යුද්ධය අස්සේ සාමය සොයා ගිය විසි අට වසරක්
සම්පත් දේශප්‍රිය
සමස්ත රටම වෙළාගත් 1988 සහ 89 භීෂණය නිමා වෙමින් තිබිණ .කොල්ලුපිටියේ ඇලෝයි ඇවනිව් හි පිහිටි කාර්යාලය කේන්ද්‍රකරගනිමින් අරඹා තිබූ යුක්තිය පුවත්පත සති දෙකකට වරක් මුද්‍රණය කර බෙදා හැරියේය .ජන වාර්ගික සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය තේමා කර ගනිමින් සැකසුණු එකී පුවත්පතේ කර්තෘ මණ්ඩලයට ආධුනික ලේඛකයෙක් ලෙස මා සම්බන්ධ වූයේ වූයේ 1990 දශකයේ මුල් භාගයේදීය 1971 කැරැල්ලේ මහ නඩුවේ විත්තිකරුවෙකු වූ සුනන්ද දේශප්‍රිය එහි කතුවරයා වූ අතර පුවත්පත මුද්‍රණය කෙරුණේ 71 කැරැල්ලේ තවත් විත්තිකරුවෙකු වූ කෙලී සේනානායකට අයත් රත්මලානේ පිහිටි නවමග මුද්‍රණාලයේ ය. එය මුද්‍රණය කෙරුණේ මර්ජ් (ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා වූ ව්‍යාපාරය )ආයතනයේ ප්‍රකාශනයක් ලෙස ය .එහි ප්‍රධානත්වය දැරුවේ මෙරට ප්‍රකට සිවිල් සේවකයෙක් මෙන්ම විද්වතෙක් සහ සිවිල් සමාජ ක්‍රියාධරයෙකු වන චාල්ස් අබේසේකර මහතා ය .ඔහුගේ දියණිය සුනිලා අබේසේකර ඇතුළු මේ රටේ වාර්ගික සාමය වෙනුවෙන් පෙනී සිටි විද්වතුන් ,කලාකරුවන් ,ලේඛකයන් ,සමාජ ක්‍රියාකාරීන් ,බොහෝදෙනෙක් මේ ආයතනය සමඟ සම්බන්ධ වී සිටියේය .වාම පසුබිමක් සහිත පවුලක තරුණ ලේඛකයෙකු ලෙස ඊට සම්බන්ධ වූ මට කටයුතු කිරීමට සිදුවූයේ කර්තෘ සුනන්ද දේශප්‍රිය ,නියෝජ්‍ය කර්තෘ සී ජේ අමරතුංග ,ජෝ සෙනෙවිරත්න ,සීතා රංජනී ,මනෝ රන්ජන් චාල්ස් අබේසේකර ,සුනිලා අබේසේකර ,ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ,මහාචාර්ය සුමනසිරි ලියනගේ ,මහාචාර්ය ජයදේව උයන්ගොඩ ,වැනි විද්වත් ලේඛකයන් පිරිසක් සමඟය .
එසේම අප සමඟ සමීපව කටයුතු කළ s’s’a ත් සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ආචාර්ය නිව්ටන් ගුණසිංහ ඇතුළු පිරිස සහ කුමුදුනී සැමුවෙල් ,යුක්තිය පුවත්පතේ දෙමළ පුවත්පත වු සරිනිහර්,පුවත්පතේ සහෝදර දෙමළ සහෝදර මාධ්‍යවේදීන් සංහිඳියාව සොයා යන ගමනේ අපේ ගමන් සගයන් විය. යුද්ධයට සාමකාමී විසඳුමක අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටි පුවත්පත සහ අපි මේ රටේ දෙමළ ජනතාවගේ ගැටළුවට දේශපාලන විසඳුමක අවශ්‍යතාවය වෙනුවෙන් දිගටම පෙනී සිටියෙමු .එවකට පැවති පාලනයේ තිබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් සියල්ල අපගෙ නිර්දය විවේචනයට ලක් විය.යුක්තිය පුවත්පත මුද්‍රණය කළ නවමග මුද්‍රණාලය ගිනි තැබීය .නමුත් යුක්තිය වටා ගොනුවී සිටි සටන් සගයන් ඉන් නතර වූයේ නැත .එදා පැවැති යුක්තිය පුවත්පත හුදු පත්තරේක සීමාමායිම් අතික්‍රමණය කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් ,විකල්ප මතධාරීන් කලාකරුවන් ,විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් ,ඒකරාශී කළ මධ්‍යස්ථානයක් විය .ඊට සමගාමීව බිහිවු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ඊට සම්බන්ධ වූ මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරකම්වලට තිඹිරිගෙය වූයේ යුක්තිය පුවත්පත් කාර්යාලයයි . ඊට එදා සම්බන්ධ වූ අදටත් ජීවතුන් අතර සිටින මා මිත්‍ර මාධ්‍ය සගයන් ඊට සාක්ෂි දරනවා ඇත .”බියෙන් අත්මිදෙමු ” (freedom of fear) තේමාව කරගනිමින් යුක්තියෙන් ආරම්භ කළ සිවිල් සමාජ ව්‍යාපාරය උතුරේ සහ දකුණේ ඝාතන සංස්කෘතියට විරුද්ධව රට පුරා රැස්වීම් සම්මන්ත්‍රණ සංවිධානය කරමින් කටයුතු කළේය .මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා .යාපනය විශ්ව විද්‍යාලයේ රාජිණී තිරාණගම ,ඝාතනය හෙළා දකිමින් ඔවුන් සැමරීම උදෙසා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ,සිවිල් සමාජ ක්‍රියාකාරීන් විපක්ෂයේ දේශපාලඥයන් රිචඩ් ද සොයිසාගේ මිනිය ගොඩ ගැසූ මොරටුව කොරලවැල්ලේ සිට කොළඹ විහාර මහා දේවි උද්‍යානය දක්වා පැමිණි ඓතිහාසික පා ගමන පැවැති පාලන තන්ත්‍රයට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල පහරක් විය .විශාරද ගුණදාස කපුගේ කරුණාරත්න දිවුල්ගනේ ,ජයතිලක බණ්ඩාර දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ඇතුළු වාම ධාරාවේ කලාකරුවෝ ඝාතනයට විරුද්ධ ,සාමයට ලැදි ජනතාවගේ සිත් එසමයෙහි සැනසූ හ .නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ රට පුරා සංවිධානය කෙරුණු රැස්වීම්වලට කථිකයන් ඒකරාශී කරගනිමින් අදාල ස්ථාන වෙත ගෙන යෑමේ වගකීම මට පැවරින. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු එදා විපක්ෂ සියළු කණ්ඩායම් වේදිකාවට නොගත් නුගේගොඩ රැළිය සංවිධානය කිරීමේ වගකීම තිබුණේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයටය.මා ඇතුළු යුක්තියේ තරුණ කණ්ඩායම බොහෝ සෙයින් කැපවී කටයුතු කළේය .රැස්වීම සඳහා වූ අවසරය සහකාර පොලිස් අධිකාරි වරයාගෙන් මා විසින් ලබා ගත්තේ ඉතා පහසු කටයුත්තක් ලෙස නොවේ.ප්‍රේමදාස ජනාධිපති වරයාගේ ආණ්ඩුවෙන් ඉවත් වූ ලලිත් ගාමිණී දේශපාලන යුගල .සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප එදා නියෝජනය කළ කදවුර ඉදිරියට ගෙන යෑමට යටි බිම් තලයේ සිට ලබාදුන් සහාය කාටත් රහසක් නොවේ .එකී බලවේග,යුක්තිය පුවත්පත,රාවය,සිවිල් සමාජ කණ්ඩායම්.සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ දේශපාලන සම්ප්‍රාප්තියට මුල් බීජ වැපිරීය.එස් බී දිසානායක මංගල සමරවීර ඩිලාන් පෙරේරා වැනි චරිත සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අප සමූහය කළ සටන් වල මිත්‍ර පාර්ශවයන් විය.ලංකාවේ වාර්ගික ප්‍රශ්නයට.දේශපාලන විසඳුමක ඇති අවශ්‍යතාවය ඔවුන්ගේ දේශපාලනය න්‍යාය පත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වන්නේ ඉහත කී බලවේගයන්ගේ අනවරත අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බව සටහන් කළ හොත් එය අතිශයෝක්තියක් නොවන බව අදටත් දේශපාලනයේ නිරත ඔවුන් විසින් පිලිගන්නවා ඇතැයි සිතමි .
1994 ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ දේශපාලන ආගමනයත් සමග වාර්ගික සාමය උදෙසා බලය විමධ්‍යගත කිරීම,දූෂණය නාස්තිය අවම කිරීම සඳහා ක්‍රමවේදයන්හි ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරනු ඇතැයි විකල්ප ධාරාවේ මාධ්‍ය භාවිතයක යෙදුණු අප ඇතුළු බොහෝ පිරිසක් උපකල්පනය කළේ ය .එබැවින් අප මෙතෙක් කළ මාධ්‍ය කලාවේ වෙනසක් සඳහා ප්‍රවේශයක් ගත යුතු බව අප බොහෝ දෙනාගේ සාකච්ඡාවට බඳුන් විය.මෙම පරිකල්පනයන් සංවාදයන් ගේ අවසන් ප්‍රතිඵලය වූයේ 1994වසරේ.ලංකාදීප, දිවයින රාවය ,යුක්තිය ,ඇත්ත,පුවත්පත් වලින් පැමිණි මම සමන් වගආරච්චි ඇතුළු කණ්ඩායමක් විසින් ලක්බිම පුවත්පත ආරම්භ කරනු ලැබූයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමඟ සමීපව කටයුතු කළ මල් පත්තර කාරයෙක් ලෙස සමහරුන් හැඳින්වූ හැඳින් වූ බන්දුල පත්ම කුමාර මහතා සමඟය එය ලාංකීය පුවත්පත් ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස සටහන් කළ හැකිය. එය ආරම්භයේ සිටම ජනවාර්ගික සාමය වෙනුවෙන් පෙනී සිටියේය .ප්‍රාග්ධන හිමිකාරීත්වය කතෘවරයා එදා නියෝජනය කළ මතවාදය වාර්ගික සාමය උදෙසා කටයුතු කළ යුක්තිය පුවත්පතෙන් සහ ඇත්ත පුවත්පතෙන් පැමිණි මාධ්‍ය සගයන්ට මනා පිටිවහලක් විය .වාර්ගික සාමය උදෙසා ජනාධිපතිනි චන්ද්‍රිකා ආරම්භ කළ සුදු නෙළුම් ව්‍යාපාරය ට අප නොමසුරුව සහාය ලබා දුන්නෙමු. ඇය රටට ලබාදුන් පොරොන්දු කඩ කිරීම විවේචනය කරන අතරම ලක්ෂ්මන් කදිරගාමර් මහතා විදේශ ඇමැති ධුරයට පත් කිරීම ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා කළ පළමු කතාව ජනාධිපතිනියගේ දේශපාලන යෝජනාවලිය සාමය සදහා කළ සාකච්ඡා අගය කරමින් මා කරන ලද දේශපාලන විග්‍රහයන් ලක්බිම පුවත්පතේ පළවිය. ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශපාලන යෝජනාවලිය එක්සත් ජාතික පක්ෂය විසින් ජාතිවාදී දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කරගනිමින් පාර්ලිමේන්තු සභාගර්භයේ ගිනි තබා විනාශ කරද්දී පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ මා එය සියැසින් දැක බලා ගත්තෙමි. එය මේ රටේ වාර්ගික ප්‍රශ්නය අරභයා නරක පෙරනිමිත්තක් ලෙස මා පුවත්පතේ සටහන් කළෙමි.සාමයේ දූතිකාවක ලෙස පැමිණි ජනාධිපතිනිය ජාතික සහ ජාතිවාදී දේශපාලන බලවේගයන්ගේ ගොදුරක් බවට පත්වෙමින් වාර්ගික සාමය අමතක කර කර යුද්ධය දෙසට තල්ලූ වී යද්දී ඇයගේ දේශපාලන අතීතය සිහිපත් කර එය නොවිය යුතු දෙයක් ලෙස සඳහන් කරමින් මා ලිපි කිහිපයක් ලියා ඇත.සාමය වෙනුවෙන් පෙනී සිටි ලක්බිම සෑම විටම සාමයට සංහිඳියාවට බාධාවක් වන මිථ්‍යාවට ද එරෙහිව පෙනී සිටියේය.
