Uncategorized

මහ සමුදුර මියයමින් පවතී!

සජීව විජේවීර

මහපොළව මත ජීවය ආරම්භ වූයේ සාගර පත්ලෙනි. සාගරය පොළෝ මතුපිට 70%කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිර ගොස් ඇත. එමෙන්ම ලොව ජෛව ස්කන්ධයෙන් 90%කටත් වඩා ප්‍රමාණයක් දරා සිටින්නේද සාගරයයි. මේ නිසාම සාගරය යනු මිනිසුන්ගේ පමණක් සමස්ත ජීවයේ පැවැත්මට තීරණාත්මක බලපෑමක් ඇති කරන සාධකයකි.

මිනිසාගේ පරිනාමයේ ආරම්භක අවදියේ පටන් සාගර සම්පත් මත යැපුණු බවට ලංකාවේ මෙන්ම ලෝකය පුරා හමුවන ප්‍රාග් ඓතිහාසික මානව සාධකයන්ගෙන් පිළිබිඹු වේ. එදා පමණක් නොව අදද අපි සාගර සම්පත් මත යැපෙන්නෙමු. මුළුමනින්ම මහ සමුදුරෙන් වට වී ඇති රටක ජීවත් වන අප අවධානය යොමු කරන්නේද සාගරයෙන් ලැබෙන්නා වූ සම්පත් කෙරෙහි පමණි. මේ මහ සමුදුර විනාශ වෙමින් පවතින ආකාරය පිළිබඳ අප කරනු ලබන සොයා බැලීම් ප්‍රමාණවත් නොවේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් මෙරට දී සිදු වන පර්යේෂණද ප්‍රමාණවත් නැත.

අප වටා ඇති සමුදුර පමණක් නොව ලෝකයේ සමස්ත සාගර පරිසර පද්ධතිය අද විනාශ මුඛයට යමින් පවතී. මේ හානිකර තත්ත්වය වළකා ගත නොහැකි වුවහොත් ඇති විය හැකි විනාශය කිසිවෙකුටත් සිතාගත නොහැකි වනු ඇත. සාගරය දූෂණය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය.

සාගරය දූෂණය වීම නිසා ඇති වන රෝග හා මරණ හේතුවෙන් ලෝක ආර්ථිකයට වසරකට සිදු වන පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 13ක් පමණ වන බව ගණන් බලා තිබේ. මෙහි බරපතළම තත්ත්වය වන්නේ රට වටාම මුහුද සහිත දූපත් වාසීන් වන අප මේ පිළිබඳ දක්වන සැලකිල්ල අවම මට්ටමක තිබීමයි. 

ලොව බිහිසුණුම සාගර දූෂණය

මෑතකදී ශ්‍රී ලංකාව අවට මුහුද දූෂණයට ලක් වූ බරපතළම සිදුවීම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විනාශයයි. එය ලෝකයේ සිදු වූ බිහිසුණුම සමුද්‍ර දූෂණය ලෙස ද පිළිගැනේ. මේ නෞකාවේ විනාශය සමඟ සිදු වූ සමුද්‍ර දූෂණය තවමත් ගණන් බලා නැත. එය කිසිදා නිසි පරිදි ගණනය කළ නොහැකි බව පරිසරවේදීන්ගේ මතයයි. 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විනාශයත් සමඟ ජීවීන්ට අහිතරකර රසායනික ටොන් ගණනක් මහ සමුදුරට එක් වූ අතර කුඩා ප්ලාස්ටික් කැබලි ටොන් දහස් ගණනක් මහ මුහුදු ජලයට සමඟ එකතු විය. ඒවායින් කොටසක් ගොඩබිමට ගසාගෙන ආ අතර ඉන් කිසියම් ප්‍රමාණයක් ඉවත් කර වෙරළ තීරය පිරිසිදු කළද තවමත් ඒ අබිලි ද්‍රව්‍ය වෙරළ පුරා තැන තැන දක්නට ලැබෙයි. මේ නැවේ විනාශයත් සමඟ දිවි අහිමි වූ සමුද්‍ර ජීවීන් ප්‍රමාණයද ගණනය කළ නොහැකි තරම් විශාලය. තවමත් මේ විනාශයෙන් සිදු වූ හානියෙන් කල්ගත වී මියයන මුහුදු ජීවීන්ද වරින් වර දක්නට ලැබෙයි. 

සාගරය දූෂණය වන ක්‍රම අතරින් තෙල් හේතුවෙන් සිදුවන දූෂණය බරපතළ පාරිසරික ගැටලු ඇති කරන්නකි. සාමාන්‍යයෙන් වසරකට ඛණිජ තෙල් බැරල් මිලියන 20 කට අධික ප්‍රමාණයක් මුහුදට එකතු වන බව පාරිසරික සංවිධාන පෙන්වා දෙයි. ඒ ප්‍රධාන වශයෙන්ම කර්මාන්තශාලා අපද්‍රව්‍ය ලෙස මුහුදට ගලා ඒමෙන්, නැව්වල ඉන්ධන ටැංකි පිරිසුදු කිරීමෙන්, නැව් අනතුරට භාජන වීමෙන්, හා මහා මාර්ග ඔස්සේ මුහුදට ගලා යාමෙන් ආදී විවිධ හේතු නිසා ඛණිජ තෙල් මුහුදට එකතු වීම සිදු වේ.

මේ අතර වාර්ෂිකව තෙල් බැරල් 600,000 ක පමණ ප්‍රමාණයක් නැව් අනතුරු හේතුවෙන් මුහුදට එකතු වන බව ගණනය කර තිබේ. මේ අනතුරුවල අත්දැකීම් අපට ද වරින් වර අත්විඳින්නට සිදුව සිදුව තිබේ.

කසළින් වැනසෙන ජීවිත

සාගරය දූෂණයට තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ මිනිස් පරිභෝජනයෙන් විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් සමුදුරට එක් වීමයි. මේ අතර මළ ද්‍රව්‍ය, කැළි කසළ, පොලිතීන් හා ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය ද වේ. ගොඩබිමෙන් සාගරයට ගමන් කරන මෙවැනි අපද්‍රව්‍ය සාගර ජල තරංග හා ඒකරාශී වී සැතපුම් දහස් ගණන් දුර ඈත ප්‍රදේශවලට ගමන් කරන බවත් ඒ අපද්‍රව්‍ය ආසන්නයේ මසුන් බහුලව ගැවසෙන බවත් ධීවරයෝ දනිති. ඔවුන් ඇතැම් අවස්ථාවල එවැනි කැළි කසළ සොයා යන්නේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි.

තවද පොලිතීන් හා ප්ලාස්ටික් තම ආහාරයැයි සිතා මුහුදු ජීවින් විසින් ගිල දැමීම හේතුවෙන් ජීවින් රාශියක් මිය යන අවස්ථා වාර්තා වී ඇත. සාගර පක්ෂීන් හා කැස්බෑවුන් මෙලෙස විශාල ලෙස තර්ජනයට ලක් වී තිබේ. ප්ලාස්ටික් හේතුවෙන් ජිවිත අහිමිව යන මුහුදු ක්ෂීරපායීන් සංඛ්‍යාව ලක්ෂයකට අධික බව පරිසර වේදීහු පෙන්වා දෙති. එමෙන්ම ප්ලාස්ටික් හේතුවෙන් මිය යන මසුන් සංඛ්‍යාවද අතිවිශාලය. මෙහි ඛේදවාචකය වන්නේ දහස් සංඛ්‍යාත සතුන් සංඛ්‍යාවක් මිය යාම පමණක් නොවේ. ප්ලාස්ටික් හා පොලිතීන් වසර ගණනාවක්ම සාගර මතුපිට පාවෙමින් සියලු සාගර ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වීමයි.

කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදා ගන්නා පොහොර වර්ගද අවසානයේ නතර වන්නේ මහ මුහුදේය. මෙලෙස අධික ලෙස රසායනිකයන් භාවිත කිරීම හේතුවෙන් මුහුදේ සුපෝෂණ තත්ත්වයක් හටගනී. ඒ අනුව විවිධ ඇල්ගී වර්ගවල වර්ධන වේගය අධික වේ. ඒ හේතුවෙන් ප්‍රදේශයේ ඔක්සිජන් ඌනතාවක් ඇති වීමන් සාගර ජීවීන් දහස් සංඛ්‍යාත ලෙස මිය යාම සිදු වේ.

සමුදුරු ආර්ථිකය අනතුරේ

මහ මුහුද මේ ආකාරයෙන් දූෂණය වුවද ලෝක මත්ස්‍ය නිපදනයෙන් සියයට 95ක් සපුරන්නේ වෙරළාසන්න මුහුදෙනි. ලෝක ජනගහණයෙන් බිලියන 3.5ක පමණ ප්‍රමාණයක් මූලික ආහාර ප්‍රභවය ලෙස සාගරයෙන් ලබා ගන්නා ආහාර මත යැපෙති.

සංචාරක කර්මාන්තය ක්‍රීඩා හා විනෝදාත්මක කටයුතු වෙනුවෙන් සාගරය හා වෙරළ තීරය සිදු කරන මෙහෙය අපමණය. ලෝකයේ මුළු රැකියා නියුක්තියෙන් 08% පමණ සෘජුව හෝ වක්‍රව රැකියා සපයා ගන්නේද මෙම කර්මාන්තයයි. එය ලොක්යේ මුළු ජාතික නිෂ්පාදනයෙන් 10%කි.

අතීතයේ රටවල් අතර ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මහ සමුදුරට පැවති තැන අද වන විට සමඟ ගුවන් ගමන්වලට මාරු වී ඇතත් නාවුක ප්‍රවාහනය වඩාත් ලාබදායී බැවින් තවමත් රටවල් අතර කෙරෙන වෙළෙඳාමෙන් 90%ක් පමණ මුහුදු මාර්ග ඔස්සේ සිදු වෙයි.

වර්තමාන ලෝක ජනගහණයෙන 40%ක් පමණ ජීවත් වන්නේ වෙරළේ සිට කිලෝමීටර් 60ක පමණ දුරක් ඇතුළතය. එමෙන්ම ලෝකයේ ප්‍රධානතම නගර 25%ක්ම පිහිටා ඇත්තේ මුහුද ආසන්නයේය. 

සාගරය මෙසේ දූෂණය වෙද්දී ධීවර කර්මාන්තය බරපතළ අර්බුද රැසකට මුහුණදී තිබේ. මසුන් මරණ යාත්‍රා ප්‍රමාණය, භාවිත කරන තාක්ෂණය ආදිය දියුණු වී ඇතත් ලබාගන්නා මත්ස්‍ය නිෂ්පදනයේ වර්ධනයක් පෙනෙන්ට නැත. ධීවරයන් නගන ප්‍රධානතම අදෝනාව වන්නේ මුහුදේ මසුන් නොමැත යන්නයි.

මත්ස්‍ය සම්පත කිසිදු ඉවක් බවක් නොමැතිව ලබා ගැනීම මේ සඳහා මූලික හේතුව වී තිබේ. මසුන් බිහිවන වේගයට වඩා වැඩි වේගයකින් මසුන් අල්ලාගැනීම හේතුවෙන් මසුන් වඳ වෙමින් පවතී. මේ වන විට අතිශය ජනප්‍රිය මාළු විශේෂ වන බලයා, කෙළවල්ලා තෝරා වැනි ආර්ථීක වටිනාකමක් සහිත මසුන්ගේ ගහනය ඉතාමත්ම ශීඝ්‍ර ලෙස අඩු වී තිබේ. 

මත්ස්‍ය කර්මාන්තය නිසාම මසුන් මුහුණ පා ඇති අනතුරුදායක තත්තවයක් වන්නේ තහනම් පන්න ක්‍රම යොදා මසුන් අල්ලීමයි. නීති විරෝධී දැල් වර්ග විවිධ පුපුරන ද්‍රව්‍ය යොදා ගැනීම මේ අතර ප්‍රධාන වේ. මෙම හානිකර ක්‍රම හේතුවෙන් මත්ස්‍ය විශේෂ සිය දහස් ගණනක් විනාශ වී යයි. එමෙන්ම කුඩා මසුන්ද මෙමගින් විනාශ වී යාම මත්ස්‍ය ගහනය වේගයෙන් පහත වැටීමට හේතු ඇත.

මේ අනුව වෙරළාසන්න මත්ස්‍ය අස්වැන්න අඩු වීමත් සමඟ මසුන් මැරීම සඳහා ගැඹුරු මුහුද වෙත යාම ද වැඩි වී තිබේ. ඒ සමග ගැඹුරු මුහුදේ මසුන්ට ඇති තර්ජනයද වැඩි වී ඇත. මෙම පෙදෙස්වල වසන වැඩි කාලයක් ජීවත්වන ජීවී විශේෂවලට මෙයින් විශාල අහිතකර බලපෑමක් ඇති වී තිබේ. කෙසේ වෙතත් අප දන්නා සත්‍යය නම් සාගරය දූෂණ වෙමින් පවතින අතරම මතස්‍ය සම්පතද අඩු වෙමින් පවතින බවයි.

මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා සාගර පරිසරය පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කළ යුතුව තිබේ. එය කල් දැමිය නොහැකි අවශ්‍යතාවකි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts