්ටරය ඉහළට යන පමණට ඉලක්කය ගැනීම පහසු වේ.  විවෘත දොර තුළින් මැෂින් තුවක්කුවක් බිමට එල්ල කරගත් හමුදා භටයෙක් සිටියේ වුවද බිම මත සෑම දෙයක්ම ඉතා පැහැදිලිව දිස්  විය.   

මා වෘත්තීය දිවිය ආරම්භ කළ පුවත් පත කාන්තාවන් යුද පෙරමුණට යැවීමට හුරුව නොතිබිණි. මා අවුරුදු 20ක් වයස් වූ විට,  උතුරු හා නැගෙනහිර ප්‍රෙද්ශවල ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන දින හතරක සංචාරයකට මා හට  එක්වීමට අවසර ගැනීම  සඳහා ඔවුන් හට ඉතා තදින් ඒත්තු ගැන්වීමට සිදු විය.  බසයේ සිටි එකම කාන්තාව මා වූ අතර ඇතැම් කඳවුරු වලදී මා හට නවාතැන් සපයා ගැනීමට විශේෂ විධිවිධාන යෙදීමට සිදු විය.  වැලිඔය ප්‍රදේශයේදි නියෝජිත තැපැල් කාර්යාලයක් පවත්වා ගෙන ගිය කාන්තාවකගේ නිවසේ බිම මම නිදා ගතිමි.  එසේ වුවත් යුද්ධය පැවති ප්‍රදේශවලට යාම ඵලදායක අත්දැකීමක් වූ අතර මම එයට ප්‍රිය කරන්නට වීමි.  

වසර ගණනක් පුරා මම එවැනි සංචාර ගණනාවක් සිදු කර ඇත්තෙමි. ඉන් සමහරක් ගුවනින් වූ අතර සමහරක් මාර්ගයෙන් විය. මම කිසි දිනක දෙපාර්ශ්වය අතර  සෘජු ගැටුම් දැක නැත්තෙමි. එසේ වුවත් මම කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ආකරය දැක ඇති අතර වනයේ ගමන් කොට හමුදා සාමාජිකයන් හා සිවිල් පුරවැසියන් සමඟ සම්මුඛ සාකච්ඡා ගණනාවක් සිදු කර ඇත්තේමි. තවද මම  තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශවලට රියැදුරෙකු හා ඡායාරූප ශිල්පියෙකු සමඟ ගොස් යුද්ධ තර්ජනය යටතේ  දරිද්‍රතාවයෙන්, මූලික අවශ්‍යතා  අහිමිවීමෙන් හා ශෝකයෙන් පීඩිතව ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ ජීවිත පිළිබඳව වාර්තා කර ඇත්තෙමි.    

එල් ටී ටී ඊ සංවිධානය සමඟ සටන විරාම ගිවිසුම පැවති සමයේ ඔවුන්ගේ පාලනය යටතේ පැවති ප්‍රදේශවලටද පුළුල් ප්‍රවේශයක් ලැබිණි. ළමා සොල්දාදුවන් ආයුධ ද සමඟ ප්‍රධාන ඒ 9 මාර්ගයේ ගමන් කළ අයුරු මගේ මතකයට නැගේ. එසේ වුවද කොටින් ජනමාධ්‍ය ගැන මනා අවබෝධයක් ලබා ගත් පසු ඔවුන්ව මහජන දැක්මෙන් ඉවත් කරන ලදී    මම පසුව ළමුන් බඳවා ගැනීම ගැන විස්තරාත්මකව ලිවීමි. ඒ මට ගැඹුරින් දැනුනු කරුණක් නිසාය. ගැටුම් වාර්තාකරණයේ මට එක්තරා ආකාරයක ආකර්ෂණයක් තිබේ.  අනතුරුදායක ස්ථානවලට යන විට දැනෙන තියුණු   හැඟීම, ඇසිය  යුතු කතාවන් පැවසීමේදී ඇති වන,  මාධ්‍යවේදිනියෙකුගේ දෑස් තුළින් යුද්ධයේ බියකරු සත්‍යය මහජනයාට දැකීමට සැලැස්වීමෙන් ඇතිවන ගැඹුරු තෘප්තිමත් හැඟීම මීට හේතු විය හැක.  

මා මෙය පැවසිය යුතුය – ගැටුම් වාර්තාකරණයේ විරත්වයක් නැත්තේය. මා එය සිදු කළ නිසාම අන්‍යයන්ට වඩා මා නිර්භිත යැයි මම නොසලකමි. සිදුවීම් නිරීක්ශනයට සහ වාර්තා කිරීමට මා හට  ඇති වූ දැඩි ආශාව නිසා මම එම අභිලාෂය වෙත ගමන් කලෙමි. එමඟින් නිසා මගේ මාධ්‍ය දිවිය පොහොසත් විය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts