බඹර ප්‍රහාර – වතු කම්කරු ජනතාව මුහුණ දෙන ජීවිත තර්ජනයන්!
කීර්තිකා මහාලිංගම්
“බඹර ප්‍රහාරයක් හේතුවෙන් හැටන් දික්ඔය ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇත.”
“තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 10 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇත.”
“බඹර ප්‍රහාර දෙකක් හේතුවෙන් හැටන් හා මස්කෙළිය ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගතකරයි.”
වතුකරයේ ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට සුවිශාල අභියෝගයක්වූ බඹර ප්රහාරයන් පිළිබඳ පුවත් නිතර දෙවේලේ මාධ්‍ය මගින් අසන්නටත් දකින්නටත් ලැබේ. කෙසේ නමුත් අලි – මිනිස් ගැටුමේ දී අවධානය යොමු කරන තරම් වත් වතුකරයේ ජනතාව මුහුණ දෙන බඹර ප්රහාරයන් පිළිබඳව ගැටලුවට අවධානය යොමු නොවීම කණගාටුවට කරුණකි. එමනිසා යටිතල පහසුකම් නොමැතිකම, රැකියාව පිළිබඳව ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම, ශ්රමයට සරිලන වැටුපක් නොලැබීම හා නිසි අධ්‍යාපන පසුබිමක් නොතිබීම නිසා විවිධ රැකියා අවස්ථාවන් උත්පාදනය නොවීම වැනි නානාප්‍රකාර අපහසුතාවයන් මධ්‍යයේ ජීවත්වන වතුකරයේ ජනතාව බඹර ප්‍රහාරයට ලක්වීම තවත් එක් අවාසනාවන්ත අභියෝගයකි.
ජීවන අවධානම
බඹර ප්‍රහාරයක් එල්ලවීම වතුකරය ආශ්‍රිතව දීර්ඝ කාලීනව පවත්නා තර්ජනාත්මක අවධානම් තත්ත්වයකි. නමුත් මෙම වසර තුළ බඹර ප්‍රහාර සිදුවීම්වල ඉහළ යාමක් දක්නට ලැබේ. බඹර ප්රහාරයන් පිළිබඳව මෙම වර්ෂයේ දී පමණක් සිදුකරන ලද මාධ්‍ය වාර්තාවන් අධ්‍යනය කිරීමේදී පුද්ගලයින් 04 පමණ මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 100 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇත. හැටන් දික් ඔය ප්‍රදේශයේ දරුවන් හතර දෙනෙකුගේ මවක් බඹර ප්‍රහාරයක් හේතුවෙන් මරණයට පත්වීම පිලිබඳව පුවතක් 2020.05.25 වන දින newsfirst නාලිකාව විසින් වාර්තා කල අතර එම සිදුවීම වතුකර ජන ජීවිතයේ බිය හා අවධානම වර්ධනය කල ආන්දෝලනාත්මක සිදුවීමක් විය. (https://bit.ly/2JjSX5u)
“සති දෙකට කලින් අපේ හිසට බඹරු ප්‍රහාර එල්ල කල නිසා අපි රෝහලට ගොස් එන්නත් ලබාගත්තා. අපට මේ වෙනුවෙන් කිසිදු නිවාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කලේ නැහැ. අප බඹර ප්‍රහාරයට ලක්වීම පිළිබඳව කිසිඳු මාධ්‍යක් ප්රවෘත්ති විකාශයක් ඔස්සේ වාර්තා කළේ නෑ.“ යනුවෙන් සූරියකාන්ති තේ වත්ත ආශ්‍රිතව සේවය කරන සකුන්තලා පවසා සිටියා.
ප්‍රතිකාර සඳහා පහසුකම් තිබේද?
“තේ වතු ආශ්‍රිතව සේවයේ නිරතව සිටියදී බඹර ප්‍රහාරයට ලක්වන පුද්ගලයින් වතු කළමනාකාරුවන් විසින් ඉක්මනින්ම රෝහලට රැගෙන එන නිසා ඔවුන්ට ඉක්මන් ප්‍රතිකාරයන් සිදුකරනවා. නමුත් නිවසේදී හෝ වෙනත් ස්ථානයකදී තනි පුද්ගලයකු බඹර ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේදී ඔවුව රෝහල වෙත රැගෙන ඒමට නියමිත වේලාවක් ගත වෙනවා. බඹර ප්‍රහාරයක් නිසා බොහෝවිට තනි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙන්නේ ප්‍රහාරයේ බලපෑම අධිකවන නිසාවෙනි. ඒ කෙසේ වෙතත් වතුකර ප්‍රදේශයේ මෙම තත්ත්වය දිගින් දිගටම නිරීක්ෂණය කල හැකි නිසා මෙම ප්‍රදේශයට ආවේණික රෝහල්වල මෙවැනි අවස්ථාවට ප්‍රතිකාර කිරීම සඳහා කල්තියා සූදානම්ව සිටින ආකාරයක් දැකගත හැකිය” යන්න වින්දුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ආරුමුගම් ජෙයරාජන් මහතා පවසයි. නමුත් මෙවැනි අවස්ථාවන්වලදී පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ ඉතාමත් සීමිත පිරිසක් පමණි. උදාහරණයක් ලෙස මී වදයක් කැලඹීමට ලක්ව ඇති බව අවබෝධ කර ගන්නා සේවකයින් එවැනි අවස්ථාවන්වලදී බඹර ප්‍රහාරන් වලින් ආරක්ෂා වීම සඳහා තම ශරීරය පොලිතීන්වලින් ආවරණය කරගනී. මෙය බඹර ප්‍රහාරයෙන් ආරක්ෂා වීම සඳහා පිළිගත් ක්‍රමවේදයක්ද යන්න විවිධ මත භේදාත්මක අදහස් පවතින නමුත්, තාවකාලිකව තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා බොහෝ පිරිස් මෙම ක්‍රමවේදය බහුලව භාවිතා කරන බව ඔහු සඳහන් කරයි. බඹර ප්‍රහාරයට ලක්වන සමහර පුද්ගලයින් විශ්මයට පත්ව සිටින ආකාරයක් හඳුනාගත හැකි අතර විවිධ ආසාත්මිකතාවයන්, අධි රුධිර පීඩනය හෝ ඇදුමවැනි රෝගී තත්වයන් හේතුවෙන්ද ඔවුන්ගේ ශරීරය තවදුරටත් දුර්වල වන බව හඳුනාගත හැකිය. මේ ආකාරයෙන් ශාරීරික අපහසුතා අභිබවමින් මානසික වශයෙන්ද ඔවුන් විවිධ ගැටලුකාරී වාතාවරණයන්ට මුහුණ දෙමින් සිටී. බඹර ප්‍රහාරයට ලක් වූ පසු අත් බෙහෙත් ක්‍රම අත්හදා බැලීම වෙනුවට හැකි ඉක්මනින් එම පුද්ගලයාව රෝහලට රැගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්රයේ නියැලෙන්නන් විසින් මහජනතාව දැනුවත් කරමින් සිටි. කෙසේ නමුත් මෙම ගැටලුවලට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීම සඳහා රජයේ පාර්ශ්වයෙන් කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව වෛද්‍ය ආරුමුගම් ජෙයරාජන් මහතා පවසයි.
නිවාරණය යනු කුමක්ද?
“වතු ආශ්‍රිතව සේවය කරන ජනතාවගේ වැටුප් පිළිබඳව සාකච්ඡා කරන සාමූහික ගිවිසුමේ වතු පිරිසිදුව තබා ගැනීම හා වතු ආශ්‍රිතව සේවය කරන සේවකයින්ගේ ජීවිත සුරක්ෂාව තහවුරු කළ යුතුය යන්න සඳහන්ව ඇත. එමෙන්ම රාජකාරියෙහි නිරතව සිටියදී අනතුරකට ලක් වුවහොත් වන්දි මුදල් ලබා දීමේ නෛතික ක්‍රියා පටිපාටියට අනුකූලව බලපෑමට ලක් වූවන්ට වන්දි මුදල් ලබා දිය යුතුය“ යන්න නීතිඥ අයි. තම්බයියා මහතා News 1st ප්රවෘත්ති විකාශයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව මගින් අවධාරණය කර ඇත.
රජයේ වගකීම
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය ජීවන් තොන්ඩමාන්, පරිසර හා වනජීවී අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා හමු වී ආරක්ෂාකාරී ලෙස මීවදයන් ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, මී වදයක් දැකිය හැකි හැම වතු ප්‍රදේශයකම, තරුණයන් 05 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ව මෙම ක්‍රියාවලිය සඳහා සූදානම් කිරීමට කටයුතු කරන බවත් පැවසීය.
“මී වදයන් තිබෙන ස්ථානවලින් ඉවත් කිරීම වන ජීවීන්ගේ ජීවන පැවැත්මට තර්ජනයක් විය හැකි නිසා අපි ඒ සඳහා වනජීවී අමාත්‍යාංශයේ සහාය අවශ්‍ය බව අවබෝධ කරගත්තෙමු. අපේ සේවකයින්ගේ ජීවිත ආරක්ෂාවට ඍජුවම තර්ජනයක්වන වතු ප්‍රදේශවල ඇති මෙම මී වදයන් ඉවත් කිරීම සඳහා වනජීවී අමාත්‍යාංශය, ප්‍රාදේශීය වතු පරිපාලනය හා වෘත්තීය සමිති, සම්බන්ධීකරණය කිරීම මගින් බලපෑම්කාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා අපට අවශ්‍ය අනුමැතිය හා සහයෝගය ලබාදෙනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.
මෙම ගැටලුව සහමුලින්ම සමථයකට පත් කිරීමට ඔබගේ සහයෝගය බලාපොරොත්තු වන අතර, එය සේවකයින්ට මරණය පිළිබඳව ඇති සැකය හා බිය දුරු කිරීමටත් සේවා ස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීමටත් විශාල රුකුලක් වේවි. තවද මෙම කරුණු පිළිබඳව ඔබගේ ඉක්මන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමු.“ යනුවෙන් පරිසර හා වනජීවී අමාත්‍යාංශය වෙත ජීවන් තොන්ඩමාන් යොමු කල ලිපියෙහි සඳහන්වේ.
තේ වතු ආශ්‍රිතව සේවය කරන්නන් බඹර ප්‍රහාරයට ලක්වූ අවස්ථාවල දී වතු කළමනාකරුවන් විසින් ඔවුන්ව අදාළ ප්‍රතිකාර සඳහා යොමු කරන අතර ඔවුන් ප්‍රතිකාර ලබන කාල සීමාවට අදාලව නිකුත් කරන වෛද්‍ය වාර්තාවට අනුකූලව වැටුප් සහිත නිවාඩු ලබාදීමක් සිදු කරන නමුත් බලපෑමට ලක්වන මහජනයා වෙනුවෙන් කිසිදු නිවාරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවේ. බලපෑමට ලක්වූවන් සාමාජිකත්වය දරන වතු සංගම් විසින් අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කිරීම සඳහා ලබා දෙන මූල්‍යමය ආධාර හැරුණු කොට වෙනත් කිසිදු වන්දි මුදලක් මරණයට පත්වූ අයගේ පවුලේ උදවියට නොලැබේ. වන විනාශය, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, වන සම්පත නිසි ලෙස කළමනාකරණය නොකිරීම වැනි හේතූන් නිසා වන ජීවීන්ගෙන් හා බඹර ප්රහාරයන්ගෙන් මිනිසුන් බහුලව පීඩාවට පත්වන බව පරිසරවේදීන් පෙන්වාදෙති.
වතු පරිපාලනයේ බඹරුන් පාලනය කිරීමේ ඒකකයක් නොමැතිවීම, වතු ප්‍රදේශයන්වල දීප ව්‍යාප්තව පවත්නා සෞඛ්‍ය පහසුකම් නොමැතිවීම, රෝහල් වෙත පහසුවෙන් ළඟා වීමට අවශ්‍ය ගමනාගමන පහසුකම් නොමැතිවීම, බඹර ප්‍රහාරයක් නිසා පීඩාවට පත්වූවන්ගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අඛණ්ඩව සොයා බැලීම සඳහා සෞඛ්‍ය පහසුකම් සහිත ස්ථාන හෝ සංවිධානය නොමැතිකම වැනි අඩුපාඩු පිළිබඳව ඉක්මනින් සොයා බැලීම අත්‍යවශ්‍ය වේ.
වතු ජනයාගේ ජීවන පැවැත්ම පිළිබඳව අවධානය යොමු කිරීමේදී මව හා පියා යන දෙදෙනාගේම ආදායම් මාර්ගය පදනම් කරගනිමින් ඔවුන්ගේ කුටුම්භයේ සැකැස්ම නිර්මාණය වී ඇති බවත්, විවිධ ගැටලු හා අභියෝගයන් මධ්‍යයේ වුවත් තමන්ට කෙදිනක හෝ සාධාරණයක් ඉටුවේවි යන අධිෂ්ඨානයෙන් යුතුව ඔවුන් තම එදිනෙදා රැකියා කටයුතුවල නිරතව සිටි. මෙරට අනන්‍යතාවය රැකගනුවස් පාරම්පරිකව අත්‍යාවශ්‍ය සේවයක් ඉටුකරමින් කැපවෙන ඔවුන්ගේ ශ්‍රමය මිල කල නොහැක. එවන් පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිනිස ඔවුන්ගේ ගැටලු සඳහා දීර්ඝකාලීන විසඳුමක් ලබාදීම වෙනුවෙන් කැපවීම අප සියල්ලන්ගේම වගකීමකි.