අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මානව ගරුත්වය නොරැක සුවපත් විය හැකිද?

අසංක අබේරත්න

අපගේ ජීවිතයට හා ජීවනෝපායන් කෙරෙහි කොරෝනා වෛරසය කරන බලපෑම දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබේ- තවත් ලෙසකින් එය මෙසේ පැවසිය හැකිය- 2020 අප්‍රේල් මස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළ COVID-19 and Human Rights  (කොවිඩ්-19 සහ මානව අයිතිවාසිකම්) වාර්තාවට අනුව “මහජන සෞඛ්‍ය අර්බුදය ඉතා වේගයෙන් ආර්ථික හා සමාජ අර්බුදයක් බවට පත්වෙමින් තිබේ”https://www.un.org/victimsofterrorism/sites/www.un.org.victimsofterrorism/files/un_human_rights_and_covid_april_2020.pdf’ .

ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අර්බුදයෙන් වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ එදිනෙදා කුලී පදනම මත කුමක් හෝ දෑතේ රැකියාවක නියැලෙන බහුතරයක් වූ ප්‍රජාවය- ජීවිතය ගැටගසා ගැනීමේ දෛනික අරගලය තුළ සෞඛ්‍ය ආරක්ෂාව සේම ඔවුන්ගේ පවුලේ ආර්ථිකයද දැඩි අර්බුදයට ලක්ව තිබේ- රැකියාවද? ජීවිතයද? යන්න තවදුරටත් තීරණය කළ නොහැකි මුත් අවසානයේ කෙසේ හෝ රැකියාව කරමින් ජීවත් වීමට වෙර දරන මිනිසුන් අර්බුදයෙන් වඩාත් වින්දිතභාවයට පත්ව සිටී- එබැවින් වසංගතයට දක්වන ප්‍රතිචාරවලදී ආර්ථික අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය කෙරෙහි මූලික අවධානය යොමු කළ යුතුය- ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව :(Committee on Economic, Social  දැනටමත් එම සම්මුතිය මත පදනම්ව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ- අප කොතෙක් දුරට එය අවධානයට ගෙන ඇත්ද?

  

සමාජ-ආර්ථික පීඩාව වසංගතය තව තවත් ව්‍යාප්ත කරයි 

වඩාත් අර්බුදකාරී අවස්ථාවක දරිද්‍රතාවයෙන් පෙලෙන ප්‍රජාවන් කෙරහෙි වැඩි අවධානයක් යොමු කළ යුතු වුවත් අවාසනාවන්ත ලෙස වසංගත ප්‍රතිචාරවලදී එවැනි ක්‍රමවත් වැඩපිළිවෙලක් ලංකාව තුළ තවමත් දක්නට නොමැත- අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිළ ඉහළ යාම ආදයම් අහිමි පවුල් මත දැඩි පීඩාවක් ඇතිකර තිබේ- හාල්, පොල්, තෙල් සහ පරිප්පු යනාදී වඩාත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ පාලනය නොකිරීම නිසා බොහෝ පවුල් කබලෙන් ලිපට වැටුනාක් මෙනි- මේ දිනවල වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ අපගේ ධීවර ප්‍රජාවයි-X-Press Pearl නෙවෟකාවේ අනතුරෙන් මුහුදු ජලයට රසායනික ද්‍රව්‍ය මිශ්‍රවීම හේතුවෙන් මූලික ගැටලු දෙකක් නිර්මාණය වී තිබේ- එක් අතකින් ඉන් සිදුව තිබෙන පාරිසරික හානියයි- ලංකාවට අයත් මුහුදු තීරයේ වැඩිම මත්ස්‍ය අභිජනනයක් සිදු වන්නේ මිගමුව සහ හලාවත මුහුදු තීරයේය- මෙම මුහුදු ප්‍රදේශයට මේ වන විට දැඩි හානියක් සිදුව තිබේ- මෙහි අනෙක් ප්‍රතිඵලය නම් ධීවරයින්ට සිය ජීවනෝපාය අහිමි වීමයි- දැඩි සමාජ-ආර්ථික පීඩාවක හිරවී සිටින ධීවර ප්‍රජාවට නැවත රැකියාව කිරීමට සුදුසු තත්ත්වය නිර්මාණය කරන තුරු ජීවන ආධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සමාජ සාධාරණත්වය හා බැදුණු වගකීමකි- ධීවර ප්‍රජාවගේ සිට රජයේ සුලු සේවකයින් හා මධ්‍යම පංතික ප්‍රජාව මතද මේ වසංගතය තුළ සමාජ-ආර්ථික පීඩාවේ වැඩි බරක් පැටවී ඇත.

 

2020දී මහ බැංකුව පෙන්වා දුන්නේ සාමාජිකයින් සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත් වීම සඳහා අවම වශයෙන් මසකට රුපියල් 42,000-00ක මුදලක් අවශ්‍ය බවයි- එහෙත් රාජ්‍ය අංශයේ සාමාන්‍ය නිලධාරියෙකුට ලැබෙන මාසික වැටුප 35,000-00-38,000-00 අතර වේ- රාජ්‍ය අංශයේ වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ අභ්‍යාසලාභී හා උපාධිධාරී රැකියා පුහුණුවේ සිටින 50,000 පමණ පිරිසයි- පුහුණුව සඳහා බදවාගත් එම පිරිස රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කර සිටී- එහෙත් ඔවුනට මාසික වැටුප ලෙස තවමත් ලැබෙන්නේ රුපියල් 20,000ක දීමනාවකි- ඔවුනටද වසංගත අවධානම තිබියදී පවා අමතර ආදායම් මාර්වල නිරතවීමට සිදුව තිබේ.

කොවිඩ් මැද පැතිර යන පොලිස්-පීඩා වසංගතය

වසංගතය මධ්‍යයේ වුවද ආර්ථික සහ සමාජ පීඩාවට එරෙහිව ජනතාව උද්ඝෝෂණවල නිරත වේ- උද්ඝෝෂණ අපමණය, එහෙත් විසදුම් එකනැනය- වඩාත් අර්බුදකාරී අවස්ථාවක වුවත් බලය යෙදවීම, අත්තඩංගුවට ගැනීම, රදවාතබා ගැනීම සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අදාළ අයිතිවාසිකම් සහතික කළ යුතුය. එහෙත් සැබෑ තත්ත්වය හාත්පසින්ම වෙනස්ය- විරෝධතා පාලනය කිරීමට පොලීසිය කරන මැදිහත්වීම විහිලුසහගත මෙන්ම විරෝධතාකරුවන් වඩාත් පීඩාවට පත්කරන සුලුය- තෙල් මිළ ඉහළ දමීමට එරෙහිව පසුගිය 19 වනදා ගාලු නගරයේ පැවති උද්ඝෝෂණයකදී පුද්ගලයින් සිවු දෙනෙකු අත්අඩංගුවට පත්වූයේ “දැන් සැපද” ලෙස ප්‍රදර්ශනය කළ බැනරයක් නිසාය- උපහාසත්මක ලෙස දේශපාලනය දැකීම පවා දැන් අත්අඩංගුවට පත්වීමට තරම් හේතුවක් වී තිබේ- එමෙන්ම පසුගිය 20 වැනිදා පැවති මෝදර සාමකාමී ධීවර උද්ඝෝෂණයට කළ මැදිහත්වීම තුළ පොලීසිය විසින් නිරෝධාන නීති උල්ලංඝණය කළ අවස්ථා ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය- 21 වැනිදා කොළඹ කොටුවේ පැවති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයටද මැදිහත්වූ පොලීස් නිලධාරීන් නිරෝධාන නීතිය උල්ලංඝණය කළ බවට විරෝධතාවේ යෙදුනු සිසුන් චෝදනා කරයි- ඇත්තෙන්ම මෙහි අවසානය කුමක් විය හැකිද? විරෝධතාවේ යෙදෙන අයට පොලිසිය කෙරෙහි වන කෝපය තව තවත් වර්ධනය වීමෙන් ඒවා පුද්ගල ගැටුම් බවට පරිවර්තනය වීමේ අවදානමක් පවතී- එබැවින් මේ ඒ පිළිබඳව ඉතා සිහි බුද්ධියෙන් බැලිය යුතු කාලයයි.

වඩාත් සුවපත් වීමටනම්?


දිනෙන් දින අපගේ අයිතිවාසිකම් අහමිව යා නම් මේ මාරාන්තික වසංගතය හමුවේ සමාජයක් ලෙස සුවපත් විය හැකිද? වසංගතයට දක්වන ප්‍රතිචාර තුළට මානව අයිතිවාසිකම් ඇතුළත් නොවන තාක් අපට සුවපත් විය නොහැක- වසංගතයෙන් පීඩාවට පත් ප්‍රජාවකට සංචරණ සීමා, අගුලු දැමීම හෝ නිරෝධාන නීතිය අවශ්‍ය වන්නේ හෙට දවසේ නිරෝගිමත් වීමට මිස බඩගින්නේ මිය යාමට නොවේ- අප සුවපත් වන විට සමාජයක් ලෙස පෙර සිටියාට වඩා යහපත් විය යුතුය- සමාජ සාධාරණත්වය සහ මානව ගරුත්වය සමාජයෙන් පිටමන්කර අපට මේ වසංගතයෙන් සුවපත් විය නොහැක- සමාජ සාධාරණත්වයට ඉඩ තබා වඩාත් හොදට සුවපත් වෙමු.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts