මන්දපෝෂනයෙන් පෙළෙන පරපුරක පීතෘත්වය ලබන ලංකාව
කමණී හෙටිටිආරච්චි
“හොඳම දේ දරුවන්ට” යන ප්‍රකට කියමන නිතරම පාහේ දේශපාලන වේදිකාවලත් මාධ්‍ය හරහාත් නිතරම අසන්නට ලැබෙන්නකි. සමස්ත ලෝකයේම වෙසෙන දරුවන් වෙනුවෙන් නිර්මාණය වී ඇති මෙම කියමනට අදාළව කටයුතු සිදුවිය යුතු නමුත්, එය එසේ නොවන බව ලංකාවේ පාලකයින්ට සහ මෙරට වැඩිහිටි පරම්පරාවට පසක් වූයේ නොබෝදාය. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය විසින් ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ නවතම වාර්තාව ප්‍රකාශයට පත් වීමත් සමග සමාජයේ ඇති වූ තිගැස්ම ප්‍රබල ය.
යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ සිය නවතම වාර්තාව අනුව ලංකාව ළමා මන්දපෝෂණය අතින් ලෝකයේ 7 වැනි ස්ථානයටත් දකුණු ආසියාතික කලාපයේ දෙවැනි තැනටත් පත්ව ඇත. සමස්තයක් වශයෙන් මිලියන 1.7 කට වැඩි ළමා ජනගහනයක් මෙරට පෝෂණ ගැටළුව මුල් කර ගනිමින් මන්දපෝෂණ තත්ත්වය කරා ගමන් කරමින් සිටින බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.
මෙම බරපතල උවදුරට ගොදුරුව ඇත්තේ, රට භාර ගැනීමට සිටින අනාගත දරු පරපුර වීම කෙතරම් අභාග්‍යයක් ද යන කාරණය සම්බන්ධයෙන් මේ රටේ ප්‍රමාණවත් කථිකාවක් ගොඩනැගෙන බවක් පෙනෙන්නට නැත. සමස්ත රටම දරුණු ආර්ථික අවපාතයකට ගොදුරු වී සියළු දෙනාටම ආහාර සපයා ගැනීමට දුෂ්කර මෙවන් අවධියක, දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් පමණක් විශේෂ අවධානය යොමු කළ හැකිද? යන ගැටළුව කෙනෙකුට මතුවිය හැකිය. නමුත් සියළු දෙනා අවබෝධයෙන් සහ සිහි නුවණින් සලකා බැලිය යුත්තේ, මේ තත්ත්වය හදිසියේ ඇති වූවක් ද යන්න ය.
මෙය මේ මොහොතේ රට තුළ නිර්මාණය වී ඇති අර්බුදයේ ක්ෂණික ප්‍රතිඵලයක් නොවේ. වත්මන් අර්බුදය විසින් තත්ත්වය වඩාත් නරක තැනකට ගෙන යන බව සැබෑවක් නමුත් මෙය දශක කිහිපයක් තිස්සේ, වර්ධනය වූවකි. එබැවින් රටේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන්ට මෙවැනි ඉරණමක් අත් කර දීමේ, වගකීමෙන් මිදීමට වැඩිහිටි පරපුරටත් රටේ පාලකයින්ටත් නොහැකි ය.
රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයට පැහැදිළි හා විශ්වාසනීය පිළිතුරු නොලැබෙන පසුබිමක ජීවන වියදම මුල් කර ගනිමින් අතුරු ගැටළු ගණනාවක් මතු වී තිබේ. රටේ පවතින උද්ධමනය හා ආහාරවල මිල ගණන් බරපතල ලෙස ඉහළ යාමට විකල්ප ලෙස ශ්‍රී ලාංකික ජනතාව මෙම වකවානුවේ අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග වනුයේ,
01. ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම,
02. ආහාරයේ ගුණාත්මක බව අඩු කිරීම.
03. ගනු ලබන වේල් ප්‍රමාණය අඩු කිරීම.
යනාදියයි. යුනිසෙෆ් සංවිධානයේ නවතම සමීක්ෂණ අනුව ලංකාවේ පවුල් 10 කින් 07 ක් ඉහත විකල්ප වෙත ගොස් ඇත. ලංකාවේ වර්තමාන ජනගහනයෙන් සියයට 25 ක් මෙම තත්ත්වයට මුහුණ දී සිටිති.
මන්දපෝෂණය යනු අවිධිමත් හා ප්‍රමාණාත්මක නොවන ආහාර රටාවක් නිසා ඇති කරන තත්ත්වය විග්‍රහ කිරීමට වෛද්‍ය විද්‍යාත්මක යෙදවුමකි. එක් පුද්ගලයෙකුට දිනකට කිලෝ කැලරි 2155 ක් අවශ්‍ය වේ. ලංකාවේ ජනගහනයෙන් හරි අඩක් එනම්, සියයට 50 ක් ඉහත නිර්දේශිත කැලරි ප්‍රමාණය ලබා ගන්නේ නැත. සමීක්ෂණ වාර්තාවලට අනුව ලංකාවේ දිළිඳු ජනතාව දෛනික ඒක පුද්ගල ශක්ති පරිභෝජනය කිලෝ කැලරි 1471 ක් වේ.
මෙරට සෞඛ්‍යය අමාත්‍යංශය කළ සමීක්ෂණයකට අනුව රටේ සාමාන්‍ය ළමා මන්දපෝෂණය සියයට 29 ක් වේ. එමෙන්ම ගැබිණි මව්වරුන් අතර නීරක්තියෙන් පෙළෙන සංඛ්‍යාව සියයට 16.2 ක් ද කිරි දෙන මව්වරුන් අතර එය සියයට 19.6 ක් ද වන බව පෙන්වා දෙන්නේ, ආසියානු මානව හිමිකම් කොමිසමේ වාර්තාව විසිනි. එම වාර්තාවලට අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල ළමයින් අතරින් සියයට 46 ක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර එම පළාතේ ඇතැම් ප්‍රදේශවල එය සියයට 50 දක්වා ඉහළ ගොස් ඇත. දරුවන් මෙන්ම එම ප්‍රදේශවල කිරි දෙන මව්වරුන් , ගර්භනී කාන්තාවන් මෙම තත්ත්වයට මුහුණ දී සිටී. එම සියළු වාර්තා පෙන්වා දෙනු ලබන්නේ, එකී තත්ත්වයට හේතු වී ඇත්තේ, දිළිඳු බව, නිසි අධ්‍යාපනයක් නොතිබීම, බාල වයස් විවාහ සහ අඩු පෝෂණ තත්ත්වයන් යන කාරණාය.
ලංකාවේ පැවැති තිස් වසරක යුද්ධය විසින් රට තුල නිර්මාණය කළ අයහපත් පරිසරය විසින් මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් කිරීම ද එම පෝෂණ ඌනතාවලට බලපා ඇත. කෙසේ වෙතත් වර්තමානයේ උද්ගත වී ඇති අර්බුදයේ ක්ෂණික ප්‍රතිඵලයක් ලෙස වත්මන් තත්ත්වය අර්ථකතනය කළ නොහැකි වුවත් ළමා රෝහල ආශ්‍රිතව පසුගිය දිනවල මෙරට වෛද්‍යවරු කළ සමීක්ෂණයට අනුව රෝහල් ගත කළ ළමුන් අතරින් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ප්‍රමාණය සියයට 20 ක් වේ. රටේ දරුවන් මුහුණ දී ඇති මෙම තත්ත්වයට පිළිතුරු ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබිණි. රටේ පවතින මිථ්‍යා මත බැහැර කරමින් නිවැරදි ආහාර රටාවකට යොමු විය යුතු බව ඔවුන් සඳහන් කර තිබීම සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම අවධානය යොමු විය යුත්තකි.
ළමා මන්දපෝෂණය පිළිබඳ ප්‍රශ්නයේදී ලංකාව ඉතා බැරෑරුම් තැනක හිටියත් මෙය ලංකාවට පමණක් ආවේණික තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තා සහ පුරොකතනයන් නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. දරුවන්ට නිරෝගී ලෙස හැදී වැඩීමේ අවස්ථාව සහ සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට කිසිදු රටක් සමත්ව නැති බව ලෝක සෞඛ්‍යය සංවිධානය මෑතකදී කළ ප්‍රකාශනයෙන් පැහැදිළි වෙයි.
සාගින්න, දුප්පත්කම, දේශගුණික ක්‍රියාමාර්ග ඇතුළු තිරසාර සංවර්ධන ඉලක්ක 17 ක් සපුරා ගැනීම සඳහා 2015 දී ලෝකයේ රටවල් එකඟ වුවද ගෙවුණු වසරවල් දෙස ආපසු හැරී බැලීමේදී රටවල් බහුතරයක් සැලකිය යුතු ප්‍රතිශතයක් අත්පත් කර ගැනීමට අසමත්ව ඇති බව ලෝක සෞඛ්‍යය සංවිධානය පෙන්වා දෙනු ලබයි. එමෙන්ම වෙළඳ සමාගම් විසින් කරනු ලබන හානිකර අලෙවිකරණය පිළිබඳව ද සිය අවධානය යොමු කර ඇති ලෝක සෞඛ්‍යය සංවිධානය මත්පැන්, පිටි සහිත ක්ෂණික ආහාර, අධික සීනි සහිත සිසිල් බීම ආදී අහිතකර ආහාර දැන්වීම් 30 000 කට අධික ප්‍රමාණයකට රූපවාහිනිය ඉදිරියට යන දරුවා නිරාවරණය වන බව පෙන්වා දී තිබේ.
ලංකාවේ මෙන්ම ලෝකයේම ළමුන් සහ යොවුන් වියේ දරුවන් සමාජ මාධ්‍ය භාවිතයට දැඩි ලෙස යොමු වීම හේතුවෙන් කොල්ලකාරී අලෙවිකරණය වෙත කවරදාටත් වඩා ගොදුරු වී ඇති බව ජාත්‍යන්තර සමීක්ෂණ ගණනාවක් දායක වූ ‘ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් ’ හි ගෝලීය සෞඛ්‍යය හා තිරසරභාවය පිළිබඳ මහාචාර්ය ඇන්තනී කොස්ටෙලෝ අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත. එමෙන්ම දැනට නිකුත් කර ඇති 2019 ජාත්‍යන්තර සෞඛ්‍යය වාර්තාවල සඳහන් ඇස්තමේන්තු අනුව ලෝකයේ ළමුන් සහ වැඩිහිටියන් බිලියන 2.3 කට ආසන්න සංඛ්‍යාවක් අධික බරින් යුක්ත වන අතර ළමුන් මිලියන 150 කට වැඩි සංඛ්‍යාවකගේ වර්ධනය අඩු වී ඇත.
“ලොව පුරා රටවල් විප්ලවීය වෙනසක් නොකරන්නේ නම්, පසුගිය දශක දෙක තුළ ලෝකය සෞඛ්‍යය ක්ෂේත්‍රයේ අත් කර ගත් ප්‍රගතිය ආපසු හැරෙනු ඇතැයි” ජාත්‍යන්තර ළමා සෞඛ්‍යය විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත. ලෝකයේ මෙන්ම ලංකාවට ද මෙය එලෙසින්ම අදාළ වන බව වගකිව යුතු සියලු පාර්ශව සිහි තබා ගත යුතුය.