Uncategorized

‘මෝරා‘ නම් සමුද්‍ර පාලක නිලධාරියා!

මහේශ්වරී විජයානන්දන්

සෑම වසරකම ජූලි 14 වැනිදා ‘ලෝක මෝරුන් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය‘ සමරනු ලැබේ. මෝරුන්ගේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමුද්‍ර ජීවී සහ සමුද්‍ර පරිසර සංවිධාන විසින් එම දිනය නම් කර තිබේ. මෝරුන්ගේ පැවැත්ම සහ සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීමටත් මෙම ආකර්ෂණීය ජීවීන් පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමට සහ ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියා කිරීමටත් එමගින් දිරිගැන්වේ.

සමුද්‍ර පරිසර පද්ධතිවල සමතුලිතභවය පවත්වා ගැනීමටත්, සමුද්‍ර ආහාර දාමයේ නීරෝගීබව හා තිරසාරභාවය තහවුරු කිරීමටත් මෝරුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බැවින්, ඔවුන් වඳවී යාමේ තර්ජනයෙන් ආරක්ෂා කිරීම මිනිසාගේ යුතුකමක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලංකා දූපත ආශ්‍රිත සමුද්‍ර කලාපය විවිධ වර්ගයේ මෝරුන්ගේ නිවහනක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය මෝරුන් වැඩි වශයෙන් ජීවත්වන වාසස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත. විශේෂයෙන් ත්‍රිකුණාමලය අවට ප්‍රදේශයෙහි පොහොසත් සමුද්‍ර ජෛව විවිධත්වය සහ ගැඹුරු ජලය හේතුවෙන් මෝරුන්ගේ වාසස්ථාන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී ඇත.

මෝර විශේෂ 60ක් ශ්‍රී ලංකාවේ

මෙහි ඇති කොරල්පර, මෝරුන් ඇතුළු සාගර ජීවීන් රැසකට වාසස්ථාන සපයයි. ශ්‍රී ලංකා මුහුදේ මෝර විශේෂ 60ක් හඳුනාගෙන ඇත. එයින් 12ක් විශේෂිත වන අතර එම මෝර විශේෂය ‘Silky shark’ යනුවෙන් හැඳින්වේ. 

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන කාර්යාංශය (NARA) විසින්  2015 වසරේ සිදුකළ පර්යේෂණයකට අනුව මෝරුන් වැඩි වශයෙන් හසුවන්නේ බේරුවල සහ මීගමුව වැනි වෙරළාසන්න ප්‍රදේශවල බව අනාවරණය විය. කෙසේ වෙතත්, සාගර ජීවීන් සම්බන්ධ අධ්‍යයනවලින් පෙනී යන්නේ ත්‍රිකුණාමලය අවට මුහුදේද දුර්ලභ මෝරුන් විශේෂ කිහිපයක් සොයාගත හැකි බවයි.

දේශගුණය, ජල උෂ්ණත්වය සහ ගොදුරු ලබා ගැනීමේ හැකියාව වැනි සාධක එම මුහුදු ප්‍රදේශය මෝරුන්ට හිතකර වීම කෙරෙහි හේතු වී ඇත. කෙසේ වෙතත්, මෝරුන්ද ඉතා සංක්‍රමණික මත්ස්‍ය විශේෂයකි. ආහාර සහ ආරක්ෂාව ඇතුළු බොහෝ හේතු නිසා ඔවුන් නිතර සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් ඇත. මේ නිසා මෙම ප්‍රදේශයේ මෝරුන් අධිකව සිටින බවට සහතික කිරීමට අපහසු වේ.

කෙසේ වෙතත්, හික්කඩුව සහ මිරිස්ස දකුණු වෙරළ තීරයේද මෝරුන් දැකිය හැකිය. නමුත් ඉහත කී ප්‍රදේශ දෙකම කිමිදීම සහ ස්නෝකර්ලිං වැනි සමුද්‍ර ක්‍රීඩා සඳහා ජනප්‍රිය ස්ථාන බැවින් මෙම ප්‍රදේශවල සිටින මෝරුන්ගේ සංඛ්‍යාව සහ මෝර විශේෂයන් ප්‍රමාණය ත්‍රිකුණාමලය මුහුදට වඩා වෙනස් විය හැකි බවද පෙන්වා දී ඇත. 

ලොව ආරක්ෂා කළ යුතු සාගර ජීවී විශේෂයක් වන මෝරුන් අද ගෝලීය වශයෙන් තර්ජන රැසකට මුහුණ දී සිටී.

මෝරුන් පහර දෙන දරුණු මත්ස්‍ය විශේෂයක් බවට ප්‍රචලිත අදසක් ඇතත්, ශ්‍රී  ලංකාව තුළ මිනිසුන්ට මෝරුන් ප්‍රහාර එල්ල කළ අවස්ථා වාර්තා වී නොමැත. මෝරුන් අතරින් මහා සුදු මෝරා සහ බුල් මෝරා තරමක් දරුණු බව පැවසේ. එම මෝර විශේෂයන් ශ්‍රී  ලංකා මුහුදු සීමාවේ සිටින බවට මෙතෙක් අනාවරණය වී නොමැත. එවැනි මෝරුන් පැසිෆික්, අත්ලාන්තික්, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව ආසන්න මුහුදේ  දක්නට ලැබේ. ලංකාවේ මුහුදු තීරයේ සුදු මෝරුන් විශේෂ දක්නට ලැබෙන අතර ඔවුන් ඉතා අහිංසක මත්ස්‍ය විශේෂයක් ලෙස සලකනු ලැබේ. 

මරු කැඳවන මෝර වරල!

මෝරුන් වැඩි වශයෙන් ඉලක්කගත වන්නේ මෝර වරල් (shark fin)  ලබාගැනීම සඳහාය. මෝර වරල් සඳහා වාණිජ වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතී. මෝරුන් අල්ලා ඔවුන්ගේ වරල් කපා අනෙකුත් ශරීර කොටස් මුහුදට විසි කර දමනු ලැබේ. වරල් සඳහා අධික ලෙස මෝරුන් මරා දැමීම පාරිසරික සමතුලිතතාවට අහිතකර ලෙස බලපානු ලබයි.

.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට අනුව වරල් සඳහා වසරකට මෝරුන් මිලියන 26ත් 70ත් අතර ප්‍රමාණයක් මරා දමනු ලැබේ.

මෝර වරල්වලින් සාදන ලද සුප් වර්ගයට ආසියානු රටවල ඉහළ ඉල්ලුමක් පවතින අතර මෝර වරල් ආනයනයෙන් සියයට 90ක්ම සිදුකරනු ලබන්නේ චීනය, හොංකොං, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල්ය. කෙසේ වෙතත්, චීනයේ මෝර වරල් සුප් පරිභෝජනය අඩු වී ඇති අතර, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව සහ මැකාවු යන රටවල මෝර වරල් සුප් පරිභෝජනය ඉහළ ගොස් ඇති බව වෙබ් අඩවිය තවදුරටත් වාර්තා කරයි.

මෝර සුප් මෙතරම් ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුව වන්නේ “මෝර සුප් පානය කිරීමෙන් තරුණ බව රැකගත හැකි” බවට ජනතාව තුළ විශ්වාසයක් පැවතීමයි. මේ නිසා බොහෝ මෝරුන් දඩයම් කර වරල් ඉවත් කර සුප් සෑදීමට යොදා ගනී. එහෙත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෝර සුප් පානයෙන් තරුණ වේය යන තර්කය විද්‍යාත්මකව ඔප්පු කර නොමැති බවයි.

මෝරුන් මුහුණ දෙන තර්ජන

මෝරුන් මුහුණ දෙන තවත් ප්‍රධාන තර්ජනයක් වන්නේ වාසස්ථාන අහිමි වීමයි. කොරල්පර, වගුරු බිම් සහ මුහුදු තෘණ පාත්ති වැනි මෝරන්ගේ වාසස්ථාන විනාශ කිරීමද මෝරුන්ට තර්ජනයකි. මෙය මෝරුන්ගේ ආහාර, ප්‍රජනනය සහ වාසස්ථාන කෙරෙහි අහිතකර ලෙස බලපානු ලැබේ.

මෝරුන්ගේ ජීවන චක්‍රය ඉතා විශාලය. ඔවුන්ගේ ජීවන චක්‍රය වසර 100ක් පමණ වේ. ඔවුන් වසරකට වරක් හෝ වසර දෙකකට වරක් පැටවුන් බිහි කරන බව පැවසේ. මෝරුන්ගේ පරම්පරා වර්ධනයට එයද විශාල ගැටලුවක් ලෙස සැලකිය හැකිය. 

එමෙන්ම, වෙරළ සංවර්ධනය සහ සමුද්‍ර දූෂණයද මෝරුන්ට තර්ජනයකි. විශේෂයෙන්ම මුහුදේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා මෝරුන් මිය යාමේ අවදානමක් ඇත.

සාගර උෂ්ණත්වය ඉහළ යෑම ඇතුළු දේශගුණික විපර්යාස සහ ධීවරයින් විසින් වැරදීමෙන් අල්ලා ගැනීම් නිසා මෝරුන් අහාරයට ගන්නා ගොදුරු, මෝරුන්ගේ වාසස්ථාන සහ සංක්‍රමණ රටා කඩාකප්පල් වීම සිදුවේ. මෙම සාධකවල වෙනස්වීම් මෝර ගහණයේ සහ ඔවුන් අහාරයට ගන්නා ගොදුරු ගතිකයේ වෙනස්කම්වලට හේතු විය හැක.

මෝර වරල් වෙළඳාමට අමතරව, මෝර අක්මාව, තෙල්, සම, දත් සහ කාටිලේජ සඳහා වෙළඳපොළවල ඉහළ ඉල්ලුමක් පවතින අතර, මෙම සම්පත් අඛණ්ඩව සූරාකෑම මඟින් මෝරු ගහනය තවදුරටත් ක්ෂය කරයි.

මෝරුන් ආරක්ෂා කර ගත යුත්තේ ඇයි?

සාගර පරිසර පද්ධතිවල සමතුලිතතාව සඳහා මෝරුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෝරා සාගරයේ බලවතෙකු ලෙස ක්‍රියා කරයි. කුඩා මත්ස්‍යය ප්‍රගුණනය පාලනය කිරීමට මෝරුන් සිටීම අවශ්‍ය වේ.

මෝරුන් ගහනය අඩු වන විට මෝරුන් ආහාරයට ගන්නා කුඩා මත්ස්‍යයින් ගහනය වැඩි වේ. එසේ වුවහොත් කුඩා මසුන් ආහාර ලෙස ගන්නා සාගර ශාක විනාශ වී යනු ඇත. එසේ විනාශ වීම නිසා කුඩා මත්ස්‍යයන්ගේ  ආහාර අවශ්‍යතා සපුරාලීමේදී යළිත් ගැටලුවක් මතු වේ. මේ නිසා කුඩා මත්ස්‍යයන් පවා ආහාර අර්බ‍ුදයකට මුහුණ දෙන අතර ඔවුන්ද විනාශ වී යනු ඇත. මේ අනුව සාගර සමතුලිතතාව සඳහා මෝරු වැදගත් කාර්යභාරයක් ඉටු කරති. අනෙකුත් මසුන් හා සසඳන විට මෝරුන් ගණන අඩුය. මෝරු ආහාර පිරමීඩයේ ඉහළින්ම සිටිති. ඔවුහු ඉතිරිය පාලනය කරති. අපි මෝරුන් ආරක්ෂා කළ යුත්තේ මේ හේතුව නිසා ය.

මෝරෙකුගේ ජීවන චක්‍රය 

මෝරෙකුගේ ජීවන චක්‍රය අති විශාලය. මෝරාගේ ජීවන චක්‍රය වසර සිය ගණනක දීර්ඝ කාලයක් පවතිනු දක්නට ලැබේ. මේ අනුව සාගර ප්‍රදේශයකින් මෝරුන් ඉවත් කළහොත් හෝ විනාශ කළහොත් ඔවුන් නැවත ජනාවාස වීමට වසර 100ක් පමණ ගත විය හැකිය. අවම වශයෙන් අවුරුදු 50, 60ක් හෝ ගත විය හැකිය. එමඟින් වැටහෙන්නේ කුඩා මත්ස්‍යයන්ට සමාන වේගයකින් මෝරුන් අල්ලාගැනීම සිදු වුව හොත් පරිසර පද්ධතියේ සමතුලිතතාවට බලපෑම් එල්ල වනු ඇති බවය.

මෝරුන්ගේ වැදගත්කම සහ ඔවුන්ගේ සංරක්ෂණය පිළිබඳ සීමිත දැනුවත්භාවය, රෙගුලාසි සහ කළමනාකරණ ක්‍රියාමාර්ග නොමැතිකම හෝ ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොකිරීම මෝරුන් මුහුණ දෙන තර්ජන උග්‍ර කරයි.

ශ්‍රී   ලංකාවේ මෝර සංරක්ෂණය සහ නීති 

ශ්‍රී   ලංකාවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන කාර්යංශය (NARA) යනු සමුද්‍ර ජීවීන් ආරක්ෂා කරන රාජ්‍ය ආයතනයකි. එම ආයතනයෙන් මෙහෙයවනු ලබන ව්‍යාපෘති හරහා මෝරුන් සම්බන්ධ සියලු තොරතුරු එක්රැස් කර මෝරුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු පියවර ගනු ලැබේ.

ශ්‍රී ලංකාවේ මෝර විශේෂ 5ක් ඇල්ලීම තහනම් කොට ඇත. එම නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගද ගනු ලැබේ.

සමස්තයක් වශයෙන් ගත්  කල, සමුද්‍ර පරිසර පද්ධතිවල පාරිසරික අඛණ්ඩතාව පවත්වා ගැනීම, තිරසාර ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ දේශීය ආර්ථිකයන් උත්තේජනය කිරීම සඳහා මෝරුන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. ඔවුන්ගේ වටිනාකම හඳුනාගෙන සංරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන්, අපට මෝරුන් ආරක්ෂා කර ගත හැකි අතර සමුද්‍ර පරිසර පද්ධතියෙහි සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා මෝරුන් ඉටු කරන වැදගත් කාර්යභාරයටද අපට දායක විය හැකිය.

තොරතුරු සැපයීම :

උදේශික විමලසිරි, සාගර විද්‍යා ආයතනයේ සමුද්‍ර පරිසර විද්‍යාඥ

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts