පොහොට්ටුව මට්ටු කළ ජන අරගලයට පහර දීම
ජූඩ් ආර්. මුතුකුඩ
බලය යනු දූෂණය යි . අසීමිත බලය යනු අසීමිත දූෂණය යි . යන්න සනාථ කරමින් 69 ලක්ෂයක ජනවරමින් පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය ස්වකීය දේශපාලන අමන කම නිර්ලජ්ජිතව ප්‍රදර්ශනය කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාධාරණ හා සාමකාමී ලෙස උද්ඝෝෂණය කළ පිරිසකට අමානුෂික ලෙස පහර දීම මෙරට ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක් කළේය. 1983 කළු ජූලිය තරම්ම අමිහිරි මතකයක් එක් කළ රාජපක්ෂ පාලනය මුදා හල මෙම අවිනීතික ප්‍රහාරයෙන් පුද්ගලයන් 09 කට දිවි අහිමි කරමින් විශාල දේපල හානියක් ද කළේය . 232 කට තුවාල සිදු කරමින් මෙම තුච්ඡ ප්‍රහාරය දියත් කළේ මහජනතාවගේ ආරක්ෂාවට යැයි පවසමින් රට තුළ හදිසි නීතිය බලාත්මක කර තිබූ පසුබිමක වීම විශේෂත්වය කි . නමුත් එහි යටි අර්ථය වූයේ හදිසි නීතිය උපයෝගී කරගෙන මහජන අරගලය විසුරුවා හැරීමයි . පසුගිය 09 වැනිදා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කරමින් අරලිය ගහ මැදුරට රැස් වී අගමැතිවරයාට ධූරයෙන් ඉවත් නොවන ලෙස බල කරමින් ඉන් පසුව අරලියගහ මැදුර ඉදිරිපිට අරගලකරුවන්ට පහර දී එතැන් සිට ගෝල්පේස් අරගල පිටියට පහර දී දේශපාලන මැරයෝ විශාල හානියක් සිදු කරන ලදි . මෙම සිද්ධියෙන් පසුව අරගලයට සහය දැක්වූ සියලු ගම්දනව් නගර ජනතාව වීදි බැස පොහොට්ටුවේ ආධාරකරුවන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් පැමිණි වාහන බස් රථ සියල්ල විනාශ කරමින් රට තුළ විශාල ප්රචණ්ඩත්වයක් නිර්මාණය කළේය . එහි ඛේදනීයම තත්ත්වය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ට හා පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු 09 දෙනෙකුට දිවි අහිමි විමය . තුවාල ලැබූ පිරිස 262 කි .
මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් 50 කගේ නිවාස හා දේපලවලට ගිනි තබා පහර දී ඇති බවට පොලීසිය පවසයි. එසේම ආධාරකරුවන් පැමිණි බස් රථ විශාල සංඛ්‍යාවක් මැති ඇමතිවරුන් වාහන විශාල සංඛ්‍යාවක් ද ඒ අතර වේ . කුමන හෝ ප්රචන්ඩත්වයක් අනුමත කල නොහැකි නමුදු මැත ඉතිහාසයේ ජනතාව විසින් දේශපාලනඥයන්ට ඉගැන් වූ කදිම පාඩම මෙය බව මාගේ අදහස වේ . ජනතාව නීතිය අතට ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි වූවත් ජනතාව ප්රචණ්ඩත්වය වෙත තල්ලු කරන ලද්දේ දේශපාලනඥයන්ගේ සහ පොලීසියේ අධූරදර්ශී ක්‍රියා හේතුවෙනි .
රටම ඛේදවාචකයක් කළ මෙම සිදුවීම සඳහා පොලීසිය ව්‍යංග අනුබලයක් දුන් බව පැහැදිලි ය . කොළඹ දිශාව භාර ජෙ. නියෝජ්‍ය පොලිස්පති ඇතුළු ඉහළ පහළ සෑම නිළධාරියෙක්ම මෙම සිද්ධිය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බවට දැනටමත් පොලිසිය වෙත චෝදනා එල්ල වී ඇත . මෙම සිදුවීමට පෙරදින පොදුජන පෙරමුණු ආධාරකරුවන් අරලියගහ මැඳුරට පැමිණෙන බවට පොලීසිය කල් තියා දැනුවත් ව සිට ඇත . එසේ නම් ඉන් පැහැදිලි වන්නේ ඉහළ දේශපාලනික අධිකාරියක උපදෙස් මත පොලීසිය නිහඞව සිට ඇත . ඒ බව අරගලකරුවෝ පොලීසියට වැඳ කියා ඇත්තේ පොහොට්ටුවේ ආධාරකරුවන්ට ඊට ඇතුළු වීමට ඉඩ නොතබන ලෙසය . එහිදී උසස් පොලිස් නිළධාරියෙක් පවසා ඇත්තේ “බය වෙන්න එපා . අපි ඒකට ඉඩ දෙන්නේ නෑ .” කියා ය . නමුත් එහිදී සිදුවූයේ පොලීසිය බලා සිටියදී ම අරගලකරුවන් ට පහර කෑමට සිදු වීම ය . එලෙස නිවටව සිටීම තුළින් අනාගත පොලිස්පති ධූරයේ සිහිනය සැබෑ කරගත හැකි බව ඔවුන් සිතන්නට ඇත . නමුත් සිදු වූයේ අනපේක්ෂිත දෙයකි . දේශපාලනඥයන්ගේ අණ පිළිපැඳීමට ගොස් පොලීසිය අපවාදය ට ලක් වීම යි . සිද්ධිය වූ දිනට පසුදින නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට මහ දවාලේ මහ මඟ දී පහර කෑමට සිදුවූයේ තම රාජකාරිය හරිහැටි ඉටු නොකිරීම නිසා ය . නමුත් පොලිස් නිළධාරියෙකු ට පහර දීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි කරුණකි . පොලීසියේ අවිනීතික ක්‍රියා නිසා තම රාජකාරිය හරිහැටි ඉටු නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමට තීරණය කිරීමෙන් ඒ බව පැහැදිලි වේ. පොලිස් දෙපාර්තමේන්තුව මෙතුවක් කලක් යම් කීර්තියක් අත්කර ගත්තේද මෙම සිදුවිමෙන් එයට කළු පැල්ලමක් එක් කර ගත්තේ ය .මෙලස පොලීසිය නීතිය පැහැර හැරීම අරගලකරුවන් විසින් ඉදිරිපත් කරන මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවලට ද නිමිත්තක් වනු ඇත . මේ සිද්ධීන් සියල්ලෙන් ම රටට කියා පාන්නේ ස්වාධීන කොමිෂන් සභාවල අවශ්‍යතාවය යි . එබැවින් 19 වැනි සංශෝධනය බලාත්මක කිරීමට 20 වැනි සංශෝධනය ඇති කොට ස්වාධීන කොමිෂන් සභා නැවත බලාත්මක කළ යුතුය .
මෙවන් පසුබිමක පාලකයන් සිදු කළ යුත්තේ ප්රචණ්ඩත්වය තුළින් බලය රැක ගැනීම නොව ජනමතයට හිස නමා බලය අතහැරීම යි . රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය ජය ගැනීමට සාධණීය විසඳුම් ජනනය නොවන තැනක් බවට අද පාර්ලිමේන්තුව පත් වී ඇත . එය අද බලයට පොරකන්නන්ගේ සූදු පිටියක් බවට පත් වී ඇත . පාර්ලිමේන්තුව තවදුරටත් ජනතා ප්‍රශ්නවලට විසඳුම් නොසපයන මහජන මුදල් නාස්තිකාර ආයතනයක් වී ඇත . එබැවින් මහජන නියෝජිතයන් සිහි තබා ගත යුතු කරුණක් වන්නේ ජනතා බලයට හිස නමා වැඩ කටයුතු කළ යුතු බවයි . මේ සඳහා මැයි 09 ප්‍රහාරයෙන් දේශපාලනඥයන්ට උගත හැකි පාඩම් බොහෝ ය . අතිතයෙන් උගත් පාඩම්වලින් රටේ දියුණුව අරඹයා කටයුතු කිරීමට අපේ දේශපාලනඥයන් දැන්වත් කල්පනා කළ යුතු ය .