අසාද්‍ය රෝගීන් සුව කරන බව පවසමින් දොළුකන්දේ හිමිනමක් විසින් ගංගා පවා පිරිත් පැන් කරන බවට රට පුරා මාධ්‍ය මගින් මිත්‍යාව වපුරද්දි දොළුකන්දේ බොරු කන්ද නමින් ලිපි මාලාවක් සපයමින් ජනමතය වෙනස් කරනු ලැබූයේ යුක්තියෙන් අපත් සමග පැමිණි මාධ්‍ය මිතුරෙකි.ජන වාර්ගික සාමය වෙනුවෙන් පෙනී සිටින සිංහල පුවත්පතකට පාඨක ආකර්ෂණය නැතැයි යන මිථ්‍යාව බිඳ එදා වැඩියෙන් අලෙවි වූ ලංකාදීප ඉරිදා සංග්‍රහයට සමාන වීමට ලක්බිම ඉරිදා පුවත්පතට හැකි විය. චන්ද්‍රිකාගේ පාලනය බලපෑම හේතුවෙන් බන්දුල පද්මකුමාර මහතා ප්‍රධාන කර්තෘ ධුරයෙන් ඉවත්ව ගියේය.අනතුරුව ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ වරයා ලෙස පත් වූයේ සිංහල ජාතිකවාදී පුවත්පතක් වූ දිවයින පුවත්පතෙන් ලක්බිම සම්බන්ධ වූ මාධ්‍ය සගයෙකි.සාමය වෙනුවෙන් මුල පටන් කටයුතු කළ මාගේ සහ ඇත්ත පුවත්පතේ සිට ලක්බිමට පැමිණි මිත්‍රයාගේ වැඩ තහනමට ලක් වූයේ .පැහැදිලි හේතු දැක්වීමකින් තොරව ය .කෙටි කලකින් දෙදෙනාම යළි සේවයට. කැඳවනු ලැබීය.මේ සිදුවීමෙන් දින කිහිපයකට පසු යුක්තියේ සිටි තවත් මාධ්‍ය මිත්‍රයෙක් ලක්බිම දිනපතා පුවත්පතට පැමිණියේය. එසමයෙහි ප්‍රධාන කර්තෘ ධූරය දැරූ ජේෂ්ඨ මාධ්‍යවේදී යාගේ කාර්යාලයට අප දෙදෙනා ගියවිට ඉතා සුහද ලීලාවෙන් අප පිළිගත් ඔහු කියා සිටියේ මේක සිංහල බෞද්ධ ජාතික පත්තරයක් උඹලගෙ එන් ජී ඕ ලයින් මේකට හරියන්නේ නැහැ පරිස්සමෙන් වැඩ කරගෙන පලයල්ලා.යනුවෙනි රාජ්‍ය නොවන සංවිධාන සමග කිසිදු සබඳතාවයක් නොතිබූ අප දෙදෙනා සිනාමුසු ව ඊට පිළිතුරු දුන්නා පමණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ බලයට පත්වී මූලික සාම සාකච්ඡාවලින් පසු යුධමය විසඳුමකට අවතීර්ණ විය .අතුරු සන්නද්ධ කල්ලි වැඩ පටන් ගත්තේය .බොහෝ මාධ්‍ය සගයන් ඒවායේ ක්‍රියාකාරීත්වය අගයද්දි ඊට එරෙහිව මා ලියූ ලිපියක් මගේ නමින් පළ කිරීම සුදුසුදැයි අලුතෙන් පැමිණ සිටි කතුවරයා මගෙන් විමසීය .කමක් නැතැයි මා කිවූ පසු එය පළ විය .දේශපාලන අවශ්‍යතා මත බිහි කරන එවැනි අතුරු සන්නද්ධ කල්ලි කිසියම් නිශ්චිත මොහොතක එම අධිකාරී බලය ග්‍රහණයෙන් මිදී තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් කටයුතු කිරීමට තිබෙන ඉඩකඩ එම ලිපිය මගින් මා පෙන්වා දී තිබිණ .88 89 භීෂණ සමයේ අත්දැකීම් සංසන්දනය කරමින් මා එම ලිපියේ ලියා ඇත .. එම කල්ලි බිහි වූ මුල් යුගයේ මා තබන ලද එම සටහන එම කල්ලි වල පසුකාලීන ක්‍රියාකාරීත්වය විසින් සනාථ කරන ලදී .මා විසින් එසමයෙහි රචිත කිසිදු ලිපියක එල්ටීටීඊ සංවිධානය සංවිධානයේ ක්‍රියාකාරකම් සාධාරණීකරණය කළේ නැත .එය දෙමළ ජනතාවගේ විමුක්තිය උදෙසා වන ව්‍යාපාරයක් නොව ෆැසිස්ට් ගති ලක්ෂණ සහිත සංවිධානයක් ලෙස මා අර්ථකථනය කර ඇත . ලක්බිම පුවත්පතේ මා ප්‍රවෘත්ති කර්තෘ වරයා ලෙස කටයුතු කරන සමයේ යුධ ආවරණ කටයුතුවල යෙදුණු නවක මාධ්‍යවේදීන් එය උත්කර්ෂයට නංවමින් සෙසු ජාතීන් ගර්හාවට ලක් කරමින් ලේඛන කටයුතුවල යෙදෙනවිට ජාතීන් අතර සහජීවනය ඇති වටිනාකම් ඔවුනට අවබෝධ කර දීමට මුළුමනින්ම අපතේ ගියා යැයි අදටත් නොසිතේ .
ජනාධිපතිවරයා ආවරණය කිරීමට ,යුද්ධය ආවරණය කිරීමට ,අමාත්‍යාංශ ආවරණය කිරීමට ,මා විසින් යොදවන ලද මාධ්‍යවේදීන් ,වගකිව යුත්තේ තමන්ගේ ප්‍රවෘත්ති කර්තෘවරයාට වුවත් තමන් වගකිව යුත්තේ ඉහත සඳහන් පාර්ශව වලට යැයි සිතා කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් සමඟ කටයුතු කිරීම දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් විය .මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වූයේ එක්තරා රාත්‍රියක මා මුහුණ දුන් බිහිසුණු අත්දැකීමකි .එම සිදුවීමෙන් පසු මා හමුවීමට පැමිණි සුනන්ද දේශප්‍රිය සනත් බාලසූරිය ,පෝද්දල ජයන්ත ,මංජුල වෙඩිවර්ධන ඇතුළු මාගේ මාධ්‍ය මිතුරන් ආරක්ෂිත නිවස්නයක් කොළඹින් මා වෙත ලබාදීමට මාගේ කැමැත්ත විමසීය .මා එය කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි .මා සම්බන්ධයෙන් පැවති පාලන තන්ත්‍රයට කිසියම් ගැටලුවක් තිබුණේ නම් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම මට එදා තිබූ හැකියාව නිසා මා ඉහත තීන්දුව ගතිමි . මුස්ලිම් විරෝධයක් රටතුළ ජනිත කිරීම සඳහා සිංහල ජාතිවාදී කණ්ඩායම් කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයා සිංහල කාන්තාවන් වඳ භාවයට පත් කරන බවට චෝදනා කරද්දී ප්‍රධාන ධාරාවේ සියලු මාධ්‍ය ඔවුන් සමඟ සහ සම්බන්ධ විය .නමුත් මාගේ කතෘත්වයෙන් යුත් ලක්බිම පුවත්පත එකී මිථ්‍යාවට එරෙහිව විද්‍යාත්මකව අදාල තත්වයන් රටට පැහැදිලි කළේය .යුද්ධය අවසන් වූ නමුත් රටේ වාර්ගික සංහිඳියාවට දේශපාලන විසඳුමක ඇති අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමට ලක්බිම අවසන් මොහොත දක්වාම කටයුතු කළේය . සියයට සියයක් නොවූවත් උපරිම ලෙස ජනමාධ්‍ය ආචාරධර්ම රකිමින් මාධ්‍ය භාවිතාවක යෙදෙන්නට ප්‍රධාන කතුවරයා ලෙස මා ගත් උත්සාහය පිළිබදව යහපත් මාධ්‍ය භාවිතයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් අවධානය යොමු කළ පාඨකයන්ල මාධ්‍ය නිරීක්ෂණ සහ නියාමන ආයතන, මාධ්‍ය පර්යේෂකයන් සහ ශාස්ත්‍රායලීය උගතුන් හට අවබෝධයක් මෙන්ම තක්සේරුවක් ඇතැයි සිතමි.
A Journalist’s Long Quest For Peace During The War And After
யுத்தத்துக்கு மத்தியில் சமாதானத்தைத் தேடிச் சென்ற இருபத்தி எட்டு வருடங்கள்