අනාවරණ සමාජ

බැද්දේගම නුතන පුංචි මැණිකලා,බබුන්ලා සොයා ගියෙමු

හේරත් මුදියන්සේලාගේ ආසිරි 

ශ්‍රී ලංකාවේ සමාජ විකාසනයේ හා ග්‍රාමීය ජීවන රටාවන් පිළිබඳව සුවිශේෂ ස්ථානයක් සාහිත්‍යයටත්, මානවවිද්‍යාවටත්, හා සිනමාවටත් හිමි කර දුන් “බැද්දේගම” නමට හිමි වේ. බැද්දේගම නම් වූ කුඩා ගම්මානය, පාදක කර ගනිමින් ලියූ කෘතියෙන් හා සිනමා නිර්මාණය තුළින් ග්‍රාමීය ජීවිතයේ පැවති කර්කශ ස්වරූපය, මානව හැසිරීම් හා සබදතාවන්ගේ ස්වරූපය මොනවට විද්‍යමාන කරවීමට සමත් වූ සමාජමය කතිකාවක් නිරූපණය කරවූවක් විය. තවද එය මිනිසුන්ගේ සරල ජීවින රටාවන්, සන්සුන් ප්‍රදේශීය සමාජ වාස්ථාවන් හා ජන සංස්කෘතිය සංකීර්ණ වීමේ දෘශ්‍යමාන ආදර්ශයක් විය.

ඒත් අද වන විට බැද්දේගමට නැවත ගමන් කිරීමේදී අප හමුවෙන්නේ මුළුමනින්ම වෙනස් වූ පසුබිමකි. නවීන ව්‍යුහාත්මක, ආර්ථික හා සමාජීය විප්ලවයන් මත බැද්දේගම ජනතාවගේ ජීවිත බොහෝදුරට වෙනස්කම්වලට ලක් කර ඇත.  එම ජීවිතවල වෙනස්කම්, ආවර්ජන හා අභියෝග විමර්ශනය කරමු.

“බැද්දේගම” යනු ශ්‍රී ලාංකීය සමාජයෙහි මූලික ජන ජීවින විකාශනය දැක්වීම සඳහා භාවිතා වූ නාමයක් පමණක් නොවන්නේය. එය 20වන සියවසේ මුල් භාගයේ සිට ලාංකීය සමාජ  හා සංස්කෘතික අනන්‍යතාවයේ පිළිබද දිගහැරුණු කැඩපතක් බදුය.  . මීට පෙර බැද්දේගම ජනතාවගේ දිවිය හුදෙක් කෘෂිකර්මය  පදනම් වූ සරල ජීවිත රටාවක් විය. ජලාශ පද්ධති, හේන් වගාව හා වනාන්තර සම්පත් මත ඔවුන්ගේ එදිනෙදා ජිවිතය මෙන්ම ආර්තිකය රඳා පැවතිණි.

අද බැද්දේගමට යන අපට හමුවෙන්නේ  එදාට සාපේක්ෂව සමාජ හා ආර්ථික වෙනස්කම් උරුම කරගත් ගැහැණුන් සහ මිනිසුන්ය. ඊට බලපැ සමාජ කරුණු කාරණා බොහෝය. 

ආර්ථික වෙනස්කම්  නව රැකියා අවස්ථාවන් හිමි වීම මත, බැද්දේගම වැනි ගම්මානවල ජනයා සංකීර්ණ ජිවන රටාවකට  යටත් වී ඇත. නව ව්‍යාපාර, කාර්මික කටයුතු සහ කුඩා ව්‍යාපාර සංවර්ධනය වී ඇත. කෘෂිකර්මයට අමතරව කාර්මික ව්‍යාපාර හා සේවා ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා හිමිව තිබේ.

උගත් ජනගහණය හා අධ්‍යාපන සංවර්ධනය වී තිබීම මත, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති වී ඇති ප්‍රගතිමත් වර්ධනයත් සමඟ එදා ලෙනාඩ් වුල්ෆ් දුටු බැද්දේගම යටත් යටහත් පහත් ජනතාව අද අපට හමුනොවේ.  අධ්‍යාපනික ජාතික වැඩසටහන් හරහා ඉගෙනීමේ අවස්ථා ලබාගෙන ඇත. මේ මඟින් නව දැනුමක් හා කුසලතාවන් ගොඩනගාගත් බැද්දේගම සිලිදුලා නැත. එකල නවකතාවට පාදක වූ ගම තුළ පැවති අධිරාජ්‍යවාදී පාලන ක්‍රමයත්, මිනිසුන්ට පැවති සමාජමය අවබෝධයත් අතර විශාල වෙනසක් දැක ගත හැකි වේ. 

සන්නිවේදන තාක්ෂණයේ ප්‍රගතියක් ගම තුළ සාමාන්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක විම හේතුකොට ගෙන නවකතාවේ අපදුටු කැලැබද ගම අද නැත. 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රගතියක් නිසා බැද්දේගම ජනතාවට ලෝකය හා සම්බන්ධ විය හැකි විය.නුතන පරම් පරාවේ පුංචි මැණිකලා බබුන්ලා  මුහුණු පොත, විඩියෝ අඩවි හා අන්තර්ජාලය  දෛනික ජීවිතයේ අංගයන් බවට පත් කරගෙන තිබේ. නවකතාව තුළ ඇති ලෙනාර්ඩ් වුල්ෆ් පැහැදිලි කරන අන්දමට පැවති අවම පහසුකමට වඩා අද වන විට ගම තුළ යටිතල පහසුකම් සංවර්ධනය කොට නගා සිටුවා ඇත. 

සම්බන්ධතා හා ප්‍රජාජන සබඳතා පවත්වන ආකාරය විමසීමේ දී, පෙර සමයේ ගම්මාන තුළ ගැඹුරු සම්බන්ධතා තිබුණි. නමුත් නව තාක්ෂණික විකාශනයත් සමඟ සන්සුන් සබඳතා බෙහෙවින් සීමා වී ඇත. පරිසර හිතකාමී සන්සුන් ජීවිත රටාවන් වෙනුවට වාණිජභාවය වැඩිවී ඇත. කුලය මත පදනම් වී තිබූ මෙම සමාජ සම්බන්ධතා අද වන විට සමාජ තත්ත්වය හා පිළිගැනීම මත ක්‍රියාත්මක වන බව පෙන්වා දිය හැකිය.  

යෞවන පරපුරේ නවක විචාරධාරාවන්ගේ බලපෑම, නව පරපුර තාක්ෂණික ලෝකයට ඉතා පහසුවෙන් යොමු කරවයි. ඔවුන්ගේ දිවිය කෙරෙහි ප්‍රබල සමාජ මාධ්‍ය බලපෑමක් තිබේ. පාරම්පරික ගුණාංගවලට පමණක් නොව නව විචාරධාරා ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන්ම සංක්‍රමණික ප්‍රවණතාවන් හේතුවෙන් තරුණ ප්‍රජාව ගමෙන් බැහැර වී තිබේ. 

සියළුම වෙනස්කම් යහපත් ප්‍රතිඵලයන් ගෙන දෙන්නක් බවට පත්වී නැත. කිසිම සමාජයක සම්පූර්ණ සාර්ථකත්වයක් නොමැති පරිදි, බැද්දේගම ජනතාවද ආර්ථික හා සමාජීය අභියෝගවලට මුහුණ දෙයි.

අසමතුලිත ආදායම් බෙදීම:

 නව ආර්ථික ක්ෂේත්‍රයන්හි විශාල ආදායම් විවිධතාවයක් පවතින අතර, සමහර ජන කොට්ඨාශයන් තුළ කටුක දුප්පත්භාවය දැකිය හැකිය.

පරිසර විනාශය:

 නව ව්‍යාපෘති හා කාර්මික ආයෝජන මත පරිසරයට බලපෑම් සිදු වී ඇත. වනාන්තර කප්පාදු කිරීම හා ජලාශ විනාශය ප්‍රධාන ගැටලුවකි.

වන සතුන්ගෙන් වන හානී

ගම තුළ මෙන්ම වගාවටද හානි පමුණුවන කැලෑ සතුන්ගෙන් වන හානිය පිළිබදව ගොවීන්, වැවිලිකරුවන් නිරන්තරයෙන් මැසිවිලි නගයි. රාජ්‍ය ආයතන හා නිළධාරීන් වන අලින්, මොණරුන්, සහ රිලවුන්ගෙන් වන වගා හානි හා දේපළ හානි පිළිබදව අවධානය යොමු කළ යුතු බව ගම්මුන්ගේ අදහසයි. 

බැද්දේගම යන නමින් නම් වූ ප්‍රදේශය සමාජීය පරිණාමයේ දිශා නියමයක් පෙන්නුම් කරයි.   

 නව පරපුරට තාක්ෂණික හැකියාවන් වැඩිදියුණු කිරීම සහ වෘත්තීය පුහුණු වැඩසටහන් හඳුන්වාදීම වැදගත්ය.

 පරම්පරාගත සම්බන්ධතා, සමාජීය වටිනාකම් නැවත බිහි කිරීමේ උත්සාහයන් අවශ්‍ය වේ.

බැද්දේගම විශේෂයෙන් පර්‍යේෂණ සහා මානවවිද්‍යාත්මක අධ්‍යයනයන් සදහා සුවිශේෂත්වයක් උසුලන ස්ථානයක් හා පරිසරයක් වන අතර, එය සංරක්ෂණය කොට සංචාරක කර්මාන්තය සදහා එලදායී ලෙස යොදා ගැනීම කාලීන අවශ්‍යතාවකි. 

බැද්දේගම නැවත සංචාරය කිරීම අපට මතක් කරවන වඩාත්ම වැදගත් පාඩමක් වන්නේ ජීවිතයේ ස්ථාවරත්වය හා සංචලනය වන විචාරධාරා අතර ඇති සන්සුන් සබඳතාවයයි. සමාජීය පරිණාමය සදහා අපහසු අභියෝග මතුවුණද, එය ජන ජීවිතයේ නව මුහුණුවරකට මග පාදන ක්‍රියාවලියක් විය හැකිය.ඒ නව මුහුණුවර ඇතුලේ බැද්දේගම වෙද රාළගේ ස්වරුපයෙන් එන නව සමාජ ප්‍රවණතා ඇතුලේ සිහිවිකල් කර නොගත් සිලිදුලා හමුවන්නේ නම් වඩා යහපත ය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts