මාධ්‍ය ආචාරධර්ම, මාධ්‍ය භාවිතයට අත්‍යාවශ්‍ය කොන්දේසියකි – එය උරචක්‍ර මාලයක් නොවේ
ජයසිරි ජයසේකර
‘ජනමාධ්‍ය ආචාරධර්ම’ යන්න මෑතක් වන තුරුම මාධ්‍ය ක්ෂේතරයේ සීමිත පිරිසකට සීමා වූ මාතෘකාවක් විය. එය බොහෝදුරට මාධ්‍යයේ ප්රමිතීන් හා සමාජමය භූමිකාව පිළිබඳව උනන්දුවක් දක්වන එක්තරා ප්‍රභූ තන්ත්රයක උරුමයක් ලෙස සැලකිණි. ඒ පිළිබඳ යම් තරමක හෝ අවබෝධයක් හා අවධානයක් පැවතියේ නම්, එය මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්රයට සීමා වූ අතර විද්‍යුත් මාධ්‍යවලට සම්බන්ධ බොහෝ දෙනා සැලකුවේ එය තමන්ට අදාළ නොවන, කිසිසේත්ම කරේ නොදාගතයුතු උරචක්රමාලයක් ලෙසිනි.
එහෙත් කෙටි කලක් ඇතුළත මේ තත්ත්වය විස්මිත ලෙස උඩුයටිකුරු වී තිබේ. මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ කතිකාවත මාධ්‍ය ප්‍රභූ සඳළුතලයෙන් බැස ගමේ නිර්ප්‍රභූ කෝපි කඩය දක්වා විතැන් වී තිබේ. ඒ සංවාදය කෙතරම් උද්යෝගිමත් හා උණුසුම් තලයට පැමිණ තිබේදයත් ඇතැම් විට මාධ්‍ය මහත්වරුන්ට ලුණු ඇඹුල් ඇතිව ආචාරධර්ම කියා දෙන තැනට සාමාන්‍ය ජනතාව පත්ව සිටී. විශේෂයෙන් කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ වාර්තාකරණයේ වැරදි හා අසංවේදී භාවිතාවන් පිළිබඳව දැඩි විරෝධයක් පළ වෙමින් ඇති අතර, මාධ්‍යවේදීන්ට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දිය යුතු බවට පවා එම කතාබහ දුරදිග ගොස් ඇති අයුරු සමහර අවස්ථාවලදී අසන්නට දකින්නට ලැබේ.
අවාසනාවකට මෙන් මාධ්‍ය සමාජය මෙම තත්ත්වය බරපතළ ලෙස ගණන් ගන්නා බවක් පෙනෙන්නට නැත. එහි අනිවාර්ය ප්‍රතිඵලය වනු ඇත්තේ මහජන විරෝධය අවස්ථාවක් කර ගනිමින් මාධ්‍ය නිදහස සීමා කිරීමේ රජයේ උවමනාවන් කරළියට පැමිණීමය. මේ වන විටත් පමා වැඩි නමුත් සිදු වීමට නියමිත අනතුර යම් තාක් දුරකට හෝ කළමනාකරණය කර ගත හැකි එකම මඟ නම් ආචාරධර්මීය මාධ්‍ය භාවිතයක් පිළිබඳ මාධ්‍ය සමාජය තුළින්ම බලවත් සංවාදයක් හා ක්රියාකාරීත්වයක් මතු කර ගැනීමය. මෙම සටහන, ඒ සඳහා පූර්විකාවකි.
ලෝක සිතියමේ අප කොතැනද?
ලෝකයේ ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ සංවාදය 1920 ගණන්වල ආරම්භ වූ බව පිළිගැනේ. ඒ ලෝකයේ පුවත්පත් කලාව ආරම්භ වී වසර 300කටත් පසුවය. එම සංවාදය මාධ්‍ය වෘත්තිකයන් කෙරෙන් මතු වීම විශේෂ කරුණක් වන අතර ආචාරධර්ම පිළිබඳ යෝජනාවලියක් මුල්වරට ඉදිරිපත් වන්නේ 1950දී නිව්යෝක්හි පැවැත්වුණු ඇමරිකානු පුවත්පත් සම්මේලනයේදීය. ආචාරධර්ම යනු යම් ක්ෂේත්රයක් වෘත්තියක් ලෙස පිළිගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. 1961දී පිහිටුවනු ලැබූ International Court of Honour මගින් ඒ සඳහා අවශ්‍ය පදනම සකස් කෙරුණු අතර, 1969දී පුවත්පත් කලාවේදීන් සඳහා වන ආචාර්ධර්ම සංග්‍රහය ප්‍රථම වරට එළිදැක්විණි. පුවත්පත් කලාවේදී සංගම්වල ජාත්‍යන්තර සංවිධානයද (The International Union of Press Association) මේ සඳහා දායක විය.
