මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ සුජාත භාවය
ධනංජය දීඝායු
අප ජීවත් වන්නේ ගෝලීය වශයෙන් දියුණු දේශපාලන සංස්කෘතියක් තුළය.එකි දියුණු අංගයන්ගෙන් ලාංකිය සමාජ දේශපාලන දේහය පොහොසත් කරන ලෙස ඉල්ලා අරගලයක් දියත්ව ඇති මොහොතක මෙකි ප්‍රස්තු මාතෘකාව සුවිශේෂි වැදගත් කමක් දරයි. ලෝකයේ විවිධ පාලන ක්‍රමයන් තිබුණද අද වන විට ලෝකය ඉදිරියේ සුජාත භාවය අත්පත් කර ගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමය පමණක්ය. ප්‍රජාතන්ත්‍රවාදයේ අක්මුල් පැරණි ග්‍රීක සභ්‍යත්වය දක්වා විහිදී ගියද එය පාලන ක්‍රමයක් වශයෙන් සුජාත භාවයක් අත්පත් කර ගන්නේ විශේෂයෙන් නූතන යුගයේදී ය. නුතනත්වය පිළිබඳව වන සාකච්චාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳව වන කියවීම මඟ හැර යා නොහැක. අනික් අතට ප්‍රජාතන්ත්‍රවාදය විෂයෙහි එක් මඟ හැර යා නොදෙන මාතෘකාවක් වන්නේ මූලික අයිතිවාසිකම් ය. එපමණක් නොව මූලික අයිතිවාසිකම් පිළිබඳව සාකච්චාවක් ගොඩ නගා ගැනීම වර්තමාන නිශ්චිත දේශපාලන මොහොත සම්බන්දයෙන් ගත් කල්හිද අතිශය තීරණාත්මකය. එයට හේතුව වන්නේ වර්තමාන දේශපාලන තත්වය විසින් මූලික අයිතිවාසිකම්වල වැදගත්කම නැවත නැවතත් ඒත්තු ගන්වන හෙයිනි. එහෙත් ආරම්භයේදිම ප්‍රකාශ කළ යුත්තේ මෙම ලියවිල්ල එක් ලිපියකින් අවසාන වන්නක් නොවන බවත් ය.
මෙහිදී මා මෙම ලිපිය තුළදී මූලික වශයෙන් උත්සුක වන්නේ මූලික අයිතිවාසිකම් යන්න පැහැදිලි ලෙසින් නිර්වචනය කර ගැනීමත් මූලික අයිතිවාසිකම් වල වර්ධනයේ එක් එක් ඓතිහාසික සන්දිස්ථානයන් පිළිබඳ දළ පැහැදිලි කිරීමක් ලබා දීමටත්ය.
මූලික අයිතිවාසිකම් යන්න ප්‍රථමයෙන් අප පැහැදිලි ලෙසින් නිර්වචනය කර ගත යුතුව ඇත. මෙහිදී අපට මූලික ඓතිවාසිකම් පිළිබඳව වන නිරපේක්ෂ නිර්වචනයකට වඩා සාපේක්ෂ නිර්චනයකට යෑම අතිශය වැදගත් වෙයි. එයට හේතුව වන්නේ සමාන අර්ථ ඇතැයි හැඟෙන සංකල්පයන් දෙකක් වන,
1 මානව හිමිකම්
2 මූලික අයිතිවාසිකම්
සැබවින්ම සමාන අර්ථයන් උසුළන්නේ නැති වීමය.
මනුෂ්‍යයෙකු වීම නිසාම යමෙකුට හිමිවන අයිතිවාසිකම් මානව හිමිකම් ලෙස අර්ථ ගැන්වෙයි. එනිසාම එය අර්ථයෙන් පුළුල් ස්වභාවයක් ගනී. වෙනත් ලෙසකින් ප්‍රකාශ කරන්නේ නම් මනුෂ්‍යයෙකුට ගෞරවයෙන් හා නිසි නිදහසින් යුක්තව ජීවත් වීමට අවශ්‍ය පරිසරය සාදා දෙන විශ්වීය වශයෙන් පිළිගන්නා ලද හිමිකම් මානව හිමිකම් නම් වෙයි. එනිසාවෙන්ම නෛසර්ගිකවම මානව හිමිකම් යන්න නිශ්චිත නොවේ. එහි ඇත්තේ සංකල්පීය බවකි. මානව හිමිකම් නැමැති සංකල්පයෙන් ආවරණය වන පාත්‍රයා වනාහි සියලුම මනුෂ්‍යයෝය. එකම කොන්දේසිය වන්නේ මනුෂ්‍යයෙකු වීමය. සංකල්පීය වශයෙන් දේශසීමා, ජාති බේද, ආගම් බේද හා කුළ බේද, වර්ණ බේද ඇතුළු සියලුම ආකාරයේ බෙදීම් ප්‍රතික්ෂේප කරයි. එමෙන්ම මානව හිමිකම්වල මූලික පදනම වන්නේ ගෞරවයෙන් යුතුව ජීවත් වීමේ අයිතියයි.නුතන ලාංකීය සමාජය තුල නිර්මාණය වෙමින් තිබෙන අර්බුදයේ ගර්භාෂය තුල වර්ධනය වෙමින් තිබෙන කළලය විසින් ඉල්ලා සිටිනු ලබන්නේද ගෞරවනිය මිනිස් ජිවිතයකි.
