Uncategorized

මිරිදිය මසුන් වඳ වී යෑම අත ළඟ

සජීව විජේවීර

දිය පහර ගල්වල හැපී චිරි චිරි හඬ නගමින් බැස යන ශබ්දය කනට මිහිරක් ගෙන දෙන අතරම එය නෙතට රසඳුනක් මවයි. බොරළු මතින් ගලා යන විනිවිද පෙනෙන ජල පහර තවත් තැනකින් පෙන කැටි විහිදමින් ගලා බසියි. 

ගලා යන ජල පහරේ කඩිසරව ඒ මේ අත පිහිනා යන මත්ස්‍යයෝ මේ ජල පහරට තවත් වටිනාකමක් එක්කරති. ශ්‍රී ලංකාවේ යම් තැනක ජල මාර්ගයක් වේද, එතැන කවර හෝ ආකාරයක මත්ස්‍යයකු දක්නට ලැඛෙයි. මේ අතරින් බොහෝ දෙනකු මෙරටට ආවේණිකය. 

ආවේණික මසුන්ගේ රුව රැගත් දෙකේ කොළය අද සමාජයේ සැරි සරන්නේ නැත. දෙකේ කොළයේ සිටි මසුන්ද දෙකේ කොළය තරමටම පරිසරයෙන් අතුරුදන් වෙමින් පවතී. 

ශ්‍රී ලංකාවේ ජීවත්වන කොඳු ඇට පෙළක් සහිත සතුන් අතරින් උභයජීවීන් හැරුණු විට වැඩිම තර්ජනයට ලක්ව ඇති සත්ත්ව කාණ්ඩය වන්නේ මිරිදිය මසුන්ය. ශ්‍රී ලංකාවේ අත්තනගලු මයේ සිට නිල්වලා ගඟ දක්වා වූ ප්‍රදේශය නිරිතදිග මත්ස්‍ය ජීව කලාසය ලෙස හඳුන්වන අතර එහි මායිමක් වන්නේ මධ්‍යම කඳුකරයේ පහළ කොටසයි. මධ්‍යම කඳුකරය ඇතුළු මහවැලි ගංගා දෝණිය මහවැලි මත්ස්‍ය ජීව කලාපය ලෙස හඳුන්වන අතර මෙම කලාප දෙකට අයත් නොවන අනෙකුත් සියලු ප්‍රදේශ වියළි මත්ස්‍ය ජීව කලාපය ලෙස හඳුන්වයි. 

අපි රථ ආවේණිය මත්ස්‍ය විශේෂ කැලණිය, බෙන්තර, කළු, ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව ඉහළ ව්‍යාප්තියක් පෙන්වයි. නිවර්තන වැසි වනාන්තරවලින් ඇරඹෙන කුඩා දිය දහරා හා ජලය පිරි ඕනෑම තැනකින් මත්ස්‍යයෙකු දැකිය හැකි තරමට තෙත් කලාපය තුළ මත්ස්‍ය ව්‍යාප්තියක් දැකගත හැක. 

අඩක්ම රතු දත්ත පොතේ

මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ 91කි. ඉන් අඩකඩත් වඩා වැඩි ප්‍රමාණයක්, එනම් විශේෂ 50ක් ආවේණිකය. ශ්‍රී ලංකාවේ තර්ජනයට ලක් වූ ජීවීන් පිළිබඳ තොරතුරු ඇතුළත් රතු දත්ත පොතට අනුව ඉන් විශේෂ 45ක් වඳ වීමේ අවදානමට ලක්ව ඇත. තර්ජනයට ලක්වූවන්ගෙන් විශේෂ 39 මෙරටට ආවේණික මත්ස්‍යයෝය. 

මෙලෙස අවදානමට ලක් වූ මත්ස්‍ය විශේෂ කොටස් තුනකට වර්ග කරයි. වඳ වීමේ අවදානමට දැඩි ලෙස පාත්‍ර වූ, වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ, වඳවී යෑමේ අවදානමට පාත්‍ර වෙමින් පවතින වශයෙනි.  ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් සැලකූ විට ඉන් විශේෂ 21ක් වඳ වීමේ අවදානමට දැඩි ලෙස පාත්‍ර වී ඇත. ඉන් විශේෂ 18ක් මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂයන්ය. වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ විශේෂ සංඛ්‍යාව 19 කි. ඉන් විශේෂ 17ක් මෙරටට ආවේණිකය. වඳ වීමේ අවදානමට පාත්‍ර වූ විශේෂ 05ක් අතරින් විශේෂ 04ක් මෙරටට ආවේණික විශේෂ වෙයි. තවත් මත්ස්‍ය විශේෂ 05ක් වඳ වීමේ තර්ජනයට මුහුණ දීමට ඉතා ආසන්න මට්ටමට පැමිණ ඇත. ඉන් තුනක්ද මෙරටට ආවේණික විශේෂ වෙයි. 

මීට අමතරව තර්ජනයට ලක් වූ මත්ස්‍ය විශේෂ ලෙස හඳුනාගෙන තිබුණද ප්‍රමාණවත් දත්ත නොමැතිකමින් ඉහත කාණ්ඩවලට වර්ග කළ නොහැකි මත්ස්‍ය විශේෂ 09ක් පිළිබඳවද රතු දත්ත ලේඛනයේ සඳහන් වේ. ඒ අතුරින් විශේෂ 05ක් ලංකාවට ආවේණික වේ.

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් පිළිබඳ දීර්ඝ කාලයක් පර්යේෂණවල නිරත වූ රොහාන් පෙතියගොඩ පවසන්නේ මීට වසර 30-40කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබුණු මිරිදිය මසුන්  අද දක්නට නොලැබෙන බවයි. පාරිසරික වෙනස්වීම්වලට ඔවුන් අතිශය සංවේදී වීම, ඔවුන් අප අවට පරිසරයෙන් සමු ගැනීමට හේතු වී ඇති බව හෙතෙම පවසයි. 

මේ අනුව ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ මුහුණපා ඇති අවදානම ඉතා හොඳින් අවබෝධ වේ. මෙම සතුන්ගේ පැවැත්මට බලපෑම් ඇති කරන සාධක මුලිනුපුටා දැමීමට රතු දත්ත ලේඛනය පාදක කරගෙන හෝ මීට ඉහත දී අදාළ ක්‍රියාමාර්ග ගත් බවක් හෝ පෙනන්නට  නොමැත. 

අවදානමට හේතු මොනවාද?

ශ්‍රී ලංකාවේ ස්වභාවික විල් නොමැති හෙයින් හමුවන මිරිදිය මත්ස්‍ය විශේෂ සියල්ල ගංගා හෝ වගුරු ආශ්‍රිතව වෙසෙන විශේෂයන්ය. නදී වාසස්ථානය තුළදී ජීවන චක්‍රය සම්පූර්ණ කරන හෙයින් ආවේණික මත්ස්‍යයෝ ගංවතුර රටාවන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වති. විශේෂයෙන් ආහාර, වාසස්ථාන සහ ප්‍රජනන ක්‍රියාවලිය සඳහා අන්තර් සබඳතා ඇත. මෙම සබඳතා ජාලය කෙරෙහි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කෙළින්ම ඇති වන බලපෑම් නිසා මෙන්ම පාංශුඛාදනය, පරිසර දූෂණය හෝ දේශගුණික සාධක හේතුවෙන් ඇති විය හැකි බලපෑම් නිසාද සිතාගත නොහැකි අන්දමේ වෙනස්කම් ඇති විය හැක.

පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසන්නේ මිරිදිය මසුන්ට ඇති තර්ජනය වළක්වා ගැනීමට නම් දැනට පවතින නීති පද්ධතිය තවත් ශක්තිමත් කළ යුතු බවයි. එසේ නොකළහොත් අනාගතයේ ඉතා නුදුරු දිනක මේ මසුන් මිහිතලයෙන් සමුගනු ඇතැයි ඔහු පෙන්වා දෙයි. 

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව මිරිදිය මත්ස්‍ය විශේෂ 17ක් ආරක්ෂිත විශේෂ ලෙස නම් කර ඇත. ඉන් විශේෂ 14ක් ලංකාවට ආවේණික වේ. 2012 වසරේ රතු දත්ත ලේඛනයට අනුව එම විශේෂ අතුරින් 13ක් වඳ වීමේ අවදානමට දැඩි ලෙස පාත්‍ර වූ විශේෂද, විශේෂ 3ක් තර්ජනයට ලක් වූ විශේෂද, එක් විශේෂයක් අවදානමට පාත්‍ර වූ විශේෂද වෙති.

නීතිමය රැකවරණය ප්‍රමාණවත්ද?

