පාඩම් උගත් කොමිසම
සම්පත් දේශප්‍රිය
ලංකාවේ ආණ්ඩු සහ එල්ටීටීඊ සංවිධානයත් අතර වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවැති යුද්ධය මිලිටරි වශයෙන් අවසන් වූයේ 2009/05/19 දා ය. එ ටී ටී ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් ඉක්බිතිව, ජාත්‍යන්තර මානුෂීය සහ මානව අයිතිවාසිකම් නීති කඩ කිරීම් සිදුවී ඇති බව ට ජාත්‍යන්තර වශයෙන් චෝදනා එල්ල විය. එලෙස චෝදනා හයක් එල්ල වූ අතර ඉන් පහක් ඔප්පු වන්නේ නම් එය ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHRL) යටතේ ලා සැලකෙන වරදක් වේ.මෙම පසුබිම යටතේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා මෙරටට පැමිණ හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසිණ .එම හමුවේදි මහ ලේකම්වරයා අවධාරණය කරනු ලැබුවේ යුද්ධයේ අවසන් සමයේ ඇති වූ ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වගවීමේ ක්‍රියාවලියක් තිබිය යුතු බව ය.හිටපු ජනාධිපතිවරයා ද ඊට එකඟ වූ අතර හානි සහ දුක් ගැනවිලි පිළිබද විසඳුම් සොයා බලන බව සඳහන් කළේ ය.
අපගේ මාතෘකාවට ප්‍රස්තුත වන උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම පිහිට වනු ලබන්නේ ඒ අනුව ය.මෙරට පිළිගත් උගතුන් අට දෙනෙක්ගෙන් සමන්විත කොමිසම මෙරට කොමිෂන් සභා පනතේ දෙවැනි වගන්තිය අනුව පත් කෙරිණ.යුද්ධයෙන් අප උගත යුතු පාඩම් මොනවාද? ජාතික සමගිය ඇති කිරීමට කළ යුත්තේ කුම ද? යන කරුණු ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම එහි වගකීම් වපසරියට ඇතුළත් විය.2010 වසරේ සිට 2011නොවැම්බර් දක්වා සාක්ෂි විමසා කොමිසම විසින් නිර්දේශ 285ක් ඉදිරිපත් කර ඇත.කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ආණ්ඩුව ට සම්බන්ධ පාර්ශවයන්ගෙන් බරපතළ විවේචන එල්ල වූ අතර ඊට ප්‍රති පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විවේචනය වූයේ කොමිසමට සෙවීමට බලය තිබූ ඇතැම් කරුණු මතු කොට දක්වා නොමැති බව ය .එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට උපදෙස් දීම සඳහා එම අවධියේ ම පත් කෙරුණු විශේෂඥ මණ්ඩලය විසින් එළිදක්වන ලද දරුස්මාන් වාර්තාව මගින් ද උගත් පාඩම් කොමිසමේ ක්‍රියාකාරීත්වය විවේචනයට ලක් කර තිබිණ.
මෙම සියලු විවේචනයන් අතර වුව ද පොදු පිළිගැනීම වූයේ උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ නිර්දේශ සාධනීය මට්ටමක තිබූ බව ය.අද මේ මොහොත වන විට කොමිසමේ නිර්දේශ නිකුත් වී දශකයකට ආසන්න වී තිබුණත් පැවැති හෝ පවතින ආණ්ඩු විසින් කර ඇත්තේ කොමිසමේ මෙම නිර්දේශ හමස් පෙට්ටියේ දමා බහා පසෙකින් තැබීම ය.දේශපාලන බලය රැක ගැනීම සහ එය පවත්වාගෙන යාම ඉලක්ක කර ගෙන දේශපාලන අධිකාරිය විසින් රටේ දීර්ඝ කාලීන යහපතට අදාල වන තීන්දු ගැනීම පසකලා තිබේ.උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ නිර්දේශ මේ රටේ දීර්ඝ කාලීන ජනවාර්ගික සාමයට ඉවහල් වන බැවින් ඉන් කිහිපයක් මෙසේ ගෙන හැර දැක්විය හැකිය.
අතුරුදහන් වීම් පැහැරගැනීම් සම්බන්ධයෙන් විභාග කිරීම ,බාර වුණු සහ අත්අඩංගුවට ගත් අය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කොට නීතියෙන් ප්‍රතිකර්ම යෙදීම ,අදහස් ප්‍රකාශනයේ නිදහස සහ තොරතුරු දැන ගැනීමේ නිදහස තහවුරු කළ යුතු ය. ස්ත්‍රීන් ළමයින් අවතැන්වූවන් සහ ආබාධිතයන් සඳහා පහසුකම් සහ ආරක්ෂාව සැපයීම,ජන වර්ගයන් අතර මිත්‍රත්වය සහ ප්‍රතිසංවිධානය වර්ධනය කිරීමට දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ,ත්‍රි භාෂා ප්‍රතිපත්තිය පාසල් මට්ටමේ සිට ක්‍රියාත්මක කිරීම ,සාම අධ්‍යාපනය තහවුරු කිරීම,ජාතික සමගිය උදෙසා කලාව හා සංස්කෘතිය භාවිතා කිරීම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ඉන් සමහරකි.
ජනාධිපති විසින් පත් කරන ලද කොමිෂන් සභා වලින් මෙතෙක් සිදු වුයේ ගැටළු අමතක කිරීම සහ කල් දැමීම බව උගත් පාඩම් කොමිසමේ නිරීක්ෂණ වල දැක්වෙන අතර එම කොමිසමට ද ඉන් ගැලවිය නොහැකි බව කොමිසම එදා කියා සිටියේ තුන් කල් දක්නා නුවණින් නො ව මෙතෙක් අප අත් කරගෙන තිබෙන අවාසනාවන්ත ප්‍රායෝගික අත්දැකීම් ඇසුරෙනි.කොමිසමේ නිර්දේශ තුළ ගැබ් වී ඇත්තේ තිස් වසරක යුද්ධය ට සහ අදටත් විටින් විට ජන වර්ගයන් අතර ඉස්මතු වන සාමයට බාධා වන සිදුවීම්වලට මූල බීජයන් වූ හේතු ය.ඒවාට පිළියම් යෙදීම යනු රටක දීර්ඝකාලීන සාමයට පදනම දැමීම බව නැවත නැවතත් මෙනෙහි කළ යුතු නැත.