කෙසේ නමුත් මූලික අයිතිවාසිකම් මානව හිමිකම් වලින් තරමක වෙනස් වෙයි. මූලික අයිතිවාසිකම් යනු යම් රටක ව්‍යවස්ථාව හෝ මූලික නීතිය මඟින් පිළිගනු ලබන එමෙන්ම එම රටෙහි අධිකරණය විසින් බලාත්මක කරනු ලබන අතිශය මූලික වන නිශ්චිත අයිතීන් සමූහයකි. ඒවා නිශ්චිතය. එමෙන්ම ඒවා එක් එක් රටට අනන්‍ය ලෙස වෙනස් වෙයි. උල්ලංඝනය වුවහොත් එම රටෙහි අධිකරණය හරහා බලාත්මක කරවා ගත හැකිය. මූලික අයිතිවාසිකම් වල මූලික පදනම වන්නේ නිදහස පිළිබඳ අයිතියයි. නමුත් එකී මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සීමාකම් අදාල රටෙහි මූලික නීතිය තුළ අන්තර්ගත වෙයි. එනම් මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ එක්තරා සිමාවකට පමණි. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය කෙරෙහි අවධානය යොමු කළ හැකිය. 10 වෙනි වගන්තියේ සිට 17 වන වගන්තිය දක්වා ඇත්තේ මූලික අයිතිවාසිකම් සම්බන්දයෙන් අදාල වන ප්‍රතිපාදනයන්ය. 10 වෙනි වගන්තියේ සිට 14 වගන්තිය දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සුරක්ෂිත කිරීමට අපේක්ෂිත මූලික අයිතිවාසිකම් මොනවාද යන්න නිශ්චිත ලෙස දක්වයි. ඉන් අනතුරුව 15 වෙනි වගන්තිය මූලික අයිතිවාසිකම් විෂයෙහි ඇති සීමාකම් පිලිබඳව දක්වයි. එමෙන්ම ඉන් අනතුරුව 17 වන වගන්තිය සමඟ කියවිය යුතු 126 වගන්තිය මඟින් මූලික අයිතිවාසිකම් බලාත්මක කර ගත හැකි ආකාරය අවධාරණය කෙරෙයි.
මූලික අයිතිවාසිකම් ඓතිහාසික ලෙසින් වර්ධනය වන්නේ මානව හිමිකම් ලෙසින්ය. වර්තමානය වන විට මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් යනුවෙන් වෙනස්කම් තිබුණද මුල් කාලීනව පැන නැගෙන්නේ මානව හිමිකම් වශයෙන්ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් මානව හිමිකම් නැමැති කුළකයේ උපකුළකයක් ලෙස මූලික අයිතිවාසිකම් හැඳින්වීමට හැකි බවයි. එනිසාම මූලික අයිතිවාසිකම් වල ඉතිහාසය මානව හිමිකම්වල ඉතිහාසයම වීම වැලැක්වීමට නොහැක්කකි. එහෙත් ඒ මානව හිමිකම් තුළින් මූලික ඓතිවාසිකම් නැමැති උපකුලකය ඛන්ඩනය වන තෙක් ඉතිහාසයයි. එහෙත් තනි තනි රාජ්‍යයන් තම තමන්ගේ මූලික නීතින් තුළ මූලික ඓතිවාසිකම් අන්තර්ගත කරමින් බලාත්මක කරන්නට පටන් ගැනිමෙහි පටන් මූලික අයිතිවාසිකම්වලටම අනන්‍ය වන ඉතිහාසය නිර්මාණය වෙයි.
හින්දු වේද ග්‍රන්ථ, බැබිලොනියානු හමුරාබිගේ නීති කෙටුම්පත්,බයිබලය, කුරාණය හා කොන්ෆියුසියස් ධර්මය යන මූලාශ්‍රයන් තුළ සාමූහික ජීවිතයක් ගත කරන මිනිසා නැමැති සමාජ සත්වයා විසින් තමන් අයත් වන සමාජ කණ්ඩායමට ඉටු විය යුතු යුතුකම්වල ස්වරූපයෙන් මානව හිමිකම්වල පූර්ව සංකල්පයන් හඳුනාගෙන ඇත. මේවායෙහි ඇත්තේ තනි තනි පුද්ගලයින් වශයෙන් අනෙකා වෙනුවෙන් මිනිසා බැඳී සිටින වගකීම් හා යුතුකම්ය. එම යුතු කම් ඉටු කිරීමෙහි හරය වන්නේ අනෙක් පුද්ගලයන්ගේ හිමිකම් වක්‍රාකාරව පිළිගැනීමයි.
එහෙත් මධ්‍යතන යුගයේ අවසාන කාලයේ සිට ඉතා ක්‍රමවත් හා ආගමික සංස්ථාපිතයන්ගෙන් ක්‍රම ක්‍රමයෙන් විතැන් වෙමින් මානව හිමිකම් පිළිබඳව වන ප්‍රකාශනයන් සංස්ථාපනය වන්නට විය. මෙහිදි ක්‍රි.ව. 1215 දී ලියවුණු මැග්න කාර්ටා (Magna Carta) ලියවිල්ල අතිශය වැදගත් වෙයි. මැග්න කාර්ටා (Magna Carta) යන්නෙහි තේරුම විශිෂ්ට ප්‍රඥ්ප්තිය යන්නයි. ලෝක ඉතිහාසයේ පළමු වතාවට සියලු දෙනා නීතියට යටත්ය යන අදහස තහවුරු කිරීමම මෙහි ඇති වැදගත්කමයි. එනම් මානව හිමිකම්වල මූලිකම සංකල්පයක් වන සමානාත්මතාවය පිළිබඳ අදහස වර්ධනය වීමෙහි ලා ඇත්තේ විශාල වැදගත්කමකි. රජවරුන් පවා නීතියට යටත් බවත් සියලුම තනි තනි පුද්ගලයන්ට නීතිය ඉදිරියේ පෙනී සිටීමටත් සියලු දෙනාටම සාධාරණ විනිශ්චයක් ලැබීමේ අයිතියක් ඇති බවත් පළමුවරට ප්‍රකාශ වන්නේ මෙතුලින්ය.
එමෙන්ම The English Bill of Right යනු ද මානව හිමිකම් සම්බන්ධයෙන් වන වැදගත් වන ලියවිල්ලකි. එංගලන්ත රාජාණ්ඩුව වෙනුවට එංගලන්ත පාර්ලිමේන්තුවට බලය ලබා දෙන ව්‍යවස්ථාපිත ලේඛනය වීමම මෙහි මානව හිමිකම් සම්බන්ධයෙන් වන වැදගත්කම තහවුරු කරන්නකි. ක්‍රි ව 1688-1689 අතර කාලයේ සිදු වූ එංගලන්ත විප්ලවයෙන් පසු එවකට එංගලන්තයේ සම රජවරුන් බවට පත් වූ දෙවන මේරි හා තුන්වන විලියම් විසින් ඇති කර ගන්නා ලද ගිවිසුම ප්‍රකාරව මෙලෙස එංලන්තයේ රාජාණ්ඩුව පාර්ලිමේන්තුවට යටත් කිරීම සිදු කරන ලදී. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ස්ථාපනය වීම කෙරෙහි දක්වන්නේ සුලුපටු වැදගත්කමක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වීමම මානවහිමිකම් පිළිබඳ වන වර්ධනයෙහි දක්වන්නේ විශාල වැදගත්කමකි. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව හා මානව හිමිකම් පිළබඳ පනතද උසුළන්නේ සුවිශේෂි වැදගත් කමකි.
ඉහත කී පනත් විශේෂයෙන්ම අපට මෙහිදී වැදගත් වන්නේ එකී පනත් හෝ ලියවිලිවල අන්තර්ගතය නිසා නොව එකි පනත් හෝ ලියවිලි මඟින් මානව හිමිකම් සම්බන්ධයෙන් වන ගෝලීය පිළිගැනීම හෝ ඒ සම්බන්ධයෙන් වන ආදර්ශය ගෝලීය වශයෙන් සැපයීමට සමත් වන නිසාය. අනෙක් අතට ගෝලීය දේශපාලන හා ආර්ථික තත්වයන් විසින් බලකරමින් තිබුණේ මානව හිමිකම් පිළිබඳ වන ගෝලීය ප්‍රවේශයකි. නූතනවාදී ලෝකය තුළ නිදහස් මිනිසා බිහි කර ගැනීමේ කාර්යයෙහි මූලික පියවර තැබෙන්නේ මේ ලෙසිනි. එහෙත් මෙකී ලේඛන හා පනත් වල ඇති අන්තර්ගතය දෙස බැලිය යුත්තේ සමස්තයක් වශයෙන් මිස එහි අන්තර්ගතය එකිනෙක වගන්ති වශයෙන් ගෙන නොවේ. එයට හේතුව වන්නේ මධ්‍යතන පසුගාමී ලෝකය විසින් අපට දායාද කොට තිබූ පසුගාමි චින්තනයේ නෂ්ටාව ශේෂයන්ගෙන් මෙකී ලියවිලි ද සම්පූර්ණයෙන් මිදී නොතිබීමයි.
මානව හිමිකම් ඓතිහාසිකව වර්ධනය වීමෙහී ඊළඟ තීරණාත්මක කඩඉම වන්නේ 20 වන සියවසයි. 20 වන සියවසෙහි මුල් දශක දෙක තුළ සිදු වන පළමුවන ලෝක යුද්ධයේ ප්‍රථිඵලයක් ලෙසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා ජාතීන්ගේ ලීගය නිර්මාණය වෙයි. ලෝක යුද්ධයෙන් සිදු වූ මානව හිමිකම් කඩවීම් නැවතත් සිදු නොවීමට අවශ්‍ය පරිසරය සාදා ගැනීම මෙහි අරමුණ වෙයි. එමෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසුව මානව හිමිකම් පිළිබඳව වන උද්යෝගයක් ලෝකය පුරා දක්නට වූ අතර මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වීම මානව හිමිකම් සම්බන්ධ වර්ධනයන්ගේ එක්තරා සංධිස්ථානයක් ලෙස හැඳින්වීමට හැකිය. 1948 වසරේදී ප්‍රකාශයට පත් වුණු මානව හිමිකම් පිලිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය (^Universal Declaration of Human Rights ) සුවිශේෂි කඩඉමක් වෙයි.
මේ අනුව අන්තර්ජාතික වශයෙන් මානව හිමිකම් වර්ධනය වීමෙහි ප්‍රථිඵලය වන්නේ ඉහත කී මානව හිමිකම් නැමැති කුලකය තුලින් මූලික අයිතිවාසිකම් නැමැති උපකුලකය බිහි වීමය. මානව හිමිකම් පිලිබඳව ලෝක ව්‍යාප්තව සිදු වූ සංවාදයේ ප්‍රථිඵලයක් ලෙස මූලික වශයෙන් හඳුනා ගන්නා ලද අයිතිවාසිකම් තනි තනි රාජ්‍යයන් මූලික අයිතිවාසිකම් ලෙසින් මූලික නීතීන් මඟින් බලාත්මක කිරීම හරහා මූලික අයිතිවාසිකම් බිහි වන්නට විය.
සැබවින්ම ගත් කළ අපට පෙනෙන්නේ මූලික අයිතිවාසිකම් යනු ලෝකවාසී මුලු මහත් ජනතාවක් විසින් ස්වකිය ඓතිහාසික වර්ධනයන්ගේ තිරණාත්මක සංධිස්ථානයන්හිදි නෙළා ගන්නා ලද අස්වැන්නය. නොඑසේනම් මානව ජයග්‍රහණයක්ය. මෙකී අයිතිවාසිකම් වු කලි ශිෂ්ඨසම්පන්න ප්‍රජාවකගේ පැවැත්ම ආරක්ෂා කරන පළිහක්ය. එනිසාම ඒ පිළිබඳව දැනුවත් වීමත් මූලික අයිතිවාසිකම්වල විෂය පථය පුලුල් කර ගැනීමේ අරගලයෙහි නිරතවීමත් අතිශය වැදගත්ය.
(මතු සම්බන්දයි.)