“මෙම ආඥා පනත යටතේ 31(අ) වගන්තියට අනුව ආරක්ෂිත මත්ස්‍යයෙකුට තුවාල සිදු කිරීම, හානි සිදුකිරීම, අල්ලා ගැනීම හෝ මැරීම, ඒ සඳහා උපකරණ භාවිත කිරීම, මරන ලද සතෙකු හෝ කොටසක් සන්තකයේ තබා ගැනීම, මෙම සතෙකු ප්‍රවාහනය කිරීම හෝ විකිණීම, ප්‍රදර්ශනය කිරීම, වේළීම හෝ කල්තබා ගැනීම සඳහා සකස් කිරීම වැනි ක්‍රියා සියල්ල තහනම්. එවැනි වරදකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවෙකු වන පුද්ගලයෙකු රු. 15,000- 25,000 අතර දඩයකට හෝ වසර 2-5 අතර සිරදඬුවමකට හෝ මේ දෙකටම හෝ යටත් කළ හැකියි. මීට අමතරව මෙම ආඥා පනතේ 41 වගන්තියට අනුව දේශීය මත්ස්‍යයයන් අපනයනය කිරීම සඳහා අවසර පත්‍රයක් ලබා ගත යුතුයි. නියමිත අවසර පත්‍රයක් ලබා ගැනීමකින් තොරව මිය ගිය හෝ ජීවත්වන මත්ස්‍යයෙකු අපනයනය කිරීම නොකළ යුතුයි. නියමිත බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව දේශීය මත්ස්‍යයෙකු හෝ කොටසක් අපනයනය කරන පුද්ගලයෙකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවෙකු කරනු ලැබූ විට රු. 25,000 – 75,000 අතර දඩයකට හෝ අවුරුදු 05කට අඩු නොවන සහ අවුරුදු 10කට වැඩි නොවන කාලසීමාවක් සඳහා බන්ධනාගාරගත කිරීමට හෝ මේ දෙකටම යටත් කළ හැකියි.” ආචාර්ය ජගත් ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේය. 

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ප්‍රකාශිත 1998 ජූලි 10 වන දින අංක 1036/13 දරන ගැසට් නිවේදනයට අනුව දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ අතුරින් 13ක්  (ඉන් විශේෂ 11ක් ලංකාවට ආවේණික වේ) අපනයනය තහනම් කර ඇති අතර තවත් විශේෂ 08ක් (එම විශේෂ 08ම ලංකාවට ආවේණික වේ) අපනයනය සීමා කර තිබේ. අපනයනය තහනම් කර ඇති මත්ස්‍ය විශේෂ අතුරින් 09ක් රතු දත්ත ලේඛනයට අනුව වඳ වීමේ තර්ජනයට දැඩි ලෙස පාත්‍ර වූ විශේෂ වේ. තවද වඳ වීමේ තර්ජනයට ලක් වූ විශේෂ 03ක් හා වඳ වීමේ අවදානමට පාත්‍ර වූ එක් විශේෂයක් අපනයනය තහනම් කර ඇති මසුන් අතර දක්නට ලැබෙයි. 

තර්ජනයට ලක්ව ඇති මිරිදිය මත්ස්‍ය ලේඛනය පොත පතට සීමා වී තිබේ. එහි නම් සඳහන් විශේෂ සංඛ්‍යාව 23කි. ඒ විශේෂවලට සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ හෝ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ හෝ සෘජු ආරක්ෂාව දිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ මේ මත්ස්‍ය විශේෂ 23ට එවැනි කිසිදු ආරක්ෂාවක් ලැඛෙන බවක් පෙනෙන්නට නැති වීම අවධානයට ලක්විය යුතු කරුණකි. 

එය එසේ වුවද දිනෙන් දින සිදු වන්නේ ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්ගේ වාසස්ථාන අහිමි වීමයි. 

තෙත් කලාපයේ අහිතකර බලපෑම්

මෙරට වැඩිම මත්ස්‍ය ආවේණිකතාවක් දක්නට ලැඛෙන තෙත් කලාපයේ සිදු වන මානව ක්‍රියාකාරීත්වය මසුන්ගේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ල කැර ඇත. 

  • අතීතයේ කෘෂිකර්මාන්තයේදී භාවිත කළ ජෛව පාලන ක්‍රමෝපායයන් මෙන් නොව දැන් කෘමි නාශක ආදිය භාවිතය හේතුවෙන් රසායනික ද්‍රව්‍ය ඇළ දොළ ගංඟාවලට එක්වෙමින් තිබේ. එය මසුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයකි. 
  • තෙත් කලාපයේ තේ හා රබර් වගාවද එහි මත්ස්‍ය පැවැත්මට අහිතකර ලෙස බලපාන්නකි. 
  • තෙත් කලාපයේ ක්‍රියාත්මක විවිධ සංවර්ධන යෝජනා ක්‍රමද මේ මසුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත. 
  • සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් සිදු වන වනාන්තර විනාශය, පස් කැපීමෙන් පාංශු ඛාදනය, ජල තටාක හා මූලාශ්‍ර විනාශ වී යාම කුඩා ජලාශ හා ඇළ මාර්ග දෙකඩ වීම මත්ස්‍යයන්ගේ පැවැත්මට තර්ජනයකි. 
  • හානිකර මැණික් ගැරීම හා වැලි ගොඩ දැමීම මසුන්ගේ පැවැත්මට විනාශය ළඟා කරයි. 
  • මෙරට මිරිදිය ජලාශවලට හඳුන්වා දුන් මත්ස්‍ය විශේෂ හා විසිතුරු මසුන් ඇතිකරන්නන් විසින් ජලාශවලට එක් කළ වීදුරු පිස්නන් ඇතුළු මත්ස්‍ය විශේෂ වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ආවේණික මසුන්ගේ පැවැත්ම අවදානමට ලක්ව ඇත. 
  • තෙත් කලාපය පුරා ම මහඟු සම්පතක් ලෙස ව්‍යාප්තව ඇති වගුරු  බිම් විවිධ මානව ක්‍රියාකාරකම් වෙනුවෙන් ගොඩකරමින් විනාශ කිරීමද මිරිදිය මත්ස්‍ය ප්‍රජාවගේ විනාශයට හේතුවකි.
  • අධික ජල පරිභෝජනයක් සහිත ශාක වර්ග තෙත් කලාපයේ ව්‍යාප්ත වීමෙන් උල්පත් ජලය සිදී යයි. කර්මාන්ත ශාලාවලින් පිට කරන විෂ සහිත රසායනිකයන් ජලයට මුසු වීමෙන් ඇල්ගී විශේෂ වර්ධනය වීම ඇතුළු හානිකර තත්ත්වයන් ඇති වේ. සැල්වීනියා, ජපන් ජබර වැනි ශාක ව්‍යාප්ත වීමද මත්ස්‍ය සම්පතේ පැවැත්මට මහත් තර්ජනයක් වී ඇත. 
  • මෙරට මිරිදිය මසුන්ගේ පැවැත්මට දැඩි තර්ජනක් වූ තවත් හේතුවක් වන්නේ බුරුතු පිටින් අල්ලා ඔවුන් අපනයනය කිරීමයි. අපනයනය කිරීමට හැකි මසුන් විශේෂ රැසක් වෙයි. අපනයනයේ දී කළ යුතු වන්නේ අභිජනනය කළ මසුන් විදෙස්ගත කිරීම වුවද සිදු වන්නේ මිරිදිය ජලයේ ස්වභාවිකව ජීවත් වන මසුන් අල්ලා රට පැටවීමයි. ස්වභාවික පරිසරයේ ජීවත්වන මසුන් ක්‍රමයෙන් වඳ වී යෑම ඉන් සිදු වේ. මෙය නීතිය හමුවේ දඬුවම් ලැබිය යුතු වරදක් වුවද දිගින් දිගටම ඒ දෙයම සිදු වෙමින් පවතී. 

මෙවැනි තත්ත්වයක් හේතුවෙන් මිරිදිය මත්ස්‍ය සම්පත අප රටට ඉතා ශීඝ්‍රයෙන් අහිමි වෙමින් පවතී. ඉහළ විවිධත්වයකින් යුතු මිරිදිය මත්ස්‍ය සම්පත අපේ ජෛව විවිධත්ව වටිනාකම වැඩි කරන ප්‍රබලතම සාධකයක් බව කොයි කවුරුත් තේරුම් ගත යුතුය. එසේ නොවුණහොත්, මේ අගනා සත්ත්ව සම්පත ලෝකයෙන්ම තුරන් කරලීමට හේතු වනු ඇත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts