මානව කේන්ද්‍රීය චින්තනයන් වපුරවන ෆේස්බුක් සමාජ ජාලය.
උදේනි පෙරේරා
තම සංස්කෘතිය හෝ තම ජන වර්ගය පමණක් උසස් යැයි සඳහන් කරමින් අන් සංස්කෘතීන් සහ ජනවර්ග පහත් කොට සලකමින් මානවයාගේ හැසිරීම් රටාවන් ඔබ ඕනෑ තරම් දැක තිබෙන බවට සැකයක් නෑ. මෙය අප සරලව මානව කේන්ද්‍රීය චින්තනය ලෙස හඳුනා ගනිමු. මානව කේන්ද්‍රණවාදය යන පදය මානව විද්‍යාඥයින් විසින් මුලදී භාවිතා කර තිබෙන්නේ යම් මිනිසෙකුගේ ජීවන රටාව ස්වාභාවික වේද නැත්නම් නිවැරදි වේද යන්න තීරණය කිරීම සඳහාය.
එනමුත්, කල්යත්ම විවිධ විද්වතුන් විසින් මෙම පදය සංස්කෘතික නිශේධනාර්ථ පදයක් ලෙස හැඳින්වීමට පටන් ගෙන තිබෙනවා. එමඟින්, යම් පුද්ගලයෙකු විසින් ඔහුගේ හෝ ඇයගේ සංස්කෘතිය හැර වෙනත් සංස්කෘතීන් පහත් වේය යන මතය මෙම පදය හරහා නිරූපණය වී ඇත. යම් පුද්ගලයෙක් තම සංස්කෘතිය නිවැරදි බවත් එය අන් සංස්කෘතීන්ට වඩා උසස් සහ සර්ව සාධාරණ බවත් ඒ හරහා වෙනෙකෙකුගේ සංස්කෘතීන් විවේචනය කරමින් ප්‍රතික්ෂේප කරන්නේ නම් එය මානව කේන්ද්‍රවාදී චින්තනය ලෙස හැඳින්වේ. බෝසියානු සම්ප්රදායේ මානව විද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට ‘මානව කේන්ද්‍රණවාදය’ යනු මානව විද්‍යාවේ ප්‍රතිප්‍රහාරයකි. මානව විද්‍යාව මානව කේන්ද්‍රණවාදය ප්‍රතික්ෂේප කරයි.
අද්‍යතනයේ සමාජ ජාලා මාධ්‍ය විසින් ජනතාවගේ දෛනික ජීවිතය ආක්‍රමණය කර තිබේ. තම සිතුම් පැතුම්, ආකල්ප, අදහස්, තොරතුරු, ඕපාදූප ආදී ඕනෑම ආකාරයේ දෙයක් දැනගැනීමට මෙන්ම සමාජගත කිරීමටද අද්‍යතනයේ ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යය පරිශීලනය කිරීම සිදුවේ. ඒ අතර මෙහි දැකිය හැකි අර්බුදකාරී තත්ත්වයක් ලෙස මානව කේන්ද්‍රීය චින්තනයන් වේගයෙන් පැතිරීම දැකිය හැකිය.
මෙහිදී රටෙහි ජාතික සමගියට බාධා කරන සුළු ප්‍රකාශන, යම් ජන වර්ගයක් පහත් කොට සලකමින් සිදු කරනු ලබන ප්‍රකාශන, යම් ප්‍රදේශයක් පහත් කොට හෝ උසස් කොට සලකමින් සිදු කරන ප්‍රකාශන, යම් පිරිසක් අපහසුතාවයට පත් වන ආකාරයේ ප්‍රකාශන ෆෙස්බුක් සමාජ ජාලා මාධ්‍ය හරහා දැකිය හැකිය. මේ අතර මෙරට කාලාන්තරයක් පුරාවටම විටෙක උත්සන්න වෙමින්ද පැතිරෙන දකුණු පළාත පිළිබඳව සිදු කරන මානව කේන්ද්‍රීය චින්තනයන් සහිත පල කිරීම් ප්‍රධාන ස්ථානයක් ගනියි. මෙහිදී එම ප්‍රදේශයේ සිටින පුද්ගලයින් ඔවුන්ගේ ප්‍රදේශය උසස් යැයි සිදු කරන ප්‍රකාශන මෙන්ම, අනෙකුත් ප්‍රදේශයන් තුළ ජීවත් වන මිනිසුන් දකුණු පළාතේ සිටින පුද්ගලයින් පහත් කොට සලකන දැන්වීම් යන ආකාර දෙකෙන්ම සිදු වෙන මානව කේන්ද්‍රණවාදී චින්තනයන් දැකිය හැකිය.
2019 වසරේ අප්‍රේල් මස 21 වන දින මෙරට සිදු වූ බෝම්බ ප්රහාරයන් හමුවේදීත්, මෑතකදී කොරෝනා ආසාධිත වී මියගිය මුස්ලිම් දේහයන් ආදාහනය කිරීමේදීත් මානව කේන්ද්‍රණවාදී චින්තනයන් ෆේස්බුක් හරහා හුවමාරු වීම දැකිය හැකි විය.
එපමණක් නොව තමන් පමණක් උසස් යැයි පවසමින් යම් කොටසකගේ සිතෙහි වෛරී සහගත හැඟීම් උද්දීපනය වන ආකාරයෙන් බොහෝ ප්‍රකාශ, සටහන්, පල කිරීම් ෆෙස්බුක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැකිය හැකිය. මෙවැනි දෑ පල වීම හරහා කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන වශයෙන් මිනිසුන්ගේ සිතට බලපෑම් එල්ල වන අතර එමඟින් ජාතිවාදී සිතිවිලි වර්ධනය වී ජාතික සමගියට තර්ජනයක් වන තෙක් එය වැඩි දියුණු වේ. එකවරම මතුවන ගැටුම් ආදිය සඳහාත් මෙවැනි මානව කේන්ද්රණීය චින්තනයන් හේතු සාධක වන බව දැකිය හැකිය. එය 2019 වසරේ පාස්කු දින ප්‍රහාර මාලාවෙන් අනතුරුව මෙරට ඇතැම් ප්‍රදේශයන්හි ජාතීන් අතර ඇති වූ ගැටලුකාරී තත්ත්වයන්ගෙන් අවබෝධ කරගත හැකිය.
ප්රකාශනයේ නිදහස අවභාවිතා කරමින් ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍යය හරහා තිබෙන අසීමිත නිදහස හේතුවෙන් මෙවැනි මානව කේන්ද්‍රණවාදී චින්තනයන් බිහිවන අතර එක් රටක, එක් නීතියක, එක් කොඩියක් සෙවණේ සිටින පුරවැසියන් වශයෙන් මානව කේන්ද්‍රණවාදී චින්තනයන් බැහැර කිරීම වගකීමකි.