
බුරවියටත් හිරිහැර: සොබාදහම පවා කුපිත කරවන වෛරී ප්‍රකාශ
සචිනි ඩී. පෙරේරා
කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවේ සෑම වර්ෂයකම මුල් මාස කිහිපයේ හා අවසන් මාස කිහිපයේ නිවර්තන මෝසම් කාලගුණික තත්ත්වයක් දැකිය හැකි අතර සුළං හා අධික වර්ෂාව හේතුවෙන් දෙසැම්බර් මාසයේ දැකිය හැකි ශීත කාලගුණික තත්ත්වයන් අඩු වැඩි වශයෙන් සෑම රටකම පාහේ දක්නට ලැබේ. මේ හේතුව නිසා සුළං අධික වීමෙන් කුණාටු වැනි අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාව නිතරම කුණාටු තත්ත්වයන් පිළිබඳව අවධදානයෙන් හා චකිතයෙන් පසුවෙයි. ඒ අනුව මෑතකදී නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ නිවර්තන මෝසම් සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වලට මේ වසරේදී ‘බුරවි’ නම් සුළි කුණාටුවක් ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මහ ජනතාවට කල් තියාම අනතුරු අඟවන ලදී.
බුරවි සුළි කුණාටු තත්ත්වය පිළිබඳව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව, ඒ පිළිබඳව විවිධ හාස්‍ය දනවන පුවත් සමාජ මාධ්‍ය තුළ සීග්‍රයෙන් පැතිරෙන්නට විය. ඒ අතරින් දෙසැම්බර් මාසයේ මුල් සතිය තුළ උතුරු පළාතේ පේදුරු තුඩුව, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය හා චාවකච්චේරි යන ප්‍රදේශ ඇතුළුව දිස්ත්‍රික්ක 06 ක් බුරවි සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව ඇති අතර පුද්ගලයින් 43,814ක් හා පවුල් 13,052ක් මේ හේතුවෙන් අතරමං වී සිටින බවත්, 05 දෙනෙක් තුවාල ලබා, එක් අයෙක් අතුරුදන් වී, පුද්ලගයින් 02 ක් මිය ගොස් ඇති බවටත් වාර්තා වේ.
සුළි සුළං හෝ කුණාටු වැනි ආපදා තත්ත්වයන් පිළිබඳව කල්තියා මහජනයා දැනුවත් කිරීමේ මූලික අරමුණ වන්නේ එවැනි අවස්ථාවලදී ඔවුන් ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව පෙර සූදානමින් සිටිය යුතු නිසාවෙනි. නමුත් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර ෆේස්බුක්, වට්ස්ඇප් හා ට්විටර් වැනි සමාජ මාධ්‍යවල ‘බුරවි’ යන නමට අදාළව පමණක් විවිධ ලිපි, ප්‍රකාශයන්, අදහස් හා පෝස්ටු නිර්මාණය වී තිබූ ආකාරයක් දක්නට ලැබුණි.
සමාජ මාධ්‍යයේ පලවූ එවැනි පෝස්ටු කිහිපයකට උදාහරණ පහත දැක්වෙන පරිදි වේ.
ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙම ව්‍යසනයට කල්තියා සූදානම් වීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවට බුරවි සුළි කුණාටු තත්ත්වය හෑල්ලුවට ලක් කරමින් හාස්‍යජනක ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයින් හැසිරුණු ආකාරය දැකගත හැකිය. එනිසාවෙන්ම අවම ගුණාත්මකභාවයෙන් යුතු තොරතුරු ඉතා ඉක්මනින් විශාල පිරිසක් වෙත ව්‍යාප්ත වීමේ මෙවැනි ප්‍රවණතාවයන් පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධ අවස්ථාවලදී අවධානයට යොමුව ඇත. බොහෝ විට තරුණ පිරිසගේ නොහෝබිනා සමාජ මාධ්‍ය පරිශීලන හැසිරීම් රටා හේතුවෙන් සයිබර් අවකාශය පුරා මෙවැනි පුවත් ඉක්මනින් ව්‍යාප්ත වන ආකාරය දැකිය හැකිය.
ඒ අනුව බුරවි සුළි කුණාටුව පිළිබඳව මෙරට සමාජ මාධ්‍යයේ පලවුණු විවිධ වෛරී ප්‍රකාශයන් අධ්‍යයනය කිරීම මගින් සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නන්ගේ ආකල්ප හා හැසිරීම් රටා පිළිබඳ නිගමනයකට එලඹිය හැක. මෙය ජාතික මට්ටමින් පවත්නා සමාජ ගැටලුවකි. තවද සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නන් මෙවැනි ආපදා කාලවලදී පවා වෛරී පුවත් නිර්මාණය කිරීම සමස්ථ දේශයම ආපදා අවස්ථාවකදී හැසිරෙන ආකාරය සමාජ මාධ්‍ය මගින් ප්‍රතිනිරූපණය කරයි. ඒ සඳහා හොඳම උදාහරණක් පහත දැක්වේ.

තවද මෙම වෛරී ප්‍රකාශයන් අඩංගු පෝස්ට් මගින් කාන්තාවන්ට අපහාස කිරීම් හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැනි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල සේවය අවතක්සේරුවට ලක් කර ඇති ආකාරයත් නිරීක්ෂණය විය.
බුරවි සුළිකුණාටුව සම්බන්ධ පුවත් පමණක් නොව වෙනත් විවිධ ක්ෂේත්‍රයන් ඉලක්ක කරගෙන සිදු කරනු ලබන වෛරී ප්‍රකාශයන් හා ව්‍යාජ පුවත් බොහොමයක් සිංහල භාෂාව මුලික කරගෙන නිර්මාණය වීම කණගාටුවට කරුණකි. සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වෙනත් අන්තර්ගතයන් අඩංගු පුවත්වලට සාපේක්ෂව වෛරී ප්‍රකාශයන් අඩංගු පුවත් කෙරෙහි සමාජ මාධ්‍ය පරිශීලකයින් වැඩි වශයෙන් නැඹුරුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එය නූතන සන්නිවේදන ක්‍රියාවලිය සයිබර් අපයෝජනයකට (Cyber Abuse) ලක්වීම ලෙස හෝ සයිබර් වෛරයට පාත්‍ර වීම (Cyber Hate) ලෙස ද අර්ථ දැක්විය හැක. නව මාධ්‍යයන්: සත්‍ය හා නිවැරැදි තොරතුරු ව්‍යාප්ත කිරීමට වඩා මහජන ආකර්ෂණය ලබා ගැනීම පිණිස අනවශ්‍ය තොරතුරු සමාජගත කිරීමේ වැඩි නැඹුරුවක් දක්නට ලැබේ. බුරවි සුළි කුණාටුව පිළිබඳව සමාජ මාධ්‍ය අවකාශයේ සංසරණය වන වෛරී ප්‍රකාශයන්වල අඩංගු අන්තර්ගතයන් ජාතිවාදී, ආගම්වාදී හෝ අන්තවාදී නොවන තාක්කල් එය මෙරට ජාතික සාමයට හා සංහිඳියාවට බලපාන්නේ නැත. නමුත් ව්‍යාජ පුවත් නිර්මාණය හා ප්‍රවර්ධනය මගින් ඇතිවන ප්‍රචණ්ඩකාරී වාතාවරණයන් පිළිබඳ සාකච්ඡා කිරීමේදී මහජන සන්නිවේදන ක්‍රියාවලියේ පවත්නා අනාරක්ෂිත හා හැඟීම්බර ස්වභාවයන් නිසාවෙන්ම සත්‍ය හා නිවැරදි තොරතුරු සමාජයෙන් නිශේධනය වී යන ආකාරය හඳුනාගත හැකිය. මෙම අසාමාන්‍ය අන්තර්ජාල හැසිරීම් රටා නිසා සමාජ මාධ්‍ය මගින් නිවැරදි තොරතුරු ලබා ගැනීමට නොහැකිව මහජනයා මානසික වශයෙන් පීඩනයට හෝ ව්‍යාකූලභාවයට පත් වේ.
ශ්‍රී ලංකාව විනිවිධභාවයෙන් යුතු සමබර තොරතුරු කේන්ද්‍ර ස්ථානයක් බවට පත් කිරීමට නම් මෙරට සමාජ මාධ්‍ය පරිශීලනය කරන වත්මන් පරපුරේ සමාජ මාධ්‍ය භාවිත පුරුදු වෙනස් විය යුතුය. එය බලහත්කාරයෙන් සිදු කළ නොහැක. ඒ සඳහා ව්‍යාජ පුවත් හා වෛරී ප්‍රකාශයන් නව මාධ්‍ය අවකාශය සහ සයිබර් මාධ්‍ය අවකාශය තුළ අනිසි ලෙස භාවිත කරන්නන් උදෙසා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාවට නැංවීම කාලීන අවශ්‍යතාවයකි.