ලංකාවේ මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ කතිකාවත අඩු තරමින් අවුරුදු 40ක් පැරණිය. 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ 30 වැනි වගන්තිය යටතේ ‘ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල (පත්‍ර කලාවේදීන් සඳහා ආචාරධර්ම සංග්‍රහය) රීති’ නමින් වන අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරෙන්නේ 1981 ඔක්තෝබර් 14 වැනිදාය. පුවත්පත් මණ්ඩල පනත පිළිබඳව බරපතළ විවේචනයක් ඇතත්, ජනමාධ්‍ය වෘත්තිය සඳහා ආචාරධර්ම සංග්‍රහයක් හඳුන්වා දීම සහ එයට නීතිමය පදනමක් ලබා දීම ඉතා වැදගත් ඉදිරි පියවරකි. එයින් දසක දෙකකට පසුව වඩාත් විධිමත් හා ස්වීය ආචාරධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමට මෙරට පුවත්පත් කර්තෘවරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කර්තෘ සංසදය සමත් වන අතර 2003 වසරේදී එම ආචාරධර්ම කඩවීම් පිළිබඳ පැමිණිලි විභාග කොට විසඳුම් ලබා දිය හැකි ස්වාධීන ස්වයං නියාමණ යාන්ත්‍රණයක්ද ස්ථාපිත කෙරිණි. එය 1998 අප්‍රේල් මාසයේදී එළිදැක්වූ ‘මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්රකාශනය’ මත පදනම්ව ජනමාධ්‍ය සමාජය (පුවත්පත් කතුවරුන්, මාධ්‍ය ආයතන හිමිකරුවන් හා ජනමාධ්‍ය සංවිධාන) විසින් සාමූහිකව අත් කරගත් වැදගත් ජයග්‍රහණයකි.
මුද්‍රිත ජනමාධ්‍ය සඳහා විධිමත් ආචාරධර්ම සංග්‍රහයක් සකස් වන අවස්ථාව වන විට ලංකාවේ මුද්‍රිත ජනමාධ්‍ය ආරම්භ වී සියවස් එකහමාරක් (වසර 150ක්) ගතව තිබුණු බවද සිහිපත් කිරීම වැදගත්ය. ප්‍රථම විද්‍යුත් මාධ්‍යය වූ ගුවන්විදුලිය 1924දී ආරම්භ වූ අතර, විධිමත් ආචාරධර්ම සංග්‍රහයක් නොවෙතත් ගුවින්විදුලියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් ප්‍රතිපත්ති රාමුවක් සකස් වූයේ ඉන් වසර 42කට පසුවය. ඒ 1966 අංක 25 දරන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පනත මගිනි. 1979 ස්වාධීන රූපවාහිනිය ආරම්භයත් සමඟ ලංකාවේ රූපවාහිනී සේවාව ආරම්භ වූ අතර 1982 අංක 6 දරන රූපවාහිනී සංස්ථා පනත මගින් රූපවාහිනී සේවාවේ අරමුණු හා ක්‍රියාකාරිත්වය පිළිබඳ නිර්ණායක හඳුන්වා දෙනු ලැබිණි. එයටද වසර 40කට ආසන්න කාලයක් ගත වී ඇතත් මේ වන තුරුම විද්‍යුත් මාධ්‍ය සඳහා විධිමත් ආචාරධර්ම මාලාවක් නැත. 1991දී පෞද්ගලික ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා ආරම්භ වීමත් සමඟ එතෙක් විද්‍යුත් මාධ්‍ය සඳහා පැවති රජයේ ඒකාධිකාරය අහෝසි වී හුදෙක් ලාභය හා දේශපාලන න්යායපත්ර සාධනය කර ගැනීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වන දැවැන්ත විද්‍යුත් මාධ්‍ය ජාලයක් බිහි විය. ඉකුත් දශක දෙකක් තිස්සේ ලාංකීය සමාජය උඩු යටිකුරු කිරීමට මේ මාධ්‍ය ජාලය සමත් වී ඇතත් එම මාධ්‍යවල ක්‍රියාකාරීත්වය යම් ආචාරධර්මීය රාමුවකට ගෙන ඒමට එකී විසි වසර මුළුල්ලේම කිසිවකුට හැකි වී නැත. ඒ ගැටලුව මේ වන විට සමස්ත ජනමාධ්‍ය කර්මාන්තයටම අභියෝගයක් වී තිබේ.
ස්වාධීන නියාමනයේ අභියෝගය
2003 වසරේදී ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම පිහිටුවනු ලැබුවේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට විකල්පයක් වශයෙනි. ජනමාධ්‍ය නිදහසට හානිකර අංග ඇතුළත් පුවත්පත් මණ්ඩල පනත යටතේ ස්ථාපිත කෙරුණු පුවත්පත් මණ්ඩලය අක්‍රිය කර තැබීම මගින් ජනමාධ්‍ය සමාජයේ මෙම උත්සාහයට එවකට පැවති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සහාය පළ කෙරුණු අතර ඉදිරියේදී පුවත්පත් මණ්ඩලය අහෝසි කොට ස්වාධීන නියාමනයට යම් නිල පිළිගැනීමක් ලබා දීම ඊළඟ පියවර ලෙස යෝජනා වී තිබිණි. එහෙත් එම ආණ්ඩුව කෙටි කලකදී බිඳවැටීම හේතුවෙන් එම ක්‍රියාදාමය ඉදිරියට ගියේ නැත. ඉන් අනතුරැව බලයට ආ ආණ්ඩුව විසින් මඳ විරාමයකට පසුව පුවත්පත් මණ්ඩලය යළි බලාත්මක කෙරිණි.
අනිත් අතට ස්වාධීන නියාමනයෙහිද මුල සිටම සීමා තිබිණි. සියලු මුද්‍රිත මාධ්‍ය සිය නියාමනය යටතට ගැනීමට නොහැකි වීම ප්‍රධානම අභියෝගයයි. එයට බලපෑ හැකි වූයේ ශ්‍රී ලංකා කර්තෘ සංසදය සමාජිකත්වය දැරීම ඔස්සේ එම ආචාරධර්ම ආරක්ෂා කිරීමට බැඳී සිටින පුවත්පත් සම්බන්ධයෙන් පමණකි. එය ආරම්භක අදියරේදීම ලසන්ත වික්‍රමතුංග කර්තෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත්පත එහි නියාමනය පිළිගත්තේ නැත. එමෙන්ම කර්තෘ සංසදයේ සාමාජිකත්වය නොදරන තවත් ප්‍රකාශන තිබිණි. ඒ වන විට වේගවත් වර්ධනයක් අත් කර ගනිමින් සිටි වෙබ් මාධ්‍ය සිය විෂය පථයට ඇතුළත් කර ගැනීමේ උත්සාහයද සාර්ථක නොවිණි. තවත් ගැටලුවක් නම්, කර්තෘ සංසදයේ ආචාරධර්ම පද්ධතියට හුදු නාමික හෝ සදාචාරාත්මක එකක් මිස නෛතික හෝ වෘත්තීය බැඳීමක් බවට පත් නොවීමයි.
ආචාරධර්ම, වෘත්තීය පත්වීමක කොන්දේසියක් නොවන අතර එය කඩ කිරීම රැකියාව අනතුරට ලක් වීමට හේතුවක් නොවේ. පුවත්පත්වල අලවිය වැඩි කර ගැනීම හා අර්ථපතියන්ගේ දේශපාලන න්යායපත්ර මත දිගින්දිගටම ආචාරධර්ම කඩ කිරීම සුලබ තත්ත්වයකි. ආචාරධර්ම නොතකා එම අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කිරීමට සූදානම් මාධ්‍යෙව්දීන් හා කතුවරුන් වරප්රසාදිතයන් බවටත්, ආචාරධර්ම ගැන උනන්දුවක් දක්වන්නන් කරදරකාරයන් හෝ ගර්හිතයන් බවටත් පත් වන කනගාටුදායක තත්ත්වයක් බොහෝ මාධ්‍ය ආයතන තුළ පවතී. පුවත්පත් කිහිපයක හැරුණු විට සමස්තයක් ලෙස ආචාරධර්ම අනුව කටයුතු කිරීමේ භාවිතයක් ඇත්තේම නැතැයි කිව හැකිය. මේ සියලු සීමාවන් මධ්‍යයේත් සිය අරමුණු සාධනය කර ගැනීමට පුවත්පත් පැමිණිලි කොමිසම අඛණ්ඩව දරන උත්සාහය හා එහි ප්‍රගතිය පැසසුම් කටයුතුය. විශේෂයෙන් මහජන පැමිණිලි සම්බන්ධයෙන් විසඳුම් ලබා දීමේ කාර්යය ප්රශස්ත ලෙස ඉටු වෙමින් තිබේ.
අයාලේ යන විද්‍යුත් මාධ්‍ය
ආචාරධර්ම සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍යවල තත්ත්වය ඉතා කනගාටුදායකය. ගුවන්විදුලි නාලිකාවලට වඩා රූපවාහිනී නාලිකාවල තත්ත්වය අයහපත් වන අතර ඒ අතරිනුත් පෞද්ගලික මාධ්‍යවල තත්ත්වය අතිශයින් දූෂිතය. පෞද්ගලික නාලිකාවලට අවසර දෙන විට රූපවාහිනී සංස්ථා පනතේ කොන්දේසි ඒවාටද අදාළ වන බවට යම් සම්මුතියක් පැවති නමුත් වත්මන් මාධ්‍ය හිමිකරුවන් හා ප්‍රධානීන් ඒ පනත දැක තිබෙනවාද යන්න පවා සැක සහිතය. පොදු දේපළක් වන රූපවාහිනී සංඛ්‍යාත භාවිතය සඳහා අවසර ලබා දීම සාධාරණ ක්‍රමවේදයක් අනුව සිදු විය යුතු බව මාධ්‍ය විෂය පිළිබඳ ප්රාමාණිකයන් විසින් කලක සිට පෙන්වා දෙන නමුත් තවදුරටත් එය දේශපාලන ගජමිතුරුකම් මත සිදුවන දූෂිත ගනුදෙනුවකි. මාධ්‍ය ආයතන සියලු නෛතික හා සදාචාර සීමාවන් ඉක්මවා කටයුතු කිරීමට එයද එක් හේතුවක් වන අතර එසේ කටයුතු කිරීම ඔවුන්ගේ පැවැත්මට අභියෝගයක් වී නැත. එපමණක් නොව ඒවායේ ප්‍රධානීන්ට රාජ්‍ය තන්ත්රය තුළ වැදගත් තනතුරු ලැබීමට පවා සුදුසුකමක් වී ඇත.
චන්ද්‍රිකා පාලන සමයේ විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා විකාශන අධිකාරී පනතක් ගෙන ඒමේ උත්සාහයක් දැරූ මුත් එය සාර්ථක නොවීය. මාධ්‍ය සාධාරණ නියාමනයකට යටත් කිරීමට එහා ගිය මර්දනකාරී උවමනාවන් ඒ තුළ අන්තර්ගත වීම ඊට හේතු විය. මාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් (මැතිවරණ කොමිසම මෙන්) ස්ථාපිත කළ යුතු බවට මාධ්‍ය සංවිධාන ඇතුළුව මාධ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව විසින් කරන ලද ඉල්ලීමද 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ වත් යථාර්ථයක් කර ගැනීමට හැකි වූයේ නැත.
20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ශ්‍රී ලංකාව යනු, ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ අවකාශයන් හකුළුවා දැමූ භූමියකි. එහෙත් මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ අභිලාෂයද ඒ පිළිබඳ සංවාදයද අවබෝධාත්මක පෙළඹවීමද (Advocacy) අප අත් නොහළ යුතුය. මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුතු කාරණයක් නම්, නව මාධ්‍යවල අසීමිත වර්ධනය හමුවේ සාම්ප්‍රදායික මාධ්‍යවලට එල්ල වන අභියෝගයට මුහුණ දිය හැකි වැදගත්ම ශක්තිය ඇත්තේ ඉහළ ප්‍රමිතියකින් යුත් ආචාරධාර්මික මාධ්‍ය භාවිතය තුළ බවයි. ඒ පිළිබඳව මාධ්‍ය සමාජය තුළින්ම බලවත් හඬක් හා ක්රියාකාරීත්වයක් මතු කර ගැනීම මේ මොහොතේ වෘත්තියේ ගරුත්වය මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන්ද අත්‍යවශ්‍ය කොන්දේසියකි.