මනෝහරන්ට දිගුකළ මනුෂ්‍යත්වයේ දෑත
කමණී හෙට්ටිආරච්චි
වැල්ලම්පිටිය නම ඇසූ සැනින් කාගේත් සිතට එන්නේ , ජනාකීර්ණ, නාගරික පරිසරයක සිතුවමකි.වැල්ලම්පිටිය නගරයට එය එසේ වුවත් මෙම කතාවට අයත්ප්‍රදේශය ගැමි පරිසරයක අසිරිය මවන වෙල් යායවල්, කීර කොටු ද සහිත ග්‍රාමීය සුන්දරත්වය සහිත ප්‍රදේශයකි. එක් දෙසකින් කැළනි ගං කොමලිය නිසොල්මනේ ගලා බසියි.සිංහල,දෙමළ හා මුස්ලිම් ජනවර්ගවලට අයත් සෑම ජනකොටසක්ම පාහේ මේ වනවිට එහි සහෝදරත්වයෙන් වාසය කරති.
නමුත් මෙම කතාවෙන් කීමට උත්සාහ කරන්නේ එම පුද්ශයේ වර්තමාන තත්ත්වය ගැන නොව මීට දශක කිහිපයකට ඉහතදී එනම් අසූව දශකයේ මුල් භාගයේ දී එම ප්‍රදේශයේ වූ සිදුවීමක් ගැන කියන්නනට ය.
අඩි හයක පමණ උසින් යුතු ඝන උඩු රැවුලකින් හෙබි දේහදාරි මිනිසෙකු එම ප්‍රදේශයේ වාසය කළේය. හෙතෙම හිටපු පොලිස් නිළධාරියෙකි.ඒ නිසා ගමේ උදවිය ඔහුට කතා කළේ මනමේන්ද්‍ර රාළහාමි කියාය.ගමේ පොඩි එකාගේ සිට මහල්ලා දක්වාම මනමේන්ද්‍ර රාළහාමිට ගරු කළේය.ගමේ කාටත් උදව් උපකාර කරගෙන ජීවත්වූ ඔහුගේ නිවසට යන එන ඕනෑම අයෙක්ට බත් කටකින් තේ වීදුරුවකින් සංග්‍රහ කිරීම රාළහාමිගේ නිවසේ සිරිත විය.
කැළනි ගග අසබඩ පිහිටි පහත්බිම් පදේශයක් නිසා එහි ජනතාවට නිරන්තරයෙන් ගංවතුරෙන් පීඩා වි‘දීමට සිදුවිය. ඒ හේතුව නිසාම මනමේන්ද්‍ර රාළහාමිගේ මුතුන් මිත්තන් එම නිවස ඉදිකර තිබුණේ, උස් ස්ථානකය. එහි ගෙමිදුලට පිවිසීමට පඩි හය හතක් නැගිය යුතු බැවින් ගංවතුර කාලවලදී ඉන් පීඩා වි‘දින බොහෝ අසල්වාසීන්ට මුල්ම ආරක්ෂිත නිවහන වූයේ මනමේන්ද්‍ර රාළහාමිගේ නිවස ය.
ශ්‍රී ලංකාවේ වාර්ගික සම්බන්ධතා අතින් ඉතිහාසයට එක් වූ අදුරුතම කාල පරිච්ඡේදය වන්නේ 1983 දී රට පුරා ඇවිළුණු දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයයි. නිදහස් ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ දුක්බර කාලපරිච්ඡේද කිහිපයකට ගොදුරු වුව ද ඒ සියල්ලටම වඩා දරුණුතම අවස්ථාව වූයේ 1983 ජූලි කලබලයි. මේ වන විට වසර 38 ක් ගෙවී ගොස් ඇතත් එම අමිහිරි අවස්ථාව 83 කළු ජූලිය යනුවෙන් අපගේ ඉතිහාසයට එක්ව ඇත. එහි වූ බියකරු බව නිසාත් පසුව ක්‍රමයෙන් උතුරේ හිස එසවූ එල් ටී ටී ඊ සංවිධානය ඇතුලු සන්නද්ධ සංවිධානවල ක්‍රියාකාරකම් හේතුවෙනුත් දිවයිනේ වෙනත් ප්‍රදේශවල ජීවත්වූ දමිළ ජාතිකයින් ට මුහුණ පෑමට සිදු වූ සමහර අත්දැකීම් නැවතත් සිහිපත් කළ යුතු නැත. එය දමිළ බොහෝ දෙනා සිංහල ජන සමාජයේ සැකයට බදුන් වු වකවානුවක් විය.
උතුරේ ගිනිදැල් ඇවිළී විවිධාකාරයෙන් එහි ගිනි පුලිගු දකුණට පතිත වනවිට ඉන්දියානු සම්භවයක් සහිත ශ‍්‍රී ලාංකීය දෙමළ ජනතාවටත් එහි උණුසුම දැනෙමින් තිබුණි.
මනෝහරන් නැමැති දෙමළ ජාතිකයෙකු නිර්මලා නැමැති තම බිරිද ද සමග ලෑලිවලින් තැනූ කුඩා නිවසක් කුලියට ගෙන මනමේන්ද්‍ර රාළහාමිගේ නිවස ආසන්නයේ ස්ථානයකට පදිංචියට එන්නේ එම කාලයේ දීය. එහෙත් ගම්වැසියන්ගෙන් ඒ සදහා අනුමතියක් නොවුණි.මනෝහරන්ට හා බිරිද නිර්මලා ට අසල්වාසීන්ගේ ලැබුණු සමහර ප්‍රතිචාර සිත් කළකිරවන ආකාරයේ අමිහිරි අත්දැකීම් ය. එහි අඩුවක් නොවූයෙන් මනෝහරන් නම අසා ඇති අසල්වාසී මනමේන්ද්‍ර රාළහාමි හමුවී තත්ත්වය පැහැදිලි කළේය. එයට නිහඩව හොදින් සවන් දී සිටි හිටපු පොලිස් නිලධාරියෙකු වන මනමේන්ද්‍ර “ රාළහාමිට ද ස්තිර යමක් පැවසීමට තරම් වූ ශක්තියක් නොවූවද ඔහුගේ හිත හදා ඕවා ගනං නොගෙන සිටින මෙන් මනොහරන් ට ප්‍රකාශ කළේය.
මනෝහරන් කොළඹ අධිකරණයක සුළු සේවකයෙකු ලෙස සේවය කළ අයෙකි.ඔහු තමන්ගේ පාඩුවේ සිය රැකියාව කරමින් අහිංසක දිවි පෙවතක් ගත කරන අයෙකු බව සොයා ගැනීමට මනමේන්ද්‍ර රාළහාමිට වැඩි කාලයක් ගත වූයේ නැත. සිය නවක අසල්වැසියා ගැනයම් විශ්වාසයක් ඇතිකරගත් රළහාමි දිනක් මනෝහරන් බලාපොරොත්තු නොවූ අවස්ථාවක ඔහුගේ නිවසට ගොස් ආ ගිය තොරතුරු කතාබහ කරමින් සිට බියක් ඇති කර නොගෙන ඉන්නා ලෙස පවසා පැමිණියේය.
ඉන්පසු මනමේන්ද්‍ර රාළහාමි අහල පහළ ගෙවල් කිහිපයකට ද ගොස් මනෝහරන්ට මුහුණපෑමට සිදුව ඇති තත්වය සමහන් කිරීම සදහා මැදිහත්වීමට කටයුතු කළේය.සිල්වා රාළහාමි කියන කරන දෑ පිළිබදව විශ්වාසයක් ඇති අසල්වැසියන් ඔහුට සාවදානව සවන් දුන්නේය. ක්‍රමයෙන් මනෝහරන් අසල්වැසියන්ගේ විශ්වසනීය සාමාජිකයෙක් බවට පත් විය. මාස කිහිපයක් ගත වන විට මනෝහරන් අසල්වාසීන්ගේ සිත දිනා ගැනීමට සමත් විය . නිර්මලා ද අසල්වාසීන් සමග ඉතාමත් ලෙන්ගතුව ජීවත් වූවාය. අසල්වැසියෙකුගේ අවශ්‍යතාවකදී කිසිදු පැකිලීමකින් තොරව සහයට පැමිණීමට මනෝහරනුත් නිර්මලාත් පසුබට නොවූහ.
වසර කිහිපයක් ගත වන විට මනෝහරන් තමන් උපයා ගත් මුදලින් එම ගමෙන්ම කුඩා ඉඩම් කැබැල්ලක් ද මිලට ගත්තේ ය.මුලින්ම ලෑලි ගැසූ කුඩා නිවසක් ඉදි කළ මනෝහරන් පසු කාලීනව එම ඉඩමේ මනා නිවසක් ද ඉදි කළේ ය. මනෝහරන් ගැහැණු දරුවන් දෙදෙනෛකුගේ පියෙකි.උසස් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලැබූ දරුවන් දෙදෙනාට සිංහල භාෂාව මැනවින් හැසිරවිය හැකිය.
මනෝහරන් හා නිර්මලා හොද හින්දු බැතිමතුන් වූවෝය. සිකුරාදා දිනය ඔවුන්ගේ උපවාස දිනය විය.වැඩ කටයුතු කොතරම් බහුල වුණත් කෝවිලට යාම ඔවුනගේ පුරුද්දකි. එසේ වුවද ඔවුන් ගමේ පන්සලේ ද හොද දායකයින් වූහ. පන්සලට දාන වේලක් පිරිනැමීමට ද ඔවුන් අමතක නොකළේය. ගමේ පොදු කටයුතුවලදී තමන්ට හැකි උපරිම අයුරින් උදව් කිරීම මනෝහරන්ගේ සිරිත ය.
මනමේන්ද්‍ර රාළහාමි නොසිටින්න අපගේ ජීවිත කොහොම වෙන්න තිබුනද කියන එක හිතාගන්නවත් බැහැ.අපිට මොනවයින් මොනව වෙයිද කියන්න දන්නෙත් නැහැ. ඒ මනෝහරන් නිතරම සිහිපත් කරන කතාවකි. එම අවස්ථාව සිහිපත් කරනවිට, සිය ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටින මනමේන්ද්‍ර රාළහාමි මුහුණේ නැගෙන්නේ ආඩම්බරකාරි සිනහවකි. සංහිදියාව වැනි වචන වෙනුවට සැක සංකාව, ත්‍රස්තවාදය, යුද්ධය වැනි කතා බහ ඇසුණු සමයක මනමේන්ද්‍ර රාළහාමි මනෝහරන්ට දිගුකළ මනුෂ්‍යත්වයේ දෑත සාමයට සහජීවනයට ලැදි කාගේ සිත් තුළත් ඇති කරන්නේ ආශ්වාදයකි. ඔවූහු එම ගමේ සහජීවනයෙන් ජීවත් වෙති. එය සංහිදියාවේ කදිම සුසංයෝගයකි.
සත්‍ය සිදුවීමක් ඇසුරිනි. නම් සියල්ල මන:කල්පිතය.