අනාවරණ

මිනිසත්කමේ රැහැනින් බැඳුණු එකම පවුලක සහෝදරයෝ

උපේක්ෂා උඩුවැරැල්ල

ඔවුන් විවිධ ජාතීන්ට අයත්ය. ඔවුන් අදහන ආගම්ද එකිනෙකට වෙනස්ය. ඔවුන් අතරවූ එකම සාමන කම වූයේ මතට ලොල්වී ජීවිතයේ මඟ වරද්දා ගැනීම පමණකි. දෑ අවුරුද්දක් මෙහි එකට ගත කළ ඔවුන් අද කටයුතු කරන්නේ ජාති, ආගම්, කුල බේද සියල්ල පසෙක තබා එකම පවුලක සහෝදරයන් මෙනි.

සරත්,රමේෂ්,මොහොමඩ් හා ක්‍රිස්ටි තුළින් ජාතිය හා ආගම හඳුනා ගත්තේ සංස්කෘතිය මගින් ඔවුන්ට උරුම කරදී තිබෙන නම්වලින් පමණකි. අද ඔවුන් එකිනෙකා බැඳී සිටින්නේ උතුම් මනුෂ්‍යත්වය නම් වූ රැහැනිනි. එය මිනිසුන් බෙදා වෙන් කෙරෙන ජාතිය හා ආගම නම්වූ රැහැනට වඩා බොහෝ ශක්තිමත්ය.මත්ද්‍රව්‍යය නිසා ජීවිතයේ මඟ වරද්දා ගත් තරුණයින් පුනරුත්ථාපනය කෙරෙන කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන කඳවුර මේ අයුරින් ජාති, ආගම් බේද කිසිවකින් තොරව තරුණ සිත් ආදරයෙන් පුරවාලමින් උතුම් මනුෂ්‍යත්වයේ මිහිර උත්පාදනය කරන තෝතැන්නක් යැයි කීම වරදක් නොවේ.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ට අයත් තරුණයින් මෙහි පැමිණෙන බැවින් කන්දකාඩු පුනරුත්ථාපන භූමියේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික පූජනීය ස්ථාන ඉදිකර තිබෙයි. ඒ ඔස්සේ  ආගම මඟින් තරුණ සිත් යහ මඟට ගැනීම පිණිස ලැබෙන පිටිවහල ද අතිමහත් ය.  එහි දකින්නට ලැබෙන අපූරුතම සිදුවීම වන්නේ පුනරුත්ථාපනය වන තරුණයින් ආගම් බේද නොසලකා සෑම පූජනීය ස්ථානයකටම ගොස් ආගමික කටයුතුවල නිරත වීම ය. වෙසක් පෝයට බෞද්ධ තරුණයන් පහන් කූඩු සකසන විට හින්දු, ඉස්ලාම් හා කතෝලික බැතිමතුන්ද ඊට එක්වන්නේ ජාති, ආගම් බේද සියල්ල කුණු කූඩයට දමමිනි. පොහෝ දිනට එක්ව බණ අහන මේ තරුණයෝ රාමසාන් උපවාස සමයේදී ඉස්ලාම් තරුණයින් හා එක්ව නෝම්බි අල්ලන්නට ද අමතක නොකරති. නත්තල් දා පල්ලියේ ගීතිකා ගයන්නට එක්වන පිරිස අතර බෞද්ධ, හින්දු හා කතෝලික තරුණයෝද සිටිති. කෝවිලේ පූජාව අවසන්ව නළලේ තුන්නූර් ගාගන්නෝ අතර සෑම ජාතියකටම අයත් තරුණයෝ සිටිති.

ක්‍රිස්ටි යනු ඕනෑම වැඩකට මූලිකත්වය ගන්නා අයෙකි. ඔහු කන්දකාඩුවේ මාස හයක කාලයක් පුනරුත්ථාපනය ලබා දැන් යහපත් ලෙස කටයුතු කරමින් සිටිනා අයෙකි. ඔහුඔට ජාති ආගම් කුල භේද පිළිබඳව කිසිදු බෙදීමක් දැනෙන්නේ නැත. මේ ඔහුගේ වදන් ය.

“  පුනරුත්ථාපන කඳවුරක ජාති, ආගම් හෝ කුල බේද නැහැ. හැමෝම එක හා සමානයි. සෑම ආගමකින්ම කියලා තියෙන්නේ යහපත් ජීවිතයක් ගත කරන්න අප අනුගමනය කළ යුත්තේ කුමක්ද යන්නයි. කිසිම ආගමික ශාස්තෘන් වහන්සේ කෙනෙක් තවත් ජාතියකට, ආගමකට එරෙහිව ක්‍රියා කරන්න කියලා නැහැ. මෙතන්ට එන තරුණයින් වසර දෙකක පමණ කාලයක් මෙහි පුනරුත්ථාපනය වෙනවා. ඒ අය ජාති,ආගම් බේද නොසලකා එකම මවකගේ දරුවන් මෙන් එකට ජීවත් වෙන්නේ කොහොමද කියන පාඩම මුල ඉඳන්ම මෙහිදී ඉගෙන ගන්නවා. ඒ නිසා මේ තරුණයන්සෑම ආගමකටම එක හා සමානව ගරු කරනවා. සෑම සංස්කෘතියක්ම අගයන්න මේ අය පුරුදු පුහුණු වී තිබෙනවා. අපේ සමාජයේ බොහෝ ගැටලුවලට හේතුව මේ විවිධත්වය පිළිගැනීමට අපි සූදානම් නැතිකමයි. බහු ආගමික බහු ජාතික රටක අපි හැමෝම එකට ජීවත් වෙන්න ඕන. ආගමක් මගින් තමයි අපිට යහපත අයහපත පෙන්වා දෙන්නේ. මෙතන්ට එන බොහෝ තරුණයින් ආගමෙන් ඈත්ව ජීවත්වූ අයයි. නිවැරදි මඟ පෙන්වීම  ආගමික අංශයෙන් ලැබුණා නම් මේ අයට මෙතනට එන්න සිද්ධවෙන්නේ නැහැ. වරදක බැඳුණු පසු ඒ වරදට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ගැන පමණයි සමාජයක් විදිහට හැමෝම කල්පනා කරන්නේ. ඔහු හෝ ඇය වරදට යොමු වූයේ ඇයිද යන කාරනය පිළිබඳ සොයා බලා එය නිවැරදි කරන්නට උත්සහ කරන පිරිස හරිම අඩුයි.ඇත්තටම ඒ වරද නිවැරදි කරන්න පුළුවන් උතුම් මිනිසත් කමට විතරමයි….”

අන්තරායකර ඖෂධ හෙවත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට ලක්ව බන්ධනාගාර ගතවූ පසුව  පුනරුත්ථාපනය කිරිමේ එක් අවුරුදු වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අදියර දෙකක් යටතේ ය. ඉන් පළමුවැන්න හෙවත් මූලික පුනරුත්ථාපන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ  අධ්‍යක්ෂ කර්නල් චමින්ද පැස්කුවෙල් මහතාගේ මෙහෙයවීමෙන් සහ අධීක්ෂණයෙන් කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී ය. අතහැර දමා තිබූ ගොවිපොළක් සකසා එල්.ටී.ඊ.ඊ  සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරක් මෙහි මුලින් ක්‍රියාත්මක විය. පුනරුත්ථාපනය ලැබූ  ඔවුන් ඒ ආසන්නයේම පිහිටි ගොවිපොළක් වෙත යොමු කරනු ලැබුවේ වගා කටයුතු සඳහා ය. වසර 2013 අගෝස්තු මස 20 දින පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලය මගින් කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ස්ථාපිත කොට ඇත.රටේ පළාත් නවයම ආවරණය කරමින් තරුණයෝ මේ වෙත යොමු කෙරෙති. වැඩිම පිරිසක් පැමිණ තිබෙන්නේ බස්නාහිර පළාතිනි. ඒ 2360 දෙනෙකි. බස්නාහිරට පමණක් දෙවන වන දකුණු පළාතින් පැමිණ ඇති පිරිස 587 කි. වයඹ පළාතින් 377 දෙනෙකු පැමිණ තිබේ.සෙසු සියලු පළාත්වලින් සියය ඉක්මවූ සහ ඊට ආසන්න පිරිසක් පැමිණ ඇත. කන්දකාඩුවට පැමිණෙන මේ උදවිය විවිධ ජාතින්ට අයත් ය. අදවන විට සිටින පිරිසෙන් හත්සිය අනූඑක් දෙනකු සිංහල ය. මුස්ලිම් පනස් තුන් දෙනකුත් දමිළ දහඅට දෙනකුත් සිටිති. ඔවුහු  විවිධ ආගම් අදහන්නෝ ය. බෞද්ධ හයසිය හැත්තෑ නව දෙනකුද ක්‍රිස්තියානි හැත්තෑ හය දෙනකුද රෝමානු කතෝලික පනස් තුන් දෙනකුද ඉස්ලාම් දහඅට දෙනකුද හින්දු දොළොස් දෙනෙකුද මෙහි වේ. ජාති,ආගම් ලෙස වෙනස් වුවද ඔවුන් සියල්ලන් ගේම අරමුණ එකහා සමාන ය. ඒ යහපත් පුරවැසින් ලෙස මතු දිනක සමාජයට පැමිණීමය.

‘ජීවිතයේ මඟ වැරදිලා අන්ත අසරණ වුනාම අපිට කවුරුවත් නැහැ. ජාති,ආගම්,කුල බේද සියල්ල පවතින්නේ ඇඟේ හයිය තියෙනකොටයි. මං  මතට ලොල්වෙලා ඉවක් බවක් නැතුව ඒ පස්සේ ගියා. ඒ කාලේ මං ජීවත් වුණේ හීන ලෝකයක. දවසින් දවස ඒ හීන මගෙන් ඈත් වෙලා යනකොට මාත් හිටපු හැමෝම මාව අත්හැරලා ගියා. මෙතන්ට නොඑන්න අපි අද කොහේ හිදිවිද කියන්න දන්නේ නැහැ.පුනරුත්ථාපනයට දානවා කිව්වාම හිතට දැනුණේ මහා බයක්. ශාරිරික වධ හිංසා, දැඩි නීති රීති එක්ක කන්න බොන්න පවා නොදෙන තැනක් කියලයි අපි මුලින් හිතාගෙන හිටියේ. මෙතන්ට ආවට පස්සේ තමයි අපි දන්නේ මේ වගේ උගත් බුද්ධිමත් නිලධාරින් පිරිසක් යටතේ ජීවිතය මොකක්ද කියලා ඉගෙන ගන්න එන තැනක් කියලා. මෙතනට එද්දි අපි ආවේ ගෙදර දොරේ පවුලේ උදවිය එක්ක විතරක් නෙවෙයි මුළු සමාජය එක්කම වෛරයකින්. නමුත් අද අපි දන්නවා අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් බිරිඳ පවුල සමාජය කියන්නේ මොනතරම් වැදගත් සමීප පිරිසක්ද කියලා. අපි අද දන්නවා අපෙන් ඒ අයට මොන තරම් වගකීමක් යුතුකමක් ඉටු විය යුතුව තිබෙනවද කියලා. අපි නගරේදි ගමේදි අපේ හයිය පෙන්නන්න උත්සාහ කළා. සමාජයේ උස් පහත් බේද සැලකුවා. ජාති,ආගම් අනුව එකිනෙකා වර්ග කළා. ඒත් කුඩු කාරයො විදිහට අපිව සමාජයම කොන් කරද්දි ජාතිත් නෑ ආගමුත් නෑ  සමාජ බෙදීමුත් නෑ. මෙතන්ට වැටිලා මත්ද්‍රව්‍ය නැතුව වෙව්ලද්දී ළඟ ඉන්න මිනිහා සිංහල ද මුස්ලිම් ද දෙමළ ද බලන්න හිතෙන්නේ නැහැ. කාගෙන් හරි හොරාට කුඩු ටිකක් ඉල්ලා ගන්නයි හිතෙන්නේ. ඒත් මෙතනට වැටුණු හැමෝම අනිකාගේ දුක අඳුන ගත්තා. මොකද හැමෝම මුල් දවස්වල හිටියේ වෙව්ල වෙව්ල ඇස්වලින් කඳුළු පෙර පෙරයි. ඒත් අපිව පාලනය කළේ වතුර මල යටට දාලා. දවසට තුන් හතර වතාවක් නාන්න දීලා. එළවළු පාත්තිවල වල් ගලවන්න දාලා.වළවල් හාරලා ඇට ඉන්දලා පැළයක් එනකල් බලාගෙන ඉන්න හුරු කරලා.“ යැයි  නිශාමන් කියා සිටියේ ය.

නිමේෂ් උපතින් සිංහල බුද්ධාගමේ ය. නමුත් ඔහු කන්දකාඩුවට ආ පසුව සියලු ජාති ආගම් වෙනුවෙන් පෙනී සිටියි. ජාතියක් ආගමක් වශයෙන් වර්ගකිරීමක් පිළිබඳ ඔහු තැකීමක් නොකරන්නේ මනුස්ස කම ඉදිරියට ආ යුතු බව කියමිනි.

“ අපි කෑවේ බිව්වේ නෑවේ එක බඩවැල කඩාගෙන ආපු අම්මාගේ දරුවෝ වගේ. කවුරුවත් තව කෙනෙක් තනි කළේ නැහැ. මුල් මාස තුනේදි එකට බැඳුණු බැඳීම හිතෙන් හදවතින් සහෝදරත්වයෙන් වෙලිලා ශක්තිමත් වුණා. මුස්ලිම් තරුණයා අල්ලා කියද්දි  අපිත් කිව්වා. බුද්ධංසරණං ගච්ඡාමි කියද්දි අපි හැමෝම කිව්වා. ආමේන් කියද්දිත් ඒවගේ. අපිට ඕනෑ  වුණේ මොන ආගමේද කියලා නෙවෙයි මොන ආගමික නායකයෙකුගේ හරි පිහිටෙන් ගොඩ යන්න විතරයි. අවුරුද්දක් පුරාම අපේ ජීවිතවල අගය අපට කියා දුන්නේ කන්දකාඩුවෙත් සේනපුරත් සිටින දෙවිවරු වන් මහත්තුරුයි. අද අපි මෙතනින් සමාජයට යන්නේ රටට දැයට සමාජයට පවුලට වැඩදායි මිනිසුන් පිරිසක් විදිහටයි.වරදක් කළොත් ඒකේ ආදීනව ගෙවන්න වෙන්නේ අපිටමයි කියලා අපි දැන් දන්නවා…”

මාස හයක කාලයක් කන්දකාඩුවේ උපදේශනය ලබන අභ්‍යාසලාභින් දෙවැනි අදියර සදහා යොමු කෙරෙන්නේ වැලිකන්ද සේනපුර තෘතියික හා වෘත්තිය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයට ය. එහි අධ්‍යක්ෂක ධූරය හොබවන කර්නල් අසේල ඔබේසේකර මහතා පවසන්නේ පුනරුත්ථාපනය කර සමාජයට මුදාහරින සෑම තරුණයෙකුටම වෘත්තිය පුහුණුවක් ලබාදෙන බවයි. මෙහිදී තරුණයින්ට සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

සේනපුර තෘතියික හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයෙන් 2013 වසරේ සිට මේ දක්වා  සමාජ ගතව ඇති පිරිස 3034 කි. අද වන විට තවත් අභ්‍යාසලාභීහු 713 කු පමණ සේනපුර නේවාසිකව වෘත්තිය පුහුණුව ලබති. ජීවිතයේ මඟ වරද්දා ගත් තම දරුවන් බලන්නට එන අම්මලා තාත්තලා අතර ඇත්තේද සේනපුර පුනරුත්ථානය වන තරුණයින් අතර පවත්වා බැඳීමට සමාන එකකි. ඔවුන් එහි එන්නේ ඇතමුන් මහ ලොකුවට කරපින්නා ගෙන සිටින ජාතිය, ආගම, කුලය වැනි දේ පැත්තකින් තබා ය.ජාති හෝ ආගම් බේදයකින් තොරව තම දරුවන් වැටී තිබෙන වලෙන් ගොඩ ගැනීම ඔවුන් සැමගේ එකම  අපේක්ෂාවයි. දරුවන් වැරදි මඟ ගිය විට මව්පියන්ගේ දෑස් වලින් ඇද හැලෙන කඳුළුවලත් හදවත්වලින් නැගෙන සුසුම්වලත් කැටිව ඇත්තේ එකම වේදනාවක් හා දුකක් බව පෙන්වා දෙන්නට ඇති හොඳම තැන කන්දකාඩුව පුහුණු මධ්‍යස්ථානයයි.

කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන කඳවුර පිළිබඳ වැඩි විස්තර මෙම සබැඳියෙන් ලබා ගත හැක.

https://bcgr.gov.lk/cordkanda.php#

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts