සාමය

බරකරත්ත දැක්කීම හා බැඳුණු මිනිසුන්ගේ සම්ප්‍රදාය සමඟ යාපනය

සුදර්ශිනී මුතුලිංගම්

ඒ ඉරිදා දිවා ආහාරයට පසුවය, එයින් අදහස් වන්නේ එය වේගවත්ව ගෙවෙන දින අතරින් එකක් නොවන නිසා මම දුරකථනයෙන් අන්තර්ජාලය පිරික්සමින් සිටින අතර මට  ඇමතුමක් ආවේය. “වඩුකෝට්ටෙයිවල බර කරත්ත (ගොන්කරත්ත) තරගය බලන්න යමුද?”  සුපුරුදු හඬකින් කළ විමසීමට මම කිසිදු පැකිළීමකින් තොරව එකඟ වීමි. එසේ අපේ හවස් යාමය ඇරඹිණි.

අපි යාපනයේ දෙමළ වීරත්වය ගැන කතා කළහොත්, ගොන් කරත්ත තරගය පවා දෙමළ ජනතාවගේ එක්තරා වීර ක්‍රීඩාවක් වන්නේ කෙසේද යන්න පිළිබඳ දිගින් දිගටම කිව හැකිය. 

අසූව දශකයේ මැද භාගයේ යාපනයේ බොහෝ නිවෙස්වල පාහේ බරකරත්තයක් තිබුණු අතර කෘෂි කර්මය කලාපයේ මූලික යැපුම් මාර්ගය විය. 

බර කරත්තයේ ගොනුන් කරත්තයේ ඉදිරියෙන්ම ලණුවකින් බැඳ තිබේ. කරත්තය දක්කන්නා භාණ්ඩ පටවන කොටසේ ඉදිරියේ වාඩිවන අතර භාණ්ඩ අංග කරත්තයේ පිටුපසට පටවනු ලැබේ. දැක්කීම අතරතුර කරත්තකරු ගොනුන් සමඟ කතා බහ කරන බැවින් ඔහුට මහන්සියක් නොදැනේ. ඔහු අතේ ඇති කෙවිටෙන් හරකාගේ පසුපසට තට්ටුවක් දමන්නේ ඌ හසුරුවා ගැනීමේ ක්‍රමයක් ලෙසය.

අලුත්ම බෙන්ස් මෝටර් රථ වුවත් බරකරත්ත දැක්කීමකට හිලවු කළ නොහැකිය. එය ඔබේ ආත්මයෙන්ම වින්දනය කළ හැකි අත්දැකීමකි. 

මම මගේ යතුරු පැදිය දහවල් හිරු පරදන්නට වේගවත් කළෙමි. මගේ මිතුරා කීවේ එය දහවල් දෙකට ආරම්භ කරනු ඇති බව මුත් දැනටමත් දෙක පසු වී මිනිත්තු දහයක් ගෙවී ගොසිනි. 

අපි දිගටම ගමන් කළෙමු. මම වඩුකොට්ටෙයි හි අරාලිවල මාවත් පිළිබඳ හොඳින් නොදත්තෙමි. මගේ ගමන් සගයා කීවේ තවත් ටික දුරක් යා යුතු බවය.

වළගොඩැලි පිරුණු පාරක් දිගේ පහළට යෑම මහත් අභියෝගයක් විය. අපි ට්‍රක් රථ කීපයක් පිටුපස හෙමින් සීරුවේ ගියෙමු. 

ඊළඟට අප ගියේ මගේ මිතුරා වම් පසින් දැක් වූ කුඩා තනි මාවත දිගේය. එහි පසෙක පේළියට සිටවූ තල් ගස් වූ අතර එක් තැනක කුඩා පඳුරු ගතියක් විය. ඈතට වන්නට සෙනඟ රැස් වුණු එළිමහනක් දක්නට හැකි විය. 

ඒ ගොන් කරත්ත තරගය පැවැත්වෙන ස්ථානයයි. මුළු පරිසරයම කරත්තවල ශබ්දයෙන්, කරත්ත කරුවන් කෑ ගසන හඬින් සහ නරඹන්නන්ගේ ප්‍රීතී ඝෝෂාවෙන් පිරී ගොසිනි. 

අපි බයිසිකලය ගාල් කර ඇතුළු වීමු. අයිස් ක්‍රීම් රථ, කඩල කඩ සහ වඩේ වෙළෙන්දන් ඒ පෙදෙස වට කරගෙනය. 

තරගය උණුසුම්ය. සෑම තරගයකටම තීරකයකු සිටියි. ඔහු සුදු කොඩිය වැනූ වහාම ඔවුන් කරත්ත දක්කන්නට පටන් ගනු ඇත. එසේම ලනුවක් අතින් ගත් තවත් අයෙකු සිටියේ තරග ඉසවු  මැනවින් පැවැත්වෙන්නේ දැයි තහවුරු කිරීමටය.  

තරගය මෙහෙයවනු ලැබුවේ ගවයන් කාණ්ඩ හතරකට වෙන් කරමිනි. එහෙත් මම ඒ කිමදැයි නොදනිමි. මම ඒ පිළිබඳ තවත් තොරතුරු සොයාගැනීමට මෙහි පිළිවෙළ දන්නා කෙනෙක් සොයන්නට වීමි. 

මා විමසූ ඇතැමුන් මේ පිළිබඳ කිසිවක් දැන සිටියවුන් නොවීය. මම මඳක් කනගාටුවට පත් වීමි. මා ආපසු යන්නේ මේ පිළිබඳ කිසිවක් නොදැනද?

අපි එතැනින් පිටත් වීමට සූදානම් වන විට යමෙක් අප වෙත දිව විත් කීවේ ” අතන එක මහත්මයෙක් ඉන්නවා, එයාගෙන් ගිහින් අහන්න. ඔහුට පුළුවන් වෙයි ඔබට මේ ගැන කියාදෙන්න” කියාය.

ඔහු අවුරුදු 70ක පමණ වියපත් අයකු වුවත් ඔහුගේ කතාව සහ ශෛලිය අභිමානවත්ය. “ඔබට මේ තරගය ගැන අපට කියන්න පුළුවන්ද?”  විමසත්ම ඔහු අප හා එකඟ විය. අපි තණ පියස්සේ හිඳ ගෙන කතාව ඇසීම ඇරඹුවෙමු.

“මම අලවෙට්ටිවල චින්නතම්බි මහේන්ද්‍රම්. 1970 දි මම කරත්තයක් හැදුවා. අපේ ගෙදරත් බර කරත්තයක් තිබුණා. ඒ නිසා මට පුංචි කාලේ ඉඳන්ම කරත්තය හොඳ විකල්පයක් වුණා. මම මුලින්ම කරත්ත තරගෙකට සහභාගි වුණේ මන්පන්චන්වේලිවලදි. ඒත් මට දිනන්න බැරි වුණා.” ඔහු දිගටම පවසයි. “මෙතැන වඩුකෝට්ටෙයි ගොවීන් සමූහයේ තැන, ගොන් කරත්ත දක්කන අය මෙතනට එනවා තරග පවත්වන්න. කාටවත් තමන්ට ඕනෙ විදිහට කරත්ත තරගෙට ඉදිරිපත් වෙන්න බැහැ. ඒකට පිළිවෙළක් තියෙනවා. කවුරුහරි සරවි සංගමේ හෝ කෘෂිකර්ම කාර්යාලයේ හෝ ග්‍රාම ‌සේවක ළඟ හෝ ලියාපදිංචි වෙන්න ඕනෙ සහභාගීත්ව ගාස්තු ගෙවලා. එහෙම නැතුව කාටවත් සහභාගී වෙන්න බැහැ. මේ තරගෙට සහභාගී වෙන්න කැමැති කවුරු හරි ඉන්නවා නම් රුපියල් දාහක ලියාපදිංචි ගාස්තුවක් ගෙවන්න  ඕනෙ.” ඔහු පැවසීය.

පෙරියසෙන්කරි, චින්නසෙන්කරි සහ වඩක්කාන් හරක් වැනි විවිධ වර්ගවල ගවයන් ඇත. ගවයකු ඇති දැඩි කිරීම ලේසි පහසු කටයුත්තක් නොවන්නා සේම කරත්ත දක්කන හරකෙකු නඩත්තු කිරීමට බොහෝ සෙයින් මිනිස් ශ්‍රමය වැය‌ වේ. අතීතයේ හරකුන්ට කෑමට දුන්නේ පිදුරු සහ අරුකම් තණකොළය. එහෙත් මේ වන විට ඔවුන් පෝෂණය කරන්නේ වර්ග රැසක් එක් කළ ආහාරවලිනි. ගවයන් ගොන් කරත්ත තරගයකට සූදානම් කරන්නේ නම් බොහෝ දේ කිරීමට සිදු වෙයි. ගවයා නාවා හොඳින් රෙදි කැබැල්ලකින් පිස දැමිය යුතුය. සතිපතා හරකාව කිලෝ මීටර 5ක 6ක පමණ දුරක් දැක්කීමට මෙන්ම මුහුදේ නෑමට ගෙන යා යුතුය. 

මහේන්ද්‍රම් මහතා පැහැදිලි කළ ආකාරයට ජයග්‍රහණය තීරණය වන්නේ බොහෝ විට ගවයාගේ ශක්තිමත් බව මත නිසා ඌ බලාකියා ගැනීම ඉතා වැදගත්ය. 

තරගය කාණ්ඩ වශයෙන් පැවැත්වීමට හේතුව මෙහිදී මට අවබෝධ විය. කුඩා ගවයන් නැතහොත් දත් රහිත වස්සන් (මාස දෙකක් වයසැති වසු පැටවුන්)  ‘යූ’ කාණ්ඩයට අයත් වන අතර ඉතිරි වැඩුණු ගවයන් වෙන් කෙරේ. එසේම විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ගවයන් තරගයට ඉදිරිපත් කළ හැකිය. 

සටන් තරගවලදී මෙන්ම බර කරත්ත තරග ද අනතුරු බහුල ක්‍රීඩාවකි. ඒ අනතුරු කඩ ඇණ ගැලවීම නිසා හෝ ගවයන් එකිනෙකා හැපිම නිසා සිදු විය හැකිය. එය ගාත් තුවාල වීමට හෝ මිය යාමට හේතු විය හැකිය. 

විශාල සාප්පු හිමියන් සහ පරිත්‍යාගශීලීන් විසින් වටිනා ත්‍යාග පිරිනමනු ලැබේ. එවැනි අරමුදලක් නොලැබුණු විට තරගකරුවන්ගේ ඇතුළු වීමේ ගාස්තුවලින් තෑගි ලබා දෙනු ඇත. ත්‍යාග මෙන්ම සම්මාන පිරිනැමීම නොවරදවා සිදුවන්නකි.

කිසිවකු පැවසුවේ “මහත්තයා මේ ළමයාට මහත්තයා ගැනත් කියන්න” කියාය.” උඩඟුබවක් මුසු සිනා මුහුණකින් යුතුව දබරැඟිල්ලෙන් නළලට තට්ටු කරගත් ඔහු කියන්නට විය. “1970 මන්පන්චන්වේලිවලදි මඩකල් ගොවි සමිතිය මෙහෙය වූ බර කරත්ත තරගයෙන් මම පටන් ගත්තේ. මේ වන විට මම අවුරුදු 40ක් මේ තරගයට සහභාගී වෙලා තිබෙනවා. ඒකට හේතුව නිමා නොවන ආශාව සහ ගවයන්ගේ ශක්තිය”

ඔහු දිගින් දිගට පවසයි. “යාපනේ ගවයන් වන්නි සහ මන්නාරම් යනවා වගේම එහෙ හරක් මෙහෙ එන එකත් සිරිතක් විදිහට කරන්නක්. අච්චුවේලි, නිරාවේලි, මන්පන්චන්වේලි, වඩුකෝට්ටෙයි, කීරිමලෙයි, කරුගම්බලෙයි, වට්ටකච්චි, විසුවමඩු, සහ පූනාකරි තමයි හොඳම තැන් අට. මේ කාලය තුළ විශාල තෑගි පිරිනමා තිබෙනවා. මමත් ඒ තෑගි දිනලා තියෙනවා. ඒවා ගෙදර අදටත් පේන්න තියලා තියෙන්නේ.” 

“මේ දවස්වල මගේ හරකුන් වයස නිසා තරගයට ඉදිරිපත් වෙන්නේ ඉඳලා හිටලා.” ඔහු මදෙස බලා සිනාසුණේ අපේ කතාබහ නිමා වූ බව දක්වමිනි. 

අපට වෙන් වීමට වේලාව පැමිණ තිබේ. අප ඔහුට සමු දුන්නේ ඔහුගේ සම්මාන ත්‍යාග සහ කරත්තය බැලීමට හැකි ඉක්මන් දවසක ඔහුගේ නිවසට එන බවට පොරොන්දුවක් සමඟය. මම මිතුරා සමඟ ගෙදර පැමිණියෙමි. 

කාලය විසින් නව ක්‍රීඩාවලට නවීන දේ ගෙන ආවද, ගොන් කරත්ත දැක්කීම යාපනයේ වීරත්වය දනවන ක්‍රීඩාවකි. ජන ජීවිතය හා ඔවුන්ගේ සංස්කෘතිය සමඟ බැඳුණු එය විශේෂයෙන් ගොවීන්ගේ ජීවිතයේ ප්‍රමුඛ ලක්ෂණයකි. ඔවුන් එය තවමත් පවත්වාගෙන යන අතර විශාල සෙනඟක් එය නැරඹීමට පැමිණෙති. එය ඔවුන්ගේ ජීවන සම්ප්‍රදාය සංස්කෘතිය සමඟ එකිනෙක වෙලී ඇත්තේ කෙසේද යන්න හෙළි කරන්නකි. 

யாழ். மக்களின் பாரம்பரியத்துடன் இணைந்துள்ள மாட்டுவண்டிச் சவாரி

Jaffna. Traditions Combined In A Bullock Cart Ride

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts