තොරතුරු දැනගැනීමේ අයිතිය

පොලිස් දෙපාර්තමේන්තුවේ හොරා පොලිස් වැඩ

කේ . ප්‍රසන්නා

ශ්‍රි ලංකා පොලිසියේ  156 වන ජාතික පොලිස් දින සැමරුම පසුගියදා පැවැත්විණි. පොලිස් සේවයේ ගෞරවනීය බව අවධාරණය කිරීම සඳහා සමරනු ලබන මෙම උත්සවය සෑම වසරකම පැවැත්වේ. කෙසේ වෙතත්, මෑතකදී රට තුළ ඇති වූ කෝලාහල, අත්අඩංගුවට ගැනීම් සහ පහරදීම් හේතුකොට  ගෙන ජනතාව පොලිසිය කෙරෙහි සිය අප්‍රසාදය පළ කරමින් සිටිති. මීට අමතරව, දේශපාලනඥයින්ගේ සහ දේශපාලනඥයින් සමඟ සම්බන්ධ පුද්ගලයන්ගේ අපරාධ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ  නොකිරීම සහ රජයේ මර්දනයන්ට එරෙහිව සාමකාමි විරෝධතා මෙහෙයවූවන් අත්අඩංගුවට ගැනීම වැනි විවිධ චෝදනා ශ්‍රී ලංකා පොලිසියට මේවනවිට එල්ල වී තිබේ.

මීට අමතරව, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියා  කිරීමට අපොහොසත් වීම සහ දේශපාලනඥයින්ගේ  අත්තනෝමතික තීරණවලට අනුකූල වීම ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවය ප්‍රශ්න කිරීමට හේතු වී තිබේ. එක් අතකින්, විශාල අපරාධ සිදු කර ඇති ප්‍රබල  පුද්ගලයින් පිළිබඳ පොලිස් පරීක්ෂණ සිදු නොකිරීම සහ අනෙක් පැත්තෙන් නීතියට අනුගත විය යුතු පොලිස් නිලධාරීන් විසින්ම අපරාධ කිරිම වැනි දේ නිසා ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය අඛණ්ඩව පළුදු වෙමින් පවතී. .

මෙම සන්දර්භය තුළ පොලිස්පතිවරයා විසින් 2021.12.01 වැනිදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති ලිපියේ පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද අපරාධ පිළිබඳව සඳහන් කොට ඇත. ඒ අනුව 2021 වසරේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නඩු 283 ක් සහ පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් නඩු 359 ක් ගොනු කර ඇති බව පොලිස්පතිවරයා විසින් යවන ලද ලිපියේ සඳහන් වේ.

එම කාලය තුළ මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරීන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 156 දෙනෙකු පිළිබඳ තොරතුරු ද වාර්තා වී ඇත. තවද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් ඇති නිලධාරීන් 130 දෙනෙකුගේ පමණ බුද්ධි අංශයෙන් තොරතුරු ලැබී ඇති බවත් මෙම තොරතුරු අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් හෙළි කිරීමට අපොහොසත් වී ඇති බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

මෙම තත්වය මත ශ්‍රී ලංකා පොලිසියට අදාළ දත්ත ලබාගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ අයදුම් කොට  ලබාගත් තොරතුරු ඇසුරින් මෙම ලිපිය ලියා ඇත.

පළමුව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කල අතර 2021.10.04 දින තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 2022.06.23 දින සිදු කෙරෙනු විමර්ශනය යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරි එස්.එච්.එස්. ජගත්සිරි මහතාට තොරතුරු ඉල්ලීමට අදාළ විස්තර ලබාදීමට නියෝග කොට ඇත. මධ්‍යම පොලිස් මූලස්ථානය විසින් සපයන ලද තොරතුරුවල සඳහන් තොරතුරු මෙසේය.

 පොලිස් නිලධාරීන් 2015/ 2021 කාලය අතරතුර සාමාන්‍යයෙන්  55,000ක් රට තුළ සේවය කර ඇත. ශ්‍රී ලංකාවේ වැඩිම පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් සේවයේ යෙදෙන්නේ බස්නාහිර පළාතේය. අඩුම පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් සේවයේ යෙදෙන්නේ ඌව පළාතේය.  2021 දී බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 14,006 ක් සහ ඌව පළාතේ 3,696 ක් රාජකාරියේ යෙදී ඇත.

දකුණු පළාතේ පොළිස් නිලධාරීන් 5,628ක්, සබරගමුව පළාතේ 3,844ක්, වයඹ පළාතේ 6,180ක්, උතුරුමැද පළාතේ 5,076ක්, නැගෙනහිර පළාතේ 5,358ක්, උතුරු පළාතේ 5,272ක්, මධ්‍යම පළාතේ 6,626ක් ද මේ කාලය තුළ රාජකාරියේ යෙදී ඇත. .

රට තුළ අපරාධ වැළැක්වීමට සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා පොලීසියේ වගකීම වන අතරතුර 2015 – 2021 දක්වා කාලය තුළ පොලිසිය විසින්ම  විවිධ චෝදනාවලට ලක් වීම කණගාටුවට කරුණකි. එවැනි අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 3,363ක් හඳුනාගෙන ඇති අතර පොලිස් නිලධාරීන් 2,122ක් සේවයෙන් පහකොට ඇත.

 වසර  2015 සිට 2021 දක්වා කාලය තුළ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 360 ක්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 493 ක්, අනිසි හැසිරීම් චෝදනා ඇති පොලිස් නිලධාරීන් 435 ක්, සේවාව අයුතු ලෙස භාවිතය සඳහා පොලිස් නිලධාරීන් 652 ක් , අපරාධ විමර්ශන වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 401 ක්, මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 523 ක් ද හඳුනාගෙන ඇති අතර වෙනත් අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් 499 ක් හඳුනාගෙන ඇත.

 මේ අතර 2015-2021 කාලය තුළ පොලිස් නිලධාරීන් 2122ක් සේවයෙන් පහ කොට ඇත. 2015 දී පොලිස් නිලධාරීන් 295 ක්, 2016 දී පොලිස් නිලධාරීන් 234 ක්, 2017 දී පොලිස් නිලධාරීන් 240 ක්, 2018 දී පොලිස් නිලධාරීන් 318 ක්, 2019 දී පොලිස් නිලධාරීන් 366 ක්, 2020 දී පොලිස් නිලධාරීන් 389 ක් සහ 2021 දී පොලිස් නිලධාරීන් 280 ක් සේවයෙන් පහ කොට ඇත.

2015 – 2021 දක්වා කාලය තුළ පොලිස් මූලස්ථානයේ පිහිටි පොලිසියට එරෙහි පැමිණිලි ඉදිරිපත් කරන අංශය වෙත පොලිස් නිලධාරීන්ට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 309ක් ලියාපදිංචි කොට ඇත. 2015 දී පැමිණිලි 34 ක්, 2016 දී පැමිණිලි 48 ක්, 2017 දී පැමිණිලි 59 ක්, 2018 දී පැමිණිලි 70 ක්, 2019 දී පැමිණිලි 67 ක්, 2020 දී පැමිණිලි 30 ක් සහ 2021 දී එක් පැමිණිල්ලක්ද ලියාපදිංචි කොට ඇත.

2015 සිට 2021 දක්වා වසර 7ක කාලය තුළ පොලිස් නිලධාරීන් 10,489ක් සේවයෙන් ඉවත් වී ඇත. ඒ අතරින් පොලිස් නිලධාරීන් 1525ක් සේවා කාලය අතරමැද්දේ දී සේවයෙන් ඉවත් වී ඇති අතර පොලිස් නිලධාරීන් 8964ක් සේවයෙන් විශ්‍රාම ගොස් ඇත. වැඩිම පොලිස් නිලධාරීන් පිරිසක් සේවා කාලය අතරමැද්දේ දී සේවයෙන් ඉවත් වී ඇත්තේ 2021 වර්ෂයේදී වන අතර එම පොලිස් නිලධාරීන් ප්‍රමාණය 379 කි.

මේ අතර පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ. ජගත් අල්විස් මහතා වෙත යවන ලද ලිපියකින් 2021 ජනවාරි 01 සිට නොවැම්බර් 03 දක්වා කාලය තුළ පොලිස් ස්ථානාධිපතිවරු ලෙස තෝරා ගත් නිලධාරීන්  126 දෙනකු සම්මුඛ පරීක්ෂණයට සහභාගී නොවුණු බව අනාවරණය වී තිබේ.

 පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස  2021 ජනවාරි 01 සිට නොවැම්බර් 03 දක්වා කාලය තුල නිලධාරින් 184 දෙනෙක්  පත් කර ඇත . එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී පොලිස් ස්ථානාධිපති තනතුරට නිර්දේශ නොවූ නිලධාරීන් 03 දෙනෙකු පොලිස් ස්ථානාධිපති තනතුරට පත් කර ඇති බවද එම ලිපියේ සඳහන් වේ.

කිසිදු පොලිස් ස්ථානයක ස්ථානාධිපති තනතුර දරා නොමැති නිලධාරීන් 13 දෙනෙකු A1 හෝ A2 පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත් කර ඇති බව පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවන ලද ලිපියේ සඳහන් වේ. එසේම තවත් එවැනි නිලධාරීන් 21 දෙනෙකු A3 පොලිස් ස්ථාන භාර නිලධාරී ලෙස එකවර පත් කර ඇත.

B  හෝ C  ශ්‍රේණියේ පොලිස් ස්ථානවල සේවය කළ නිලධාරීන් 19 දෙනෙකු නිසි ක්‍රියා පටිපාටියකින් තොරව A1 සහ A2  පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත් කර ඇති බව එම ලිපියේ සඳහන් වේ.

මේ අතර, 2015 සිට 2020 දක්වා කාලය තුළ පොලිසියේ විවිධ තනතුරු සඳහා 19,185 දෙනෙකු බඳවාගෙන ඇති බව පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත. මේ අතර සහකාර පොලිස් අධිකාරීන් 14ක්, උප පොලිස් පරීක්ෂකවරුන් 766ක්, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 160ක්, පොලිස් කොස්තාපල්වරුන් 13,815ක්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 3,423ක් සහ පොලිස් කොස්තාපල් රියදුරන් 1,007ක්ද  බඳවාගෙන ඇත.

ඒ අනුව 2015 වසරේ නිලධාරීන් 1,585 දෙනෙකු ද, 2016 වසරේ 1,657 දෙනෙකු ද, 2017 වසරේ 1,476 දෙනෙකු ද, 2018 වසරේ 2,313 දෙනෙකු ද, 2019 වසරේ 2,748 දෙනෙකු ද, 2020 වසරේ 1,530 දෙනෙකු ද, 2021 වසරේ 7,876 දෙනෙකු ද, සේවයට බඳවාගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කර ඇත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts